මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.
විශිෂ්ට මිනිස්සු තරුණ වයසෙන් මියෙති. (The Best die Young) යනුවෙන් ඉංග්‍රීසි කියමනක් මා අසා ඇත. එහි සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් ‘මල්යහනාවකි ලෝකේ - නෑවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතූ වෙලාවක වියැකී - ජීවය තණ අග පිනිබිඳකි’ ගීතය ලියූ කරුණාරත්න අබේසේකර කවියා ද වයස අවුරුදු පනස් දෙකේදී හෘදයාබාධයකින් මිය ගියේය.
නූතන ගීත රචක පරපුරේ පුරෝගාමියා වූ මහගමසේකර කවියාද වයස අවුරුදු 47 දී මිය ගියේ මේ කියමනේ සත්‍යතාවක් ඇත්දැයි සැක මතු කරමිනි. කොළඹ යුගයේ ශ්‍රේෂ්ඨ කවීන් වූ එස්. මහින්ද හිමි වයස අවුරුදු පනහේදීද විමලරත්න කුමාරගම කවියා වයස අවුරුදු හතළිස් තුනේදීද පී.බී. අල්විස් පෙරේරා කවියා වයස අවුරුදු හතළිස් නවයේදී ද මිය ගියේ හොඳ මිනිසුන්ට, වැඩි ආයුෂ නැති බව කියන්නාක් මෙනි.
නිර්මාණශීලී මහාචාර්යවරයකු වූද, සෞන්දර්යකාමී රසවතෙකු වූද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයෝද වයස අවුරුදු හැට දෙකේදී මරණයේ තොටුපළින් නික්ම ගියේය. ධම්මික සර්ගේ මරණයත් සමග මට සිහිවූයේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ සෝමතිලක ජයමහ ගැයූ අප්‍රකට ගීතයක පද කීපයකි.
යුහුසුලු යුහුසුලු යුහුසුලුවන්
අද අද එයි මරු යුහුසුලුවන්
නිදිමත නොකරන ලද ඉඳුරන්
මිනිසත්භාවේ ඵල ලැබගන්
මරු තුරුලේ පසුතැවිලි නොවන්
මරුට පෙරාතුව මෙහෙ නිමවන්
පුද පෙළහර මළපසු නොපතන්
වැඳුම පිදුම දිවියෙහිම ලබන්
මේ කෙටි ජීවිත කාලය තුළ එයින් උපරිම ප්‍රයෝජනය ගත යුතු බවත්, අපගේ මෙහෙවර ඉටු කළ යුතු බවත් ඒ ගීපද වලින් කියැවෙයි. ඇමෙරිකානු කිවිවර වෝල්ට් විට්මන් කීවාක් මෙන් මරණය තරම් සුන්දර දෙයක් තවත් නොමැති වන්නේ අප එලෙස ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කළහොත් පමණි. එහෙයින් ඉන්දියානු ලේඛක ශිව් ඛේරා සිය You Can Win කෘතියේදී කියන්නාක් මෙන් කාලය අපතේ හැරීම ජීවිතය අපතේ හැරීමකැයි අප වටහා ගත යුතුය.
කුඩා වියේදී මහාචාර්යවරයකු යැයි කී සැණින් ම සිතෙහි මැවී ගියේ බර්ට්‍රන්ඩ් රසල්, චාල්ස් ඩාවින්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි මහා දාර්ශනිකයෝය චින්තකයෝය. එසේ නැතහොත් මහාචාර්ය මලලසේකර මහාචාර්ය පරණවිතාන, මහාචාර්ය සරච්චන්ද්‍ර ආදී භාෂා ගණනාවක් දන්නා බහුශ්‍රැත මහ පඬිවරුය. එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේදී මහාචාර්ය ධම්මික ගංගානාත් මට පෙනුණේ අතිශය නිර්මාණාත්මක නවීන පන්නයේ මහාචාර්යවරයකු ලෙසය. සාම්ප්‍රදායික මහාචාර්යවරයකුට වඩා ඔහු නවීන දැනුමින් සන්නද්ධ, අලුත් විලාසිතාවේ ගුරුවරයෙකු වූයේය. ඔහු අපට ඉගැන්වූයේ ජනසන්නිවේදන විෂයයි. ඔහුගේ දේශන ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රය පිළිබඳ නවීන දැනුමින් යුක්ත විය. ඒවා දේශන වලට වඩා සංවාදශීලී ඉගැන්වීම් විය. ඔහු නව තාක්ෂණික ලෝකය හඳුන්වා දීමට පන්ති කාමරයෙන් එළියට අප රැගෙන ගියේය. විවිධ රූපවාහිනී කැමරා වර්ග, කැමරා කාච රූප රාමු ආදිය පමණක් නොව රූපවාහිනී තිරය ඉදිරියේ වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරයද ඔහු අතිශය නිර්මාණාත්මකව ඉගැන්වීය. උගන්වන අතර සිසුන් හා සාකච්ඡා කර මත විමසීමටද ඔහු පුරුදුව සිටියේය.
