IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දුම්රියේ සිඟමනේ ගොස් විස්කි බොන යාචකයෝ

  tyi

කෝච්චිවල සිඟමන් යැදීම සපුරා තහනම්කර ඇත්තේ මගී ජනතාවට සිදුවන හිරිහැර හා කරදර පීඩාවන් ගැන සැලකිල්ලට ගනිමින්ය.
මේ තහනම ක‍්‍රියාත්මක කර ඇත්තේ පසුගිය 01 වැනිදා සිටය. තහනම නොතකා කෝච්චිවල සිඟමනේ යෙදුණ සැලකිය යුතු පිරිසක් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්වී ඔවුනට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ද ගෙන ඇත.

 


රඹුක්කන සිට කොළඹ කොටුව හා පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙකක සිඟමනේ යෙදී සිටි පස් දෙනෙකු දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අල්ලා ගත්තේ මගී ජනතාවට හිරිහැරයක් පීඩාවක් ගෙනදෙන ආකාරයට යාචක වෘත්තියේ යෙදීමේ චෝදනාව යටතේය.


මේ පස් දෙනා අතර පානදුර පැත්තේ අඹු සැමි යුවළක්ද සිටි අතර ඔවුහු දෙදෙනා ජැන්ඩිපහට ඇඳ සිටියහ. සැමියාගේ ශල්‍ය කර්මයක් කිරීමට ලොකු ගාණක් යන බව පවසමින් බිරිය දුම්රිය මගීන්ට අත පෑවාය.

 

56

 


බිරිය එසේ මගීන්ට අතපාන අවස්ථාවේ ජැන්ඩියට ඇඳපැළඳගෙන සිටි සැමියා තම දුක කිව්වේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. ඉංග‍්‍රීසියෙන් හිඟා කෑ මේ යාචකයාට හා ඇයගේ බිරියට මුදල් නෝට්ටු ගුළිකර දෙන මෙන්ම අහක බලාගෙන සිට තමන්ගේ පාඩුවේ සිටින මගීහු ද සිටියහ.


අඹු සැමි යුවළ මෙසේ සිඟමන් යදිමින් කෝච්චියේ මැදිරියක් මැදිරියක් ගානේ මගීන් අතර තෙරපෙමින් ගමන් කරමින් සිටි අතරවාරයේ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූයේ ඔවුන් බලාපොරාත්තු නොවූ අවස්ථාවකය.


කිළිටි ඇඳුම් ඇඳගෙන ගියාම අපිව දැක්කාම මගීන්ට හරිම පිළිකුල්. හුඟ දෙනෙක් අහක බලාගන්නවා. හොඳට ඇඳ පැළඳගෙන වැදගත් විදියට ගියාම මිනිස්සු අපිට සල්ලි දෙනවා. අහක බලාගන්න කට්ටිය හුඟක් අඩුයි. වැදගත් පවුලක්, නැති බැරිකමට වෙන්න ඇති මේ විදියට හිඟාකන්නෙ කියා අපි කෙරෙහි අනුකම්පා කරලා කීයක් හරි දෙනවා යැයි දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අඹු සැමි යුවළ පවසා ඇත.


අල්ලාගත් මේ පස් දෙනා අතර දුම්රිය මැදිරියෙන් මැදිරියට යමින් මගීන්ට අත පෑ ගොළුවෙක්ද විය. මේ ගොළු පුද්ගලයාට ද කීයක් හෝ අත මිට මෙලෙව්වේ ඔහු ගැන මගීන්ගේ හිත්වල හටගත් දයානුකම්පාව නිසාය.


මොහුත් වසර ගණනාවක් තිස්සේ කෝච්චිවල සිඟමනේ යෙදී සිටින අයෙකි. ගොළු පුද්ගලයා අල්ලාගෙන යනවා දුටු මගීන් බොහෝ දෙනෙක් කම්පාවෙනවා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී තිබේ.


අනේ පව්! අහිසංකයා යැයි කියා කියන මගීහු ද සිටියහ.


