ගුරුවරයකු, පුවත්පත් කලා වේදියකු මතු නොව සම්මානලාභී ලේඛකයකු ලෙස සම්භාවනාවට පත් වූ ඔහු දෙනගම සිරිවර්ධනය. මානව හිතවාදී ලේඛකයකු ලෙස නමක් දිනාගත් මේ සුන්දර මිනිසා කවියකු, නවකතාකරුවකු, යොවුන් කෘති රචකයකු ලෙස මෙරට සාහිත්‍යයට දායාද කළ කෘති බොහෝය.
අයෝමා, ගුරු පඬුරු, අපට අපේ අත්, ගුණ නැණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු, මිතුරෝ, පුංචි ගොපල්ලා, ආනන්දන්, සිවගුරුනාදන්, පමා නොවන්න, එක්තරා දාමරිකයකුගේ කතාවක්, බරවා කුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය, මඝ ගිය මග, පුවත්පත් විශේෂාංග රචනය ඒ කෘති අතරින් කිහිපයකි. ඔහු ලියූ මිතුරෝ නම් යොවුන් නවකතාව ජාත්‍යන්තර යෞවන සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය. සිරිවර්ධනයෝ මීට පෙර චරිතාපදාන කෘති කිහිපයක්ම ලියා පළ කළහ.
ආචාර්ය ඊ.ඩබ්ලියු. අධිකාරම්, සේනක බිබිලේ, ඔස්මන්ඩ් ජයරත්න යන විශිෂ්ට චරිත අළලා කළ චරිතාපදාන ඉන් කිහිපයකි. සිරිවර්ධන මහතා 2020 වසරේ දී ‘පොදු ජනතාවගේ පත්තරකාරයා‘ නමින් හරි අපූරු චරිතාපදාන කෘතියක් සම්පාදනය කළේය. ඒ මෙරට කීර්තිමත් පුවත්පත් කලාවේදියකු හා කවියකු වන දයාසේන ගුණසිංහයන්ගේ චරිතාපදානයයි. දෙනගම සිරිවර්ධනයන්ගේ පුවත්පත් කලා ජීවිතයට පුළුල් බලපෑමක් කළ ඔහුගේ ජීවිතයට වඩාත් සමීප චරිතයක් වූ දයාසේන ගුණසිංහයන්ගේ චරිතය අව්‍යාජ ලෙස විනිවිද දකින්නට මෙහි දී ඔහුට හැකිවිය. එයින් වසර පහකට පසුව එනම් 2025 දී සිරිවර්ධනයන් ඊටත් වඩා සුවිශේෂ කාර්යයකට යොමුව තිබේ. එනම් දෙනගම සිරිවර්ධනයන් තම ස්වයං ලිදිත චරිතාපදානය රචනා කිරීමය. ඒ ‘දෙනගම වත‘ නමිනි. සිරිවර්ධනයන් වැනි මානව හිතවාදී ලේඛකයකුගේ ජීවන චරිතාපදානය මෙරට පාඨකයන් වඩාත් ආදරයෙන් වැළදගනු ඇති අතර එය මෙරට චරිතාපදාන සාහිත්‍යයට ද වඩාත් ඵලදායක සරු අස්වැන්නක් වනු ඇත.
දෙනගම වත නමින් වන දෙනගම සිරිවර්ධනයන්ගේ මෙම චරිතාපදානය එළි දැක්වෙන්නේ මෙම මස 07 වැනිදා සවස 3.00ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මෙම උළෙලේ දෙසුම් පවත්වති. දෙනගම සිරිවර්ධනයන් සමග කළ කතා බහක් ඇසුරින් මෙම සටහන සකස් වන්නේ ඒ නිමිත්තෙනි. දෙනගම සිරිවර්ධනයන්ගේ ලේඛක දිවිය වත්මන් හා අනාගත නිර්මාණකරුවන්ට වඩාත් ආදර්ශ සම්පන්න වන්නේ ඔහුගේ ගමන අප සිතන තරම් සුවදායක සැප පහසු එකක් නොවන නිසාය. ඔහුගේ නිර්මාණ දිවිය විමසන විට සිහියට එන්නේ අල්විස් පෙරේරා ලියූ කවියකි.