දිනක් ඔහු චිත්‍රපටයක කතාව රූප රාමු මගින් ඇඳ දක්වමින් සිනමා අධ්‍යක්ෂණය කළ විශ්ව සම්භාව්‍ය සිනමාකරුවන් පිළිබඳ අපට දේශනයක් පැවැත්වීය. දේශනය අවසානයේදී මාගේ මතය විමසූ විට මහාචාර්ය සුචරිත ගම්ලත් හා රත්නශ්‍රී විජේසිංහ එක්ව සම්පාදනය කළ අති ප්‍රබල විචාර කෘතියක්වූ මහගමසේකර හා සමාජ යථාර්ථය කෘතියෙන් උගත් කරුණක් ඔහුට පැවසීමි. ඒ ශ්‍රේෂ්ඨ කිවිවර මහගමසේකර තුම්මංහන්දිය නවකතාව ඇසුරින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේදීද චිත්‍ර ඇඳ රූපරාමු සකසා මේ ක්‍රමය අනුගමනය කළ බවය. ඔහු වහාම මා කියූ අදහස සමග එකඟ වූවා පමණක් නොව එය ඔහුගේ සටහනටද ඇතුළත් කිරීමටද නිහතමානී විය.
ජනසන්නිවේදන විෂය කෙතරම් අපූර්ව ලෙස ඉගැන්වීමට ඔහු උත්සාහ කළාදැයි කිවහොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රොජෙක්ටරයක්ද සහිත වායුසමීකරණය කළ ශාලාවක් ඒ වෙනුවෙන් ඔහු විසින් තනාගනු ලැබ තිබිණ. අප ඒ ශාලාවට ඇතුළු විය යුතු වූයේ සපත්තු සෙරෙප්පු පවා ගලවමින් දේවාලයකට ඇතුළු වන්නාක් මෙනි. ඒ නවීන දේශනාගාරයේදී ඔහු ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ නවීන චිත්‍රපට අපට පෙන්වීය. මා ටයිටැනික් චිත්‍රපටය පළමුවරට නැරඹූයේ ඔහුගේ මේ වායුසමීකරණය කළ නවීන දේශනාගාරයේදීය. ඒ ලෝක ප්‍රකට චිත්‍රපටය නිපදවීම උදෙසා යොදාගෙන තිබූ තාක්ෂණික භාවිතයද ඔහු අපට විස්තර කරමින් ඉගැන්වීය. සිනමාව සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ මේ විපුල දැනුම භාවිතයට ගනු ලැබූයේ නම්, විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමේ භාග්‍ය ඔහු සතුව තිබිණි.
මෑත අවදියේ ස්වකීය අපූර්ව වාග් චාතූර්ය මා වසඟ කරගත් මහාචාර්යවරු කීපදෙනෙක්ම අප රටෙහි වූහ. ඉන් එක් අයෙකු වූයේ මනා ලෙස හෙළ බස උච්චාරණය කරමින් ජනතාව ආමන්ත්‍රණය කළ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වියතාණන්ය. ඔහුද විද්වත් වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් මෙන් මනාව හෙළබස හැසිරවීය. අපූර්ව ප්‍රකාශන ශක්තියෙන්ද, විදුලි කොටන උපහාසය හා හාස්‍යයෙන්ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා කළ දෙසුම් ද ජීවිතය තිබෙන තුරු අමතක වන්නේ නැත. සිංහල මහාචාර්යවරුන් අතරින් මහාචාර්ය ජේ.බී. දිසානායක හා මහාචාර්ය සුනිල් ආරියරත්න යන වියතුන්ගේ දෙසුම් ඇසීමටද මා දක්වන්නේ මහත් ආශාවකි.
