සමාජ යහපැවැත්මට බාධා කරන මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, පාතාල ක්‍රියාකාරකම්, මූල්‍ය අපරාධ, දිවි නසා ගැනීම් ආදිය පිළිබඳව මෑත කාලයේ මෙරට සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්විය. මෙම සමාජ විරෝධි ක්‍රියාකාරකම් සඳහා පසුබිම් වී ඇති හේතු රැසකි. පරිගණක අපරාධ ද ඒ අතරින් ප්‍රධාන වේ. ඉහත සඳහන් කළ අන්දමේ සමාජ විරෝධි ක්‍රියාකාරකම් සියල්ලටම පාහේ ඍජුව හෝ වක්‍රව මෙම පරිගණක අපරාධ බලපා ඇති බව පැහැදිලිය.
නව සමාජයේ අද්විතීය නිමවුමක් වූ පරිගණකය නූතන මානවයාගේ යහපත මෙන්ම අයහපතට ද භාවිත කරනු දක්නට ඇත. පරිගණක අපරාධ ලෙස හඳුන්වන්නේ එම අයහපත් පරිගණක භාවිතයේ උද්වේගකර සමාජ ප්‍රතිඵලය. කෙටියෙන් දැක්වුවහොත්, පරිගණක අපරාධ යනුවෙන් අපට හඳුනාගත හැක්කේ තනි හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් හෝ පරිගණකය අන්තර්ජාලය හෝ විද්‍යුත් තැපෑල වැනි නවීන තාක්‍ෂණික ක්‍රම භාවිත කරමින් පුද්ගලයන්ට ඍජුව හෝ වක්‍රව මානසික හෝ කායික පීඩා සිදු කිරීමයි.
ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධවල ස්වරූපය විමසා බැලීමේදී ඒවා ලොව පුරාම සමාන මට්ටමින් දැකිය හැකි විධිමත් පසුබිමක් සහිත අපරාධ බව පැහැදිලිව පෙනී යන්නෙකි. ඒවා අතර අනවසරයෙන් පරිගණක පද්ධතිවලට පිවිස දත්ත සොරකම් කිරීම හා දත්තවලට හානි පැමිණිවීම, පරිගණක පද්ධති මගින් අන්‍යයන්ට පීඩා සහ තර්ජන සිදු කිරීම, අසභ්‍ය ප්‍රකාශන හා පින්තූර ප්‍රචාරණය, මුදල් ඔට්ටු ඇල්ලීම, වෙළෙඳ භාණ්ඩමය වංචා සිදු කිරීම, ප්‍රකාශන අයිතිය කඩ කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ප්‍රවාහනය, පරිගණක ත්‍රස්තවාදය ලෙස සඳහන් කළ යුතුය.
ලංකාවේ පරිගණක අපරාධ ගැඹුරින් විමසා බැලීමේදී කැපී පෙනෙන අංශ දෙකක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න නම්, අතරමැදියන් ලෙස පෙනී සිටිමින් පරිගණක අපරාධකරුවන් කරනු ලබන මුදල්මය වංචාය. E-Banking, E-Business ආදි නූතනයෙහි බහුල ලෙස භාවිත කරනු ලබන මාධ්‍ය ඔස්සේ මෙම වංචා සිදු කරන බව පෙනී යයි. යම් යම් ව්‍යාජ පණිවුඩ එවමින් මේවාට සම්බන්ධ අය ග්‍රහණයට ගැනීමක් මෙහිදී සිදු වේ. “ඔබට ඩොලර් දහසක මුදලක් ලැබී ඇත. එය ලබා ගැනීමට මෙම ලින්ක් එකට ඇතුළත්ව ඔබේ තොරතුරු ලබා දෙන්න” මෙබඳු ගණයේ ව්‍යාජ ඉල්ලීම් මෙහිලා බහුල ලෙස හඳුනාගත හැක. මෙලෙස ලබා ගන්නා පෞද්ගලික තොරතුරු මගින් අදාළ පුද්ගලයන්ගේ බැංකු මුදල් අතිශය සියුම් ලෙස ලබා ගන්නා ක්‍රමවේද නූතනයෙහි මෙබඳු ක්‍රියාවල නියැළෙන්නන් විසින් වැඩි දියුණු කර භාවිත කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි දෙවැනි අපගාමි පරිගණක ලක්‍ෂණය වන්නේ, ඒ ඔස්සේ ගොඩනැගී ඇති සයිබර් ලිංගික සංස්කෘතියයි. සමාජ විද්‍යාත්මකව බලතොත් නූතන මානව සමාජය තුළ පවතින සාමාන්‍ය ලිංගික චර්යා අන්තර්ජාලකරණයට ලක්වීම හා ඒ තත්වය නිසා සාමාන්‍ය ලිංගික සංස්කෘතික හරයන් විකෘති පරිවර්තනයකට ලක්වීම මෙහිදී දැකිය හැකිය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම්, ඒ ඒ රටවල පවතින ලිංගික සංස්කෘතියෙහි වැසුණු බව හෙවත් ආවෘත බව සහ විවෘත බව හෙවත් සංවෘත්ත බව යනුවෙන් දෙයාකාර වූ හඳුනා ගැනීමක් දක්නට ඇති බවයි. සයිබර් ලිංගික සංස්කෘතිය ගොඩනැගෙන්නේ මෙම දෙයාකාර වූ සංස්කෘතිවල ලක්‍ෂණ එකට මිශ්‍ර වීමෙනි. වැසුණු ආවෘත ලිංගික සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවල සයිබර් ලිංගික සංස්කෘතියේ යම් පිළිවෙත් කිහිපයක් මෙසේ හඳුනාගත හැක.
මෙම වෙබ් අඩවි ඔස්සේ සිදුවන ලිංගික ඡායාරූප, වීඩියෝ දර්ශන යනාදිය ප්‍රදර්ශනය, වෙබ් අඩවි ඔස්සේ සිදුවන ගණිකා ව්‍යාපාරය, සංවාද කුටි ඔස්සේ හුවමාරු වන ලිංගික ඡායාරූප සහ ලිංගික සංවාද, ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපාංග ඔස්සේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම් පාලනයකින් තොරව අන්තර්ජාලයට මුදාහැරීම, වෙබ් අඩවි ඔස්සේ ලිංගික සහකරුවන් සොයා ගැනීමට පහසුකම් පැවැතීම, ලිංගික අන්තර්ගත සහිත පරිගණක ක්‍රියාවල නියැළීමට සහ ඒවා භාවිත කිරීමට පහසුකම් සැලසීම ආදියයි.
මෙබඳු තත්වයක් යටතේ පරිගණකය ආශ්‍රිතව සයිබර් අවකාශය තුළ ගොඩනැගුණු නව්‍ය කාමුක සමාජජාල සංස්කෘතියක් හඳුනාගත හැකිය. මෙම තත්වය ඇති වීම කෙරෙහි බලපෑ සමාජ සංස්කෘතික පසුබිම සලකතොත් නූතනයෙහි දැකිය හැකි සර්ව ව්‍යාප්ත වෙබ් අඩවි පළමු කොට හඳුනාගත හැක. මෙම වෙබ් අඩවි ඔස්සේ පණිවුඩ හා දත්ත හුවමාරුව වැඩි දියුණු වීම ඉතා වේගයෙන් සිදුවන බව නොරහසකි. එහි ප්‍රතිඵලය වූයේ ඊට සම්බන්ධ පිරිස් සිතාගත නොහැකි ලෙස වැඩි වී, සයිබර් අවකාශය ලොව සියලු ජාතින්ට පොදු ස්ථානයක් බවට පත්වීමය. එහෙත්, අන්තර්ජාල සේවා පහසුකම් ආරම්භ වූ මුල් අවධියේදී දත්ත හුවමාරුව සිදු වීම පෞද්ගලිකව සංවෘත්ත ජාල ඔස්සේ සීමිත පිරිසක් අතට පමණක් සිදු වූ බව නොරහසකි. අද එම තත්වය මුළුමනින්ම වෙනස් වී ඇත.
