ජීවිතය නිවැරැදි මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අම්බලන්ගොඩ එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.
පිට ගමකින් පැමිණ පදිංචි වූ අයකු හෙයින් ගම්මු ඔහුට කීවේ -පිටගමයා” කියාය. පිටගමයා නිවස තනා ගත්තේ දකුණු පළාතේ එක්තරා ගමකය. එම පවුලේ බිරිඳ, බිරිඳගේ මව හා පුතුන් තිදෙනෙක් වූහ. අලුත් ගමට පැමිණ කෙටි කලකින් බිරිඳගේ මව ඔත්පල වී එක්තැන් වූවාය. ඇයට උවටැන් කිරීමට බිරිඳට ඉඩ නුදුන් පිටගමයා, දෙස් දෙවොල් තබමින් නැන්දනියගේ මරණය ඉක්මනින් පැතුවේය.
ගමට පැමිණි දා සිට නිතර සුරා පානය කර බිරිඳ සමග අරගල කර ගන්නා පිටගමයාගේ මුවින් නිතර පිට වන්නේ පරුෂ වචන හා ශාප කිරීම්ය. ඉඩම් කෑල්ලේ සිව් පැත්තේම වැට මායිම් ටිකින් ටික පුළුල් කිරීමට උත්සාහගත් හෙයින්ද, ගමේ සාමකාමී බවට වූ හානිය නිසාද අසල්වාසීහූ හා ගම් වැසියෝ ඔහු සමග ඇසුරක් නොපවැත්වූහ.
දරුවෝ ද නිසි අධ්‍යාපනය නොලදින් රස්තියාදු කණ්ඩායම් වලට එකතු වූහ. දැනුම් තේරුම් ඇති වූ පසු පියාගේ කුරිරුකම් නොඉවසූ ඔවුන් කොළඹට පලා ගියහ. ගමටම මහ හිසරදයක් වූ පිටගමයා බල්ලෙක් ඇති කළේය. බල්ලා ද ස්වාමියා මෙන් දුෂ්ට ගති ඇති සතෙකි. කිසිවකුට වත්තට පැමිණීමට ඉඩ නොදෙයි. වත්තෙන් කිසිවක් ගෙන යාමට ඉඩ නොදෙයි. මල පහ කරනුයේ අනුන්ගේ වතු වලය. කලකට පසු පිටගමයා දැඩි සේ අසනීප විය. එක් පුතෙකු ප්‍රතිකාර සඳහා තම නිවසට කැඳවා ගෙන ගියේය. ඊට ගත වූ මාස කීපය පුරා නිවස රැක්කේ බල්ලාය.
සුවය ලැබූ පිටගමයා යළි නිවසට පැමිණියේය. එහෙත් ඔහුගේ දුෂ්ට කම් අඩු වී නොතිබුණි. බලු පොරයකට මැදි වූ බල්ලා බෙල්ලේ තුවාලයක් ද ඇතිව නිවසට පැමිණියේය. පිටගමයා ඊට ප්‍රතිකාරයක් නොකළෙන් තුවාලය පැසවා දුඟඳ හමන්නට විය. අසල්වැසි නිවෙස් වලට පැන සැඟවී සිටීමට බල්ලා උත්සාහ ගතී. සමහර අසල්වාසීන්ට බල්ලා ලැග සිටි හෙයින් නිවෙස් සේදීමට ද සිදුවිය. අවට අයගෙන් එල්ල වූ විරෝධතා නිසා පිටගමයා කළේ බල්ලා අල්ලා වත්තේ ගසක ගැට ගසා තැබීමයි. ප්‍රතිකාරයක් හෝ ආහාරයක් නොලද බල්ලා තුවාලයේ වේදනාවෙන් කරන කෑ ගැසීම අසල්වාසීන්ට මහත් පීඩාවක් විය. ඔවුන්ගෙන් යළිත් චෝදනා එල්ල විය.
එදා රාත්‍රී වට මහවැසි නිසා ගඟේ වතුර ඉවුරු මට්ටමට ඉහළින් ගලා ගියේය. උදේ පාන්දර අන් ගැමියන් එළි පහළියට බැසීමට පෙර පිටගමයා බල්ලා ඇද ගෙන ගඟේ පාලම මතට ගියේය. බැඳ තිබූ දම්වැලෙන් බල්ලා ඔසවා හැකි වෙර යොදා බල්ලා ගඟට විසි කළේය. හඬක් නොනගාම ඌ ජල කඳට සැඟවී ගියේය.
