IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


පෙම් මල් මාලා නෙළා ගොතාලා

ජනප්‍රිය ඉන්දීය සංගීතඥ ඉලෙයරාජා 2006 වසරේ ඉතාලියේ ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් ස්වර තුනේ ගීයක් නිර්මාණය කළේ ය. ප්‍රසංගය නැරඹූ රසික රසිකාවන්ගේ පමණක් නොව ලෝකය පුරා සංගීත ලෝලීන්ගේ අවධානය දිනා ගන්නට ඒ නිර්මාණය සමත් විය. පසුව ඉලෙයරාජා ඒ ස්වර තුනේ ගීතය ශ්‍රීයා ගෝෂාල් සමග ගායනා කළේ ය. අදත් අන්තර්ජාලයේ ස්වර තුනේ ගීතය යැයි පිරික්සු විට ඉලෙය රාජාගේ ගීතය ගැන තොරතුරු කප්පරක් කියවන්නට, නරඹන්නට, අසන්නට පිළිවන.

හැබැයි ලංකාවේ සුනිල් සාන්ත ඔය වැඩේ කළේ ඉලෙයරාජා ඒ නිර්මාණය කරන්නට අවුරුදු හතළිහකට පණහකට පමණ කලිනි, සුනිල් සාන්ත ස්වර තුනේ ගී පමණක් නොව තනි ස්වරයේ ගීයක් ද නිර්මාණ කළේය. නමුදු අන්තර්ජාලයේ තබා ලංකාවේවත් ඒ ගැන කිසිදු කතා බහක් නැත.

ග්‍රැමෆෝන් යුගයේ පටන් මෑතක් වන තෙක් ම අපේ රටේ කතා බහට ලක්වූයේ ගායක ගායිකාවන් පමණි. ගීතය යනු ගායක ගායිකාවන්ගේ නිර්මාණ කාරියක් පමණක් බව බොහෝ දෙනාගේ මතය විය. ගීත රචකයන් සහ සංගීතඥයන් දැරුයේ දැ ඒ මතය ම ය.

ඒ නිසා ම බොහෝ රස පූර්ණ, අර්ථ පූර්ණ නිර්මාණ කළ සංගීතඥයන් මෙන්ම ගේය කාව්‍ය කර්තෘවරු ද තිරය පිටුපස සැඟවී ගියෝ ය. මාධ්‍ය ඔස්සේ ගී විකාශය වන අවස්ථාවන්හි දී ඔවුන්ගේ නම් ඇසුණේ කලාතුරකිනි. චිත්‍රපට නාමාවලින් හි ගීත රචකයන්ගේ නම් පොදුවේ සඳහන් කළා විනා, ඔවුන් රචනා කළේ කවර ගීත දැ යි සඳහන් කිරීමේ පිළිවෙතක් ද නොවීය.

වර්තමානයේ අප රස විඳින අතිශය ජනප්‍රිය දේශීය ගී රැසක ගේය කාව්‍ය කර්තෘවරයා ගැන හාංකවිසියක් ලාංකේය සමාජය නොදන්නේ අන්න ඒ නිසාය. ලෝකයේ පළමු වර ස්වර තුනේ ගීයක් නිර්මාණය කිරීමේ කීර්තිය සුනිල් සාන්තට හිමි නොවී ඉලෙයරාජාට හිමි වූයේ අන්න ඒ නිසාය. එපමණකුදු නොව ලෝකයේ මුල් වරට තනි ස්වරයේ ගීයක් නිර්මාණය කළේ සුනිල් සාන්තයන් බව කිසිවකු නොදන්නේ ද අන්න ඒ නිසාය. මන්ද ගීයක් සම්බන්ධයෙන් හැම විට ම අප අවධානය යොමු කළේ ගායකයා හෝ ගායිකාව හෝ ගැන පමණක් බැවිනි.

