IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දූෂණ විරෝධයේ සිංගප්පූරු ආදර්ශය

සති කිහිපයක් පුරා දැඩි කතාබහකට ලක්වූ දූෂණ විරෝධී පනත සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගනු ලැබීය. වෙනත් පනත් කෙටුම්පතක් මෙන් නොව මෙම පනතට ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉදිරිපත් වූ සං‍ශෝධන සමඟ එය සම්මත කෙරුණේ වාර්තාගත සංශෝධන 190 ක් සමඟ වීම සුවිශේෂී සිදුවීමක් විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද සංශෝධන 28 ක් නිර්දේශ කර තිබිණි.

ශ්‍රී ලංකාවට අලු‍තෙන් හඳුන්වාදීමට නියමිත එකී නව දූෂණ විරෝධී පනත මෙරට විවිධ සංවිධාන, මතධාරීන් සහ බුද්ධිමතුන් අතර පමණක් නොව විදෙස් ප්‍රජාව අතරේ ද බෙහෙවින් සංවාදයට ලක්වූ මාතෘකාවක් විය. එසේ වූයේ ශ්‍රී ලංකාව දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කප් ගැසූ රටක් වශයෙන් සලකනු ලැබීම හේතුවෙනි.

දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා එල්ලවීම පමණක් නොව එම චෝදනා සම්බන්ධයෙන් වගකිවයුතු බලවතුන් කිසිවකුටත් කිසිදු ආකාරයකින් නීතිය ක්‍රියාත්මක නොවීම ද රට තුළත් ජාත්‍යන්තරයේත් කතාබහට ලක් වී තිබිණි. එය කොතරම් දුරකට මුල්බැස තිබුණා දැයි කිවහොත් ශ්‍රී ලංකාව වැටී තිබූ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට අත්වැලක් සැපයූ අයි.එම්.එෆ්. එක පවා මේ රටේ දූෂණ සහ වංචාවලට එරෙහිව වඩාත් ශක්තිමත් නීතිමය යාන්ත්‍රණයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව මතු කර පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ දැඩිව ක්‍රියාත්මක වන දූෂණය සහ වංචාව තුරන් කර දැමිය යුතු බවට කාලයක් තිස්සේ හඬක් නැගෙමින් පැවතියේය. අල්ලස සහ දූෂණය මේ රටේ රාජ්‍ය පරිපාලනය තුළ සංස්ථාගත වී තිබීම හේතුවෙන් මේ රටේ මැති ඇමැතිවරුන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් සැවොම නිරතුරුව සොරකම් කරන බවට වන දැඩි මතයක් පොදු මහජනතාව අතරේ පැතිර ගොස් තිබිණි. එය දැඩිව ප්‍රකාශ කෙරුණේ රටේ සිදුවූ ආර්ථිකය කඩා වැටීමත් සමඟය.

දූෂණ සහ වංචා තුරන් කිරීමට බලාපොරොත්තු වන රටක එම බලාපොරොත්තුව ඉටුකරගත හැක්කේ නීතිය ඉදිරියේ සියලු‍ දෙනා සමාන බව සහතික වන්නේ නම් පමණි. ඒ අතින් සිංගප්පූරුව පසුගියදා පෙන්වා දුන්නේ මුළු ලොවටම ආදර්ශයකි. එරට ප්‍රවාහන අමාත්‍ය එස්. ඊස්වරන් මහතා පසුගිය දිනක අත්අඩංගුවට ගනු ලැබුවේ ඉහළ පෙළේ වංචනික ක්‍රියාවකට සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙනි. එය ශ්‍රී ලංකාවට උගන්වා ඇත්තේ කාලීන පාඩමකි.

සිංගප්පූරුවේ ක්‍රියාත්මක වංචනික ක්‍රියා විමර්ශන කාර්යාංශය එරට අග්‍රාමාත්‍ය ලී හයින් ලූන්ග්ගෙන් වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අමාත්‍ය ඊස්වරන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා තිබීම ලෝක ප්‍රවෘත්තියක් විය. දැනගන්නට ඇත්තේ එසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අගමැති ලූන්ග් අදාළ අමාත්‍යවරයාට කතා කොට විමර්ශන අවසන් වනතුරු රාජකාරි කටයුතුවලින් නිවාඩු ගන්නා ලෙසට දැනුම් දී ඇති බවය. වත්මන් අගමැතිගේ පියා වූ සිංගප්පූරුව ධනවත් සංවර්ධිත දේශයක් කරා ඔසවා තැබූ ලී ක්වාන් යූ අනුගමනය කළ වංචාවට සහ දූෂණයට එරෙහි අනුකම්පා විරහිත ප්‍රතිපත්තිමය යුද්ධය ඒ රටට කර ඇති යහපත කොතරම්දැයි මැන ගැනීමට මේ සිද්ධිය කදිම උදාහරණයකි.

