IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පැච් නැති වෙනසක අවශ්‍යතාව

ජනාධිපතිවරණයක් ඉදිරියේදී පැවැත්වෙන්නට තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද නැද්ද යන සංවාදය සමාජය තුළ නැවත සාකච්ජාවට ලක් වෙමින් ඇති බව පෙනේ. 1977 ව්‍යවස්ථාව සලකා බැලු‍වහොත් බලය මධ්‍යගත කොට තිබූ හෙයින් අගමැති ඉවත් කොට ඒ වෙනුවට ජනාධිපතිවරයාට බලය පැවරීමේ හැකියාව පැවතිණ. එහෙත් එයින් ජනාධිපතිවරයාට අවශ්‍ය සියලු‍ වැඩ කටයුතු කළ නොහැකි වූ නිසා 1978 දී නව ව්‍යවස්ථාවක් සම්මත කොට ගැනිණ. අද දක්වාම ක්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවයි.

එය නිර්මාණය වූයේ ජනාධිපතිවරයාගේ බලය කේන්ද්‍ර ගතවන පරිදිය. පාර්ලිමේන්තුවද, අධිකරණයද ජනාධිපතිවරයාට පාලනය කළ හැකි වන පරිදි බලය මධ්‍යගත කිරීමක් එහි දැකිය හැකිය.

එවකට අප එය හැඳින්වූයේ ව්‍යවස්ථාව තුළ ඒකාධිපතියකු නිර්මාණය කිරීමක් ලෙසය. කැබිනට් ක්‍රමයත් එකට තබාගෙන විධායක ජනාධිපතිවරයකු පත්කොට සකස් කරගත් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් වන මෙය ප්‍රංශයේ ඩිගෝල්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාන වුවත් ලංකාවේ දී සිදුවන්නේ ඒකාධිපතියකු නිර්මාණය කිරීමක් බව ආචාර්ය ඒ.ජේ. විල්සන් පැහැදිලිව සඳහන් කළේය.

මේ කියන ජනාධිපති ක්‍රමයේ දෙවැනි සංශෝධනය කාලයේ ද මෙම විධායක ජනාධිපති ක්‍රමයේ අත්විය හැකි භයානක ප්‍රතිඵල ගැනත් එය ප්‍රජාතන්ත්‍රවාදයට නරක තත්වයක් බවත් අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. විධායක බලය භාවිත කළ ඇතැම් ජනාධිපතිවරුන් ක්‍රියා කළ අන්දමින් ද ඒ බව පැහැදිලි විය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට එනවිට භීෂණය, දූෂණය, මර්දනය පරාජය කරන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අලු‍ත් ව්‍යවස්ථාවක් ගෙන එන බවත් නිතර නිතර ප්‍රකාශ කළේ විධායක බලතලවල පැවැති ප්‍රතිඵල නිසා විය හැකිය.

එතැන් පටන් සෑම මැතිවරණයකදීම, සෑම ජනාධිපතිවරයකුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කරුණ ඉදිරියට ගෙනා බව දක්නට ලැබුණි. 2015 දී මෛත්‍රී - රනිල් ආණ්ඩුව ද බලයට ආවේ මේ අදහසම පෙරදැරි කොට ගෙනය. මේ සෑම තැනකදීම අවධානය යොමු වූයේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම මිස විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම නොවේ. එසේ කිරීමට නම් නව ව්‍යවස්ථාවක් ගෙනා ආයුතු වේ. 2016-2018 කාලයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් රැස් වූ අතර මම ද එහි විශේෂඥ උපදේශන කමිටුවේ සාමාජිකයෙක් වීමි. අලු‍ත් ව්‍යවස්ථාවකට අවශ්‍ය විධිවිධාන මෙමඟින් සකස් වුවද සියලු‍ පක්ෂ එක් වී එය අවුල් කොට දැමීය.

මේ අනුව අවධාරණය කළ හැක්කේ ක්‍රමය ඉවත් කිරීම මිස ධුරය ඉවත් කිරීම ඵලරහිත බවය. එහි විධිවිධාන සකසා ඇති ආකාරයට ව්‍යවස්ථාවට පිටින්ද බොහෝ බලතල ජනාධිපතිවරයාට ලබාගත හැකිය. හදිසි අවස්ථා රෙගුලාසි පැනවීම, පොලිස් ආඥා පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී අලු‍තින් එක් වූ පනත් කීපයක්ම ඒ අතර වේ. මේ පූර්ණ බලය නිසා මෙම ක්‍රමය ඉවත් කළ යුතු යැයි යන මතය බොහෝ දෙනා පිළිගනිති. මේ දිනවලද විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සංවාදය සෑම පක්ෂයක්ම පාහේ මතු කරමින් බෝලය උස්සා ඩෑෂ් පහරක් ගසනු පෙනේ. සිරිසේන ජනාධිපතිවරයා මේ අදහසම ගෙනා අවස්ථාවේ අප පෙන්වා දුන්නේ ධුරය නොව ක්‍රමය ඉවත් කිරීම පිළිබඳවය. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් පැනවිය යුතුය. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ජාතික ප්‍රශ්න හා රටේ වෙනත් ප්‍රශ්න නිසියාකාර අධ්‍යයනයකින් එය කළ යුතුව ඇත.

