IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


​පුංචි ඡන්දයේ පරාජිතයා කවුද?

පළාත් පාලන ඡන්දය නිමාවට පත් වී ඇත. ඒ මැතිවරණයේ ප්‍රතිඵල මගින් පෙන්වන්නේ පසුගිය මහ මැතිවරණයේ තිබූ ජනමතය බරපතළ ආකාරයෙන් වෙනස්වී ඇති බවයි. ඒ වෙනස වඩාත් තීරණාත්මක ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව කරවන ජාතික ජන බලවේගය සම්බන්ධ කාරණා දෙස බල විටය.

මේ ආණ්ඩුව පත්වී ගෙවී ගියේ මාස 06ක් වැනි ඉතාමත් සුළු කාලයක්ය. ඒ කාලයට ආණ්ඩුවේ ඡන්ද පදනම කොතරම් බරපතළ ආකාරයෙන් කඩා වැටී තිබේද යත් ඒ පක්ෂය (ජා.ජ.බ.) මීට මාස 06ක කලින් මැතිවරණයේ දී ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද ලක්ෂ 23කින් අඩු වී තිබේ. මේ අඩුවීම සාමාන්‍ය තත්වයක් නොව අසාමාන්‍ය තත්වයක් බව මාගේ අදහසය.

මෙවර කිවිඳා දැක්මෙන් ලියන්නේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ගැනය.

 

ජාතික ජනබලවේගයේ ප්‍රතිඵලය

මගේ උත්සාහය වන්නේ මාලිමාවේ මැතිවරණ ප්‍රතිඵල එකින් එක රැගෙන විස්තර කිරීම නොවේ. මාලිමාව සමස්තයක් වශයෙන් මෙවර මැතිවරණයේ වැඩිම ඡන්දයක් ලබාගත් පක්ෂය බව මුලින්ම ප්‍රකාශ කළ යුතුය. එහෙත් ඒ ඡන්ද සංඛ්‍යාව ඒ පක්ෂය විසින් පසුගිය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දශ ලක්ෂ 02ක් අඩු බව මෙහිදී අවධානයට ගත යුතුව තවත් වැදගත් කාරණයක්ය. මෑත කාලීන මැතිවරණ ඉතිහාසයේ මෙතරම්  කෙටි කාලයකින් මෙතරම් ඡන්ද විශාල සංඛ්‍යාවක් අහිමි කරගත් පක්ෂයක් තිබුණේ නැති බව මාගේ අදහසයි.

මේ ඡන්ද අඩුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විවිධ තේරුම් ගැනීම් ඇති බව පෙනෙන්නට තිබේ. මාලිමාවේ සමහරුන් කියන්නේ ඡන්ද ලක්ෂ 23ක් තමන්ගෙන් ඉවතට යාම ‘‘මහා ජයග්‍රහණයක්’’ බවයි. ඒ අය කියන පරිදි මේ ප්‍රතිඵලය අති විශාල ජයග්‍රහණයක් නම් එයින් පෙනෙන්නේ ඒ පක්ෂයේ ප්‍රධානින් ජයග්‍රහණය තේරුම් ගන්නේ තමන්ගේ ඡන්ද බලය අඩුවන ප්‍රමාණයට බවයි.

මාලිමාවට මෙවැනි ඡන්ද සංඛ්‍යාවක් අහිමි වූයේ ඇයි? මේ ප්‍රශ්නයට හරියටම පිළිතුරක් ලබාදිය නොහැකි නමුත් සාමාන්‍ය වශයෙන් ඒ හේතුව ගැන අදහසක් ගොඩ නගා ගත හැකිය. මාගේ අදහස වන්නේ මාලිමාවට ඡන්දය ලබාදුන් සාතිශය බහුතර ඡන්දදායකයන් අතරින් තුනෙන් එකක් පමණ පිරිසක් පළමු මාස 06 ඇතුළතම තම පක්ෂයෙන් ඉවතට ගොස් ඇත්තේ ඒ පක්ෂය හා ආණ්ඩුව පිළිබඳව තමන් තුළ තිබූ විශ්වාසය ඉදිරියට ගෙන යා නොහැකි තරමේ විරෝධයක් ඒ අය තුළ ඇතිවීම නිසාය.

