IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුංචි ඡන්දය දෙපැත්තට අදින්නෝ

වත්මන් තත්ත්වය යටතේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට මැතිවරණයකදී සියයට පනහක ඡන්ද සංඛ්‍යාවක් ලබාගත නොහැකි යැයිද ජනතාවට දේශපාලනය හා මැතිවරණ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා  ප්‍රකාශ කොට තිබිණි.

ඒ මහතා එම ප්‍රකාශය කර තිබුණේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ‘‘2023/2024 ජාතික නීති සම්මන්ත්‍රණය’’ අමතමිනි. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාද මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය.

කිසිදු පක්ෂයකට මැතිවරණයකදී සියයට පනහක ඡන්දයක් ලබාගත  නොහැකි යැයි ජනාධිපතිවරයා කළ  මෙම ප්‍රකාශයට දැන් විරුද්ධ පක්ෂ අභියෝග කරමින් සිටී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ එම ප්‍රකාශය සත්‍යයදැයි බලන්නට හැකි නම් ඕනෑම මැතිවරණයක් පවත්වන ලෙසය.

මේ අතර අග්‍රවිනිශ්චයකාරවරයා හමුවේ කළ මෙම ප්‍රකාශය දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට කළ නොමනා බලපෑමකැයි ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කොට තිබිණි.

ඔහු එහිදී සඳහන් කරන්නේ වහා පළාත් පාලන මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා හා එම මැතිවරණ නොපවත්වන ලෙස ඉල්ලා පවරා ඇති  නඩු හා ඒවාට අදාළව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩු පිළිබඳවය.

එම නඩුවලදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව සිටින්නේ නියමිත පරිදි ඉකුත් මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු වුවත් දැනට රටේ පවතින තත්ත්වය යටතේ එම මැතිවරණ නොපැවැත්විය යුතු බවය. එවැනි නඩු විභාග වෙමින් පවතිද්දී ජනතාව තුළ මැතිවරණ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි අග විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කිරීම අධිකරණයට කළ අනියම් බලපෑමකැයි යන්න සුනිල් වටගල  මහතාගේ  තර්කයයි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී  කිසිදු මැතිවරණයක් විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ නොපැවැත්විය යුතුය යන ජනාධිපතිවරයාගේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික  පක්ෂයේත් ස්ථාවරය සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම  ප්‍රකාශය කළ  බව පැහැදිලිය.

 පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේය. එහෙත් එදා රටේ පැවැති ආර්ථික තත්ත්වය පෙන්වා ආණ්ඩුව එම මැතිවරණ මේ වසරේ මාර්තු 19 දක්වා  වසරකින් කල් දැම්මේය. ඉන්පසු ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිටම ආණ්ඩුව උත්සාහ කළේ තවදුරටත් එම මැතිවරණය කල් දැමීමටය.

 පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කරන්නට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉකුත් වසරේ ඔක්තෝබර් 9 වැනිදා ප්‍රකාශයක් කළේය. ආණ්ඩුව මෙමගින් උත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණ කල් දැමීමට යැයි එවිටම විරුද්ධ පක්ෂවලින් විවේචන එල්ල විය. එම විවේචන නොතකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නොවැම්බර් මුල් සතියේදි පළාත්  පාලන  ආයතන සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කළේය.

දෙසැම්බර් මාසයේදී ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවක් පත් කරන බව ප්‍රකාශ කළේය. ආණ්ඩුව එසේ ප්‍රකාශ කළේ මැතිවරණ නීති  ප්‍රතිසංස්කරණය සඳහා 2021 දී පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පසුගිය වසරේ ජුනි 22 වැනිදා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබූ තත්ත්වය යටතේය.

මේ වසරේ ජනවාරි 2 වැනිදා විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් පළාත් පාලන මැතිවරණ නොපවත්වන ලෙසට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. විපක්ෂය සිතන්නේ මෙයද ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව සිදුවූවක් බවය. ජනවාරි 6 වැනිදා ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් කැඳවා  මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් අතර ඇති මතභේද නිරාකරණය කර ගන්නා ලෙස පවසා තිබිණි. කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පසුව ජනමාධ්‍යයනට පවසා තිබුණේ කොමිසම තුළ එවැනි මතභේද නැති බවය.

