IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නැටුමෙන් ශ්‍රී ලංකාව ලොව පූජිත කළ චිත්‍රසේන

මෙරට සාම්ප්‍රදායික නර්තන කලාවේ හා දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ පුරෝගාමියා මෙන්ම දැවැන්තයා ලෙස ද සැලකෙන ආචාර්ය චිත්‍රසේනයන්ගේ 100 වැනි ජන්ම සංවත්සරය අදට (26) යෙදී තිබේ. මේ සටහන ඒ නිමිත්තෙනි.

සුප්‍රකට නාට්‍ය ශිල්පී / නිෂ්පාදක, අභාවප්‍රාප්ත සීබට් ඩයස් සහ ඩෝරා ඩයස් යුවළගේ පුත්‍රයා වශයෙන් 1921 ජනවාරි 26 වැනිදා කැලණියේ දී උපත ලැබූ අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් ශ්‍රී ලංකාවේ (එවක ලංකාවේ) කලාවේ පුනර්ජීවනය උදෙසා සිය මෙහෙවර ඉටු කළ 20 වැනි සියවසේ විසූ පුද්ගලයන් ස්වල්ප දෙනා අතරින් එක් අයෙක් විය. ශ්‍රී ලංකා වේදිකා නර්තන ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කිරීමේත්, සැබෑ ශ්‍රී ලාංකේය නර්තන ශෛලියක් වශයෙන් ‘සාම්ප්‍රදායික නර්තනය‘ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමේත්, උඩරට නර්තනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම සඳහා නර්තන ශිල්පිනියන්ට මාර්ගයක් උදා කිරීමේත්, ‘දේශීය මුද්‍රා නාට්‍ය‘ යනුවෙන් වෙනම පරිපූර්ණ ප්‍රකාශන මාධ්‍යයක් නිර්මාණය කිරීමේත් පුරෝගාමියා වශයෙන් ඔහු සලකනු ලැබේ.

1934 දී රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ නාට්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම එවක 13 හැවිරිදි චිත්‍රසේන තුළ නර්තනය හැදෑරීමට උනන්දුවක් ඇති කළේය. ඔහු අල්ගම කිරිගණිතයා ගුරුන්නාන්සේ, මුදන්නාවේ අප්පුවා ගුරුන්නාන්සේ සහ බැවිල්ගමුවේ ලපයා ගුරුන්නාන්සේ වෙතින් නර්තනය හදාළේය. වයස අවුරුදු 15දී 1936 වසරේදී රීගල් නෘත්‍ය ශාලාවේදී සිය පියා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ සිරිසඟබෝ නාට්‍යයේ රඟපාමින් ඔහු සිය මංගල නර්තන දැක්ම ඉදිරිපත් කළේය. සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාවට අවතීර්ණ වීමෙන් ඉක්බිතිව, ඉන්දියාවේ සම්භාව්‍ය නෘත්‍ය ශෛලීන්ගෙන් එකක් වන කථකලි නර්තනය හැදෑරීම සඳහා 1939 දී ඉන්දියාව බලා ගිය චිත්‍රසේන පළමුව ට්‍රැවන්කෝර්හි රාජ සභා නර්තන ශිල්පියකු වූ ගෝපිනාත් යටතේ ද, ඉන් පසුව කේරළ කලා මණ්ඩලම්හි දී ද නර්තනය හදාළේය. මේ කාලය තුළ ඔහු අල්මෝරාහි උදය ශංකර්ගේ නාට්‍ය කලා මධ්‍යස්ථානය ඇතුළුව අසාම්, ලක්නව් හා ලාහෝර් යන ස්ථානවල අනෙකුත් මධ්‍යස්ථාන ද රාශියකම සංචාරය කළේය. 1945 වර්ෂයේ ශාන්තිනිකේතනයේදී ඔහුගේ නර්තන අධ්‍යාපනයේ කූටප්‍රාප්තිය සිදු වූ අතර, එහි පළමු පෙළේ සිසුවකු වශයෙන් සමස්ත ඉන්දීය නර්තන උ​ෙළලෙහි ඒකල නර්තනයක් ඉදිරිපත් කිරීමේ දුර්ලභ අවස්ථා ව මෙතුමාට හිමිවිය.

එමෙන්ම තාගෝරයන්ගේ මිණිබිරිය වූ නන්දිතා ක්‍රිප්ලානි සමඟ තාගෝර්ගේ ‘චන්ඩාලිකා‘ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපෑමේ ගෞරවය ද ඔහුට හිමි විය.