එහෙත් මහාචාර්ය ධම්මික ගංගානාත් වේදිකාවක නැගී එය අමතන කල ඔහු මහාචාර්යවරයකු බව පළමුව අපට අමතක වන්නේය. ඔහු අපට යහළුවකු මෙන් දැනෙන්නේය. නිදහසේ පියාසර කරන කුරුල්ලෙකු මෙන් ඔහු සභාව ආමන්ත්‍රණය කරන්නේය. අපි ඔහුගේ වදන් නමැති තටු වල නැගී ආකාශයේ ඉගිලී යන්නෙමු. ඔහු විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී උත්සව කීපයක් මෙහෙයවනු මම දැක ඇත්තෙමි. සෞන්දර්යවාදී ප්‍රකාශන ශෛලියෙන්ද ස්ථානෝචිත සුදුර්ලභ හාස්‍යයෙන්ද ඔහු සභාව වශී කරගන්නේ සමාරම්භක වැකියෙන්මය. ඉන්පසු ඔහුගේ සුන්දර කතාවෙන් සභාව ගිගුම් දෙන්නේය.
මහාචාර්ය ධම්මික ගංගානාත්ගේ මා දුටු එක් විශේෂත්වයක් වූයේ ඔහු සතු විශේෂ ආකර්ෂණීයත්වයයි. සැමදා ඉහිරුණු තාරුණ්‍යය කෙළිලොල් යෞවන ස්වභාවය නිසා ඔහු විශ්ව විද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය ආචාර්යවරයකු වූයේය. පුද්ගල සාර්ථකත්වය පිළිබඳ ලෝකයේ සුප්‍රකට ලේඛකයකු වන රොබින් ෂර්මා සිය කෘති වලදී පෙන්වා දෙන විශේෂ කරුණක් වන්නේ ‘තමාට ආදරය කරන මිනිසුන්ගෙන් යුත් ආදර ගිණුමක් නිර්මාණය කරගන්නා ලෙසයි’ ඒ සඳහා දිනපතා තමා අවට සිටින මිනිසෙකුට ප්‍රියමනාප එක් පුංචි වචනයක්, සිනාවක්, පිරිනමා ඒ ගිණුම පෝෂණය කරන්නැයි ඔහු ප්‍රකාශ කරයි. සතුට ලබාගැනීමට ඇති මාර්ගය වන්නේ මකුළුවෙකු මෙන් ආදර දැලක් දසත එලීම සඳහා තමාම කැප වී එන සියල්ලන්ම ඒ දැලට අල්ලා ගැනීමයි යනුවෙන් ඔහු එය පැහැදිලි කරයි. මහාචාර්ය ධම්මික ගංගානාත් යනු එලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේද සිසුන්ගේ ද විවිධ ක්ෂේත්‍රවල මිතුරන්ගේද ආදරය දිනාගත් රොබින් ෂර්මා කියන්නාක් මෙන් ආදර ගිණුමක් පවත්වාගෙන ගිය සුන්දර පුද්ගලයෙකි.
මහාචාර්ය ධම්මික ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක උපදේශකවරයකු වූ බව කවුරුත් දන්නා කරුණකි. එසේම ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයද ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ධූරයද ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධූරයද දැරූ බව සත්‍යයකි.
එහෙත් ඔහු ඒ කිසිඳු අවස්ථාවක දේශපාලන පක්ෂපාතීත්වයක් පළ නොකළ බවත් සියලුදෙනා පිළිගන්නා කරුණකි. එහෙත් ජාතික රූපවාහිනියේ සභාපති ධූරය දරද්දී ජාතිකත්වයට එරෙහි මතයක් පළකිරීම නිසා ඔහු කෙරෙහි විවේචනයක් මතුවූ බව මට මතකය.
