IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බාල හරසුන් පරිවර්තන පොත් වැහි වැහැලා


ප්‍රවීණ පරිවර්තිකා සේනානි ධර්මරත්න....

 

වර්ෂ 1924 දී දකුණු ඉන්දියාවේ මයිසූර්හි චිමකුටි කුඩා ගම්මානයේ කමලා පූර්ණයියා නමින් උසස් බ්‍රාහ්මණ වංශික පවුලක ඕ ඉපදුණාය. විශ්වවිද්‍යාල උපාධි හැදෑරීම පිණිස 1948දී ලන්ඩනයට පැමිණීම පසු කාලීනව පූර්ණ කාලීන ලේඛිකාවක හා මාධ්‍යවේදිනියක වීමට ඇයට අඩිතාලම වැටුණි. ඇය විසින් ප්‍රබන්ධිත නවකතා ගණන දහයකි. NECTAR IN A SIEVE ඇයගේ තෙවැනි නවකතාව වන අතර ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වාර්තා පිහිටුවීමට එම නවකතාව සමත් විය. එසේම ලොව භාෂා 18කට වැඩි සංඛ්‍යාවකට එම පුළුල් නවකතාව පරිවර්තනය වී තිබීමද විශේෂත්වයකි.

නූතන ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍යයේ පුරෝගාමී ලේඛිකාවක වන කමලා මාකන්දයාගේ NECTAR IN A SIEVE නවකතාව පූර්ණ අසංක්ෂිප්ත සිංහල නවකතා පරිවර්තනයක් ලෙස ප්‍රවීණ පරිවර්තිකා සේනානි ධර්මරත්න  ‘අමාපැන් සොයන්නී’ නමින් පාඨකයා හමුවට රැගෙන විත් තිබේ. මරණය ජයගත් යුදෙව් දරුවා, ඇනා අවසන් ගමන, හිට්ලර්ගේ සිරකරුවෙක්, දෙවැනි ලෝක යුද්ධය ආශ්‍රිත පුවත් හා වැට දිගේ ගෙදර බලා, සරණපතා  මහපාරට, කෙන්යාවේ වීදි දරුවන්ගේ පුවතක් වැනි කෘති සේනානිගේ පරිවර්තන අතර කීපයක් පමණි. මතු දැක්වෙන්නේ අමා පැන් සොයන්නී පරිවර්තන නවකතාව පිළිබඳව ඇය සමග අප කළ සංවාදයක සටහනකි.

 

• ඔබේ නවකතා පරිවර්තන අතර වෙනස්. ඔබ පරිවර්තනය කළ බොහෝ කෘති යෞවනයන් අතර වගේම පොදු පාඨකයන් අතරත් වෙනස්  කතා රසයක් ඇති කළ බව පෙනෙන්නට තිබෙනවා. ජනප්‍රිය දහරාවේ නොවුණත් පාඨක ආකර්ශනයට ලක්වන අන්දමේ කෘති පරිවර්තනය සඳහා ඔබ තෝරා ගන්නේ කොහොමද?
    
විදෙස් පොතක් අතට ගත්ත ගමන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් කියැවූ පමණින් ඒවා පරිවර්තනය සඳහා සුදුසු වන්නේ නැහැ. පොත් පරිවර්තනයෙන් සිදුවන්නේ තවත් සංස්කෘතික ජීවිතයක් ඇසුරු කිරීමට අත්වැල් සැපයීමයි. ඔබ කී පරිදි මා පරිවර්තනය කළ බොහෝ කෘති යෞවන පාඨකයන්ගේ රුචිය වඩවනවා පමණක් නොවෙයි වැඩිහිටි පාඨකයන්ටත් ජීවිතය සමීපව විඳගැනීමට කදිම ජීවන කවුළුවක් විවර කරනවා.
    