ලාංකේය සමාජය තුළ අත්දුටු මේ අඩුපාඩුව සම්පූර්ණ කරලීම සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මීට කලෙකට පෙර ගාන්ධර්ව අපදාන නමින් කෘති මාලාවක් සම්පාදනය කළේය. ලංකාවේ ප්‍රකට සංගීතඥයන් ගණනාවක් ගැන බොහෝ සැඟවුණු කරුණු දැන කියා ගැනීමට ඒ කෘති ඔස්සේ අපට අවකාශ සැලසිණි.

ඒ මග ම තවත් ඉදිරියට යමින් මහාචාර්ය ආරියරත්න දැන් ගේය කාව්‍ය කර්තෘවරු නමින් තවත් කෘති මාලාවක් ලාංකේය පාඨකයන්ට දායාද කරලීමේ සත්කාර්යයට මුල පුරා තිබේ. එහි මුල් වෙළුම් දෙක මෑතක දී ඉමාෂි ප්‍රකාශන ලෙසින් එළි දැක්විණි.

එහිදී මහාචාර්ය ආරියරත්න මෙසේ සඳහන් කරයි.

අපගේ ජ්‍යෙෂ්ඨ ගේය කාව්‍ය කර්තෘවරුන් බොහෝ දෙනා ගැන මා තුළ ඇත්තේ බලවත් ශෝකයකි. මන්ද යත්, අපට අප්‍රමාණ රසාස්වාදයක් ලබා දුන් ඔවුන් හඳුනා ගන්නට මඟක් නොවූ බැවිනි. ‘ගේය කාව්‍ය කර්තෘවරු වනාහි ඔවුන් හඳුනා ගන්නට මෙන් ම රසික රසිකාවන්ට හඳුන්වා දෙන්නට ද දැරූ උත්සාහයකි. මෙහි දී මා බොහෝ විට හඹා ගියේ ජනප්‍රිය ගී ලියූ රචකයන් ය. ඔවුන් ගේ ගීත, ප්‍රබුද්ධ ද අප්‍රබුද්ධ ද කලාත්මක ද වාණිජ්‍යමය ද යනු සොයා බලන්නට මා වෙහෙසුණේ නැත.

මේ ගේය කාව්‍ය කර්තෘවරුන් අතරින් සමහරෙකු ලාංකේය පාඨකයා දැන හඳුනා ගන්නේ මුල් වතාවට ය. නමුදු ඔවුන් ලියූ ගී අදත් තැන තැන ගායනා කෙරෙයි. නව සංගීත සංයෝජනයන්ගෙන් කවර් වර්ෂන් බිහිවෙයි.

මර්සිලීන් ඇල්බට් නම් ගේය කාව්‍ය කර්තෘවරයා ද එවැන්නෙකි.

කොළඹ නගරෙ රෑට සුරපුර මෙන, පිට දීප දේශ ජයගත්තා, තේ පැන් දින දින වැඩි වැඩියේ ආදී ගීත රචනා කළෝ ඩබ්ලියු ඩී මර්සලීන් ඇල්බට් සූරීහු ය. ඔහු ගැන දන්නා හඳුනන අය කිසිවෙකු නැත. පින්තූරයක් පවා සොයා ගැනීමට නැත. එහෙත් අඳුරේ හෝ අතපත ගාමින් මහාචාර්ය ආරියරත්න සොයා ගත් කරුණු අනුව, ඔහු 1894 ගම්පහ, එඩේරමුල්ලේ දී උපත ලැබී ය. උප්පැන්න සහතිකයේ සඳහන් නම් දොන් මර්සලීනු ඇල්බට් ය. ආගම රෝමානු කතෝලික ය. ශිල්ප ශාස්ත්‍ර හදාළේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි ඌරුගමුවේ චන්ද්‍රජෝති හිමියන් වෙතිනි. විවාහ වී සිටියේ එඩේරමුල්ලේ පල්ලිය අසල යි. ඔවුන්ට දරුවන් සිටියේ නැත. ගමේ අය ඔහු දැන සිටියේ ‘මසයියා’ නමිනි. (වෙළුම 1 - පිටුව 14)