ලී ක්වාන් යූ අනුගමනය කළ ප්‍රතිපත්තිය කොතරම් අනම්‍යදැයි තේරුම් ගැනීමට ඔහුගේ කාලයේ ජාතික සංවර්ධන අමාත්‍ය ධූරය හෙබවූ ටේ චිඇන්ග් වෑන්ට අයත් වූ ඉරණම පමණක් ප්‍රමාණවත්ය. අසූව දශකයේ මෑත භාගයේදී මේ අමාත්‍යවරයාට එරෙහිව ප්‍රබල දූෂණ චෝදනාවක් එල්ල විය. ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වෙද්දී ඔහු තම අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මුණගැසීමට අවසර ඉල්ලු‍වේය. එහෙත් විමර්ශන අවසන් වනතුරු අමාත්‍යවරයා මුණගැසීම ප්‍රතික්ෂේප කළ ලී ක්වාන් යූ ඔහුට දැනුම් දී තිබුණේ නීතිඥයකු මුණගැසීම වඩාත් සුදුසු බවය.

ඉන් දින කිහිපයකට පසු අමාත්‍ය වෑන් සියදිවි නසාගත්තේය. ඊට පෙර ඔහු ලිපියක් ලියා තිබිණි. එම ලිපියේ සඳහන් කර තිබුණේ ‘මේ ප්‍රාචීණ දේශයේ ගෞරවනීය පුරවැසියකුව සිටි මා අතින් සිදුවූ වැරැද්දට ඉහළම වන්දිය මා විසින්ම ගෙවිය යුතු බව’ ය.

ඒ අතින් නම් අපේ රටේ මැති ඇමැතිවරු හරිම වාසනාවන්තයෝය. ඔවුන්ට විරුද්ධව මොන තරම් වංචා, දූෂණ චෝදනා එල්ල වුණත් නීතිය නැවුණා මිස ඔවුන්ට එරෙහිව නීතියට හරියට ක්‍රියාත්මක වුණේ නැත. එසේ නීතිය ක්‍රියාත්මක වූවා නම් මෙතෙක් බලයට පත් ආණ්ඩුවල හිටපු මැති ඇමැතින් බොහොමයක් දැන් සිටිය යුත්තේ සිරගෙවල්වල කූරු ගණිමිනි. එසේ වූවා නම් මේ රටේ ඉතාම වැදගත් අමාත්‍යාංශ සියල්ල සොරකමින්, වංචාවෙන් සහ දූෂණයෙන් මේ වනවිට මුදාගෙන තිබෙනු ඇති බවට සැකයක් නැත.

(***)



අදහස් (3)

දූෂණ විරෝධයේ සිංගප්පූරු ආදර්ශය

pakeer Thursday, 27 July 2023 03:43 PM

මේවා දැන දැනත් ලංකාවේ ගොන් රැළ, ඔවුන්ටම තවතවත් ඡන්දය දෙනු ඇත. නරුම, හොර, තක්කඩින්ට තවතවත් කඩේ යනු ඇත. ඒ මදිවාට ඔවුන් මේ රට බේරාගත්තා යැයිද කියනු ඇත.

:       0       14

pj Friday, 28 July 2023 11:14 AM

"ඔවුන්ට විරුද්ධව මොන තරම් වංචා, දූෂණ චෝදනා එල්ල වුණත් නීතිය නැවුණා මිස ඔවුන්ට එරෙහිව නීතියට හරියට ක්‍රියාත්මක වුණේ නැත." නීතිය කෙදිනකවත් නැමෙන්නේ නැත. සිදුවනුයේ අදාළ පැමිණිල්ල සකස් කරන්නා මුදලට දේශපාලුවාට යොමුවීමයි. අවසානයේ පැමිණිල්ල ඕනෑකමින්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් වෙන අතර අදාළ සාක්ෂි ද මුදලේ බලයට හා බලයේ බලයට අතුරුදහන් වීමයි.

:       2       12

ravi Wednesday, 02 August 2023 08:57 PM

මේ කවුරුවත් හොරු අල්ලන්නේ නැහැ. මේවා නිකන් අපිව අන්දන්න හදන කතා. රන්ජන් කිව්වා වගේ මේ ඔක්කොම යාලුවෝ මල්ලී. ලංකාවේ සියලුම ආයතන අන්ත දූෂිතයි. දේශපාලකයින් විතරක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site