පාසල නිමවීමේ සීනු නාදය පැතිරුණි. සුරංග නොඉවසිල්ලෙන් බලා සිටියේ මේ මොහොත එනතෙක්ය. ඉතා ඉක්මණින් පොත් සියල්ල තම බෑගයට දමාගත් ඔහු කාටත් කලින් පන්තියෙන් එළියට බැස්සේ ගෙදර යාම සඳහාය.

 

1
ප‍්‍රධාන ගේට්ටුව ආසන්නයෙන් පැමිණි ඔහු වටපිට බැලූවේ සිය සොහොයුරා පෙනෙන තෙක් මානයක නොසිටි බැවිනි.


කොක්කු පෙළක් මෙන් ඇදී එන සිසුන් දෙසට සුරංගගේ නෙත් යොමුවිණි. තම සහෝදරයා එහිද පෙනෙන්නට සිටියේ නැත. ‘‘මල්ලී ඇයි තාමත් නැත්තේ?’’ කඬේටවත් ගියාද? පාර මාරු වූ සුරංග පාසලේ පසුපස වන්නට පිහිටා ඇති වෙළඳසල වෙත ගියේ අඩියට දෙකටය.


ඒ යනවිට සමිත් සිය සඟයන් සමඟ බීම බොමින් විනෝද වී සිටිනු ඔහු දුටුවේය. ඒ මොහොතේ ඔහුට ඇතිවුයේ කේන්තියකි.


සුරංග හෙමින් සීරුවේ ඔහු ළඟට ගියේ ගොදුරක් ඩැහැ ගැනීමට පැමිණි බළලකු මෙනි. සුරංග කෝපයෙන් ඔහුගේ කන මිරිකුවේය. සමිත්ගේ කන මිරිකීම නිසා ඔහු පණුවකු මෙන් ඇඹරෙන්නට විය. සිය සොයුරා වේදනාවෙන් මිරිකෙනු දුටු සුරංග ඔහුගේ කන අතහැරියේය.


‘‘හා......දැන් යමු ගෙදර.......’’ සුරංග සමිත් දෙස බලමින් එසේ පැවසුවේ දැඩි කෝපයෙනි. තම බෑගය කරේ එල්ලා ගත් සමිත් සුරංග සමඟ නිවස බලා යන්නට විය.


සුරංග පාසලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සමිත් ඉගෙන ගන්නේ 7වන ශ්‍රේණියේය. ඔවුන් දෙදෙනාම පාසල් වැඩවලට ඉතා දක්ෂය. සුරංග මහන්සි වී වැඩ කළත් සමිත් කෙළිදෙලින් කාලය ගෙවීමට දැඩි කැමැත්තක් දැක්වීය.


සමිත්ද පාසලේ අධ්‍යන කටයුතු හොඳින් සිදු කළේ සුරංගගේ කන්කෙඳිරිය නිසාය.


‘‘අම්මේ අයියා මගේ කන මිරිකුවා.......’’


ඉස්තොප්පුවේ පුටුවේ වාඩිවී පෙරමඟ බලන් සිටි මව වෙත හීයක වේගයෙන් දිව එමින් සමිත් පැවසීය.


ඇයි මගෙ පුතාට අයියා එහෙම කළේ? අම්මා එසේ පැවසුවේ ඔහුගේ හිස අතගාමිනි.


මම මෙයාව හැමතැනම හෙව්වා අම්මේ.... බැරිම තැන තමයි කඬේට ගියේ..... බලද්දී යාළුවොත් එකක් හිනා වෙවි ඉන්නවා. ඒකයි මම ගිහින් කනෙන් ඇද්දෙ.....


සුරංග එසේ පැවසුවේ ගෙට ඇතුළු වෙමිනි.


‘‘ඇයි පුතේ කඩවල් ගානෙ රස්තියාදු ගහන්නේ? දන්නවානෙ අයියා ඔයා එනකං බලන් ඉන්නවා කියලා.’’