අල්ලාගත් පස් දෙනා සමග මේ ගොළු පුද්ගලයා ද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළාට පස්සෙ අධිකරණයේ සිටි බන්ධනාගාර නිලධාරියෙක් එක්ක ඒ ගොළු පුද්ගලයා කතා කරනවා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකුට ඇසී ඇත.


මෙච්චර කාලයක් ගොළුවෙක් ලෙස සිඟාකා ඇත්තේ හොඳට කතා බහ කළ හැකි අයෙක් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් දැන ගත්තත් ඔහුට අනුකම්පා කළ මගීන් මේ බවක් දන්නේ නැත. ගොළු චරිතයකට පණ පොවමින් මේ යාචකයා කාලයක් තිස්සේ දුම්රිය මගීන්ගේ පොකැට්ටුවේ තියන සල්ලි ඇදගත් ආකාරය හරිම අපූරුය.


පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ කෝච්චියක සිඟමනේ යෙදී සිටි කාන්තාවක්ද දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට කොටුවූවාය. මේ යාචක කත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නියක බව වටහා ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට වැඩි වේලාවක් ගත වූයේ නම් නැත.


‘‘මට දවසකට කුඩුවලට රුපියල් 500ක් විතර  ඕනෑ. කුඩු නැතුව ඉන්න බැහැ. දන්න කියන කාලේ ඉඳලම මම කුඩු ගහනවා. කෝච්චියේ හිඟා කාල තමා කුඩු ගහන්න සල්ලි හොයාගන්නේ. මට අම්මෙක් තාත්තෙක් සහෝදර සහෝදරියක් නැහැ” යැයි යාචක කාන්තාව පවසා ඇති බව කියති.


ඇය කෝච්චිවල යන මගීන්ට අත පා ඇත්තේ බඩගින්න නිවා ගැනීමට කීයක් හෝ දෙන ලෙස ඉල්ලමිනි. 


කුසගින්න නිවා ගැනීමට කියා මගීන්ගේ අනුකම්පාව දිනාගෙන ඉල්ලාගන්නා සල්ලිවලට ඇය කුසට ආහාරයක් ගන්නවා වෙනුවට ඒ සල්ලි වියදම් කර ඇත්තේ කුඩු බොන්නටය.


‘‘මට වේල් තුනම වුණත් ඇල්වතුර ටිකක් බීලා කුසගින්න නිවා ගන්න පුළුවනි. ඒත් කුඩු නැතිව නම් ඉන්නම බැහැ. කුඩු සික් එක හැදෙනවා” යැයි ඇය පවසා ඇතැයි කියන්නේ අසරණ විලාසයක් පෙන්නුම් කරමිනි.


අධිකරණ නියෝග මත ඇය පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කෙරිණි. මේ යාචකයන් පස්දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළේ දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය බාර නිලධාරී  ඕ. කේ. ලලිත් කුමාර මහතාය. 


කෝච්චිවල සිඟෑකෑම තහනම් කළාට පස්සෙ දවස් දෙක තුනක් තිස්සේ පමණක් සිදුකළ මෙහෙයුම්වලදී යාචකයන්, යාචක කතුන් 16 පමණ දුම්රිය ආරක්ෂක හමුදාවට කොටුවූ අතර මෙයින් සමහර දෙනෙක් තරයේ අවවාදකර මුදාහැර තිබූ අතර වැඩි දෙනෙකුට දඩ ගසා ඇත්තේ රුපියල් 2,000 සහ රුපියල් 1,000 අතර මුදල් වශයෙනි. 


අධිකරණයෙන් නියම කරන ලද මේ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව යාචක කාන්තාවන් හිරේ යන්නට ඇතැයි කියා ඔබ සිතන්නට ඇතිවා නිසැකය. ඔබේ ඒ සිතුවිල්ල වැරදිය. නියමිත දඩ මුදල ඒ වෙලාවේම ගෙවා දමා ඔවුන් උසාවියෙන් පිටව ගොස් තිබේ. යාචකයන් අත යහමින් මුදල් ගැවසෙන බව පැවැසීමට මෙය හොඳම සාධකයක් බව  ඕනෑම කෙනෙකුට පෙනී යනවා ඇත.