1943 දී ඔහු ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන කණ්ඩායම වූ චිත්‍රසේන නර්තන සංසදය ආරම්භ කළ අතර එමගින් සාම්ප්‍රදායික මෙන්ම කාලීන නර්තන නිර්මාණ ඉදිරිපත් කළ අතර එය ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය විය. ඒ සමඟ ම ඔහු 1944 දී ශ්‍රී ලංකාවේ පුරෝගාමී සාම්ප්‍රදායික නර්තන පුහුණු ආයතනය වූ චිත්‍රසේන කලායතනය පිහිට වූයේය. නර්තන ශිල්පීන් සඳහා ප්‍රථම විෂය මාලාවක් සහ ව්‍යුහගත ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් හඳුන්වා දුන් අතර, එය වෘත්තීය නැටුම් ශිල්පීන්, බෙර වාදකයන් සහ නර්තන නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් ස්ථාපනය කරන ලදී. එමෙන්ම සංස්කෘතික තානාපතීන් වශයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත්, රට පුරා සිටින නර්තන ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණීමට උනන්දුවක් දක්වන ශිල්පීන් පරම්පරා ගණනාවකටම අවස්ථාව උදා කර දුන්නේය.
 
1951දී චිත්‍රසේන සිය දක්ෂතම ශිෂ්‍යාව මෙන් ම ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ද වූ වජිරා සමඟ විවාහ විය. ඔවුන්ගේ දරුවන් වූයේ උපේකා සහ අංජලිකා දුවරුන් දෙපළ සහ පුත් අනුදත්තය.

ශ්‍රී ලාංකීය නර්තන කලාවට ඔහු ලබා දුන් දායකත්වය ඉමහත්ය. ඔහුගේ ප්‍රතිභාපූර්ණ අධීක්ෂණය යටතේ බිහි වූ දෙස් විදෙස් විචාරකයන්ගේ ගෞරවාදයට ලක් වූ නර්තන නිෂ්පාදන 30 ත්, ඔහුගේ නර්තන කණ්ඩායම විදෙස් රජයන්ගෙන් ඇරයුම් ලැබ උසස් පෙළේ නර්තන උළෙලවල්වලත් ප්‍රසිද්ධතම රංග ශාලාවලත් ශ්‍රී ලාංකාව නියෝජනය කිරීම නිසා, චිත්‍රසේනයන්, මෙරට සිටි අග්‍රගන්‍ය සංස්කෘතික තානාපති ලෙස සැලකිය හැක. ඔහුගේ විශිෂ්ට නිෂ්පාදන අතර කරදිය (1961), නළ දමයන්ති (1963), නෘතාංජලී (1965), කිංකිණි කෝලම (1978) සහ ශිවරංග (1984) ප්‍රමුඛත්වය ගනී.

1991 දී කැලණිය විශ්ව විද්‍යාලයේ සම්මාන ආචාර්ය උපාධියකින් ද, 1994 දී කලා භූෂණ සම්මානයෙන් ද, 1996 දී විශ්ව ප්‍රසාදිනී සම්මානයෙන් ද, 1998 දී දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් ද චිත්‍රසේන පිදුම් ලැබුවේ ය. ප්‍රංශ රජය විසින් පිරිනමන ලද කීර්තිමත් Chevalier dans L'Ordre des artes des Artes et des Lettres සම්මානයෙන් ද ඔහු 2005 දී පිදුම් ලැබුවේ ය.

ප්‍රවීණ නර්තන ශිල්පී චිත්‍රසේන 2005 ජූලි මස 18 වැනිදා අභාවප්‍රාප්ත විය. ඔහුගේ බිරිය වජිරා, දියණියන් වන උපේකා සහ අංජලිකා සහ මිණිබිරියන් වන හේෂ්මා, උමී සහ තජි සමඟ ඔහුගේ උරුමය අඛණ්ඩව ඉදිරියට යමින්  සිටින්නීය.


(*** චිත්‍රසේන වජිරා නර්තන පදනම)

 



අදහස් (2)

නැටුමෙන් ශ්‍රී ලංකාව ලොව පූජිත කළ චිත්‍රසේන

W.t dilmi nimsara Thursday, 12 January 2023 08:49 PM

මට මොහු පිළිබඳව තවත් විස්තර මෙන්ම ඔහුගේ නාට්‍ය කිහිපයක් දැනගත යුතුයි..

:       0       9

තෙනුකි පුන්හාරා Monday, 07 August 2023 02:58 PM

මෙය ඉතාමත් හොඳ දෙයක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site