චන්ද්‍රසේන වීරසේකර, ගිල්බට් මාස්ටර්, ගිල්බට් වීරසේකර යන නම්වලින් හඳුන්වන්නට යෙදුණු සී. වීරසේකර ගේය කාව්‍ය කර්තෘවරයා ගැන ද කිසිවෙක් නොදනිති. අන්ත අසරණව වැලිසර ළය රෝහලේ දී ජීවිතය හැර ගිය වීරසේකර මහතාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන්නටවත් පවුලේ උදවියට හයි ශත්තියක් තිබුණේ නැත. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් උපකාරයක් ඉල්ලූ විට ඔවුන් ඇසුවේ ‘කව්ද වීරසේකර ? කියා ය. අන්තිමේ කණපින්දම් ගසා මිනී පෙට්ටිය ගැනීමට රුපියල් 150 ක් අනුමත කර ගැනීමට පවුලේ උදවියට හැකි විණි.

වීරසේකර සූරීහු ග්‍රැමෆෝන්, ගුවන් විදුලි හා චිත්‍රපට ගී ගණනාවක් නිර්මාණය කළ ගේය කාව්‍යක්කාරයෙකි. සිරි බුද්ධගයා විහාරේ, සාධු දත්ත දා. ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම් ආදී ගීත ගණනාවක කර්තෘවරයා ඔහු ය. මහාචාර්ය ආර්යරත්න මේ කෘතිය සම්පාදනය නොකරන්නට බොහෝ අය එදා සංස්කෘතික දෙපාර්තමේන්තුව  නැගූ පැනය අද ද නඟනු ඇත. කවුද වීරසේකර?,

තරු පායන ආකාසේ, රාණියෙ නැඟී එන්කෝ ම පෙම්, සරා ගොයිය හරි මිනිහා, ආදර පාන සුදා, පෙම් මල් මාලා - නෙළා ගොතාලා, සාගර හිමිය සොයා, සුරතලියේ සුකොමලියේ, සුදෝ සුදු රන්, මල් සරාට ප්‍රේම ලෝකෙ, හිතේ දුකක් නැති මිනිහා ආදී ගීත අද ද ජනප්‍රිය ය. එහෙත් එහි ගීත රචකයා ඒ ජේ. ද සොයිසා බව දැන ගන්නට වර්තමානයේ කිසිදු සටහනක් හෝ ලියැවිල්ලක් නැති තරම් ය. ගේය කාව්‍ය කර්තෘවරු කෘති ඔස්සේ ඒ අඩු පාඩුව ද සම්පූර්ණ වෙයි.

තවත් එවැනි අප්‍රකට ගේය කාව්‍ය කර්තෘවරයෙකි, ජී.එල්.ජේ. නන්දන කීර්ති. එනමින් ගීත රචකයෙකු සිටිය බවක් හෝ නොදන්නා සමාජයක් දැනුවත් කරන්නට මහාචාර්ය ආරීයරත්න සමත්ව තිබේ.

ඕලු මලේහි සුදෝ සුදු, දුක සැප නිති පෙරළේ, සැන්දෑවේ.. සැන්දෑවේ, ගලා කන්දෙනි මතුවෙලා, සිනා සිසි නැඟ එන්නා සූර්යා උදේ. මෝරනවා ප්‍රේමේ හදේ ආදි ගී ගණනාවක් රචනා කළේ නන්දන කීර්ති ය.