වන මල් පියලි විල්ලුද බුමුතුරුණු උඩ
යන මිනිහෙකුගෙ ගමනින් නෑ ලොවට වැඩ
ඇන උල් තියුණු ගල් මුල්වල මුණත මැඩ
පැන යන ගමන හිතවත කොතරම් ද හැඩ
සිරිවර්ධනයන්ට තිබුණේ ඇන උල් තියුණු ගල් මුල්වල මුණත මැඩගෙන ආ ගමනක් මිස වන මල් පියලි විල්ලු ද බුමුතුරුණු උඩ ආ ගමනක් නොවේ. දෙනගම වත චරිතාපදානයෙහි ඔහු ඒ පිළිබඳ අව්‍යාජ හෙළිදරව්වක් කරයි. සිරිවර්ධන්ගේ ළමා කාලය පිළිබඳ ඔහු සමග කතා බස් කරන විට ඒ ගැන මතකය හෙළි කළේ මෙලෙසිනි.
”පනංවල එපිටවත්ත කියන ඉඩමෙ තමයි මම ඉපදුණේ . ඒ 1945 පෙබරවාරි 19 වැනිදා. මගේ තාත්තා ගමේ සාමාන්‍ය ගොවියෙක්. එහෙම උණත් ඔහු පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය යමක් කමක් දැනගෙන කියවපු කෙනෙක්. මට මතකයි තාත්තා ගෙදරදි සැළලිහිණි සන්දේශයේ, ගුත්තිලයේ කවි කටපාඩමින් කියවන සැටි. ඒවා කියවනවා විතරක් නෙවෙයි ඒ කවි ගැන පුංචි අපිත් එක්ක කතා කරනවා. ඒ නිසාම මේ කවි ගැන මට පොඩි කාලෙම ආසාවක් ඇති වුණා. අම්මා උණත් ඩබ්ලිව්.ඒ. සිල්වා, පියදාස සිරිසේන වගේ ලේඛකයන්ගෙ පොත් කියෙව්වා මට මතකයි. මටත් මගේ මල්ලිලාටත් පොඩි කාලෙම සාහිත්‍ය ගැන ඇල්මක් ඇති වෙන්න පරිසරය සකස් වුණේ ගෙදරින්. ගමේ පන්සලේ දහම් පාසලේ පරිසරයත් ඊට උදවු වුණා.”
දෙනගම සිරිවර්ධනයන් හත්වැනි පන්තිය දක්වාම අධ්‍යාපනය ලබන්නේ පනංවල පාසලෙනි. එවකට පාසලේ සිටියේ අතුකෝරල විදුහල්පතිතුමාය. එම පාසලේ ඉතා කුඩා පුස්තකාලයක් විය. කුඩා වියේ දීම කියැවීමේ රුසියකු වූ සිරිවර්ධනයෝ පුස්තකාලය අත්හැර නොගියහ. ඒ මතකය ඔහු හෙළි කළේ මෙසේය.
”පනංවල ඉස්කෝලෙ පුස්තකාලෙ තිබුණෙ පොත් සියයක් විතර පොඩි ගණනක්. ඒත් මුළු පාසලෙන්ම ඒ පුස්තකාලෙ පාවිච්චි කළේ මම විතරයි. මම ඒ පුස්තකාලෙ පොත් ටික ඔක්කෝම කියෙව්වා. අවසානෙ සර් කිව්ව.
