IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දහඅට වසරකට පෙර අපවත් වී වදාළ මඩිහේ මහානාහිමිපාණෝ

මහරගම, සිරි වජිරඤාණ ධර්මායතනාධිකර්තෘභූත, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක සහ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත, විද්‍යාවිශාරද මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහානායක මාහිමියන් වහන්සේගේ 18 වැනි ගුණ සමරුව මේ මස 12 වැනිදා රාත්‍රී 7.00ට මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මාතර නගරාන්තර්ගත මඩිහ නම් වූ ග්‍රාමවරය උන්වහන්සේගේ ජන්මභූමිය විය. ජේම්ස් කරොලිස් පූජිත ගුණවර්ධන මහතාණෝ පියා වූහ. බෙලා ඇන්ජලීනා ධීරසේකර උපාසිකාවෝ දිනිතිය වූහ. මේ චරිත කතානායකයාණෝ ක්‍රි.ව. 1913ක් වූ ජුනි මස 21 වැනිදා ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන නමින් මනුලොව දිනූ සේක.

මෙකුමරු අකුරු කරවීමට නිසි කල් වයස් පැමිණියෙන් ස්වකීය සහෝදරියන් අධ්‍යයනයෙහි නියුතුව සිටි සාන්ත තෝමස් ඉංග්‍රීසි විද්‍යාලයට ඇතුළත් කරනු ලැබීය. එහි වසර දහයක් පමණ වනතෙක් අධ්‍යයන කටයුතුවල නිරත වූ කුඩා විල්මට්, ඉන් අනතුරුව ස්වකීය පියතුමන් මුල් ගුරු ලෙස කටයුතු කළ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත් විය.

ගුණින් නැණින් මෝරන මෙකුමරු කඹුරුගමුවේ දේවගිරි පුරාණ මහා විහාරස්ථානයේදී 1926 ජුනි 24 වැනිදා තත් විහාරාධිපතිව වැඩ විසූ, සිරි සද්ධම්ම ජෝතිපාල කවිධජ විනයාචරිය ගෞරවාර්හ වේරගම්පිට රේවත මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් හා පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහානාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, මඩිහේ පඤ්ඤාසීහ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.
ස්වකීය උපාධ්‍යායන් වහන්සේගේ පා සෙවණෙහි උගත යුතු මූලික පිරිත් බණ දහම් ආදිය මාස හයක් පමණ ප්‍රගුණ කළ නවක සාමණේරයන් වහන්සේ ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ කැඳවුම පරිදි බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වීම සඳහා අගනුවරට වැඩම කළහ.

අගනුවරට සැපත් දිනයේ සිටම පැලෑනේ මහානාහිමි සෙවණේ බණ දහම් සේම ගුණ දහම් හදාළ පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේ විසි වයස් සම්පූර්ණව උපසම්පදාර්හව සිටි හෙයින් වර්ෂ 1933 දී පැලෑනේ ගංගාරාමස්ත උදකුක්ඛේප සීමාමාලකයේදී ගෞරවාර්හ වේරගමපිට සිරි රේවත මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් සහ ගෞරවාර්හ පැලෑනේ වජිරඤාණ, පොල්වත්තේ ධම්මතිලක, අහංගම පඤ්ඤාලෝක යන මාහිමිපාණන් වහන්සේලාගේ කර්මචාර්යත්වයෙන් සුපරිශුදෙධාපසම්පදාව ලැබූහ.

උපසම්පදාවෙන් පසු උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද යොමු වූ උන්වහන්සේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත්වූ පරීක්‍ෂණවලට ස්වොත්සාහයෙන් පෙනී සිටි අතර, වර්ෂ 1941 දී මහාචාර්ය ජී.පී. මලලසේකර සූරීන් විසින් ලංකා විශ්වවිද්‍යාල කොලීජියෙහි ආරම්භ කරන ලද විද්‍යා විශාරද උපාධි පාඨමාලාවට පෙනී සිට 1944 දී පවත්වන ලද එහි අවසාන පරීක්‍ෂණයෙන් උත්තීර්ණව විද්‍යා විශාරද උපාධිය ලැබීය.