කාලය ගතව යන්නට විය. සුරංග සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූයේ විශිෂ්්ඨ සාමාර්ථ හයක්ද සහිතවය. තම පුත‍්‍රයා විභාගයෙන් ඉහළින්ම සමත් වූ විට මවටත් පියාටත් ඇතිවූයේ කියා නිම කළ නොහැකි සතුටකි.


විභාගයෙන් පසුව සුරංග උසස් පෙළ හදාරන්නට වූයේ කලා විෂය ධාරාවෙනි.


ඉන්පසුව අයියාගේ අඩිපාරේ යාමට සමිත් ඉටාගත්තේ බලාපොරොත්තු රාශියක් හිතේ තබාගෙනය. ඒ වෙනුවෙන් ඔහු උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කළේය. 


සුරංග පළමු වරම උසස් පෙළ විභාගය සමත්වී විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තේය. පියා මිය ගියේ ඔහු විශ්ව විද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය ලබද්දීය. දැඩි අඟහිගකම් මැද්දේ ඔහු සිය අධ්‍යාපන කටයුතු හොඳින් ඉටු කළේ මවට බරක් නොවන අයුරිනි. ජීවිතය ගැටගසා ගත්තේ අමතර පන්තිවල ඉගැන්වීමෙනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකළ ඔහුට රජයේ පාසලක ගුරුපත්වීමක් ලැබුණේ සියලූම බලාපොරාත්තු, සිහින මල්ඵල ගන්වමිනි. ගම් ප‍්‍රදේශයේ පාසලකටම ඔහුට ඒමට හැකියාව ලැබුණේ ඔහුගේ සතුට දෙගුණ, තෙගුණ කරමින්ය. සමිත් උසස් පෙළ ඉහළින්ම සමත්වී විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත්තේද මේ කාලයේදීය. ඒ කාලසීමාව ඔවුන්ට සුබපල ගෙන දුන්නක් මෙන් විය.


තම පුතාගේ කල වයස සම්පූර්ණ වී ඇති බව සුරංගගේ මවට වැටහුණේ මේ කාලයේදීය. පුතාට ගැළපෙන කතක් විවාහ කරදීමට සුදුසු තැන් කිහිපයක්ම ඈ සොයන්නට වූවාය. සුරංගගේ මව ඔහුගේ කාමරයේ දොර ළඟට ගොස් කතා කරන්නට වූයේ ඒ ගැනය. ඇය කාමරය තුළට යන විටත් සුරංග පොත් මේසය ළඟට වී පොතක් කියවමින් සිටියේය. ඔහුගේ පොත් මේසය වටාම තිබුණේ පොත් ගොඩකි.


මොනවද පුතේ මේ තරම් ගොඩගහගෙන බලන්නේ?


ඉස්කෝලේ ළමයිගේ පොත් තමයි අම්මේ....


හ්ම්...... පුතේ මම ආවෙ වැදගත් දෙයක් කතා කරන්න.


ඒ මොකද්ද අම්මේ...... සුරංග පැවසුවේ කුතුහලයෙන් මෙනි.


‘‘මම ඔයාට ගෑණු ළමයෙක් හෙව්වා. හොඳ කෙල්ලෙක්. ඉගෙනගෙනත් තියෙනවා. ගෙදර වැඩටත් දක්ෂයි.’’


මව එසේ පවසන විට සුරංග මවගේ කතාවට අවධාණයක් යොමු නොකළ බව අඟවමින් සිය කාරියේම යෙදී සිටියේය. ටික වේලාවකින් ඔහු සිය මවගේ මුහුණු බැලීය. ඇගේ මුහුණට ආලෝකයක් වැටී ඇති බව ඔහු දුටුවේය.


‘‘අම්මට හොඳනම් ඉතින් මමත් කැමතියි.’’ අම්මා පැවසූ දෙයට සුරංගගේ පිළිතුර එය විය.