”ඔන්න සිරිවර්ධන ඔයාට දෙන්න තියෙන්නෙ දැන් විජයබා කොල්ලය විතරයි. ” කියලා. ඒක මට හරි දුකයි. මම ඒ බව ගෙදර ඇවිත් තාත්තට කිව්වෙ අඩ අඩා. මේ කාලෙ අපේ බාප්ප කෙනෙක් පන්සලෙන් පොත් පෙට්ටියක් අරගෙන ආව. තාත්තා ඒ පොත් ටික මට ගෙනත් දුන්නා. ඒවත් මම ඉවර වෙනකල්ම කියෙව්වා. හත්වෙනි පන්තිය වෙනකොට අහුවෙන හැම පොතක්ම කියවීමේ පුරුද්දක් මට තිබුණා. මම ඒ පොත්වල තිබුණු ලෝකවල තමයි ජීවත් වුණේ. අපේ තාත්තත් මගේ මේ පුරුද්දට ඉඩ දීලා බලාගෙන හිටියා. ”
අටවැනි පන්තියේ සිට හක්මන මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත්වන සිරිවර්ධන ශිෂ්‍යයා ට එහිදී පරණමාන විදුහල්පතිතුමා මුණ ගැසීම වැදගත් අවස්ථාවකි. ඔහු එකල පළ වූ කවි සඟරා රැසකට නිර්මාණ සැපයූ කවියෙකි. ඒ නිසාම මෙතෝදිස්ත පාසල නිරන්තරයෙන් සාහිත්‍ය සම්භාෂණවලින් අඩුවක් නොවූ තැනක් විය. කවි මඩු ආදිය එහි නිතරම පැවැත්වුණි. කවිය ගැන සිරිවර්ධනයන් තුළ තිබූ ඇල්ම වඩා වර්ධනය වන්නේ මේ නිසාය. 1958 පමණ කාලයේ සිට සිරිවර්ධන ශිෂ්‍යයා පාසල් බිත්ති පුවත්පත් ආදියට නිතර නිර්මාණ සපයන්නට විය. රස ගංගා, සක් හඩ ආදි කවි සඟරාවලට ලියන්න පටන් ගත්තේය. ”
තමන්ට අවැසි මාවත මෙසේ මහත් කැපවීමෙන් සකසා ගන්නා දෙනගම සිරිවර්ධනයන් තම ජීවන චාරිකාවේ ඊළඟ වැදගත් ප්‍රවේශයට පිවිසෙන්නේ ඔහු ගුරු ජීවිතය ඇරැඹීමත් සමගය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 18කි.
”මම ගුරු වෘත්තියට ආපු කාලෙම වගේ තමයි දවස පුවත්පත පටන් ගත්තෙ. දවස නිවෙසින් පළ කෙරුණා ගීතාංජලී කියන කවි පත්තරේ. මම ඒකට ලිව්වා. මලක මගුල කියන කවි පන්තිය තමයි මම පත්තරේට ලිව්ව පළමුවැනි නිර්මාණය. ඒක පළවුණාම මම දිගින් දිගටම ලිව්වා. පස්සෙ කෙටිකතාත් ලියන්න පටන් ගත්තා. ඒවාටම වෙනම පුවත්පත් තිබුණා ඒ කාලෙ. ලංකාදීප, සිළුමිණ, රිවිරැස වගේ සෑම පත්තරයකටම කවි කෙටිකතා ලියන්න මම පෙළඹුණා. ”
සිරිවර්ධනයන් මේ නිර්මාණ රචනයේ යෙදෙන්නේ ගුරුවරයකුව කටයුතු කරන අතරතුරේය. සැමවිටම සමාජ සාධාරණය සෙවූ තරුණ සිරිවර්ධනයන් ඒ වනවිට දැරූ වාමාංශික දේශපාලන මතයද ඊට බලපාන්නට ඇත. ඔහුගේ පාසල් ගුරු දිවියේ හරි අපූරු කාරණයක් වෙයි. ඔහුගේ එම පාසල් ගුරු දිවිය වසර 23කි. මේ වසර 23ට ඔහුට පාසල් 23ක ම සේවය කරන්නට සිදුවිය. ඊට හේතුව කුමක්ද?
