ශ්‍රී ලංකාවේ තිබූ දරුණුතම ත‍්‍රස්තවාදය නැතිකර රට  එක්සේසත් කර ශ්‍රී ලංකාව ශ්‍රීඝ‍්‍ර දියුණුවක් කරා ගෙන යාමට මූලිකව කටයුතු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙළොවට බිහිකළ උතුම් කාන්තා රත්නය එතුමන්ගේ ආදරණීය මව්තුමිය වූ දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂතුමියි.
මේ කරුණ ගැන කවුරුත් කථා කළත් මව්තුමියගේ කරුණා මෛත‍්‍රී ගුණය ගැන තොරතුරු විස්තර අවබෝධ කරගත් පිරිස අඩුනිසා ශ්‍රී ලංකාවාසී ජනතාවට මව් ගුණය අවබෝධ කරවීම සඳහාත් මව්පිය උපස්ථානයට දරුවන් නැඹුරුකර යහපත් ගුණගරුක සමාජයක් බිහිකිරීම සඳහාත් පඬුවස්නුවරxහෙට්ටිපොල ප‍්‍රදේශයෙන් මව් ගුණ චෛත්‍යය දහයක් ඉදිකිරීමේ සත් කාර්යයක් ආරම්භ වී ඇත. ඒ ගැන ප‍්‍රසිද්ධියක් නුදුන්නත් දැනට පඬුවස්නුවර ප‍්‍රදේශයේ චෛත්‍ය හතරක් නිර්මාණයවී අවසානය.

මේ ආදර්ශමත් මාහැඟි සත්කාර්යය ”සෙත්සව් ජනතා ආශිර්වාද පදනමේ” නිර්මාතෘ එහි සභාපති ජාලිය කුලසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.
ප‍්‍රදේශයේ අතිගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද චෛත්‍ය ඉදිවන විහාරස්ථානවල දායක දායිකාවන්ගේ ශ‍්‍රම ශක්තිය පමණක් උපයෝගී කරගෙන සභාපති ජාලිය කුලසේකර මහතාගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් මේ කටයුත්ත ක‍්‍රියාත්මක වේ.

ඉතා දර්ශනීය චෛත්‍යය දක්ෂ කලාකරුවන් අතින් නිර්මාණය වේ. චෛත්‍ය ඉදිවන විහාරස්ථානයේ අඩුපාඩුකම්ද සපුරාලමින් මළුපෙත් සමග පූජනීයත්වය ඉතා උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සැලසුම් කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙහි පළමු සෑය පඬුවස්නුවර ආසනයේ හෙට්ටිපොල, මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඉදිවී අවසානය. එහි විහාරාධිපති හිමියෝ මැදමුලනේ රතනසාර නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ ගම්ප‍්‍රදේශයෙන් වැඩම කර හෙට්ටිපොල මඩඉන, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස ජාතික ආගමික සේවාවක් පවත්වාගෙන යන වයෝවෘද්ධ හිමි නමකි.

මේ වඩඉන ශ්‍රී පුෂ්පාරාමයේ ඉදිවූ චෛත්‍යයට මුල්ගල් තැබීමත්, විවෘත කිරීමත් සිදුවූයේ ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් සොහොයුරු පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතිනි.

එය විවෘත කරමින් එතුමා ප‍්‍රකාශ කළේ අපේ මෑණියන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ මෙම චෛත්‍යය ගැන අප රාජපක්ෂ පරපුරම ණයගැති බවය. තම පවුලට කරගත නොහැකි වූ දෙයක් පඬුවස්නුවර ජනතාව සමග එක්ව ඉටුකරලීම පිළිබඳව ජාලිය කුලසේකර මහතාට එම  මැතිනියට පවුලේ සැමට සහ ප‍්‍රදේශවාසී ජනතාවට තම ස්තුතිය පළ කළේය.