මෙතැනදී අපේ අවධානයට ගත යුතු කාරණයක් වන්නේ මෙරට ඡන්ද ඉතිහාසය දෙස බලන විට පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ බහුතර ඡන්දදායක පිරිසක් මාලිමාව වැනි බල පිරමිඩයේ  යටම  සිටි පක්ෂයක්  වෙත ඡන්දය ලබාදීම තේරුම් ගැනීම තරමක් අපහසු බවයි. බොහෝ ඡන්දදායකයන් මාලිමාවට ඡන්දය ලබා දුන්නේ ඒ අය කෙරෙහි තිබෙන පැහැදීමකට වඩා අනෙක් පක්ෂ සම්බන්ධව තිබෙන අපැහැදිම හා පිළිකුල් කිරීම නිසා බවයි. එසේම මෙහිදී තේරුම් ගත යුතු තවත් කාරණයක් වන්නේ 2015 ජනාධිපතිවරණයේ සිට මෙරට ඡන්ද දේශපාලනයේ බරපතළ වෙනසක් පෙන්නුම් කෙරෙන බවයි. එනම් 2015 සිට පැවති ජනාධිපතිවරණ දෙක සහ මහමැතිවරණ දෙක මගින් පෙන්නුම් කරන්නේ රටේ ඡන්ද දායකයන් මිලියන 17න් බහුතරය ක්‍රමානුකූලව පක්ෂයකට අයිති නැති නිර්පාක්ෂික පිරිසක් බවට පත්වෙමින් සිටින බවයි. ඒ අනුව ඡන්ද මිලියන 8කට අධික සංඛ්‍යාවක් පක්ෂ සම්බන්ධතාවක් නොමැති ඡන්දදායකයන් පිරිසක් බවට පත් වී ඇති  බවයි.

2015 මෛත්‍රීපාල සිරිසේනත්, 2019 ගෝඨාභය රාජපක්ෂත්, 2024 අනුර කුමාර දිසානායකත් ජනාධිපති ධුරයට පත් වන්නේ මේ නිර්පාක්ෂික ඡන්ද මිලියන 8න් බහුතරයක් ලබා ගැනීම නිසා බව මාගේ නිරීක්ෂණයයි. මේ ඡන්දදායක ප්‍රවණතාව ඉතාමත් ගතික සහ වෙනස් වෙන සුලු පිරිසකි. මා තර්ක කරන්නේ 2015 මෛත්‍රීට, 2019 ගෝඨාභයට සහ 2024 අනුරට ඡන්දය දුන් ඡන්දදායකයන් විශාල පිසක් මෙරට සිටින බවයි. මේ ඡන්දදායක ප්‍රවණතාව ‘‘පොරොන්දු දේශයක් සොයා යන යුදෙව් වැසියන් මෙන්’’ ලංකා දේශපාලනය තුළ  ඒ මේ අතට මාරුවෙමින් තමන්ගේ දේශපාලන අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ ගන්නා  බවයි. 2015 මෛත්‍රීට පැන්න ඔවුන් 2019 ගෝඨාභයට පැන්න අතර ඔවුහු 2024 අනුර වෙත පැන්නෝය. දැන්  ඒ වේගයෙන් අනුරගෙන් එළියට පනිමින් සිටින්නෝය. 

එහෙත් මෙහිදී තේරුම් ගත යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මේ ඡන්දදායක ප්‍රවණතාව තවමත් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ අනුර කුමාර දිසානායක මහතාට බවයි. ජාතික ජන බලවේගය තවමත් ඡන්ද ලක්ෂ 4ක සීමාව තුළ සිටින්නේ ඒ කාරණය නිසාය. එම ඡන්දායක ප්‍රවණතාව ආමන්ත්‍රණය කිරීමේ තර්කයක් විපක්ෂයේ කුමන හෝ බලවේගයකට ලැබුණු විගස ඉහත සඳහන් ඡන්දදායක ප්‍රවණතාව ‘‘හැරෙන තැපෑලෙන්’’ ඒ බලවේගයට සම්බන්ධ වෙන බව මාගේ තේරුම් ගැනීමයි.