”ඔව්. ඒක ඇත්ත. සමහර ඉස්කෝලවල දවස් හතරයි පහයි මට ඉන්න ලැබුණෙ. අවසාන ඉස්කෝලෙ අහන්ගම සාරිපුත්ත මහා විද්‍යාලෙ අවුරුදු තුනක් හිටියා. අනිත් හැම පාසලකම ඉන්න ලැබුණෙ අවුරුද්දයි හෝ ඊට අඩු කාලයක්. ඒකට හේතු වෙන්න ඇත්තෙ මම මුල හිටම වාමාංශික දේශපාලන අදහස් දරපු කෙනෙක් වීම යි. ඇත්තටම මට ඒ දේශපාලන මතවාදයට පොඩි කාලෙ හිටම බලපෑම් කළේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයා වන දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලෙ අපේ ගම්වල හැම කෙනෙක්ම වගේ එයත් එක්ක සම්බන්ධ වුණා. කොමියුනිස්ට් පක්ෂයත් එක්ක එහෙම සම්බන්ධ වුණ ගම්වල නියෝජිතයන් කොමියුනිස්ට් ගුණපාල, කොමියුනිස්ට් ඩැනියෙල්, කොමියුනිස්ට් මාර්ටින්, කොමියුනිස්ට් සාදිරිස් ආදි වශයෙන් හැදින්වීමේ පුරුද්දක් ගැමියන්ට තිබුණා. ඇත්තටම ඒ මිනිස්සු හරිම පරමාදර්ශී අය. ඔවුන් ගම්වල දුප්පත් ගොවියන් වුණත් ගමට අවංක පිරිසුදු නායකත්වයක් දුන්නා. මේ පරිසරය නිසා අයුක්තියෙන් අසාධාරණයෙන් තොර සමාජයක් දැකීමේ ආශාව අපි තුළත් වර්ධනය වුණා.”
සිරිවර්ධනයන්ගේ සමාජ දේශපාලන හා සංස්කෘතික ජීවිතයට වඩාත් බලපෑම් කළ කාලපරිච්ජේදයක් උදාවන්නේ ඉන් අනතුරුවය. එනම් 80 ජූලි වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස සිරිවර්ධනයන්ගේ ගුරු වෘත්තිය අහිමිවීමයි. ඒත් සමගම ඔහුගේ ජීවන වෘත්තියත් , ප්‍රධාන ආදායම් මාර්ගයත් සංස්කෘතික හා සමාජ ජීවිතයත් කණපිට පෙරළෙයි. ඒත් එසේ වූ පමණින් ජීවිතය හැර යා හැකිද?. වගකීමෙන් පලා යා හැකිද?. ඔහු ඊට මුහුණ දෙයි. එය අද සිහිපත් කරන විට එක්තරා අපූර්ව මෙන්ම රසවත් ආදර්ශ සම්පන්න සිද්ධියකි.
” මේ කාලෙ වෙද්දි මම විවාහ වෙලා හිටියෙ. හම්බන්තොට පැත්තෙ ඉස්කෝලෙක උගන්වමින් හිටියෙ. කුලී ගෙදරක තමයි නැවතිලා හිටියෙ. 1977 ජේ. ආර්. බලයට ආපු ගමන් මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 5000කින් වැඩි කළා. මඩු මිලත් දැරිය නොහැකි මට්ටමට ඉහළ ගියා. ඒත් රජයේ සේවකයන්ට ජීවත් වීමේ ඉතාම අමාරු තත්වයක් තිබුණෙ. පස්සෙ අපි ඉල්ලීමක් කළා අපේ පඩි වැඩි කරන්න කියලා. ඒත් ආණ්ඩුව ඒකට ඇහුම්කන් දුන්නෙ නෑ. පස්සෙ අපි උද්ඝෝෂණ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට 1980 දී සෝමපාල සහෝදරායා මරා දැම්මා. ඊට පස්සෙ අපට සිද්ධ වුණා කම්කරු ජනතාවට තියෙන අන්තිම ආයුධය පාවිච්චි කරන්න. ඒ තමයි වැඩ වර්ජනය කිරීම.. අපි ඒ මහා වැඩ වර්ජනයට සම්බන්ධ වුණා. ගුරුවරු වශයෙන් අපිත් මේකට සම්බන්ධ වුණා. ඒත් මම හිතන්නෙ හරිම අසංවිධානාත්මක බවක් තමයි මේ තුළ තිබුණෙ. 80 වැඩ වර්ජනයට අපේ ඉස්කෝලෙන් ගියේ මම විතරයි. හැම ඉස්කෝලෙකම එහෙම තත්වයකුයි තිබුණෙ. අසාර්ථක වැඩවර්ජනයක්.