ඉන් දින කීපයකට පසු සුරංගත්, සමිතුත් සිය මෑණියන් සමඟ ශලිනිගේ නිවසට ගියේ සුරංගගේ කැමැත්තත් ඇතිවය.


ළා රෝස පැහැති සාරියකින් සැරසී ලජ්ජාවෙන් ඉදිරියට පැමිණි ශලනි දුටු සුරංගට ඈ කෙරෙහි කැමැත්තක් ඇතිවූයේ ඇගේ සුන්දරත්වය දුටු නිසාය. පවුල් දෙකේම ආශිර්වාදය මැද ශලනිත් සුරංගත් විවාහ දිවියට එක්වූයේ බලාපොරොත්තු  සිහින පොදි බැඳගෙනය. විවාහයෙන් පසුව ඔවුහු ඉතා ප‍්‍රීතාමත් ජීවිතයක් ගත කළහ. ශලනි නිවසේ වැඩපලද මනාව ඉටු කරන්නට වූයේ නොපැකිළිවය. සුරංගගේ මෑණියන්ටද නිතර ඇප උපස්ථාන කළාය. ඇගේ කඩිසරකම දුටු මවට ඇති වූයේ පුදුමාකාර සතුටකි.


කාලය දින, සති, මාස ගතවෙද්දී විශ්වවිද්‍යාලයේ නිවාඩු ලැබීමෙන් අනතුරුව සමිත්ද නිවසට පැමිණ සිටියේය. ඔහුට ගෙදරින් තොර ලෝකයක් නොමැති තරම්ය. නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම ගෙදර පැමිණෙන්නේ අම්මාගේ කෑමවල රස බැලීමේ නොනිත් ආශාව නිසාය. ඔහු නිවසේ සිටින විට වැඩිපුරම සාත්තු සප්පායම් කරන්නේ ශලනිය. මල්ලි තේ එකක් ගේන්නද? දිනක් සමිත් පාඩම් කරන මේසය ළඟට විත් ශලනි පැවසුවාය.


‘‘හා..... හොඳ අදහසක්. මම හිටියෙත් ටිකක් නිදිමතෙන්...’’ සුළු වේලාවකින් ශලනි තේ කෝප්පයක් පිළියෙල කොට සමිත්ට ගෙනැවිත් දුන් පසු ඔහු අක්කා දෙස බලා සිනාසුණේ දැඩි ළෙන්ගතුකමකිනි. එවිට අක්කාගේ මුහුණේද සිනා රැුල්ලක් නැගුණේ ඉබේටමය. ඇය ඒ මොහොතේ ඔහු අසල තිබූ පුටුවක් ගෙන වාඩිවූවාය. ඒ අතරතුර ඇය ඔහු සමඟ ආගිය තොරතුරුද කතා කරන්නට විය.


‘‘දැන් මල්ලිට යාළු ගෑණු ළමයෙක් එහෙම ඇති නේද?’’


‘‘මට හරියන්නේ නෑ අක්කෙ කෙල්ලො.... අපි බොක්කෙන්ම ආදරේ කළාට උන් අපිට බොලොක්කෙන් තමයි ආදරේ... කැම්පස් එකේ කෙල්ලො ගැන කතා කරලා වැඩක් නෑ.’’


‘‘හ්ම්..... එහෙනම් හරියට කෙනෙක් හම්බ වෙන්න නැතුව ඇති.’’ සමිත් පැවසූ දෙයට ශලනි සිනාසී එසේ පැවසුවේ ඔහු දෙස නෙතඟින් බලමිනි.
අක්කාගේ මුවෙහි වූ සුන්දරත්වය සමිත් හරිහැටි දුටුවේ එදිනය. ඇයගේ කතාබහට දඟකාරකමට සමිත් වශී වී සිටියා බදු  විය.


කෝ අක්කේ අයියා? 


අද ක්ලාස් තුන හතරක්ම තියෙනවා. එද්දී ? වෙනවා කිව්වා. එදින පෝය දිනයක් වූ හෙයින් මවද සිල් සමාදන් වීම සඳහා ගොස් තිබිණි.


