IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


පාසල් පිරිත් පිංකම් දිනේත් ගුරු වෘත්තිය කෙලසූ ගුරුවරු

 

අසන්න දකින්න ලැබෙන බොහෝ ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවය. කිසිවකුට තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්‍ෂා කර ගැනීමට තරම් වත්කමක් නැති බවය. සමාජ අසහනය, පීඩනය දෙගොඩ තලා ගලා බස්නා සමයක මෙම තත්ත්වය අරුමයක් නොවිය හැකිය. එහෙත් මෙම සෑම රළ ප්‍රවාහයකටම හසු නොවී උඩුගම් බලා පිහිනීමේ හැකියාවක් සමාජයේ වගකිවයුතු පුරවැසියන්ට තිබිය යුතුය.එබඳු වගකිවයුතු පුරවැසියන් අතර ගුරුවරු පෙරමුණේම වෙති.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ කොළඹ ප්‍රදේශයේ පාසලක පැවැති පිරිත් පින්කමක දී බීමතින් සිටි එහි ගුරුවරයකු උසස් පෙළ සිසුවකුට පහර දී ඇතැයි එම සිසුවාගේ මව කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර ඇති බවය. 

පිරිත් පින්කම හා බීමත්කම අතර කුමන හෝ සම්බන්ධයක් සොයාගත නොහැකිය. එහි අහසට පොළොව මෙන් පරතරයක් පවතී. මෙම පරතරය පියවීමට ඉදිරිපත්ව සිටින්නේ ‘‘උත්තම පුරුෂයකු’’ යැයි සමාජය වන්දනීයත්වයට පත් කර සිටින ගුරුවරයකු වීම ද මෙහි විශේෂත්වයකි.

 අප පුවත්පත වැඩිදුරටත් දක්වන්නේ පිරිත් පින්කම අතරමැද අලුයම 2.30ට පමණ එම ගුරුවරයා සිසුවා නිදා සිටි බවට චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි ද, ඒ අවස්ථාවේ ඔහුගේ කන ඇතුළත තුවාල වී ලේ වහනයක් සිදුවී ඇති බවය. නිදා සිටි සිසුන් කිහිප දෙනකුටම එම ගුරුවරයා පහර දී ඇති බවත් තම පුත්‍රයාගේ කම්මුල් ප්‍රදේශයට තදබල ලෙස පහර කිහිපයක් ද වැදී ඇති බවත් පහර කෑ සිසුවාගේ මව කළ පැමිණිල්ලේ සඳහන්ය.

මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයකු නිවෙසක් තුළ දී කුඩා දරුවකුට පහර දෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ සැරිසරයි. එම පහරදීම තිරිසන් බවින් කිසිසේත්ම වෙනස් නොවේ. මෙබඳු තිරිසනුන්ට ගුරු පත්වීම් ලැබුණේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු තරම්ය. පාදඩ ක්‍රියාකාරකම්හි නියැළුණ බොහෝ ගුරුවරුන්ට හා ගුරුවරියන්ට අදාළ බොහෝ සිදුවීම් ප්‍රවෘත්ති බවට පත්වී ජනගත වී ඇත. අප ඒවා විශේෂයෙන් උපුටා නොදක්වන්නේ ගුරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බලවත් ගෞරවයක් පවතින නිසාය.

කරුණු කාරණා එපරිදි වුවද කොළඹ පාසලක පිරිත් පින්කමක දී ප්‍රදර්ශනය වූ බීමත් ගුරුවරයාගේ හැසිරීම සුළුකොට තැකිය යුතු නැත. පහරකෑමට ලක්වූ සිසුවාගේ මව අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘පාසලේ වාර්ෂික පිරිත් පින්කම දින එම ගුරුවරයා තවත් ගුරුවරුන් පිරිසක් සමග මත්පැන් පානය කළ බව සිසුන් දැක ඇති’’ බවය. 

එම චෝදනාව ඉතාම බරපතළය. ‘‘ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට’’ යනුවෙන් අදහන සමාජයක පාසල් භූමිය තුළ දී පිරිත් පින්කමක් පවතින අවස්ථාවක දී සිසුන්ට පෙනෙන අයුරින් මත්පැන් පානය කිරීමට යම් ගුරු රංචුවක් ඉදිරිපත් වන්නේ නම් ඔවුන් කිසි ලෙසකින් හෝ ගව රංචුවකින් වෙනස් නොවන්නකි. 

අද අප සමාජය මුහුණපා සිටින බරපතළ ප්‍රශ්නය වන්නේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් සිසු පරපුර බේරා ගැනීමය. සෙසු සියලු කාර්යයන් පසෙකලා එම කාර්ය පෙරට ගත යුතු තරමට තත්ත්වය බරපතළය. එබඳු පරිසරයක ගුරුවරුන් පිරිසක් පාසල් භූමිය තුළ දී මත්පැන් පානය කිරීම ‘‘අවවාදයට වඩා ආදර්ශය වටී’’ යන්න කණපිට හැරවීමකි. වැඩි වැඩියෙන් ආදර්ශ බලාපොරොත්තු විය යුතු වුවද අපට ලැබෙමින් පවතින්නේ එහි අනික් පැත්තය.

කොළඹ පාසලේ බීමත් ගුරුවරයාට අදාළ ප්‍රවෘත්තිය වාර්තා කළ දිනම අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියක සිරස්තරයෙන් කියැවුණේ ‘‘පන්සලේ ගුටි කෙළියක්. හිමිවරු දෙනමක් රෝහලේ’’ යනුවෙනි. එම ප්‍රවෘත්තියට අනුව කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටි කෙළියකින් තුවාල ලැබූ දෙනමක් රෝහල්ගත කර ඇතැයි කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසූ බවය. මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම මීට මාස දෙකකට පමණ පෙර අපවත්වී ඇති බවත් උන්වහන්සේට හිමිව තිබූ දේපළ සම්බන්ධයෙන් භික්‍ෂු හිමිවරුන් අතර මාසයකට පමණ පෙර සිට වරින්වර ආරවුල් පැවැති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

අප මේ ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට දැයි පරික්‍ෂාකාරී නොවීම හෙට දවස සම්බන්ධයෙන් ඉතා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීමක් බව දැඩිව අවධාරණය විය යුතුය.

(***)



අදහස් (1)

පාසල් පිරිත් පිංකම් දිනේත් ගුරු වෘත්තිය කෙලසූ ගුරුවරු

sampath Saturday, 04 February 2023 02:41 PM

එක කණ්ඩායමක් ගිහින් අහිංසක මිනිස්සු ටිකක් රදැල්ලේදි මරලා දැම්ම ඒකේ ගුරුවරු ගැනත් පරීක්ෂණයක් ඕනි. අධික වේගයෙන් යද්ද ඒක නතර නොකළේ ඇයි මේ වගේ දෙයක්ද කියලා සොයලා බලුවෙ නැද්ද . මේ වගේ මිනිස්සු සේවයෙන් පහ කරලා දාන්න ඕනි මූලිකව.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12966 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site