ඒ නිසා ජ.ජ.බ කොපමණ පළාත් පාලන ආයතන ගණනක බලය පිහිටවයිද යන්න එතරම් අදාළ ප්‍රශ්නයක් නොවේ. අදාළ ප්‍රශ්නය වන්නේ මීළඟ මාස  06 ඇතුළත මාලිමාවේ ඡන්ද දායක ප්‍රවණතාවේ ඊළඟ කොටස ගැලවෙන්නේ කාටද යන ප්‍රශ්නයයි.

 

සජබ ලැබූ ප්‍රතිඵලය

මේ පළාත් පාලන මැතිවරණයේ දෙවෙනියට ඡන්ද ලබාගත් පක්ෂය වූයේ සමගි ජන බලවේගයයි. ඒ පක්ෂය පසුගිය මැතිවරණයේදි ලබ ගත් ජන්ද ප්‍රමාණයක්ට  වඩා වැඩි ප්‍රමාණයක් බව සැබෑවක් වුවත් මාලිමාවේ කඩා වැටීමට සාපේක්ෂව ලබාගත් ඡන්ද සංඛ්‍යාව සතුටුදායක නොවන  බව මාගේ අදහසයි. එයින් මා කියන්නේ ස.ජ.බ. පක්ෂය විපක්ෂයේ සිටින ගමන් ලබාගත් මේ ජයග්‍රහණය වැදගත් නැති බව නොවේ.  එහෙත් මේ සංකීර්ණ තත්වය හමුවේ ස්වකීය ඡන්ද ශක්තිය තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව තිබූ බව මගේ අදහසයි.

ඒ කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 130 ක් වැනි ගණනක බලය අනෙකුත් විපක්ෂ බලවේග සමගින් පිහිටුවීමට සජබයට හැකියාව ලැබුණහොත් එය ඉතාමත් තීරණාත්මක ජයග්‍රහණයක් බව ඉතාමත් පැහැදිලිය.

 

පොහොට්ටුවේ ආ ගමනය

මේ පළාත් පාලන මැතිවරණයේ වැඩියෙන්ම ඉදිරියට පැමිණ තිබෙන්නේ පොහොට්ටු පක්ෂයයි. එය ඡන්ද දෙලක්ෂ පනස් දාහේ සිට ලක්ෂ 9දක්වා වූ වර්ධනයකි. එහෙත් මගේ අදහස වන්නේ ඒ පක්ෂය යම් ආකාරයකින් පරණ ඡන්දදායකයන් කොටසක් තමන් වෙත කැඳවා ගත්තාට රටේ  සිදුවෙමින් පවතින දේශපාලන විපර්යාසය තේරුම් ගැනීමට හැකියාවක් නොමැති වුවහොත්, රාජ්‍ය බලය ලබාගැනීමේ පළල් අභියෝගය ජය ගැනීම අසීරු බවයි.

ක්‍රිකට් ලෝකයේ උදාහරණයකින් කියනවා නම් කිව හැක්කේ මෙවැන්නකි. ජනප්‍රිය පාසලක ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය ගත් විට ජාතික කණ්ඩායමට ඇතුළුවීමට ඉතාමත් ළඟ වගේ පෙනුණාට ඒ දෙක අතර තිබෙන දුර අතිශයෙන් විශාලය. ඒ නිසා පාසල් ක්‍රිකට් සීමාවෙන් එපිට ජාතික ක්‍රිකට් සීමාව දක්වා යන ගමන් මාර්ගය පිළිබඳ පළල් තේරුම් ගැනීමක් හා ඒ සඳහා වූ නිවැරදිවීමක් නොමැතිව ඒ තත්වයට යාමේ හැකියාවක් නැත.