අනෙක් අතට නූතන තරුණ පිරිස යාන්ත්‍රික මෙවලම් සංස්කෘතියක ආභාසය දැඩිව ලබන බව මෙහිලා අවධාරණය කළ යුතු සත්‍යයකි. මෙම පිරිස ලොව පුරාම එක ලෙස බහුල ලෙස ව්‍යාප්තව පවතින අන්තර්ජාලය හා බැඳී සිටින බව රහසක් නොවේ. මේ නිසාම මෙම තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ඇසුරින් අපරාධ සහ අපචාර ක්‍රියා වැඩි වී ඇත. මෙහිදී දත්ත හා පණිවුඩ හුවමාරු කරන්නාට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි වගකිව යුතු අයකු එම ජාලයෙහි හෝ සර්ව ව්‍යාප්ත වෙබ් අඩවියේ නොමැති වීම ද මෙම අපගාමි ක්‍රියා වැඩි වීමට බලපා ඇති බව පෙනේ.
තව ද, ඇතැම් පුද්ගලයන් පරිගණකයෙන් යම් යම් අපගාමි ක්‍රියා කිරීමට පෙළඹෙන අස්වාභාවික මානසික උත්තේජන සහ ආශාවන් සහිත වූවන් ලෙස ද හඳුනාගත හැක. සමාජ මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, කුතුහලය, විනෝදය, පලිගැනීම, විනාශ කිරීමේ ආශාව, විකෘතික ආස්වාදය වැනි මානසික තත්වවල අක්‍රමවත් මිශ්‍රණයක් මේ තුළින් හඳුනාගත හැක.
මෙබඳු තත්වයක් යටතේ පරිගණක ආශ්‍රිත අපරාධ සහ අපචාර නූතනයෙහි විශ්ව ව්‍යාප්ත සමාජ ගැටලුවක් බවට පත්ව ඇති බව පෙනී යයි. පරිගණකය නිසා මිනිසා ලබා ඇති අද්විතීය දැනුම් සම්භාරය මානවයාගේ ජීවිතයෙහි සිදු කර ඇති යහපත් පරිවර්තන තරමටම එහි නිශේධනාත්මක තත්වයන් ද ලොව හැම අතින්ම දැන් දැන් හඳුනාගත හැකි බව පෙනේ.
මෙම තත්වය ලංකාව වැනි රටවල පවුල, පාසල, මිත්‍ර කණ්ඩායම් වැනි පුද්ගල සමාජානුයෝජනයේ ප්‍රබල ආයතනවලට එක එල්ලේම හානිකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. හුදු නෛතික විදි විධානවලින් පමණක්ම මේ තත්වය වෙනස් කිරීම දුෂ්කර බව ද ඒ සමඟ කිව යුතුය. සැබැවින්ම අපරාධ සිදු කරන්නේ පරිගණකය නොවේ. පරිගණකයෙහි නිර්මාපකයා වන මිනිසාය. මිනිසා මිනිසාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මානුෂීය දෘෂ්ටියෙන් බැලීමට හා සිතීමට උනන්දු වීම ඒ නිසාම වැදගත්ය.
මෙම පරිගණක අපරාධ සඳහා සමාජශීලි වෙබ් අඩවි වැඩි වශයෙන් දායක වන බව පෙනේ. වර්තමානයේ ෆේස්බුක් සමාජශීලි වෙබ් අඩවි මේ සඳහා ප්‍රමුඛ වී ඇති බවක් දැකිය හැකිය. ඇමෙරිකානු දන්ත වාර්තා අනුව, මිලියන අටසිය අනූවක් දෛනිකව ලෝකය පුරා මුහුණුපොත භාවිත කරන අතර, මෙයින් ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයන් හත් දෙනකුට එක් අයකු සමාජශීලි වෙබ් අඩවියක සාමාජිකයෙකි. අපරාධ පිළිබඳ අවධානය යොමු කරන විට මෙම දත්ත වැදගත් වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කෙළිබිම් බවට ඇතැම් විට මේවා පත්වීමට හැකි නිසාය.
මෙය අංශ කිහිපයකින් අධ්‍යයනය කළ හැකිය. එකක් නම්, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් මිතුරන් ලෙස පෙනී සිටිමින් තමන් කිසිදා දැක නොමැති අයකු හඳුනාගෙන මුණගැසෙන මුල් දිනයේම ප්‍රශ්න රැසකට ඇද දමන තත්වයයි.