යාචකයන්ට, යාචක කතුන්ට ඔවුන්ට හිතෙන හිතෙන කෝච්චිවලට නැගී සිඟමන් යෙදීමට අවකාශයක් නැත.


ඔවුන්ට හිතෙන හිතෙන කෝච්චිවලට නැග සිඟමන් යෙදුනොත් අනිත් යාචකයන්ගෙන් අම්බානක ගුටිකෑමට සිදුවනවා ඇත. යාචකයන්ට ඔවුන්නොවුන්ට කෝච්චිවල සිඟා කෑමට වෙන්වූ බල ප‍්‍රදේශ ඇති අතර ඒ බල ප‍්‍රදේශය බැරිවීමකින් හේ ආක‍්‍රමණය කළ හොත් බඩකට පුරා කෑමට සිදුවීම අනිවාර්යයයි. කෝච්චියේ සිඟමනේ යෙදෙන්නන් ඔවුනොවුන්ට මාර්ග බෙදාගෙන ඇත.  


බල ප‍්‍රදේශ ආක‍්‍රමණය කරන යාචකයන්ට පමණක් නොව කෝච්චිවල හිඟා කෑමට එන නවක යාචකයන්ට හා යාචක කතුන්ට පැරණි යාචකයෝ පහරදී එළවා දමන්නේ අනුකම්පා විරහිතව ය. 


‘‘මුන් හින්දා අපේ බඩගෝස්තරය හොයා ගන්නත් බැරිව යනවා. වෙන  ඕනෑ තැනක ගිහිල්ලා හිඟාකාපල්ලා. මේ පැත්ත පළාතකවත් ආය එහෙම එන්නේ නැහැ” කියා අලූතින් කෝච්චියේ හිඟාකෑමට එන යාචකයන් හා යාචක කතුන් පහරදී එලවා දමන අවස්ථා  ඕනෑ තරම්ය.


මේ තොරතුරු හෙළිකරනු ලැබ සිටියේ දුම්රිය ආරක්ෂක හමුදාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේවා ගැන කරුණු කාරණා දන්නා නිලධාරීන් පිරිසක් විසිනි. දුම්රිය ආරක්ෂක හමුදාවෙ වගකිවයුතු නිලධාරියෙක් පැවසූ ආකාරයට අත දරුවන් කුලියට ගෙන හිඟමනේ යෙදී සිටි යාචකයන් හා යාචක කතුන් පසුගිය කාලයේ අසුවූ අවස්ථා තිබේ.


මෙසේ තම දරු පැටව් යාචකයන්ට දවසකට රුපියල් 2,000 - 3,000ක් අතර මුදලකට ලබාදී ඇති බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇත. ඒ විතරක් නොව හවසට අරක්කු බෝතලයක් දෙකක් ලබාදීමේ පොරොන්දුව මත දරුවන් ඉල්ලාගෙන ගොස් ඒ දරුවන් තමාගේ දරුවන් බව හඟවා දුම්රිය මැදිරිවල හිඟා කෑමේ නිරතව සිටියදී පසුගිය කාල වකවානුවේ අසුවී තිබේ.


මේ විදියට තම දරු පැටව් යාචකයන්ට දෙන්නේ හෙරොයින් මත්ද්‍රව්‍යවලට හෝ කසිප්පු පානය කිරීමට හෝ තදින්ම ඇබ්බැහිවූවන්ය. එහෙමත් නැතිනම් රෝගාබාධ නිසා හරි හමන් රස්සාවක් කිරීමට නොහැකිව සිටින අය බවද දැන ගැනීමට ලැබී ඇත. මෙහි ඇති වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ මෙසේ කුලියට ගන්නා දරු පැටවුන්ට නින්ද යාමට මොකක් හෝ පෙති වර්ගයක් ලබා දීමය.