අන්තිමට අපි රස්සාවෙන් දොට්ට දැම්මා. ඊට පස්සෙ ජීවත් වෙන්නවත් ක්‍රමයක් තිබුණෙ නෑ. ආදායමක් නෑ. වැඩවර්ජකයො සුසාන භූමියට යවනවා කියලයි පාලකයො කිව්වෙ. ඒක එහෙමම සිද්ධ වුණා. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව අපේ කම්කරුවන් 24 දෙනෙක් දිවි නසා ගත්තා. ඒත් මම දිවි නසා ගත්තෙ නෑ. මම මගේ මිතුරකුගෙන් මුදලක් ණයට අරගෙන වී මිලට අරං වී කොටලා හම්බන්තොට පොළේ හාල් වික්කා. හැබැයි ඒකෙන් මම ආර්ථික වශයෙන් ටිකක් ඉදිරියට ගියා. ගුරු වැටුපට වඩා මුදලක් එයින් ලැබුණා. ඒකට හේතුවුණේ මගේ ශිෂ්‍යයන්. මොකද ශිෂ්‍යයන්ගෙ දෙමවුපියන් මගේ සහල් පොළේදී මිලට ගත්තා. අවුරුදු දෙක හමාරක් පොළේ හාල් විකුණලා මට පුළුවන් වුණා අත්ට්‍රැක්ටරයක් ගන්න. වී මෝලක් මිලට ගන්න. වැඩවර්ජනයෙන් රැකියාව අහිමි වූ තවත් සේවකයන් දෙතුන් දෙනෙක් වැඩට ගන්නත් මට පුළුවන් වුණා. අවුරුදු දෙක හමාරකට විතර පස්සෙ ජාත්‍යන්තර බලපෑම් නිසා අපට නැවත රැකියාව ලබා දෙන්න ආණ්ඩුවට සිද්ධ වුණා. මටත් ආයෙම රැකියාව ලැබුණා. ඒත් ලොකු වීමෝල් හිමියන් ව්‍යාපාරිකයන් මට කිව්වෙ
ඉස්කෝලෙ මහත්තයා ආයිත් ඔය රස්සාවට යන්න එපා වැඩි කලක් යන්න කලින් ඔයා ලොරියකුත් ගනියි කියලා. ඒත් නැවත මම ශිෂයන් අතරට ගිහින් මගේ සේවය ලබා දෙන්න ඕනැ කියල හිතලා ආයෙම රස්සාවට ගියා. ගත්ත වාහන විකුණලා දැම්මා. වී මොල මල්ලි කෙනෙකුට දුන්නා. පොළේ බඩු විකුණන්න තරාදිය එල්ලපු යකඩ කූර විතරක් මම තියාගත්තා. ඒක මගේ පුස්තකාල කාමරේ තාමත් තියනවා. මම ගෙදර අයට කියල තියෙනෙ මා මළ දවසට පහනක් පත්තු කරනව නම් ඒ පහන මේ යකඩ කූරෙ එල්ලන්න කියලා. ”
සිරිවර්ධනයන්ට තිබුණේ මුදල් හම්බ කිරීමේ ආශාවක් නොවේ. මෙයින් හෙළිදරවු වන්නේ ඔහුගේ සමාජ දේශපාලන සංස්කෘතික දර්ශනයයි. දෙනගම සිරිවර්ධනයන්ගේ පුවත්පත් කලා ජීවිතයද ඔහුගේ ජීවන ගමනේ ඉතා වැදගත් කාල පරිච්ජේදයකි. ටික කලක් දවස පුවත්පතේ වාර්තාකරුවකු ලෙසද කටයුතු කළ ඔහු දයාසේන ගුණසිංහයන් සමග එක්වී දිවයින පුවත්පතේ කටයුතු කළ කාලය ඉතා වැදගත් එකකි.