19 වැනි සංශෝධනය ගෙනාවේ ද මේ අරමුණෙනි. එහෙත් එහිදී ප්‍රකාශ වූයේ ජනමත විචාරණයකින් කළ හැකි දේ පමණක් කරන බවය. 19 සංශෝධනයේ දී අගමති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවාහැරීම වෙනුවෙන් සීමාවක් දැමූ නිසා එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ නොහැකි විය. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළ පමණින් හෝ ජනාධිපති ධුරය ඉවත් කළ පමණින් ආණ්ඩු කළ නොහැකි බව දැන් ඔප්පු වී තිබේ. විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතු බවට තකහනියේ නැවත කතාබහක් ඇති වූයේ ඇයි? මැතිවරණය වසර දෙකකට කල් දැමීම සම්බන්ධ මුට්ටියක් දමා බැලු‍වත් එය ඇත්ත මුට්ටිය නොවේ. ඇත්ත මුට්ටිය වී ඇත්තේ ජනාධිපති ධුරය ඉවත් කිරීමේ සංශෝධනයක් ගෙන ඒම බවයි පෙනෙන්නේ.

මගේ මතය නම් මේ රටේ දැනට තිබෙන ප්‍රශ්නය ජනාධිපති ධුරය නොවේ. 2022 දී සිදු වූ ජනනැගිටීම අපි සියල්ලෝම පිළිගත යුත්තෙමු. ඒ සඳහා කර්තෘවරයෙක් නොමැත. ඊට අරයාට, මෙයාට ඇඟිල්ල දිගු කොට වගකීම පැටවීමෙන් පලක් නොවේ. ප්‍රංශ විප්ලවයේ සිදුවූයේත් විවිධ දාර්ශනිකයන් ලියන කියන දේ අතරේ ස්වාභාවිකව ජනතාවගේ නැගිටීමයි. එහෙත් ඉන්පසු පාලනය ගොඩනැගුණේ ජනතාවට ඕනෑ විදියට නොවේ. අපේ රටේ මතු වූ ජන අරගලයෙන් පසු සිදුවූයේ කුමක්ද? ජනාධිපතිවරයා තනතුර හැරදා ගියේය. ඔහු ලබාගත් ඡන්දය ඔහු විසින්ම අවලංගු කරන ලදී. ඉන් පසු තාවකාලික වැඩබලන ජනාධිපතිවරයකු පත් කෙරිණ. ඔහුගේ ධුර කාලය ජන්ද බලයෙන් පත් වූ ජනාධිපතිවරයාට නියමිතව පැවැති ධුර කාලයෙන් අවසන් වේ. ධුර කාලය දීර්ඝ කිරීමට සංශෝධන ගෙන ඒම ප්‍රායෝගික නොවේ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නීති විරෝධී ද වේ.

ජනාධිපති ධුරය සංශෝධනය කිරීමට ව්‍යවස්ථාවක් සකසනවා නම් ව්‍යවස්ථා මණ්ඩලයක් රැස්ව සාකච්ජා කොට ජනතාව අනුමත කරන තැනට කටයුතු සිදුවිය යුතුය. ජනතාව සමග සාකච්ජාවක් නොමැතිව කෙටුම්පතක් මගින් ජනාධිපති ධුරය ඉවත් කරන්නට උත්සාහ ගන්නේ නම් එහි අරමුණ ජනාධිපතිවරයා ඉවත් කිරීමට වඩා ජනාධිපතිවරණය මගහැරීමයි. එබඳු අදහසක් ඇත්නම් එවැන්නකට කිසිදු විරුද්ධ පක්ෂයක් සහයෝගය දෙනු ඇතැයි සිතිය නොහැකිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයක් ලබාගැනීම ද දුෂ්කර වනු ඇත. ජනමත විචාරණයකට ගියහොත් මේ සියල්ල පරාජය වනු ඇත.

මේ වනවිට ජනතාව බලා සිටින්නේ තමන්ගේ ජන්දය පාවිච්චි කිරීමටය. දැනටමත් පළාත් පාලන ජන්දය හා පළාත් සභා ජන්දය වෙනුවෙන් ජනතාවට ඒ අවස්ථාව නොලැබී ගොස් තිබේ. ජන්ද කල් දැමීම කූඨ උපක්‍රමයකි. එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කරන බලපෑමකි.