දෙවැනි ලෝක යුද්ධය අවසන් නමුත් එහි බියකරු ධර්මතා තවමත් අපට වලංගුයි. අතීතයෙන් යහපත් අනාගතයකට පිවිසෙන්න මේ නවකතාවලින් පුළුල් බලපෑමක් පාඨකයාට ලැබෙනවා කියලා මම හිතනවා. ඒකයි මම පරිස්සමින් පොතක් තෝරාගෙන පරිවර්තනය කරන්නේ. ජනප්‍රිය දහරාවේ පොත් පරිවර්තනය කරන්න පිරිස ඕනෑ තරම් ඉන්නවා. මම ඒ රැල්ලට නොයන්නේ හොඳ පොතක් පරිවර්තනය කළාම පාඨක මනස සුවපත් කිරීමට දායක විය හැකි නිසයි. එතැනදී මම තෘප්තිමත් වෙනවා වගේම මාගේ පරිවර්තන වෙසෙසින් පාඨක ලොවට එක් බින්දු මාත්‍රයක හරි සේවාවක් වෙනවා කියලා හිතනවා.


• කමලා මාකන්දයාගේ NECTAR INA SIEVE  කෘතිය අමා පැන් සොයන්නී’ නමින් ඔබ ඔබේ නවතම පරිවර්තන නවකතාව හැටියට සිංහලට නඟනවා. එය ඉන්දීය පශ්චාත් යටත් විජිත සමයක ලියැවුණත් නූතන ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍යයේ පුරෝගාමී කෘතියක් ලෙස සැලකෙනවා. මේ කෘතියේ ඔබ දකින විශේෂත්වය කුමක්ද?
    
මේ කෘතිය ඉංග්‍රීසි බසින් පළ වන්නේ 1954දී. අද වනවිට ලොව විවිධ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යයන සඳහා එය නිර්දේශිත නවකතාවක් බවට පත්ව තිබෙනවා. අපේ රටේත් උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා මේ නවකතාව නිර්දේශිතයි. මේ කතාවේ පදනම නවසිය පනහ දශකයටත් පෙර ඉන්දීය සමාජයයි. ඒත් ඒ කතාව, තේමාව, පාත්‍ර චරිත දිළිඳු ගොවි සංස්කෘතිය, සිරිත් විරිත්, ආකල්ප සහ ගැහැනියකට ඇති ස්වාධීන හෝ පරාදීන සංස්කෘතික චින්තනය මාකන්දයා ගොඩනගන්නේ සර්වකාලීන වටිනාකමක් සහිතවයි.

අපේ රටේ ග්‍රාමීය දිළිඳු ගොවි ජනයාගේ ජීවන සෙවණැල්ල මේ කතාව මත අපූරුවට පතිතවෙලා තියනවා. ඔබ පානම ගොවිජන දිවිය ඇසුරු කළොත් කමලා පෙන්වා දෙන රුක්මණී චරිතය වටා කේන්ද්‍රීය ගෙවිලිය දිළිඳු නමුත් ආත්ම විශ්වාසයෙන් වඩා යහපත් හෙටක් ප්‍රාර්ථනා කරන ගැහැනිය ඔබට මේ පොතෙන් හමු වෙනවා. රුක්මණී චරිතය මගින් නවකතාකාරිය මහපොළොවේ බිම් අයිතිය නැති අන්ත අසරණ ගෙවිලිය ප්‍රශ්න කරනවා. ඇයගේ ලේඛන රීතිය ඔබ බලන්න. හරියට දියවැලක් වගේ ගලාගෙන යන්නෙ.  දුක් කම්කටොලු ගල්පර අතර හිරවෙමින් සොම්නස හා ආනන්දය නම් තැනිතලා මතින් දිවයන මාකන්දයාගේ ලේඛන රීතියම ඕනෑම පාඨකයෙක් දැඩි ලෙස ග්‍රහණයට ගැනීමට සමත් වෙනවා. මම හැකිතාක් වෑයම් කළා. ඒ භාෂා රටාව ඒ ලෙසින්ම සිංහල පාඨකයාට සමීප කරන්නට.


• මේ නවකතාවේ කතා නායිකාව වන රුක්මණීගේ චරිතය අර්ධ ස්වයං චරිතාපදානයක් ලෙසයි බටහිර නවකතා විචාරකයන්ගේ අදහස. වරෙක අතීත මතක දාමයක් ලෙස දිග හැරෙන නවකතාව උන්හිටි ගමන් රුක්මණීගේ සිතිවිලි ලෝකය වර්තමානයට ඔසවා තබා වත්මන් භාෂා රීතියකින් දිග හැරෙනවා. එය නව්‍ය අකෘතියක්ද?