මේ අතර පළාත් පාලන ආයතනවල සියයට 25ක තරුණ නියෝජනයක් සහතික කිරීම සඳහා ආණ්ඩුවේ  මන්ත්‍රීවරයකු වන ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ අතර ජනවාරි මාසයේදී එය ඉක්මනින් විවාදයට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය විය. මෙයද මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයකැයි චෝදනා එල්ල විය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ඇප  මුදල් භාර ගැනීම අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතා ජනවාරි 9 වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලිපියකින් දන්වා තිබිණි. මෙය ඇමැති මණ්ඩලයේ තීරණයක් අනුව සිදුවූවක් බවද කියවිණි. පසුව මෙම ලිපිය ඉල්ලා අස්කර ගැනිණි. එසේ තිබියදි ඒ වනවිටත් මැතිවරණය දිනය වශයෙන් මාර්තු 9 ප්‍රකාශයට පත් කොට තිබූ තත්ත්වය යටතේ යළිත් මැතිවරණයට බලපාන අයුරින් ආණ්ඩුව මැතිවරණ වියදම් පනතක් ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය.

ආණ්ඩුව මේ සියල්ල කළේ පළාත් පාලන මැතිවරණ කල් දැමීම සඳහාය. ආණ්ඩුවේ අවසාන තුරුම්පුව වූයේ මැතිවරණය සඳහා මුදල් නැතැයි යන්නය. එහෙත් අයවැයෙන් මෙම මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා ගැනීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වසරේ මැයි 3 වැනිදා  අතුරු නියෝගයක් නිකුත් කළද තවමත් එම මුදල් නිදහස් කෙරුණේ නැත. අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරුණේ ඒ අනුවය. එම නඩු කල් ගොස් තිබේ.

පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ සම්බන්ධයෙන් වූ ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ස්ථාවරය හෝ බිය  මෙම ක්‍රියාවලිය මගින් මනාව පෙනේ. එසේ තිබියදී මැතිවරණ සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නැතැයි ජනාධිපතිවරයා දැන් කරන ප්‍රකාශයද සලකා බැලෙන්නේ එම ස්ථාවරය හා බිය පදනම් කරගෙනය.

එම බිය සාධාරණය. පසුගිය පෙබරවාරි මාසයේදී සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නම් ස්වාධීන ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟා ඇති ජාතික ජන බලවේගය සියයට 43කද සමඟි ජන බලවේගය සියයට 30කද ජනප්‍රසාදයක් සහිතව සිටින බවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රසාදය සියයට 4ක් තරම් පහළ  මට්ටමක පවතින බවත්ය.

 එක් අතකින් ගත් විට කිසිදු පක්ෂයකට සියයට 50ක ඡන්ද ලබාගත  නොහැකි යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙම සමීක්ෂණය මඟින්ද තහවුරු වන නමුත් සියයට 8ක පමණ වූ සමස්ත ජන ප්‍රසාදයකින් යුත් කණ්ඩායමක් රට පාලනය කරන බවද ඉන් කියැවේ.

මෙම ජනමත සමීක්ෂණ ප්‍රතික්ෂේප කළද ආණ්ඩු පක්ෂයේ පක්ෂ දෙක මැතිවරණවලට දක්වන බිය මඟින් පෙන්නුම් කෙරෙන්නේද එම පක්ෂ දෙකේ ජනප්‍රියතාව ඉතා පහළ මට්ටමකට පවතින බවයි. අනෙක් කරුණ නම් එජාපය ආර්ථික අර්බුදයෙන් රට මුදා ගත්තේ යැයි එම පක්ෂය ගෙන යන ප්‍රචාරයටද දේශපාලනය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නැතැයි යන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අභියෝගයක් එල්ල වීමයි.

කෙසේ වෙතත් රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයේ යම් යම් වෙනස්කම් සිදුව ඇති බව සැබෑවකි. රුපියල් 360 ඉක්මවා තිබූ ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 300 ආසන්නයටම පැමිණ තිබේ. උද්ධමනය සියයට 79 සිට 32 දක්වා  පහත බැස ඇතැයි කියවේ. විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 3 ඉක්මවා ඉහළ ගොස් තිබේ. එහෙත් මෙම සංඛ්‍යා  ලේඛනවලින් කියවෙන තරම් දෙයක් ජනතාවට දැනෙන්නේද යන්න ප්‍රශ්නයකි.

පසුගිය වසරේ මුල් භාගය සමඟ සසඳන කල මේ වසර මුලදී බඩු මිල හා සේවා ගාස්තු තුන් ගුණයකට වඩා ඉහළ ගොස් තිබිණි. උද්ධමනයේ විශාල අඩුවීමක් තිබේ යැයි සංඛ්‍යා ලේඛනවලින් කියැවුණද බඩු මිල හා බස් ගාස්තුද තවමත් පසුගිය වසරේ මුල හා සසඳන කල තුන් ගුණයකි. බොහෝ දෙනකුගේ විදුලි බිල පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.  ඇඟට දැනෙන තරමේ අඩුවක් වී ඇත්තේ ගෑස් මිලෙහි  පමණි.