ලංකාවේ විකට ගී සම්ප්‍රදායේ පුරෝගාමියෙකු ලෙස ද ඔහු හැඳින්විය හැකි ය. සුපිනගෙ රූපේ ඇවිලෙන ගින්දර වාගේ, දෙව්ලොව දෙවියනේ, නටන්න හිතුණා සාලේ නටන්න හිතුණා ආදී විකට ගීත රචනා කළ ඔහු, දේශීය සිනමාවට විරිදු සම්ප්‍රදායේ ගී පද හඳුන්වා දුන් ගීත රචකයා ලෙස ද ඉතිහාසයට එක් වෙයි. ඒ ඔහු රචනා කළ පරණ කාලෙ අපෙ සියියලා.. ආදී ගීතය යි.

එවැනි අප්‍රකට ගේය කාව්‍ය කර්තෘවරු පිළිබඳව මෙන් ම, මර්සලීන් ජයකොඩි පියනම්, හියුගෝ ප්‍රනාන්දු, විමල් අභයසුන්දර, හර්බට් එම් සෙනෙවිරත්න, සරත් වීමලවීර, කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනයාගරත්නම්, ශ්‍රී නිහාල් ජයසිංහ ආදී ප්‍රකට ගේය කාව්‍ය කර්තෘවරුන්ගේ අප්‍රකට තොරතුරු රැසක් ද මේ කෘති දෙක ඔස්සේ මහාචාර්ය ආරියරත්න ගෙන හැර දක්වයි.

ප්‍රකට ගේය කාව්‍ය කර්තෘවරුන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ දී විඳින්නට සිදු වූ අභියෝගයන් ගැන ද මේ කෘති මාළාවේ සඳහන් ය. මේ ඉන් එක් නිදසුනක් පමණි.

මේ නිබන්ධිකා සංග්‍රහයේ දී අපට හමු වන ගේය කාව්‍ය කර්තෘවරුන් අතරින් ඉතා මෑතක් වනතුරු කලා ලෝකයේ සැරිසැරූ තැනැත්තා ඔගස්ටස් විනයාගරත්නම් ය. ප්‍රේමසිරි කේමදාස සහ කේ. ඩබ්ලිව් පෙරේරා සමග කොළඹ කොටුවට යද්දී මට ද ඔහු හමු වී තිබේ. එහෙත් ඉතා පැරණි ගේය කාව්‍ය කර්තෘවරුන් ගැන තරම්වත් තොරතුරු ඔගස්ටස් ගැන සොයා ගන්නට නොහැකි වීම අභාග්‍යයකි. ඔගස්ටස්ගේ දෙමාපියන්ගේ නම් ගම් අපට සොයා ගන්නට නො හැකි විය, පවුලේ සෙසු සාමාජිකයන් ගැන දැන ගන්ට නොහැකි විය; දූවරුන් දෙදෙනාගේ නම් ගම් දැන ගන්ට නොහැකි විය. (වෙළුම 2 - 243 පිටුව)

ඔහු කරුණාරත්න අබේසේකරයන් ගැන ලියූ නිබන්ධිකාව අවසන් කර ඇත්තේ මෙලෙසය.

‘කරුණාරත්න අබේසේකරයන්ගේ ගීතවලින් තොර ගුවන් විදුලි නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් අද මෙරට නොමැත. හෙටත් එය එසේමය.

අබේසේකරයන්ගේ බුද්ධිමය දේපොළ ඉරානී අබේසේකර මහත්මිය සහ දිලීප අබේසේකර මහතා විසින් ජන සමාජයට දන් දී තිබේ. රසික රසිකාවෝ රිසි පරිදි ඒ දේපොළ බෙදා හදා ගනිති. ඒ අතර ගීත මංකොල්ල කෑම් ද සිදුවීම ශෝකජනකය. ඇතැම් පැරණි රචකයන් කරුණාරත්න අබේසේකරගේ පමණක් නොව ගුණරත්න අබේසේකරගේ ද ගීත ඔවුන් වෙතින් පැහැර ගෙන සිය නිර්මාණ ලෙස ගීත එකතුවල පළ කර තිබේ. අබේසේකරවරු ඊට එරෙහිව සටන් නොකරත්.