පොත කියවාගෙන යනවිට මටත් එක්වරම මේ වෙනස දැනුණා. ඒත් දිගටම කියවන විට එය කතුවරියගේ පරිවර්තන ආකෘතික චිචිත්‍රතාවක් බව වැටහෙන්න පටන් ගන්නවා. එවිට පාඨකයාට හැඟී යනවා අතීතයේ වුවද ඇතැම්  ස්ථාන තිබෙනවා අපට අමතක කළ නොහැකි. අප රිදව රිදවා අප සමගම ජීවත් වෙන. ඒ වගේම අප වැඩියෙන්ම ඇලුම් කරන සිදුවීම් හෝ ස්ථාන අන්න ඒ තැන් අපට දැන්වීම පිණිස තමයි ලේඛිකාව රුක්මණී ලවා වත්මන් පරිසරයට පිවිසෙන්නේ.


• ලංකාවේ උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය හදාරණ ළමයින්ට NECTAR IN A SIEVE කෘතිය නිර්දේශිත එක් නවකතාවක්. ඒත් උසස් පෙළ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට නිර්දේශ වී තිබෙන්නේ බැද්දේගම පරිවර්තන නවකතාවයි. මේ නවකතා දෙක ඔබ සසඳන්නේ කොහොමද?

මේ නවකතා දෙක නියෝජනය කරන්නේ අන්ත දෙකක්. බැද්දේගම නවකතාව දරිද්‍රතාවෙන්ද පාරිසරික පීඩාවන්ගෙන් ද ගහණ ජීවිතයේ උකටලීව, දුර්මුඛව වන දිවියක වෙසෙන මිනිස් ප්‍රාණීන් පිළිබඳ කතාවක්. එයින්, නූතන නවකතා  කියවන අද දවසේ උසස් පෙළ දරුවන්ට ජීවිත යථාර්ථය හෝ සාර්ථකත්වය උදාවන්නේ නෑ. ඇල්මැරුණු ජීවිතය පිළිබඳ ශෝකීරාව හා අධි විශ්වාස පසුපස යන කොටිම්ම කිව්වොත් මුග්ධ ගැමි චින්තනයක් තමයි මතු වන්නේ. නවීන තාක්ෂණික ලෝකයක සිටින අපේ දරුවන් බැද්දේගම කෙසේ පිළිගන්නවාද යන්න ගැටලුවක්.
    
ඒත් කමලා මාකන්දයාගේ NECTAR IN A SIEVE දිහා බැලුවොත් එහි කතා කරන්නේ රුක්මණී නම් කාන්තාව අප්‍රතිහත ධෛර්යයෙන් ගොඩනගන ජීවිතයයි. ජීවිතය සමග අරගල කරන බිම් අයිතිය නැති කුලී ගොවියකුගේ බිරිඳක් ඇය. ඇය ළමා විවාහයක ආවත් ජීවිතය දිනිය යුතුය කියන හෙට දවස කෙරෙහි බලාපොරොත්තු තබන්නියක්. ඇය දිවි ගෙවන දිළිඳු ග්‍රාම පරිසරය නාගරීකරණය වෙනවා. ඇයගේ දරුවන් සමග ඇතිවන ගැටුම් ස්වාමියා සමග ඇති බැඳීම් මේ සියල්ල දරාගෙන සංස්කෘතික ගැහැනියකගේ භූමිකාව සංවේදී ලෙසත් අදට ගැළපෙන අයුරිනුත් කතුවරිය ගෙත්තම් කරනවා. එවැනි කෘති වීර චරිත ඔස්සේ ජීවිතය හැඩගස්වා ගන්නට දරුවන්ට බොහෝ සේ බලපානවා.