දෙවන ”මව්ගුණ සෑය” හෙට්ටිපොල, රිට්ටාදෙණිය, ශ්‍රී කල්‍යාණි යෝගාශ‍්‍රම විහාරයේ ඉදිවෙමින් පවතී. එහි නිමාව ඉක්මණින් දැකිය හැකි වනු ඇත.
තුන්වැනි ”මව්ගුණ” සෑයේ වැඩ අවසන් කර නිමාවී 2013 ජූනි මස 3 වැනිදා විවෘත විය. හෙට්ටිපොල, හංතිහව, ශ්‍රී නාගිනාරාම විහාරස්ථානයේ ඉතාමත් දර්ශනීය අයුරින් නිමවා ඇත. මෙහි පිටත පෙනුම අනුරාධපුර රුවන්වැලි මහ සෑයේ ආකෘතියට අනුවත්, එහි ගර්භය කළුතර ඓතිහාසික චෛත්‍යය අනුවත් නිර්මාණය වී ඇත. ඇතුල් මාලයේ ධාතුගර්භය ශ‍්‍රද්ධාවතුන්ට වැඳපුදාගැනීමට හැකිවන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි.

මේ දර්ශනීය චෛත්‍ය නිර්මාණය වන අතරතුර දුර්වලව තිබූ විහාර මන්දිරය ද ප‍්‍රතිසංස්කරණය කර චෛත්‍ය මළු ඉතා ක‍්‍රමවත්ව ඉදිකිරීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ කොළඹ 2 ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානයේ ශාස්ත‍්‍රාචාර්ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ  මූලිකත්වයෙන් ප‍්‍රදේශයේ සම්භාවනීය අතිගරු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විවෘත විය.

 චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයට පෙරාතුව අතිගරු මහා සංඝරත්නය උදෙසා මාහැඟි දානයක් පිළියෙල කර පිරිනැමීම සහ ගම්වාසී විහාරස්ථ දායක දායිකාවන්ට ආහාරපාන ආදියෙන් සංග‍්‍රහකිරීම ජාලිය කුලසේකර පවුල අතින් සිදුවිය. එම පවුලේ ප‍්‍රධානත්වයෙන් නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදිවූ මෙම ”මව්ගුණ සෑය”  ඉදිකිරීමෙහිලා විහාරස්ථ දායක දායිකා පිරිසගේ ශ‍්‍රම ශක්තිය ලැබීම විශේෂත්වයක් විය.

ශ්‍රී නාගිනාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ශාස්ත‍්‍රපති බොහින්ගමුවේ රතනජෝති නායක ස්වාමීන් වහන්සේය. ආදර්ශමත්, කැපවීමෙන් ක‍්‍රියා කරන විහාරාධිපතීන් වහන්සේ දිවා රාත‍්‍රී නොබලා මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමෙහි  ඉතාමත් උනන්දුවෙන් හා උත්සාහයෙන් මනා මගපෙන්වීමකින් ක‍්‍රියාකළ බැව් උත්සව සභාව අමතමින් විහාරස්ථ දායක සභාවේ ලේකම් එමල් ප‍්‍රියන්ත මහතා ප‍්‍රකාශ කළේය.

හතරවැනි ”මව්ගුණ සෑය” පානවැව, පිරිවෙණේ ඉදිවෙමින් පවතී. එහි කටයුතු ද තවත් නොබෝ දිනකින් අවසන් කළ හැකි බැව් එහි ප‍්‍රධාන දායක ජාලිය කුලසේකර මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආදරණීය මෑණියන් වහන්ස්ගේ ගුණ මහිමය සිහිපත් කර දීමට ශ්‍රී ලංකාවාසී ජනතාවට ඒ මව්තුමිය නිසා ලැබුණු පුත‍්‍රරත්නයෙන් සිදුවන සේවාවට ගරුකිරීමක් වශයෙන් මේ ”මව්ගුණ සෑ ව්‍යාපෘතිය” චෛත්‍යරජයාණන් වහන්සේලා 10 නමක් දක්වා ක‍්‍රියාත්මක කිරීමට තම සංවිධානය වන ”සෙත්සවි” සංවිධානය මුල් කරගෙන ක‍්‍රියාත්මක කරන බැව් ජාලිය කුලසේකර මහතා සිහිපත් කළේ සතුටු කඳුළු හෙළමිනි.

එදා සෞභාග්‍යමත් ශාසනික සේවාවක් සිදුවූ පඬුවස්නුවර ආසනය ප‍්‍රධාන කරගෙන මෙම කටයුත්ත ආරම්භවීම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවාසීන්ටද ආදර්ශයක් වේවා යනු සංවිධායකයන්ගේ පැතුම වේ.

 

සටහන :  මොහාන් කුරුවිටබණ්ඩාර