IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දේශපාලන හෙංචයියලාගේ මැර වැඩට ඉඩ දිය යුතුද?

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බඩල්ගම කටාන, හල්පෙ ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟළුම් කම්හලක ඕමාන ජාතික අයිතිකරුට පහරදීමේ සිද්ධිය වසන් කිරීමට අසික්කිත උත්සාහයක් දරන බව වාර්තා වෙමින් තිබේ. එම සිද්ධියට මුහුණ දුන් හල්ෆාන් අල් ඔබෙයිදානි මහතා ඕමාන ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ආයතනයේ මේ වනවිට 400කට ආසන්න පිරිසක් සේවය කරන බවද මේ කම්හල ආරම්භ කර ඇත්තේ, මීට වසර 10කට පෙර බවද සඳහන්ය.

මෙම ඕමාන ජාතික ආයෝජකයාගේ නිවෙසට පැන ඔහුට දරුණු ලෙස පහර දී ඇතැයි කියන්නේ ඔහු කළ වැරැද්දක් හේතුවෙන් නොවේ. ප්‍රදේශයේ චණ්ඩි පාට් දාන දේශපාලකයකුගේ හෙංචයියන් පිරිසකගේ වුවමනා එපාකම් අනුව කටයුතු නොකිරීම හේතුවෙනි. මේ හෙංචයියලා එකී ඇඟලුම් කම්හල අවට පදිංචිකරුවන් බව සඳහන්ය. ටික කාලයක සිට මේ පිරිස තමන්ගේ සිතැඟි පරිදි කම්හල මෙහෙයවීමේ උත්සාහයක් දරා ඇතැයි කියති. තමන්ගේ හිතවතුන් කම්හලේ සේවයට බඳවා ගන්නැයි කාලයක් තිස්සේ ඔවුන් බලපෑම් කර ඇතැයි ද පහරදීමට ආසන්න හේතුව වී ඇත්තේ තමන්ගේ වෑන් රථයක් කුලී පදනම මත එම ආයතනයට ලබා දීමට දැරූ උත්සාහය අසාර්ථක වීම යැයි ද සඳහන් වේ.

මේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජඩ, කාලකන්නි වැඩකි. මේ රටට ආයෝජන ගෙනැවිත් රුකියා සපයමින් ඩොලර් උපයා දීමට කටයුතු කරන ව්‍යාපාරිකයකු මැර බලයෙන් යට කරගෙන ඔහුගේ ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ නොදී එම ව්‍යාපාරයෙන් තමන්ගේ මල්ල පුරවා ගැනීමට උත්සාහ දරන මේ මැරවරයන් මුළු රටටම සිදු කරන්නේ මහත් අවමානයකි. ආයෝජකයකුට පමණක් නොව මෙරට ව්‍යාපාරිකයකුට වුවද මේ ආකාරයට බලහත්කාරකම් කිරීම නීති විරෝධී අපරාධමය වරදකි.

එවැනි පිරිස් නොපමාව නීතිය ඉදිරියට පමුණුවා හැකි ඉක්මනින් දඬුවම් ලබාදීම සිදුවිය යුතුය. එහෙත් මේ සිද්ධියේදී බඩල්ගම පොලීසිය ක්‍රියාකර ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් ලෙස පියවර ගැනීම නොව එම මැර පිරිසේ බලපෑම්වලට යට වෙමින් සිද්ධිය යට ගැසීමට බවටද චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන් එම විමර්ශන කටයුතු මීගමුව අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණු බවද සඳහන් වේ.

මේ රටේ කම්හල් හිමි ආයෝජකයකුට පහර දී ඒ පිළිබඳ පැමිණිල්ල විභාග කිරීමට එරෙහිව පොලීසියටද බලපෑම් කිරීමට තරම් මේ පිරිස බලවත් වී ඇත්තේ ඔවුන්ට රාජ්‍ය ඇමැතිවරයකුගේ රැකවරණය ලැබීමේ හේතුවෙන් යැයි කියති. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන තානාපති කාර්යාලය ද දැනුවත් කිරීමෙන් පසුව පොලිස්පතිවරයාට ද විදේශ ඇමැතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ද තානාපතිවරයා කරුණු දක්වා ඇතැයි සඳහන්ය.

ඒ කොතරම් දැනුවත් කිරීම් සිදුවුව ද ඕමාන ජාතික ව්‍යාපාරිකයා වෙනුවෙන් යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයක් දක්නට තිබෙන බව පෙනෙන්නට තිබේ. අඩුම තරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන රාජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසිය උනන්දු වී නැතැයි ද කියති.

රටේ නීතිය මේ ආකාරයට වළපල්ලට යැවීමට රාජ්‍ය ඇමැතිවරයකුට හැකියාව තිබෙන්නේ නම් එයින් පෙන්වා දෙන්නේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බරපතළ අනතුරක වැටී තිබෙන බවය. රටට ජාත්‍යන්තර වශයෙන් බලවත් කැළලක් ඇති කළ එසේම රජය රතු පලස් එළාගෙන බලා සිටින ආයෝජකයන් ආපසු හරවන මැර ක්‍රියාවක් කළ දේශපාලනඥයා රැක ගැනීමට කටයුතු කරන බලවතුන් එයින් රටට සිදුවන හානිය පිළිබඳ තැකීමක් නොකරන්නේ මන්දැයි ගැටලු‍වකි.

තමන්ට සාධාරණය ඉටු නොවීම හේතුවෙන් මේ ඕමාන ජාතික ව්‍යාපාරිකයා කම්හල වසා දමා ආපසු යාමට පියවර ගතහොත් එහි සේවක පිරිසගේ රැකියාවලට වග කියන්නේ කවුද? ආයෝජකයන් නොමැතිව රට ඉදිරියට ගෙන යාමට නොහැකි බව කියන ආණ්ඩුවේ බලධාරීන් මේ ගැන වහාම සොයා බැලිය යුතු නොවේ ද?

මේ රටේ ඇතැම් විනයක් නැති දේශපාලනඥයන් සිතන්නේ තමන්ගේ හිසට ඉහළින් කපුටකුටවත් පියාඹන්නට නොහැකි බවය. චණ්ඩිකමින් සියලු‍ දේ යටපත් කර දැමීමට ඔවුන් උත්සාහ දරන්නේ එබැවිනි. තමන්ගේ හෙංචයියන්ට කිසිම නීතියකින් කරදරවීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත. බඩල්ගම වූ සිද්ධිය වැනි අපරාධ සිදුවෙන්නේත් එවැනි අවස්ථාවල දී යුක්තිය ඉටු නොවන්නේත් මෙවැනි දේශපාලන බලපෑම් හේතුවෙනි. එය රටේ පැවැත්මට ඉතා හානිකර බව සඳහන් කළ යුතුය.

බඩල්ගම ඕමාන ජාතික ව්‍යාපාරිකයාට සාධාරණය ඉටුවීම තවදුරටත් පමා කළයුතු නැත. වැරදිකරුවන් වහාම අධිකරණය ඉදිරියට පමුණුවා තවදුරටත් මෙවැනි ක්‍රියා හේතුවෙන් රටට සිදුවන හානිය වළක්වා ගැනීමට පියවර ගැනීම අවශ්‍ය බව පෙන්වා දෙමු.

(***)



අදහස් (0)

දේශපාලන හෙංචයියලාගේ මැර වැඩට ඉඩ දිය යුතුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site