ශ්රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව කුඩා රටක් වුව ද නිරන්තරයෙන් ලෝකයේ අවධානයට ලක් වෙමින් පවතින රටකි. එසේම නිවර්තන දූපත් රාජ්‍යයක් ලෙස සම්පත් බහුල සහ දැඩි විවිධත්වයෙන් යුත් සුන්දර රටක් ලෙස ද ලෝකයේ සැවොම හඳුනාගනිති. එසේ වුව ද ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට යන රටකි. මෙසේ දැඩි අර්බුදයට ලක් වූ විවිධ අවස්ථාවලදී හඳුනාගත හැකි මූලික ලක්ෂණයක් වූයේ සැලසුම්කරණයේ දී පැවැති දුර්වලතාය.
පසුගිය කොවිඩ් වසංගත තත්වය නිසි පරිදි කළමනාකරණය කිරීමට නොහැකි වූයේ එම ක්‍රියාවලිය හා සම්බන්ධ සැලසුම්කරණයේ පැවැති අඩුපාඩු බව බහුතරයේ පිළිගැනීමයි. එසේම කොවිඩ් අර්බුදයෙන් පසු අප මුහුණ දුන් දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ආර්ථිකය බංකොලොත් තත්වයට පත්වීම දක්වා වූ ක්‍රියාවලිය තුළ ද සැලසුම්කරණයේ තිබූ මූලික දුර්වලතා හඳුනාගත හැකි විය.
එසේ වුවද නිරන්තරයෙන් වාර්තා වන පුවත් මගින් පැහැදිලි වනුයේ ශ්‍රී ලංකාව තවමත් නිසි සැලසුම්කරණයකට අවශ්‍ය පදනම සකස් කරගෙන නොමැති බවයි. උදාහරණ වශයෙන් පසුගියදා මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය වතාවතාවරණය හමුවේ ඛනිජ තෙල් සැපයුම සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයට ලක් විය. එහිදී ඇතැම් අමාත්‍යවරුන් විසින් ඛනිජ තෙල් මේ වසර අවසානය දක්වා ප්‍රමාණවත් සංචිත පවතින බවත් එහි කිසිදු ගැටලුවක් නොමැති බවත් නිවේදනය කෙරිණි. එහෙත් රජයේ ඇතැම් බලධාරීන් පෙන්වා දුන්නේ එසේ නිසි තොග ප්‍රමාණවත් තරම් රට තුළ නොමැති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් පරිදි පවතින්නේ ද යන්න පිළිබඳව නිසි දත්ත නොමැති බවට චෝදනා එල්ල වෙමින් පවතී. එසේම තවත් උදාහරණයක් වනුයේ පසුගියදා වන සතුන්ගෙන් වන හානි පිළිබඳ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ මූලික කරුණක් වූයේ වන සතුන්ගෙන් වන හානි කළමනාකරණය කිරීම සඳහා නිසි දත්ත නොමැති බවයි. එසේම පොහොර බෙදා හැරීම, වෙළෙඳපොළ අවශ්‍යතාව මත සහල් සඳහා පවතින තොග සහ ලුණු සම්බන්ධයෙන් ඇති වූ තත්වයෙන් ද ගම්‍ය වන්නේ දත්ත මත පදනම්ව තීරණ ගැනීමක් රට තුළ නිසි පරිදි සිදු නොවන බවයි. මෙම සියලු කරුණුවලදී මතුවන එක් පොදු සාධකයක් වනුයේ අප රට තුළ විවිධ තීරණ ගැනීමේදී දත්ත භාවිත වීමක් සිදු නොවන බවයි. සැලසුම්කරණයේ දී දත්ත සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එහෙත් දත්ත නිසි පරිදි යොදා නොගැනීමත් පවතින සීමිත දත්ත සදහා ප්‍රවේශ නොමැතිවීමත් මත තවත් දශක කිහිපයක් ඉදිරියට ගිය ද ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම අර්බුදවලින් මිදිය නොහැකි බවයි.
එබැවින් ආර්ථික සැලසුම්කරණයේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී දත්ත නිසි පරිදි යොදාගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් කරුණක් බව පැහැදිලිය.