සමිත් ඒ මොහොතේ කාමරයේ සවිකර තිබූ ඔරලෝසුව වෙතට නෙත් යොමු කළේය.


2.30ත් වෙලා.... අම්මා එද්දීත් 6 විතර වෙයි.... ශලනි නැවතත් දැඩි  ඕනෑකමකින් සමිත්ට පැවසුවාය. අක්කා තමා දෙස ගිජු ඇසින් බලන බව සමිත් වරක් දෙවරක්ම දුටුුවේය. එවිට සමිත් ඉගි මරා සිනාසුණේ අක්කාගේ ඇරියුම පිළිගන්නාක් මෙනි. අසුනින් නැගිටි ශලනි සමිත් ළඟට ළං විය. අක්කාගේ චූම්බනයෙන් ඔහු වේව්ළා ගියේ විදුලියට අසුවූ පරිද්දෙනි. ඔහුගේ ගත ගැහෙන්නට වූවේය. සමිත් ශලනි දෙසට ඇදුණේ මල් පැණිවලට ඇදෙන බඹරෙකු ලෙසය. සමාජ සබඳතා සුනුවිසුනු කොට දමමින් දෙදෙනා අඹුxසැමි ඇසුර පවත්වන්නට විය. ඔවුන් දෙදෙනාටම පේ‍්‍රමාලිංගයේ යෙදෙන්නට කිසිදු බාධාවකින් තොරව සුදුසු පරිසරය සැකසී තිබිණි. ඒ දිනය ඔවුන්ගේ ජීවිතයට රහසක්ම විය. කිසිම කෙනෙකුට එය දැනගන්නට ලැබුණේද නැත. එහෙත් රහස් වැඩිකල් නොපවතී.


තම බිරිඳ සිය සොයුරාට මහත් ළෙන්ගතු බවක් පාන බව සුරංග දුටුවේය. ඔහුද මල්ලිට ගොඩක් ආදරේය. සිය බිරිඳත් එවන් ආදරයක් දක්වනු ඇතැයි ඔහු සිතුවේය. ඒ සිතිවිල්ල වැරදි බව ඔහුට වැටහෙන්නට ගතවූයේ කෙටි කාලයකි. දිනක් ඔහු හදිසියේම නිවසට ආවේ අමතක වූ පොත් ටිකක් නැවත රැුගෙන යාම සඳහාය. නිවසේ ඉදිරි දොර වසා දමා ඇති බව සුරංග ඈත සිිටම දුටුවේය. පය ඉක්මන් කළ ඔහු මුළුතැන්ගේ ඔස්සේ ගෙට ඇතුළු වූවේ ඉතා නිශ්ශබ්දවය. දැඩි නිහඩතාවක් තිබූ හෙයින් සුරංග තම සොහොයුරාගේ කාමරයට ඇතුළු විය. හදිසියේම ඔහු දුටු දෙයින් විස්මයට පත් විය. හදවත නැවතෙන්නාක් මෙන් දැනෙන්ට වූයේ ඒ මෙහොතේය.


ශලනි තම සොහොයුරාට තුරුළු වී සිටිනු දුටු විට සුරංගට තරු විසිවෙන්නට වූයේය. සිය සැමියාගේ හදිසි පැමිණීම දුටු ශලනිද තිගැස්සෙන්නට වූයේ කර කියා ගත දෙයක් නොමැතිවය.


සුරංග වහා කාමරයෙන් පිටව ගියේ කියා නිමකළ නොහැකි ශෝකයක් සිතේ තද කරගනිමිනි. නමුත් සිදුවූ දේ පිළිබඳ සුරංග ශලනි සමඟ රණ්ඩු කරන්නට ගියේ නැත. එහෙත් සිත තුළ තෙරපුණු සිතිවිලි එන්න එන්්නම දැඩි වී ගිනිකන්දක් මෙන් පුපුරන්නට ළංව තිබිණි.