එම නිසා අවධාරණය කළ යුතු අත්‍යවශ්‍ය දෙය නම් සුජාතභාවය අහිමි වී ඇති විධායකයත් පාර්ලිමේන්තුවත් ඉවත් කිරීමයි. ජනතාවට ජන්ද බලය සඳහා අවස්ථාව ලබා දී රාජ්‍යයට නීත්‍යනුකූලභාවයක් හා සුජාතභාවයක් ඇති කිරීම මේ අවස්ථාවේ කළ යුත්තකි. වඩාත් වැදගත් වන්නේ සමාජයෙන් ලැබෙන පිළිගැනීමය. බලය පවත්වාගෙන යාමේ විශ්වාසනීය තත්වයක් ඇති වන්නේ එවිටය. සෑම විටම සුජාතභාවය ආරක්ෂා වන්නේ නිසි පරිදි නිසි කලට මැතිවරණ පැවැත්වීමෙනි. පළාත් පාලන මැතිවරණ ආදිය ද නිසි කලට නොපැවැත්වීමෙන් අද ඇති වී තිබෙන තත්වය පැහැදිලිය. කුණු කන්දල්, කාණු ඉතිරී යන තත්වයක් තුළ ගම් නගරවල මේ පරිසරය සොයා බැලීමට, තීරණ ගැනීමට කෙනෙක් නැති මට්ටමට පත්ව ඇත්තේ මේ නිසාය. මේ අවස්ථාවේද ජන්දය මගහැර යාමේ උපක්‍රමයක් මිස සැබැවින්ම මේ රටට අලු‍ත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රයත්නයක් බැලූ බැල්මට පෙනෙන්නේ නැත. බාහිරව මවා පෙන්වීම් වලින් පමණක් රටට වැඩක් වන්නේ නැත.

ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි කරනවාය කියන කතන්දරයට ජනතාව හසු නොවිය යුතුය. ඒ වෙනුවට ජනතාවට තේරුම් කර දිය යුත්තේ පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරණය සඳහා සුජාතභාවය තහවුරු විය යුතු බවය. සුජාත යනු පිරිසුදු උපතයි. සමාජ පිළිගැනීම සඳහා ඒ සුජාතභාවය අත්‍යවශ්‍ය වේ. දැනට තිබෙන ව්‍යවස්ථාවටත් මේ කියන සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නය තිබේ. පළමු වැනි විධායක ජනාධිපති සංශෝධන විවාදය පාර්ලිමේන්තුවේ සවස දෙකට ආරම්භ කොට අට වනවිට අවසන් කෙරිණි. ඒ අනුව දශක කිහිපයක පටන්ම මේ කියන සුජාතභාවය පිළිබද ගැටලු‍ ඇති බව පෙනේ. පනස් ගණන්වල සිටම මේ රටේ බලයට පැමිණි අයට අවශ්‍ය වුණේ තමන්ට ඒකාධිකාරී ලෙස බලය පාවිච්චි කිරීමට හැකි වනසේ ව්‍යවස්ථාව හැඩගස්වන පසුබිම සකස් කොට ගැනීමටය.

අවශ්‍ය වන්නේ විධායක ක්‍රමය ඉවත් කිරීම මිස ජනාධිපති ධුරය ඉවත් කිරීම නොවේ. මෙම ක්‍රමය තුළම ජන්ද බලයට ගැසූ ගැට ඉතිහාසය පුරා අපි දැක ඇත්තෙමු. ව්‍යවස්ථාවේ කියැවෙන ආකාරයට ජන්ද බලය ජනතා පරමාධිපත්‍යයට අයිතිය. එම පරමාධිපත්‍ය අයිතිය පවා මෙම ක්‍රමයෙන් උල්ලංඝනය වන්නේ නම් එතැන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද? එම අයිතිය අවහිර කරමින් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිත‍යෝ වේදිකාවල එක එක කතන්දර කියමින් ෆැන්ටසි පෙන්වමින් සිටිති. ජන්ද පැවැත්වීමෙන් වාසි අවාසි ඇති වන බව ඔවුහු දනිති. මේ වේලාවේ නැවතත් විධායක ජනාධිපති ක්‍රමය කරළියට ගෙනෙන්නේ එවන් පසුබිමක් තුළය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් සකස් වන තුරු පැච් වහන ව්‍යවස්ථා සංශෝධන මගින් මේ දේශපාලන ක්‍රමය පරිවර්තනය කළ නොහැකිය.

 

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

පැච් නැති වෙනසක අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 236 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 612 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4822 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site