 

ආගන්තුක කෙනෙක් වඩාගෙන ඉන්නා විට පොඩි එකා නොනවත්වා හඬන නිසා නින්දයාමට මොකක් හෝ පෙත්තක් පොවන බව දැන ගැනීමට ලැබිණි යැයි කිව්වේ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකි.


කොළඹ - කොටුවේ සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන්ගත් යාචක යුවළක් හා කතා බහ කිරීමට මට අවස්ථාව ලැබිණි. මේ දෙන්නාගේම ඇස් අන්ධය. දෙදෙනාම මැදිවිය පසුකරමින් සිටිති.


‘‘අපි අවුරුදු 10-15 විතර කාලයක ඉඳලා කෝච්චියේ හිඟමනේ යෙදෙනවා. හිඟා කාලා ෆිනෑන්ස් කරලා බස් එකක් අරගත්තු කෙනෙක් ගැන අපි දන්නවා. දැන්නම් ඒ මනුස්සයා කෝච්චියේ හිඟාකන්න එන්නේ නැහැ. කොච්චිකඬේ පැත්තේ තමා ඒ මනුස්සයා පදිංචිවෙලා හිටියේ” යැයි ඒ අන්ධ යාචක යුවළ කියා සිටියහ. 


යාචක යුවළ කී මේ කතාව මට එකවර අදහාගත නොහැකි විය.


‘‘කෝච්චියේ හිඟා කෑ මනුස්සයෙක් හිටියා. මේ මනුස්සයාට ටිකක් ඇහැට කනට පේන දුවක් ඉන්නවා. එයාගෙ දුව කසාඳ බඳින්න දෑවැද්දට සල්ලි හොයාගන්න තමා කෝච්චියේ හිඟා කෑවේ. මේ කතාව අපිත් එක්ක කිව්වෙ ඒ මනුස්සයාම තමා. දුව කසාද බඳින්න එන මිනිහාට දුව නිකම්ම දෙන්න බැහැනේ” කියාත් ඔහු කිව්වා.


මේ යාචක යුවළ බැස ගියේ සීදුව දුම්රිය ස්ථානයෙනි.


දුම්රිය ආරක්ෂක හමුදාවේ එක් නිලධාරියෙක් පැවසූ ආකාරයට සමහර යාචකයන් හිඟාකා උපයන මුදල්වලින් කොටසක් මුදල් මදි පාඩුකම් ඇති යාචකයන්ට පොලියට ලබාදෙන අවස්ථාත් ඇත.


පොලී මුදල ඉල්ලාගත් ණය මුදල ගෙවීම මගහැර සිටියොත් යාචක පොලී මුදලාලිලා ඔවුන්ට පහර දෙනවා. එපමණක් නොව ණය මුදල ගෙවන තෙක් කෝච්චියේ හිඟාකෑමට ඉඩ තබන්නේද නැත.


පොලියට දෙන්නේ පොඩි පොඩි ගණන් මිස ලොකු ලොකු ගණන්නම් නොවේ. උදේ සිටන් ? බෝ වන තෙක් කෝච්චි පෙට්ටියක් ගානේ යමින් සිඟමනේ යෙදෙන යාචකයන් හුඟදෙනෙක් ඇගේ පතේ අමාරුව යන්නත් එක්ක අරක්කු බීමට පුරුදුව සිටිති.


ඇෙඟ් පතේ අමාරුවත් එක්ක විස්කි හෝ බ‍්‍රැන්ඩි වැනි ඉස්තරම් වර්ගයේ මත්පැන් බොන යාචකයන් ගැනද තමාට දැන ගැනීමට ලැබ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය.


විස්කි බෝතලයක් හෝ බ‍්‍රැන්ඩි බෝතලයක් ගෙදර ගොස් තබාගෙන එයින් ටික ටික යාචකයන් පානය කරන්නේ ඇෙඟ් පතේ අමාරුව නිසාමය. ආබාධ තත්ත්වයේ පසුවන යාචකයන් යාචක කතුන් ඉන්නා තැන සිට ළඟම තියන ස්ටේෂන් එකට ගෙනවිත් ඇරලවීමට හා වැඩ කටයුතු නිමවූ පසු ආපසු ඉන්නා තැනට කැඳවාගෙන ගොස් මාසය අන්තිමට හොඳ ගතමනාවක් සොයා ගන්නා ත‍්‍රී රෝද රියැදුරෝද සිටිති. 