විවිධ විකාරරූපී සිතුවම් ඔහුගේ සිතේ ඇදෙන්නට වුවේය. ඒවා මැඬලීමට තරම් ශක්තියක්ද ඔහුට නොමැති තරම්ය.


ඔහුගේ මුහුණේ බෑරූරුම් ස්වරූපයක් තිබෙන බව ශලනි වරින් වර දුටුවාය.


එදිනෙන් පසුව පාසලට ගිය පසුද සුරංගට නිසි පරිදි වැඩ කටයුතු කරගත නොහැකිය. ඔහුගේ සිත ඒ අතට මේ අතට දිව ගියේය. කල්පනා කිරීමත්, අධික වෙහෙසත් නිසා ඔහුගේ ගත දුබල වූවේය. හිතේ තුවාලය වරින් වර පෑරෙන්නට වුණේ ඒ නිසාය. සුරංග මානසික රෝගයකින් පෙළෙනවා වැනි ලක්ෂණයන් ඔහුගේ හැසිරීම් තුළින් රූපණය විය. පවුලේ උදවිය ඔහුව රෝහල් ගණනාවකට ගොස් ප‍්‍රතිකාර කළේය. එහෙත් ඒ කිසිවකින් පලක් වූයේ නැත. මම අයියාට ද්‍රෝහි වුණා. ගුණ මකුකම් කළා. මට මේ තරම් උදව් උපකාර කරපු අයියට මම මේ මොකක්ද කරපු පව් වැඬේ. සමිත්ගේ හිත ඔහුගෙන්ම ප‍්‍රශ්න කළේය. ඒ ගැන සිතන විටද ඔහුට දැනුණේ කියා නිමකළ නොහැකි තරමේ වේදනාවකි. ඔහුගේ දෙනෙතින් කඳුළු නොනවත්වාම ගලායන්නට වූයේ ඒ නිසාය.


අයියා සුව කරන්නට සමිත්ද මහන්සි ගත්තේය. එහෙත් කෙතරම් කාලයක් ගත වුවද රෝගී තත්ත්වයේ අඩුවක් නොවුනි. ඔහු බලාගත් අත බලා සිටින්නට වූයේ උමතුවූවකු මෙනි. සුරංගගේ මාසික වැටුප ශලනිට ලැබුණි. ඔහුට අවශ්‍යය බෙහෙත් හේත්ද ගෙදරට අවශ්‍යය අඩුම කුඩුමද ගත්තේ ඒ මුදලිනි. ශලනිගේ මෙම ක‍්‍රියාකලාපය නිසා සැමියාට මෙබඳු ඉරණමක් අත්වේයැයි ඇය කිසිසේත්ම නොසිතන්නට ඇත.


තමා කළේ මොනතරම් වැරදි දෙයක්ද කියා ඇයට වැටහුණේ සුරංග මානසික ලෙඩෙක් වී දුක් විදින ආකාරය දුටු විටය. තමා නිසා සැමියා රෝගී වූ බව ඇගේ සිත දනී.


සුරංග තවමත් ජීවත්වන්නේ රෝගියෙකු පරිද්දෙනි. සුරංගගේ මව ඔහුට සාත්තු සප්පායම්  කරමින් ජීවත් වන්නීය. ශලනිද මේ නිවස අතහැර දමා ගියේ නැත. එහෙත් ඇය සමිත්ගේ ආදර සම්බන්ධයද නතර නොකළාය.


විවාහයත් ආදරයත් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති ශලනි නිසා සුරංගගේ ජීවිතය විනාශයට පත් විය. සමිත්ට තමා උපන්දා සිට ජීවත් වූ නිවස පවා අහිමි විය. මේ සියල්ල අතර මැද සුරංගට ලැබෙන වැටුප භුක්ති විදිමින් ශලනි ජීවත් වන්නේ තම හෘද සාක්ෂියට එකඟ නැති බිරිඳක් වශයෙනි. සමාජය ඉදිරියේද ඇය වරදකාරියක වී ඇත. 

m