IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පළාත් සභාවලට වැය වන මුදලින් නිසි ප්‍රතිඵල ලැබේද?

පළාත් සභා මේ දිනවල හෝද හෝදා මඩේ දාන මාතෘකාවක් බවට පත්ව තිබේ. පළාත් සභා ගැන කතාවකින් තොර දවසක් නැති තරමට එය ඉස්මතු වී තිබේ. 13 වැනි සංශෝධනයත්, බලය බෙදීමත් පිළිබඳ කතාබහකදී පළාත් සභා අතහැර කතා කළ නොහැකි වීම ඊට හේතුවය.

මාතෘකාව පළාත් සභා වන විට තහනම් වචනය ඡන්දය වීම හේතුවෙන් රටේ සියලු පළාත් සභා දැනට පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. එය එසේ වුව ද පළාත් සභා පවත්වාගෙන යාම සඳහා ඉතා විශාල මුදලක් වැය කරමින් තිබේ. ඡන්දයෙන් තේරී පත්ව පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේත් රටේ ජනතාව ඒවා හැඳින්වූයේ සුදු අලියකු වශයෙනි.

වැඩකට නැති වියදමක් හැටියට එය හංවඩු ගැසී තිබීම එයට හේතු විය. සුදු අලියකු වුවත් පළාත් සභා අත්හැරීමට බැරි දෙයක් බවට පත්ව තිබෙන්නේ රටේ දේශපාලනය සමග තිබෙන බැඳීම හේතුවෙනි. එහෙත්, මේ බැඳීමට රට විශාල වන්දියක් ගෙවමින් සිටී. එහි ප්‍රමාණය කොතරම් ද යන්න පසුගියදා මුදල් කොමිෂන් සභාවේ වාර්තාවක් මගින් පෙන්වා දී තිබිණි.

එම වාර්තාවට අනුව පළාත් සභා නියෝජිතයන් නොමැතිව අක්‍රීය තත්ත්වයේ පවතින පසුබිමක් තුළදී පවා පසුගිය වසරේ වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136ක මුදලක් වැඩිපුර වැයකර තිබේ. පළාත් සභා නියෝජිතයන් සිටි 2019 වසරේ වියදම රුපියල් කෝටි 30,129ක් වන විට, නියෝජිතයන් නොමැති 2022 වසර සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 44,265කි. එම මුදල වැය වී ඇත්තේ, නඩත්තු කටයුතු සඳහා බව ද එම වාර්තා පෙන්වා දී තිබිණි. මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ, මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම්, ඔවුන්ගේ නඩත්තුව සඳහා වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003ක මුදලක් පමණක් බවය. එය ඉතා සුළු වියදමකි.

මේ ආකාරයේ සුළු වියදමක්, දරාගත නොහැකි මහා වියදමක් බවට පත්වීම මහා ඛේදවාචකයකි. රටේ පවතින ආර්ථික අර්බුදය සමග සසඳන විට එය අපරාධයකි. එහෙත්, මේසා නාස්තියක් වළක්වා ගැනීමට කිසිදු සැලැස්මක් නැත. පළාත් සභා සඳහා වෙන් කරන මුදලින් වැඩිපුරම මුදලක් වැය වෙන්නේ සේවක පඩිනඩි සහ වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහාය. වසරකදී එම මුදල රුපියල් කෝටි 35,000ත් 40,000ත් අතර වන බව ද මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා සඳහන් කර තිබිණි.

රටේ ජනතාව පළාත් සභා සුදු අලියකු සේ දැකීම ගැන පුදුම විය යුතු නැත. ඒවා පවත්වාගෙන යාමට මේ තරම් විශාල මුදලක් වැය වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. එහෙත්, ප්‍රශ්නය වන්නේ, මේ තරම් විශාල මුදලක් වැය කර පවත්වාගෙන යන පළාත් සභා තුළින් රටට ලැබී ඇති විශේෂ ප්‍රයෝජනය කුමක් ද යන්නය. ප්‍රයෝජනයක් නැති පළාත් සභා පවත්වාගෙන යන එකම හේතුව දේශපාලන අවශ්‍යතාව පමණක් බව පැහැදිලිය. එසේ නම්, අඩුම තරමින් ඒ සඳහා වැය වන අධික මුදල හෝ අඩු කරගැනීමට උනන්දු විය යුතු නොවේ ද? එහෙත්, ඒ සඳහා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

පළාත් සභා නඩත්තුව සඳහා වැය වන මුදල වසරින් වසර වැඩි වීම රටේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නොදෙන බව නම් ඔවුන්ට නොදැනීමට හේතුවක් නැත. මේ මුදලින් වැඩි කොටස වැය වන්නේ, අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා සඳහා බව ද සඳහන් වෙයි. එය වැය කළ යුතු මුදලක් බව සැබෑය. එහෙත්, සෙසු වියදම් නිසි පරිදි කළමනාකරණය නොවන තාක් පළාත් සභා හේතුවෙන් රටේ ජාතික ධනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අපතේ යාම වැළැක්විය නොහැක.

අපේ රටේ පළාත් සභා ඇති වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. එම සංශෝධනය ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ ඇති වූ ගිවිසුමක ප්‍රතිඵලයක් බැවින්, එම ගිවිසුමට නිසි සැලකිල්ලක් දැක්වීම බලයට පත්වෙන හැම ආණ්ඩුවකම වගකීමකි. දැනට කළ යුත්තේ, අඩු තරමින් පළාත් සභා හරහා සිදු වෙමින් පවතින මුදල් නාස්තිය වැළැක්වීමට පියවර ගැනීම පමණි.

(***)



අදහස් (1)

පළාත් සභාවලට වැය වන මුදලින් නිසි ප්‍රතිඵල ලැබේද?

gamage Tuesday, 22 August 2023 04:21 PM

පළාත් සභා නිසා සිද්ධ වුනේ මේ රටේ මහ ජනතාවට තවත් නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න වුණු එකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site