ආණ්ඩුව මැතිවරණ ක්‍රියාවලිය අධෛර්යවත් කරන්නේ මේ නිසාය. එසේම ඔවුන් පළාත් පාලන  මැතිවරණවලට වඩා ජනාධිපතිවරණය ඉදිරියට  ගන්නට යන්නේ පළාත් පාලන මැතිවරණවලින් ජවිපෙ සැලකිය යුතු  බලවේගයක්   වනු ඇතැයි සිතාය. ඒ නිසාමදෝ දැන් සමඟි ජනබලවේගයද ජනාධිපතිවරණයට වැදගත් තැනක් දෙනු පෙනේ. මුලින් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනාධිපතිවරණය පැවැත්වීම තමන්ට අවාසි විය හැකියැයි එජාප, පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය යන පක්ෂ තුනම සිතන බව පෙනේ.

කෙසේ වෙතත් ජනතාවට දේශපාලනය පිළිබඳව  විශ්වාසයක් නැතැයි  යන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම බැහැර කළ හැකි එකක් නොවේ. මෙතෙක් රට පාලනය කළ සෑම පක්ෂයක්ම තමන් රවටා දේශපාලනඥයින් හා නිලධාරීන් සුළු පිරිසකට ධන කුවේරයන් බවට පත් වීමට මඟ සැදූ බවට පොදු මතයක් මේ වනවිට ගොඩ නැඟී තිබේ. එහි වාසිය බොහෝ විට යන්නට ඉඩ ඇත්තේ ජවිපෙ වැනි පක්ෂවලටය.

කෙසේ වෙතත් මැතිවරණ හා දේශපාලනය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබේද නැද්ද යන්න මැතිවරණ පැවැත්වීමට අදාළ නැත. පවතින දේශපාලනය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නැති වුවද දේශපාලනය යථාර්ථයකි. එය  ජන ජීවිතයට බලපායි. විශ්වාසය බිඳ දැමූ කණ්ඩායම්ම රට පාලනය කරන විට එම බලපෑම වැඩිය. ඒ ගැන තීරණයක් ගන්නට ජනතාවට අයිතියක්  තිබේ. ඔවුන් එම අයිතිය බුක්ති විඳිය හැක්කේ මැතිවරණ මඟිනි.

එම අයිතිය යථාවක් කිරීම සඳහා මැතිවරණ පැවැත්වීම පමණක් නොව ඒවා නියමිත කාලවලදී පැවැත්වීමද අත්‍යවශ්‍ය වේ. ජනතාවට මැතිවරණ ගැන විශ්වාසයක් නැතැයි කියා මැතිවරණ නොපැවැත්වීම නීතියටද පිටුපෑමකි. නීතියේ ආධිපත්‍යයට අභියෝගයකි. මැතිවරණ ප්‍රතිඵල තීරණය කරනු ඇත්තේ ජනතාවයි.

 

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (3)

පුංචි ඡන්දය දෙපැත්තට අදින්නෝ

de silva Saturday, 10 June 2023 12:04 PM

පළාත් පාලන ඡන්දෙ තිබ්බා නම් ප්‍රතිඵලේ බලාගන්න තිබුණා...

:       0       7

dhamneth Saturday, 10 June 2023 08:20 PM

ආණ්ඩුව ආණ්ඩුවට වුවමනා දේ කරන්න උත්සාහ කරනවා. විපක්ෂය ඒ ඒ පක්ෂවලට වුවමනා දේ කරන්න දඟලනවා. නමුත් මේ දෙගොල්ලන්ම ජනතාවට අවශ්‍ය දේ කරන්න උනන්දුවක් නැති බවයි සමහරු කියන්නේ...

:       0       3

පප්ප Sunday, 11 June 2023 06:16 AM

ඡන්ද 30000ක් අරගෙන පාර්ලිමේන්තුවෙනුත් ජනතාව විසින් දොට්ට දාපු කෙනෙක් අද මහ පුටුවට පැනලා රට කාපු හොරු 134 දෙනාගේ පිහිටෙන් මොනවාද මේ දෙසාබාන ප්‍රලාප..? මිනිස්සුන්ගේ හැම ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක්ම නැතිකරන්න මෙයා දැන් තැත්කරනවා... මොහුගේ අවසානය බොහෝ කණගාටුදායක වේවි..!

:       1       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 402 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 248 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 81 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 313 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 223 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 272 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site