IMG-LOGO

පාර ප්‍රමිතියට නොහදා ගමට මැරපාට් දාන සභාපතිලා

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද නිවට ගණයේ චණ්ඩිකමක් පිළිබඳව පසුගිය දා මාධ්‍යයේ අවධානය යොමුව තිබිණි. එම සිද්ධියට සම්බන්ධ වීඩියෝ පටයක් ද මාධ්‍ය හරහා ජනගත වූ අතර එහි දී සභාපතිවරයා කැටුව පැමිණි පුද්ගලයන් විසින් ගම්වාසීන්ට ගුටි බැට දෙනු පැහැදිලිව දැකිය හැකි විය. එක් අවස්ථාවක දී ගම්වැසියකුට පා පහරක් එල්ල කරන බව ද පැහැදිලිව ප්‍රදර්ශනය විය.

සිද්ධියට හේතු වී තිබුණේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවන මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බව ගම්වාසීන් විසින් නිහඬ විරෝධයක් මගින් පෙන්වා දීමට කටයුතු කළ අවස්ථාවේදීය. අදාළ මාර්ගයේ දුර ප්‍රමාණය වශයෙන් දැක්වෙන්නේ කි.මී. 04ක් පමණි. එතරම් කෙටිදුරකින් යුත් මෙවැනි ගම්බද මාර්ගයක් හෝ නිසි ප්‍රමිතියකට ඉදිකරගත නොහැකි තරමට ප්‍රාදේශීය සභාව දුර්වල නම් එහි සභාපතිවරයා ඊට ඍජුවම වගකිව යුතුය. අපගේ ලංකාදීප පුවත්පතේ එම ප්‍රවෘත්තියට අදාළව පළකර තිබූ ඡායාරූප මාර්ගයේ බාල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් පෙන්වා දී තිබේ. කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කෙරුණු මාර්ගයක් දෙපස හිස් බැරල් යොදා මට්ටම් කිරීමක් ප්‍රථම වරට අප දැක ගත්තේ එම ඡායාරූපවලිනි.

එසේම මාර්ගයේ ඇතැම් ස්ථාන අතින් ඇද්ද විට කාපට් කෑලි ගැලවී එන බව එම ප්‍රදේශවාසීන් විසින් ප්‍රදර්ශනය කරන ආකාරය ද වීඩියෝ දර්ශන හරහා දැකිය හැකි විය.

තමන්ගේ බදු මුදල් මේ ආකාරයට තුට්ටු දෙකේ වැඩවලින් ගසා කන තත්ත්වයට පත්වන විට එයට විරෝධය පෑමට ගම්වාසීන්ට අයිතියක් තිබේ. ඒ සම්බන්ධයෙන් ගම්මුන් සමඟ සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ද අයිතියක් තිබෙන බවත් අපි පිළිගනිමු. එහෙත් තමන්ට සිදුවූ අගතියට එරෙහිව විරෝධය දක්වන ගම්වාසීන්ට එරෙහිව චණ්ඩින් පිරිසක් ද කැඳවාගෙන ඇවිත් තර්ජනය කිරීමටත්, පහරදීමටත් ප්‍රාදේශීය සභාවේ සභාපතිට කිසිදු අයිතියක් නැත. එම විරෝධතාවට වෙනත් පාර්ශ්වයක මන්ත්‍රීවරයකු හෝ කිහිප දෙනකු හෝ සම්බන්ධ වී සිටීම ද සභාපතිවරයාට අතපයේ හිරිඇර ගැනීමට හේතුවක් වන්නේ නැත. තමන්ගේ බදු මුදල් නාස්ති වී යාමට එරෙහිව සාමකාමී ලෙස දැක් වූ විරෝධය මැදට වළං කඬේට පැන්න ගොනකු සේ කඩා වැදී අහිංසක ගම්මුන් ආරවුලකට පටලවා ගෙන ඔවුන්ට තමන් රැගෙන ආ චණ්ඩින් ලවා පහර දීම මොන අතින් බැලු‍වත් අමන, තුච්ඡ වැඩකි. මෙවැනි දේශපාලනඥයන්ගෙන් ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ද ඇතිවන්නේ කළු පැල්ලම් මිස යහපතක් නොවේ.