සිංහල ගේය කාව්‍ය කර්තෘවරුන් අතර කරුණාරත්න අබේසේකර වැන්නෙක් යළි පහළ නොවනු ඇත.’ (වෙළුම 2 - 236 පිටුව)

විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද, අති මහත් වෙහෙසක් දරමින්, නේක තොරතුරු සම්පාදනය කර ගනිමින්, මහාචාර්ය ආර්යරත්න ලාංකේය ගීත ක්‍ෂේත්‍රය වර්ණවත් කළ ගේය කාව්‍යක්කාරයන් දොළොස් දෙනෙකු ගැන අපූර්ව තොරතුරු මෙන් ම, ඔවුන් ලියූ ගී ගණනාවක් පද රචනා ද සමගින් මේ නිබන්ධිකාවන්ට ඇතුළත් කර තිබේ.

මේ කෘති දෙකෙහි අවසන් වැසුම් පිටුවේ පළකර ඇති සඳහන ද රසික අවධානයට යොමු විය යුතු යැයි මට සිතේ.

ඔහු ලියන තාලේ පොත් කවුරුන්වත් ලියන්නේ නැත. කවුරුන්වත් ලියන තාලේ පොත් ඔහු ලියන්නේත් නැත. ඔහු ග්‍රන්ථ කරණය සඳහා තෝරා ගන්නේ කිසිවකුගේ ඇස නොගැටෙන මාතෘකා ය. ඔහු ‘සින්දු’ යන දෙමළ වචනය ගැන පොතක් ම ලිව්වේ ය. ‘බයිලා’, ‘කැරොල්’, ‘පසම්’ ‘කන්තාරු’, ‘ග්‍රැමෆෝන් ගී’ වැනි මාතෘකා මෙන් ම ලෞජි, ‘මුත්තුසාමි’, ‘රොක්සාමි’, ‘සාලි’, සමරදිවාකර වැනි මාතෘකා ද ඔහුගේ ග්‍රන්ථ නාම අතර වෙයි. ජාතික ගීයේ නිර්මාතෘවර ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියන තුරු කිසිවෙක්, කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ගේය කාව්‍ය කර්තෘවරු ද ඒ පොත් සමුහයට ම අයත් වන්නා වූ කෘතියකි.

සුනිල් ආරීයරත්න මේ වෙනත් තාලේ පොත් ලිවීම සඳහා නිබඳ වෙහෙසෙන්නෙකි. එවැනි අවස්ථාවන්හි, දිවා රෑ නොබලා, වෙලාවක් අවේලාවක් නොතකා, කෑමක් බීමක් ගැන නොසිතා සිය කාර්යයට උපරිම බර දෙන්නෙකි. ඔහු විසින් සම්පාදිත ‘දෙමළ බෞද්ධයා’ කෘතිය සඳහා අවශ්‍ය තොරතුරු සෙවීමි හා

පර් යේෂණ කාර්යයන් වෙනුවෙන් තමිල්නාඩුව පුරා රස්තියාදු වීමේ භාග්‍ය අවස්ථා දෙක තුනක දී මට ද ලැබුණු බැවින්, ඒ ගැන මම හොඳින් ම දනිමි.

එහෙයින් මෙවන් වෙහෙසකර වෑයමක නිරත ව, ලාංකේය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ කිසිවෙකු අත නොගැසූ ජාතික වගකීමක් ඉටු කිරීම ගැන මහාචාර්ය ආරියරත්නට ගෞරවාදයෙ පිරිනමමින්, ඉල්ලීමක් ද කරනු කැමැත්තෙමි.

එනම්, දේශීය සිනමා අම්බරයට කැලෑ හඳ යළි උදා කරලීමෙන් අනතුරුව, මේ කෘති මාලාවේ ඊළඟ වෙළුම පිළිබඳව අවධානය යොමු කරනා ලෙස ය.

(*** සමන් අතාවුද හෙට්ටි)



අදහස් (0)

පෙම් මල් මාලා නෙළා ගොතාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site