අනවසරයෙන් පරිගණක පද්ධතිවලට ඇතුළත්ව දත්ත සොරකම් කිරීම මගින් ද යම් අපරාධයක් සඳහා යොමු විය හැකිය. එය වර්තමානයේ බහුලව සිදුවන පරිගණක අපරාධයකි. ඊ-බෑන්කින්, ඊ-බිස්නස්, ඊ-එඩියුකේෂන් ආදි ක්‍ෂේත්‍ර අද ලෝකය පුරා ප්‍රචලිතව පවතී. ඕනෑම අයකුට තම නිවෙසේ සිටම තම කටයුතු අන්තර්ජාලය ආශ්‍රයෙන් ඉටු කරගත හැකිව තිබේ. එහෙත්, මේ පහසුව තුළම විවිධ රැවටීම්වලට හා පරිගණක අපරාධවලට හසුවන විශාල පිරිසක් වර්තමානයේ අපට හමු වේ. මෙබඳු ලෝක ව්‍යාප්ත ව්‍යාපාරික කටයුතුවලදී බොහෝ විට සිදුවන්නේ පරිගණක අපරාධකරුවන් අතරමැදියන් ලෙස කටයුතු කිරීමයි.
මෙම අන්තර්ජාල අපරාධ මගින් අවසානයේ සිදුවන්නේ තමාට තමන්ම අහිමි වීමේ ඛේදවාචකයකි. මෙම අපරාධවලට ගොදුරු වන පුද්ගලයාට තම ජීවිතය පිළිබඳ කලකිරීම් ඇති වන අතර, තමා මවා ගන්නා සුවිසල් අරමුණු ඉටු කරගැනීමට නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්වේ. ව්‍යාජ ලෝකයක අතරමං වීමට සිදු වේ.
අනෙක් අතින් මෙම තාක්ෂණික ලෝකය සමග ගනුදෙනුව නිසාම පුද්ගල සම්බන්ධතා බරපතළ ලෙස පහළ අගයකට වැටී තිබේ. මිතුරන් සොයා යාමේ අවශ්‍යතාව සමාජයේ දක්නට ලැබුණත්, බොහෝ දෙනා ව්‍යාජ නන්නාඳුනන මිතුරු සමාගම්වලට ගොදුරුව ජීවිත විනාශ කරගනිති. මේ තාක්ෂණික ගනුදෙනු නිසාම පවුල නමැති ඒකකයේ දරුවන් සහ මවුපියන් අතර බරපතළ පරතරයක් දුරස් වීමක් දැකිය හැකි. එයින් දරුවා නිරීක්ෂණය කරගන්නේ මවුපියන්ගේ දයාව ආදරය කරුණාව ආදියට වෙනස් වූ වෙනම ලෝකයකි.
අනෙක් කාරණය දිවි නසා ගැනීමය. වර්තමානයේ මෙම අර්බුදය බරපතළ තත්වයෙන් දැකිය හැකිය. අප බොහෝ විට මෙවැනි ප්‍රශ්නවලදී සලකා බලන්නේ එහි බාහිර ස්වරූපය පමණි. එහෙත්, අභ්‍යන්තරය විමසා බලන විට මෑත කාලයේ දිවි නසාගත් අය අතර බහුල වශයෙන් සිටින්නෝ පරිගණක සමාජය තුළ රැවටීම්වලට හා ඇබ්බැහිවීම්වලට ලක්වූවෝ වෙති. ඔවුන්ට ඉටු කරගත නොහැකි ලෝකවලට රැගෙන යාමට මේ පරිසරය බලපා තිබේ. එබැවින්, වත්මන් සංකීර්ණ සමාජයේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර වර්ධනය වී තිබෙන සමාජ අර්බුදය කවරේ ද යන්නත්, ඊට හේතු වී ඇති පරිසරය කෙබඳු ද යන්නත් පිළිබඳ ගැඹුරින් විමසා බලා ඒවාට විසඳුම් සෙවීමට පදනම දැමීම අත්‍යවශ්‍ය කරුණකි.
(***)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පරිහානියට රුකුල් දෙන තාක්ෂණය