සිරිවර්ධනයන් වැඩ වර්ජනය කළ කාලයේ ගැටුණු සමාජය ඔහුගේ සමාජ ඇසුර අලුත් අත්දැකීම් රාශියක එකතුවකි. දුප්පත් කම්කරු ගොවි ජනතාව සිය දහස් ගණනක් හා සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ පීඩනය හද ගැස්ම හදුනා ගන්නට ඔහුට අවස්ථාව හිමි විය.1977 විවෘත ආර්ථිකය නිසා මෙරට ගොවි ජනතාවගේ ජීවිත අර්බුදයට ලක් වූ ආකාරය, යාපනය ගොවියන් මුහුණ පෑ දුෂ්කරතා හදුනාගෙන අසා දැන කම්පාවීමට සිරිවර්ධනයන්ට අවස්ථාව ලැබිණ.
විවිධ සමාජ දේශපාලන අත්දැකීම් ලබමින් සිරිවර්ධනයන් පැමිණි මේ ගමන ඉතාමත් සැකැවින් හෝ අප මෙහි සඳහන් කරන්නට වූයේ ඔහු ජනතාවාදී ලේඛකයකු බවට පත් කළේ ඔහු ලැබූ මෙම මිහිරි අමිහිරි සමාජ දේශපාලන අත්දැකීම් බව අවධාරණය කිරීමටය. මැක්සිම් ගෝර්කි මහා ලේඛකයා කියා සිටියේ සාහිත්‍යකරුවා දුම්රියේ තුන් වැනි මැදිරියේ ගමන් කළ යුතු බවය. සිරිවර්ධනයන් මහපොළොව මත විශ්වාසයෙන් පය තබා ගොඩනගාගත් ශක්තිමත් පසුබිම ගෝර්කිගේ කතාව සනාථ කරන්නකි.
”ජනතාවගේ ප්‍රශ්න ගැටලු සමබන්ධයෙන් සාහිත්‍යයේ යෙදෙන්නට මට විශේෂයෙන් බලපෑවේ එස්. ජී. පුංචිහේවා මහත්තයා. ඊට කලින් මම බොළද පෙම් කවි ලිව්වා. ඒවා බලලා පුංචිහේවා මහත්තයා කිව්වා දෙනගම බලන්න ඔයා ලියන ඒවයි මිනිස්සුන්ගේ සැබෑ ජීවිතයි කොච්චර වෙනස් ද කියලා. ඇයි මේ යථාර්ථය ලියන්නෙ නැත්තෙ කියලා. ලේඛකයකුගෙ සැබෑ යුතුකම ගැන මම වැඩිපුර හිතුවේ එතනින් පස්සෙ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම ලේඛකයාගේ පරම යුතුකමක් හැටියටයි මම හිතන්නේ. දයාසේන ගුණසිංහ වගේ අයත් මේ නිර්මාණවලට දිරි දුන්නා. වාමාංශික දේශපාලනයත් රුසියානු සාහිත්‍යයේ ඇසුරත් තවත් පැත්තකින් දෘෂ්ටිමය වශයෙන් මේ සදහා බලපාන්නට ඇති,.කොමියුනිස්ට් පක්ෂයේ කටයුතු නිසා අපට ගමින් ගමට යමින් ගොවිකම්කරුවන්ගේ අදහස් ප්‍රශ්න හදුනාගන්න අවස්ථාව ලැබුණා. අන්තිමට මේ ගොවියෝ කවි ලියන මට්ටමට ආවා. ”
සිරිවර්ධනයන්ගේ කවියක, කෙටිකතතාවක, නවකතාවක, යොවුන් නවකතාවක චරිත පරීක්ෂා කර බැලුවහොත් ඒ සියලු චරිත ඔහුට හමුවූ මේ මහපොළොවේ පයගසා සිටින සැබෑ චරිතම බව පැහැදිලිය. ඒ සෑම චරිතයකම මතු කරන්නේ සමාජ යථාර්ථයම බව ප්‍රත්‍යක්ෂය.
දශක ගණනක් තිස්සේ ලේඛකයකු ලෙස තමා පැතූ සමාජය සමාජ සාධාරණත්වය යථාර්ථයක් වීම ඒ ලේඛකයාගේ සිහිනය සැබෑ වීමකි. ඒ සිහිනය අපේක්ෂාව සැබෑ වී තිබේද? සිරිවර්ධනයන් ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.