උසස් අධ්‍යාපන කටයුතු අවසන් වීමත් සමග ආගමික, සමාජික, සංස්කෘතික මහ මෙහෙවර උදෙසා ස්වකීය දායකත්‍වය දැක්වීම සඳහා උත්සුක වූ උන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාව, නේපාලය, චීනය, හොංකොං ආදී රටවල සංචාරය කළ අතර, වර්ෂ 1953 දී බුරුමයෙහි පවත්වන ලද ඡට්ඨ සංගායනාව සඳහා ශ්‍රී ලාංකික නියෝජිත පිරිසේ සාමාජිකයකු ලෙස ද සහභාගි වූහ.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් පාලි ත්‍රිපිටක පොත් වහන්සේලා හුදී ජනයාට තේරුම් ගැනීමට පහසු වන පරිදි සිංහල භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කිරීමට කටයුතු කළ අතර, එකී ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද මඩිහේ මහානාහිමියෝ කටයුතු කළහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක ධුරය හොබවමින් වැඩ සිටි ස්වකීයාචාර්ය ගෞරවාර්හ පැලෑනේ වජිරඤාණ නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 1955 සැප්තැම්බර් මස 21 වැනිදා අපවත් වූයෙන් හිස් වූ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායෙහි මහානායක ධුරයට ඒ වනවිට සතළිස් දෙවැනි වියෙහි පසු වූ මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ පත්කරන්නට තත් නිකායික වෘද්ධතර නාහිමිවරු පසුබට නොවූහ.

1956 වර්ෂයේ අගභාගයේදී බම්බලපිටියේ වජිරාරාමයට වැඩම කළ අමරපුර නිකායෙහි සියලු පාර්ශ්වවල මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලාගේ එකඟතාවයෙන් සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවා ගැනීමේ අවස්ථාවේ එකී සද්කාර්යය උදෙසා මූලික වී ක්‍රියා කළ උන්වහන්සේට පසුව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය ද පිරිනමනු ලැබූහ.

මේ සියලු ලෝක ශාසනික සේවාවන් මධ්‍යයේ උන්වහන්සේ සිදුකළ වැදගත්ම සේවාව වන්නේ, ශාසන සේවක සමිතිය නමින් සංවිධානයක් පිහිටුවාගෙන වර්ෂ 1958 අප්‍රේල් මස 21 වැනිදා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ස්වකීය පැවිදි සහෝදර අම්පිටියේ රාහුල නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ද අනුග්‍රහය ලැබ පිහිටූවීමයි. ඒ තුළින් වජිරාරාම සම්ප්‍රදාය චිරස්ථායී වූවා පමණක් නොව දේශීය විදේශීය ධර්මදූත සේවාවෙහි නියැලිය හැකි උගත් තරුණ යතිවරුන් රාශියක් බිහි වූහ. ඒ අතර මහරගම ධම්මසිරි නාහිමි, අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, තිරිකුණාමලේ ආනන්‍ද මහානාහිමි, අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි, පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, මහාචාර්ය ධම්මවිහාරී හිමි, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, තලල්ලේ චන්දකිත්ති හිමි ආදී යතිවරුන් වෙසෙසින් සඳහන් කළ හැකිය.

මඩිහේ පඤ්ඤාසීහාභිධාන අමරපුර මහානිකායෙහි උත්තරීතර මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 2003 සැප්තැම්බර් මස 8 වැනිදා අපවත් වී වදාළහ.

 

(***)
අමරපුර කල්‍යාණිවංශ නිකායේ වැඩ බලන
මහා ලේඛකාධිකාරී පණ්ඩිත
අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි



අදහස් (1)

දහඅට වසරකට පෙර අපවත් වී වදාළ මඩිහේ මහානාහිමිපාණෝ

Lion Saturday, 11 September 2021 05:24 PM

නියම සිල්වත් තෙරුන් වහන්සේ නමක්, ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!! 

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 504 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site