සිද්ධියෙන් පසු වැඩි කලක් ගත නොවිණි. රා පොලේදී වූ කතා බහක් දිග් ගැස්සී වැදුණු පොලු පහරකින් පිටගමයා ඔත්පල විය. වේදනාවෙන් කෑ මොර ගසන්නට ද පරුෂ වචනයෙන් බැන වදින්නටද වූ අතර ගම්මු ද ඔහුට කරුණාවක් නොදැක් වූහ. අසනීපය කොතරම් උග්‍ර වීද යත් වස්ත්‍රයක් ඇද සිටිද යන්න පවා අමතකවිය. නිර්වස්ත්‍රව ඇවිදින්නට යාමට තැත් කරයි. මෙය වැළැක්විය නොහැකි විට බිරිඳ කළේ කාමරයකට දමා දොර වසා තැබීමයි. දොරට තඩි බෑම, පරුෂ වචන කීම නිමක් නැත.
වැසි සහිත එම රැය ගෙවී පහන් විය. තේ කෝප්පයක් ද අතැති බිරිඳ දොර හැරියාය. පුදුමයකි! පිට ගමයා එහි නැත. ඇයගේ හිස මොළ රත් විය. කෑ ගැසුවද අසල්වාසීහූ නොපැමිණියහ. ඇය මිදුලට ආවේය. මඬේ සටහන් වි තිබූ පා සලකුණු ඔස්සේ ගියේය. පා සලකුණ ගඟේ ඉවුර ළඟින් නිමා විය. ගඟේ වතුර වේගයෙන් පහළට ගලා යයි. එම වතුර ගලා යන්නේ පිටගමයාගේ සිරුර ද සඟවා ගෙනය. එදා බල්ලාට දැණුනු මරණ බය පිටගමයාට ද දැනෙන්නට ඇත. පිටගමයාට මොලොව දීම කළ කම් පල දුන්නේ එසේය.
කුණ්ඩසාලේ දම්බරාව වසන්ත හේරත් බණ්ඩාර මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ඌව පළාතේ එක්තරා ගම් පෙදෙසක මෑත කාලයේ සිදු වූ මෙම කතාවේ කතානායකයා සුනිල් ලෙස හඳුන්වන්නම්. සුනිල් උපන්නේ දිළිඳු පවුලක දෙවැනි දරුවා ලෙසය. මව්පියන් දුක් මහන්සි වී දෙදෙනාටම ඉගැන්වීමට උත්සාහ කළේ ඔවුන්ගේ අනාගතය සැපවත් කිරීම උදෙසාය. අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක් වූ සුනිල්ට රියදුරු පුහුණුව ලබාදීමට ඔවුන් තීරණය කළේ දෑතේ රැකියාවක් හෝ කරගෙන සතුටින් ජීවත්වනු දැකීමටය.
සුනිල්ගේ වැඩිමල් සොහොයුරා අධ්‍යාපනය හමාර කර යුද හමුදාවට බැදුණි. රියදුරු පුහුණුවෙන් ටික කලකට පසු සුනිල්ටද රජයේ දෙපාර්තමේන්තුවක රියදුරෙකු වශයෙන් රැකියාවක් ලැබුණි. ඉන් පසුව සුනිල්ගේ අතමිට සරු වූවත් ඔහු කිසිදා දෙමව්පියන්ට නම් සැලකුවේ නැත. ඒ යුතුකම ඉටු කළේ හමුදාවේ පුතාය. හමුදාවේ රාජකාරි කරන ඔහු අවුරුදු තුන හතරක් ගිය තැන විවාහ දිවියට එළැඹුණි. ටික කලකින් දරුවන් දෙදෙනකුගේ පියකු බවට ද පත් විය. නමුත් සුනිල් තවමත් තනිකඩය.