එහෙත් ඔහු ඒ කිසිඳු මතයක ආධානාග්‍රාහීව එල්බ ගත් දැඩි මතධාරියෙකු නොවීය. එසේම ඔහු කිසි කලෙක විශ්ව විද්‍යාලයේ දේශපාලනය කතා නොකළා පමණක් නොව, වෙනත් මහාචාර්යවරුන් මෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තම කඳවුර වෙනුවෙන් කතා නොකරන්නටද ප්‍රවේශම් වූයේය. විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු යනු පක්ෂ දේශපාලනය කළ යුතු තැනැත්තෙකු නොව ඔහුට තිබිය යුත්තේ ජාතික දේශපාලනයකැයි මහාචාර්ය ධම්මික ගංගානාත් අවබෝධ කරගෙන සිටි බව එයින් පෙනී යයි. අද දවසේ බොහෝ සුප්‍රකට සරසවි ඇදුරන් කීර්තිධර සාහිත්‍යකරුවන්, නළු නිළියන් මේ පක්ෂ භේදවාදයෙහි ගිලී පිරිහී සභා ආමන්ත්‍රණය කරනු දකින විට අප තුළ ඇතිවන්නේ පිළිකුලකි.
රුසියානු මහා නවකතාකරු ලියෝ ටෝල්ස්ටෝයි ජීවත් වන සමයේ එහි ආණ්ඩු දෙකක් තිබූ බව විචාරකයෝ පවසති. එකක් සාර්ගේ ආණ්ඩුවයි. අනික ටෝල්ස්ටෝයි නම් සාහිත්‍යකරුවාගේ චින්තනමය ලෝකයයි. ශ්‍රී ලංකාවේද පක්ෂ දේශපාලනය නම් ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පවා පරයා උඩුදුවා ගිය පිළිකාවකි. මහාචාර්ය ධම්මික ගංගානාත් එයින් එක් පක්ෂයක සුහද මිතුරෙක් වූවා විනා දේශපාලන උණ වැළඳී දෑස් අඳ කර නොගැනීම කොතරම් අපූරුද?
අවසන් වශයෙන් ඔහුගේ දහස් ගණනක් වූ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් රත්නශ්‍රී විජේසිංහ කවියා ලියූ අමරදේවයන් ගැයූ ගීයක කොටසක් ඔහු වෙනුවෙන් සටහන් කර තබමි.
එක මලක නම් නොවේමැයි
මල් යායක සිරස නැවෙයි
පිතු සෙනේහයෙන්
ලොව කියාදුන්නු
ගුරු පාද පියුම් සුවඳයි
(*** සමුද්‍ර වෙත්තසිංහ)
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නික්ම ගිය සොඳුරු මහැදුරු
විජිත් Wednesday, 19 August 2020 03:48 PM
ඒ කාලයේ සුදුවෑන් වලින් මිනිස්සුන්ව, මාධ්‍යවේදීන්ව... උස්සපු කාලේ මෙතුමාවත් ඉස්සුවාලු. නමුත් ඒ සිද්ධිය මිනිසුන් දුටු නිසා වහාම එතුමාගේ හිතවතුන් ක්‍රියාත්මක වී එතුමාගේ ජීවිතය පළමුවරට බේරාගත්තත්... දෙවනවර මරණය අතවනද්දී එතුමා උපේක්ෂාවෙන් එය බාර ගත්තලු... එතුමාට නිවන් සැප පතමි...!!!
සමිත සේනක අලුත්ගමගේ Thursday, 20 August 2020 01:36 AM
"දහස් ගණන් සිසු කැළ අතරින් ඉපිද... පුංචි සිළකි මා මහදුරූ සෙනෙහෙ ලද... පියකරු සිනාවෙන් අප සිත් බඳින ලද ... පින්වත් ගුරු මැතිඳ නැතිදා කිමද හිඳ ... "
තිලක් ඉන්දික Thursday, 20 August 2020 04:20 AM
ධම්මික සර්ගේ දේශන වල අගනා, වටිනා, අකර්ශණීය දැනුමින් පොහොසත් අගනා ලියවිල්ලක්...
chamila Monday, 24 August 2020 07:21 AM
ස්තුතියි ඔබට...!!!