”මම විතරක් නෙවෙයි තවත් ලේඛකයන් මේ අරමුණේ ඉදගෙන නිර්මාණ කටයුතුවල යෙදුණා. ඒත් ඔවුන්ගේ මතවාද සමාජයට අරගෙන යන හරිහමන් වැඩපිළිවෙළක් තිබුණේ නෑ. 1972 වගේ කාලෙ පෙරදිග සුළං වැනි ව්‍යාපාර හරහා යම් මට්ටමකට ඒ දේ සිද්ධ වුණා. ඊට පස්සෙ ඒ වගේ ව්‍යාපාරයක් ගොඩ නැගුණෙ නෑ. මාවෝ සේතුං කියා සිටියේ ජනතාවගේ කලාව ජනතාව අතරට ගෙන යන්න නම් ජනතාවගේම පක්ෂයක් ව්‍යාපාරයක් තිබිය යුතුයි කියලයි. ඒක ඇත්ත. එහෙම පරිසරයක් නැති වුණාම මොනතරම් නිර්මාණ කළත් ඒවා ජනතාව අතරට යන්නෙ නෑ. අපි තනි තනිව කරන ක්‍රියාකාරකම් පමණයි ඉතිරි වෙන්නෙ. ජනතාවාදී පෙරළිකාරී සාහිත්‍යක් බිහිවුණොත් විතරයි ජන චින්තනය සකස් වෙන්නෙ. නිවැරැදි වෙන්නෙ. එහෙම බිහිවුණාට මදි. ඒක ජනතාවට ගෙනියන ව්‍යාපාරයක් අවශ්‍යයි.
ඒත් වර්තමානයේ බොහෝ සාහිත්‍යකරුවන් තමාගේ සමාජ වගකීම අමතක කරලා වගෙයි පේන්නෙ. ඒ ගැන හැගීමක් නෑ වගේ. මිනිසුන් වෙනුවෙන් යුක්ති සහගත සමාජයක් සාධාරණ සමාජයක් බිහි කිරීමට මග පෙන්වීම තමයි සාහිත්‍යකරුවාගේ සැබෑ අරමුණ විය යුත්තේ. ”
ලේඛකයකුගේ අරමුණත් සැබෑ ලේඛකයා බිහිවන පසුබිම කවරාකාරද යන්නත් ඔහුගේ පරමාදර්ශත් කවරාකාර විය යුතු දැයි දෙනගම සිරිවර්ධනයන්ගේ මේ අදහස්වලින් මනාව ප්‍රකට වන්නේය. ඔහුගේ දෙනගම වත චරිතාපදානය මෙරට සමාජයේත් සාහිත්‍යකරුව්නගේත් රසික සමාජයේත් පෞරුෂය වර්ධනය කරන මනා මූලාශ්‍රයක් වන්නේ මේ නිසාය. සිරිවර්ධනයෝ ජීවිතයේ මුහුණදුන් දුෂ්කරතා හමුවේ පලා නොගොස් ඊට මුහුණ දුන්හ. අද ඔහු ජයග්‍රහණය දකින්නේ ඒ දුෂ්කරතාව මග නොහැරි බැවිනි.
එච්. එම්. කුඩලිගම කවියා ගංගාවේ සංගීතය පද්‍යයේදී ලීවේ
සම තැනිතලාවල හමුවෙයි අලස කම
නිරසයි අතර මග අවහිර නොදුටු බිම
යනුවෙනි. සිරිවර්ධනයන් තම සරු බිම සකසා ගන්නේ අවහිර සහිත පරිසරය ආශිර්වාදයක් කරගනිමිනි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවියා වස්සානය පද්‍ය නිර්මාණය නිමා කළේ මෙසේය.
ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව
ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන් ය
දුෂ්කරයි කියා හැර යා යුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස
දෙනගම සිරිවර්ධනයන්ගේ ලේඛන දිවිය තුළ මේ කියමන මොන තරම් සාධාරණ ද? අපේ ජීවිතවලට මොන තරම් ආදර්ශ සම්පන්න ද?
(*** සටහන - ගාමිණී කන්දේපොළ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බොහෝ සාහිත්‍යකරුවෝ සමාජ වගකීම අමතක කරලා