ගම්වාසීන් ප්‍රකාශ කරන පරිදි මෙම මාර්ගයේ කාපට් අතුරා සුදු ඉරි පවා ඇඳ අවසන් කර තිබුණත් මාර්ගය දැනටමත් ඉරි තැලී සෝදා පාළුවට ලක්වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එසේ සිදුවීම මාර්ගයේ ප්‍රමිතියේ අඩුකම පෙන්වා දෙන කදිම නිදසුනක් බවය. එසේම පාර දෙපැත්තේ බැරල් යටකර දැමීම එම මාර්ගයේ ගමන් ගන්නා වාහන පවා අනතුරකට ඇද දැමීමක් බව ද පෙන්වා දිය යුතුය. මේ මාර්ගය හැකි ඉක්මනින් පරීක්ෂා කොට නිසි ප්‍රමිතියට අනුව සකස් කර දීමට පියවර ගන්නවා වෙනුවට ගම්මුන්ට චණ්ඩි පාට් දැමීම නිවට නියාළු ක්‍රියාවකි. එය ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට තරම් නොවන පහත් වැඩකි.

ප්‍රාදේශීය සභාවලට මහජන ඡන්දයෙන් තේරී පත්වන ඇතැම් සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්වී මහජන මුදල් ගසා කන බව ප්‍රසිද්ධ රහසකි. මේ සම්බන්ධයෙන් පවතින එක් සුප්‍රසිද්ධ කියමනක දැක්වෙන්නේ ඇතැම් පළාත් පාලන ආයතනවල වැඩ කෙරෙන්නේ අසූවයි විස්සේ ක්‍රමයට බවය. එනම් කිසියම් නිශ්චිත සංවර්ධන වැඩකට වෙන්කරනු ලබන මුදලින් සියයට 20ක වැඩක් කර ඉතිරි 80 සාක්කුවට දමාගන්නා බවය. එහි සත්‍ය අසත්‍ය බව කෙසේ වුව ද මහජනතාවගේ බදු මුදලින් කොටසක් සංවර්ධන කටයුතු මුවාවෙන් සාක්කුවේ දමාගන්නා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඕනෑ තරම් සිටින බව රහසක් නොවේ. මේ කාරණය පළාත් පාලනයට පමණක් සීමා නොවන බවත් පළාත් සභාවලට පමණක් නොව පාර්ලිමේන්තුවට පවා අදාළ බවත් සඳහන් කළ යුතුය. රිදීමාලියද්දේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපයත් මේ ගණයට වැටේදැයි අපි නොදනිමු. පාර හැදීම නම් බලු මාක් බව ප්‍රකාශ කළ යුතුය. එය එසේ නොවන බව ඔප්පු කිරීමේ වගකීම ඇත්තේ ද සභාපතිවරයාගේම අතේමය.

තමන්ගේ බදු මුදල් නාස්තියකින් තොරව රටේ සංවර්ධනයට යෙදෙන්නේ නම් මහජනතාව එයින් කම්පාවට පත් වන්නේ නැත. ඔවුන්ට ඉවසා දරාගත නොහැකි වන්නේ තමන් දුකසේ හරි හම්බ කරගෙන සභාවට ගෙවන බදු මුදල් මේ ආකාරයේ බාල ගණයේ ව්‍යාපෘති හරහා මකර කටට යනු දකින විටය. ඒවාට විරෝධය දැක්වීමේ දී දණ්ඩෙන් පහර ලත් සර්පයකු සේ බලවතුන් කිපෙන්නේ තමන් සිදුකළ ගසාකෑම් හෙළිදරව් වේදැයි යන බිය හේතුවෙනි. අසරණ ගම්මුන් නිවටයන් සේ සලකා ඔවුන්ට පහර දීමට ක්‍රියාකරන චණ්ඩි සභාපතිලාට ද එය අදාළය.

රිදීමාලියද්දේ ගම්වැසියන්ට ද මෙය එක අතකින් හොඳ පාඩමකි. තමන් විසින් ඡන්දය ලබා දී තමන්ගේ ප්‍රදේශය පාලනය කිරීමට සභාවට යවන පුද්ගලයා ආපසු හැරී තමන්ටම තඩිබානවා නම් ඔවුන් තේරුම් ගත යුත්තේ තමන්ගේ තේරීම වැරදි බවය. එය නිවැරදි කර ගැනීම ද කළ යුත්තේ තමන් විසින්ම බව ද ඔවුන් අවබෝධ කරගත යුතුය.

(***)



අදහස් (2)

පාර ප්‍රමිතියට නොහදා ගමට මැරපාට් දාන සභාපතිලා

කල්පනා Friday, 02 July 2021 07:27 AM

එක් අතකින් ඡන්ද දායකයා වැරදිබව කිවහැකි අතර අනෙක් අතින් මෙවැනි ක්‍රියාවන් කරන අය තම පක්ෂයෙන් ඉදිරිපත් කරන පක්ෂ නායකයින් දූෂිතයින් බව කිවහැකියි..

:       0       81

සෙනෙවිරත්න Monday, 05 July 2021 07:01 AM

කුණු ජරා වලේ පණුවන් හැර වෙන යමක් සිටිය හැකිද? මෙම පක්ෂ දෙක රට කුණු ජරා වලක් කර බොහෝ කල්ය.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site