තවත් පැත්තකින් බලන විට පෙනි යන කාරණයක් වන්නේ රටේ දේශපාලනයේ සිදුවී තිබෙන වෙනස්කම් අතර එක් ප්‍රධානතම වෙනසක් වන්නේ පැරණි දේශපාලන අගය කිරීම්වලින් රටේ දේශපාලනය එළියට පැමිණ ඇති බවයි. කුසලතාවාදයක් හෙවත් ‘‘මෙරිටොක්‍රසි’’ පදනම මත දේශපාලනය අලුත් වෙමින් පවතින බවයි. මෙම තත්වය සජබ වැනි අනෙකුත් බලවේගවලටත් අදාළය. පැරණි දේශපාලන සබඳතා කියා පාමින් බලය ලබාගැනීමේ ඉඩ වේගයෙන් නිමාවෙමින් පවතී. ඒ නිසාම පොහොට්ටුව ඉදිරි දේශපාලන උපාය මාර්ග තේරීමේ දී ඒ අලුත්වීම පෙන්නුවේ නැතිනම් මේ ලබන වර්ධනය සීමාවන බව මගේ අදහසයි.

 

එ.ජා.ප සහ අනෙකුත් බලවේග

මේ මැතිවරණයේදී එ.ජ.පය  ලබාගත් ඡන්ද ගණනත් ඉතාමත් සිත් ගන්නා සුලුය. පැරැණි එජාපය ශක්තිමත් පක්ෂයක් බව සැබෑවක්ය. එහෙත් මේ වනවිට ඒ පක්ෂය සිටින්නේ ඉතාමත් දුර්වල තත්වයකය. ඒ මට්ටමින් සලකන විට ඡන්ද ලක්ෂ හතර හමාරක් යනු සැලකිය යුතු  ඡන්ද  ගණනකි. ඒ පක්ෂය අනාගතයේ වෙනත් බලවේගයක් සමග එක්වීමේ අවශ්‍යතාවක් තිබේ නම් මේ ප්‍රතිඵල ඒ සඳහා සහායක් ලබා දෙනු ඇත.

මිළඟට මේ මැතිවරණයේ දැනෙන සුලු බලපෑමක් සිදුකළ අනෙක් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා ශ්‍රිලනිපය ඇතුළත්  පුටුව පක්ෂයයි. ඒ පක්ෂය ද අවස්ථාවේ  හැටියට සැලකිය යුතු මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන ඇත. ඒ කණ්ඩායම ඉදිරියේදී  විපක්ෂයේ ප්‍රධාන ධාරාව සමග එකතුවීමේ ඉඩක් පවතින බව මගේ අදහසය.

මේ අනුව මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න සෘජුව ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැත. එසේ වන්නේ තවමත් ප්‍රාදේශීය සභා සහ නගර සභා පිහිටුවා නැති නිසා පමණක් නොවේ. එසේ වන්නේ ආණ්ඩුව හැර අනෙකුත් සියලුම බලවේග යම් ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසාය.

මගේ නිරීක්ෂණය වන්නේ මේ මැතිවරණයේ ජයග්‍රාහකයා කිව නොහැකි නමුත් පරාජිතයා ඉතාමත් පැහැදිලි බවයි. එනම් මාස 6ක් ඇතුළත මිලියන දෙකකට (ලක්ෂ 20කට) අධික ඡන්ද සංඛ්‍යාවක් අහිමි කර ගැනීමෙන් ආණ්ඩුව පෙන්වන්නේ මේ තරගය පැහැදිලිව පෙනෙන පරාජිතයා තමන් බවයි. එය එසේ නමුත් රටේ බහුතර ජනතාව තවමත් විශ්වාස කරන්නේ මාලිමාව යැයි කියන තර්කයටත් පදනමටත් තව ටික දුරක් යනතුරු තිබිය හැකි බව මගේ අදහසය.

 

(***)


මහාචාර්ය
චරිත හේරත්



අදහස් (1)

​පුංචි ඡන්දයේ පරාජිතයා කවුද?

Kamal Koyrala Sunday, 18 May 2025 06:05 PM

ආචාර්ය දන්නේ නැද්ද? පුංචි නොවේ ලොකු ඡන්දෙත් හැමදාම පරාජිත මහජනයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 307 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 160 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1827 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site