 
• ලංකාවේ මේ කාලයේ පළවන බොහෝ පරිවර්තන කෘති ඉතා දුර්වල භාෂා රටාවකින් ලියැවෙන බවට චෝදනාවක් තියෙනවා. කතා තේමා  තෝරා ගැනීම සහ ඉදිරිපත් කිරීම අතින් වෙළෙඳ  පොළ ලාබයට වැඩි ඉඩකඩක් තිබෙන බවයි පෙනෙන්නේ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

දැන් බොහොමයක් පරිවර්තන බිහිවන්නේ ඉංග්‍රීසි සිංහල පමණක් නොව මුල් කෘතියෙන් කියැවෙන සංස්කෘතික පරිසරය පිළිබඳවත් මනා වැටහීමක් නැතුවයි. ජනප්‍රිය පොත් හඹායාම ප්‍රවණතාවක් වෙලා. ඒ වගේම පාඨකයන් විවිධ උපක්‍රම මගින් වෙළඳ පොළේ ගොදුරක් බවට පත් කර ගන්නවා. මේ නිසා ගූගල් පරිවර්තක පිරිසක් බිහිවෙලා තියන වග බැලූ බැල්මට පෙනෙනවා. පරිවර්තන පොතක් මෙරට වෙළඳපොළට යොමු කරන විට ප්‍රකාශන ආයතනවලටත් වගකීමක් තියනවා. හරි පොතක් නිවැරදි ලෙස පරිවර්තනය කරලා  නිවැරදි භාෂාවෙන් ඉදිරිපත් කිරීම අතහැර දමා ලාබය පමණක් සොයනවා නම් ඔබ කියන ගැටලුවලට අනාගතයේදී පිළිතුරු ලැබෙනවා.

ඒ තමයි අලුත් පරපුර බොහෝ විට දැන් කියවන්නේ ඉංග්‍රීසියෙන්. ඔවුන් හරසුන් ලාබ සිල්ලර පරිවර්තන කියැවීම අත්හරිනවා. එවිට වෙළඳපොළ පාඨක විශ්වාසය පලුදු වී අවසන්. උසස් පරිවර්තනයක් යනු කුමක්දැයි පාඨක සිත්හි මතයක් අදහසක් ඇතිවිය හැකි මට්ටමේ කෘති පරිවර්තනයට අපි යොමුවිය යුතුයි. පරිවර්තනය පිණිස උසස් ගණයේ පොතක් තෝරාගැනීම නීත්‍යනුකූල අවසර ගැනීම හා නිරවුල් ලෙස අසංක්ෂිප්තව පරිවර්තනය කළ යුත්තේ කෙසේද යන්න පරිවර්තකයාට වැටහීමක් තිබිය යුතුයි.


• විශ්ව සාහිත්‍යයේ හොඳ පොත් වරින්වර අපේ පරිවර්තන සාහිත්‍යයට එකතු නොවෙනවා නොවෙයි. ඒත් ඒවා පාඨකයා වෙත සමීප කළ හැකි මැදහත් විචාර ඇගයුම් ආදිය නිසි පරිදි ගොඩනැගෙනවාද?

ඔය ගැටලුව අපට හැමදාම තියනවානේ. මම හිතන්නේ ඇගයුම්වලදී සම්මාන උත්සවවලදී සම්මාන කමිටු සංවේදී ලෙස පරිවර්තන පොත් කියවන්නේ නෑ. ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළා නම් ඒ කෘතියේ මුල් පිටපත සමග කියැවීම අනිවාර්යයි. වෙනත් භාෂාවලින් ලියැවුණු පොතුත් එහෙමයි.
    
බොහෝ විට අපේ සාහිත්‍ය කමිටු අගයන්නේ නිවැරදි පරිවර්තන කෘතිය නොවෙයි. ඔවුන් අවසානයේ තැන දෙන්නේ තමන්ගේ කල්ලියේ සගයන්ටයි. මට ඒ සඳහා ඕනෑ තරම් නිදසුන් කියන්න පුළුවන්. දැඩි වෙහෙසක් මහන්සියක් දරලා පරිවර්තනය කරන උසස් නවකතා පරිවර්තන දෙස බොහෝ සම්මාන කමිටු ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ. මේ තත්ත්වයත් යහපත් පරිවර්තන සාහිත්‍යයක් බිහි නොවීමට හේතුවී තිබෙනවා. මේක ශෝචනීය තත්ත්වයක්.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (0)

බාල හරසුන් පරිවර්තන පොත් වැහි වැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site