මෙලෙස කාලය ගතවෙද්දී රියදුරු රාජකාරිය කරන සුනිල් අතින් අහස පොලොව නුහුලන නොපනත් ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණි. ඒ බව ඔහුගේ මව්පියන්වත් සොහොයුරන්වත් දැන සිටියේ නැත. නමුත් සුනිල්ගේ මිතුරෝ එම ක්‍රියාව හොඳාකාරවම දැන සිටියහ. එනම් වාහනය පදවන සෑම අවස්ථාවකදීම මාර්ගයේ බල්ලෙකු දුටුවහොත් වාහනයට හප්පා යට කර මරා දැමීම ඔහුගේ සිරිතක් බවට පත්ව තිබීමය. දිනක් පාර හරහා ගමන් කළ බල්ලන් රංචුවක්ම එලෙස වාහනයට යට කළේය. ඉන් බල්ලන් තුන් දෙනෙක් එම ස්ථානයේම මිය ගිය අතර අනෙක් බල්ලෝ වාසනාවකට මෙන් බෙරී පලා ගියෝය. ඇතැම් විට මාර්ගයෙන් පිටත (පේමන්ට් එකේ) බල්ලෙකු සිටිනු දුටුවත් ඌ යට කර නොදැක්කා සේ ගමන් කිරීමට තරම් ඔහුගේ සිත සැහැසි විය. දිනක් ආයතන ප්‍රධානියකු සමගින් ගමන් කරන විට ද එලෙස බල්ලෙකු යට කරනු දුටු ආයතන ප්‍රධානියා එම ශබ්දය කුමක්දැයි නිකමට මෙන් ඇසූ විට ඔහු දකින්නට නැති බව සිතා සුනිල් පවසන්නේ පොල්ලෙල්ලක් අසු වූ බවය. කිසිවක් නොකියා ටික දුරක් ඉදිරියට ගිය තැන ආයතන ප්‍රධානියා බල්ලන් රැලක් පාර අයිනේ සිටිනු දැක සුනිල්ට පවසන්නේ ඉදිරියෙන් පොල් ලෙලි ගොඩක් ඇති නිසා පරෙස්සමින් රථය ධාවනය කරන ලෙසය. සුනිල් වසන් කරන්නට තැත් කළත් ආයතන ප්‍රධානියා සිද්ධිය දැක ඇති බව ඔහුට තේරුණේ එවිටය. මිතුරන් කොතෙක් අවවාද කළත් ඔහු ඒවා ගණනකටවත් නොගෙන සුපුරුදු ක්‍රියාව දිගටම කරගෙන ගියේය. මෙම පාපී ක්‍රියාව අනුමත නොකරන මිතුරන්ට ඔහු පවසන්නේ බල්ලන්ට පාරේ රාජකාරියක් නොමැති බවය.
මේ අතර උතුරේ ක්‍රියාන්විතයේ සිටි තම සොහොයුරා ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේය. ඔහු මිය ගිය පසු සොහොයුරාගේ බිරිය හා දරුවන් දෙදෙනා බාරගත්තේ සුනිල්ය. සුනිල් ඇය නීත්‍යානුකූලව විවාහ කරගත්තේ නැත. සොහොයුරාගේ වැටුප බිරිඳට ලැබුණි. එම මුදල් ද සුනිල් උපායශීලීව ලබාගෙන ඔහුගේ නොපනත් ක්‍රියාවන්ට වියදම් කරන්නට විය. මිතුරන් සමග කා බී විනෝද වීමටත් වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමටත් යොමු වූ සුනිල්ට කිසිවක බරක් පතලක් තේරුණේ නැත. ටික කලකින්ම ඔහු කෙරෙහි කල කිරුණු සොහොයුකරාගේ බිරිද දරුවන් දෙදෙනා ද රැගෙන සුනිල් අතහැර දමා යන්නට ගියාය. මෙම සිදුවීමෙන් සිත් තැවුලට පත්ව සිටි සුනිල්ට රැකියාව කෙරෙහි පෙර තිබූ ඇල්මද ටිකෙන් ටික අඩු විය. රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම හේතුවෙන් සහ විනය හේතු මත රැකියාවද අහිමි විය. ඉන් වඩාත් කල කිරීමට පත්ව කල්පනා කරමින් සිටි ඔහුට ටික කලක් යන විට උමතු රෝගය හටගත්තේය. දෙමව්පියන් සහ අසල්වැසියන් එක්ව ප්‍රතිකාර සඳහා යොමු කළ ද ඵලක් වූයේ නැත. දිනෙන් දිනම රෝගී තත්ත්වය උත්සන්න වුවා මිස අඩුවක් වූවේ නම් නැත. අදට ද සිහි විකලත්වයෙන් මහමග ඇවිදිමින් අපා දුක් විඳිමින් ජීවත් වන්නේ ඔහු විසින් කරනු ලැබු පාප කර්ම වල ඵල විපාක නිසා බව කාගේත් හැඟීමය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බල්ලන් රියට යට කළ සුනිල්ගේ ඉරණම
රුවන් Sunday, 22 May 2016 09:11 AM
පව් කරනා සියලුදෙනාගේ ඉරණම මෙසේ විසදෙනු ඇත. (ර)