කෙනෙක් හදිසි අනතුරකට ලක්වෙලා රෝහලට ඇතුළත් කර තිබුණා. පස්සෙ අපි දැනගත්තා මේ මනුස්සයා කෝච්චියේ හිඟා කන කෙනෙක් කියා. මේ යාචකයා ළඟ තිබුණු බෑගයක තිබිලා රුපියල් 75,000ක විතර මුදලක් හම්බවුණා. ඉස්පිරිතාලයට අරගෙන එද්දි සිහිය තිබුණේ නැහැ. වෛද්‍ය ප‍්‍රතිකාරවලින් පස්සෙ සුවය ලැබුණා.


දවස් ගණනක් රෝහලේ ඉඳලා යන්න ගියා. අපි ඔහු ළඟ තිබිලා හම්බවුන සල්ලි ටික පරිස්සම් කරගෙන ඉඳලා ඒ යාචකයාට බාර දුන්නා යැයි යාචකයා නේවාසිකව සිටි රෝහලේ ඔහුට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් මා සමග කීවේ මීට වසරකට පමණ ඉහත දීය.


කුඩා දරු පැටියෙක් කරපින්නාගත් කාන්තාවක් දුම්රිය මැදිරියේ එහා කෙලවරේ සිට මෙහා කෙලවර දක්වා ගමන් කළේ දුක් අඳෝනා කියමින් මගීන්ට අත පාමින්ය.


සමහර දෙනෙක් කීයක් හෝ ඇයගේ අතමිට මෙලව්ව අතර තවත් අය කීයක්වත් නොදී අහක බලාගෙන සිට ඇත. 


ඇය සල්ලි දුන් අයට පින් දුන් අතර සල්ලි නොදුන් අයට බැන වදිමින් බැස ගියේ දරු දුක නොදන්නා එවුන් යැයි පවසා බැන වඳිමින්ය.


යාචක කාන්තාව බැස ගොස් තිබුණේ මීගමුව පොළෙනි. 

 

m



අදහස් (0)

දුම්රියේ සිඟමනේ ගොස් විස්කි බොන යාචකයෝ

දිලුම් Tuesday, 08 December 2015 03:52 AM

ඇත්තටම අපේ රටේ ළමා ආරක්ෂණ අධිකාරියක් කියල එකක් තියනව නේද. ඒකේ අධ්‍යක්ෂක ඇතුළු නිලධාරින් නිදිද, ඒ හැරුණාම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ළමා සංවර්ධන නිලධාරි කියල කෙනෙක් ඉන්නවා. මේ අය මොනවද කරන්නේ කියල ලංකාදීපයට සොයාබලා රටට අනාවරණය කරන්න පුළුවන්නම් අපේ ළමා පරපුරට කරන ලොකු සේවයක් ඒක. ළමයින් එක්ක හිඟාකන එකෙන් වෙන්නේ ඒ ළමයත් දවසක හිඟන්නෙක් වෙන එක. (බ)

:       0       0

සොපි Tuesday, 08 December 2015 04:35 AM

නුතන සමාජය දැන් මේ වගේ මගඩි ගැන අවදියෙන් ඉන්නවා .මේ ගැන දැනුවත් කරන මාධ්‍ය වලට ස්තුතිවන්ත විය යුතුයි .(ම)

:       0       0

ජනක Friday, 11 December 2015 02:20 AM

අපේ ශබ්ද කෝෂයේ නැහැ බැහැ කියන වචන දෙක තිබෙන තාක්කල් අපිට හරියන්නේ නැහැ. (නි)

:       0       0

ඩුන්ගු Tuesday, 08 December 2015 09:09 AM

ලංකාවේ සැබෑ දුගියන් අනුන්ට අතපාන්නේ නැත. අත පාන වැඩි දෙනෙක් මගඩි කරුවන්ය. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site