2021-2022 දී, ශ්‍රී ලංකා රජය එහි විදේශ විනිමය අර්බුදයේ බරපතළකම නිවැරැදිව තක්සේරු නොකළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තීරණාත්මක ආධාර ප්‍රමාද කළේය. විදේශ සංචිත, ආනයන බිල්පත් සහ ණය ආපසු ගෙවීමේ කාලසටහන් පිළිබඳ තත්‍ය කාලීන දත්ත නොමැතිකම අර්බුදයේ විශාලත්වය වසන් කළේය, 2022 මුල් භාගය වන විට සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1 ට වඩා පහත වැටුණු අතර මාසයක ආනයන පවා ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවීය. මෙවැනි අවස්ථාවක තත්‍ය කාලීන දත්ත නිසි ලෙස විශ්ලේෂණය කර ඇත්නම්, මුල් අදියරේදීම ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සදහා අවස්ථාව තිබුණි, එයින් අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට අවස්ථාව තිබුණි. ඒ වෙනුවට, නිවැරැදි දත්ත නොමැතිකම ජාත්‍යන්තර ණය දෙන්නන් සමග වැරැදි සන්නිවේදනයකට, විශ්වාසය පළුදුවීමට සහ මූල්‍ය ආධාර ප්‍රමාද කිරීමට හේතු විය.
සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම තීරණාත්මක ආර්ථික ප්‍රතිපත්ති වැරැදි පියවරවලින් වළක්වා ගැනීම සඳහා පුළුල් දත්ත මත රඳා පවතී. 2021 දී, කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත්, කෘෂිකාර්මික ඵලදායිතා දත්ත විමසීමකින් තොරව ශ්‍රී ලංකාවේ රසායනික පොහොර ආනයනය සඳහා හදිසි තහනමක් පනවන ලදී. මෙය විශේෂයෙන් සහල් සහ තේ බෝග අස්වැන්න සියයට 20-30 කින් විනාශකාරී පහත වැටීමකට, ආහාර හිඟය නරක අතට හැරීමට සහ 2022 අර්බුදය අතරතුර ආහාර මිල ඉහළ යාමට හේතු විය. මෙම තහනම පසෙහි පෝෂක අවශ්‍යතා, බෝග චක්‍ර සහ ගොවීන්ගේ ජීවනෝපාය පිළිබඳ තීරණාත්මක දත්ත නොසලකා හරිමින් තීරණවලට එළැඹුණි. ප්‍රතිපත්ති සම්පාදකයන් කෘෂිකාර්මික පර් යේෂණවලින් හෝ ඓතිහාසික අස්වැන්න පිළිබද ප්‍රවණතා මත පදනම් වූ දත්ත භාවිත කළේ නම්, ඔවුන්ට තහනමේ බලපෑම අවම කරමින් කාබනික ක්‍රමවලට අදියර වශයෙන් සංක්‍රමණය වීමට හැකිව තිබුණි. දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති මගින් ආර්ථික අභියෝග උග්‍ර කරන තීරණ වළක්වා ගත හැකි ආකාරය මෙම සැබෑ තත්වයෙන් නිරූපණය කෙරේ.
ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට සහ අවශ්‍ය ගැලපීම් කිරීමට පැහැදිලි, යාවත්කාලීන දත්ත අවශ්‍ය වේ. 2022 න් පසු, ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා බදු වැඩි කිරීම් සහ ආනයන පාලනයන් හඳුන්වා දුන් නමුත් උද්ධමනය, ව්‍යාපාර වසා දැමීම් හෝ ගෘහස්ථ ආදායම පිළිබඳ සවිස්තරාත්මක දත්ත නොමැතිව, ඒවායේ බලපෑම තක්සේරු කිරීම අභියෝගාත්මක විය. උදාහරණයක් ලෙස, වැට් බදු ඉහළ දැමීම් හේතුවෙන් 2024 දී බදු ආදායමේ සියයට 42.6 ක වැඩිවීමක් මහ බැංකුව වාර්තා කළ නමුත් ගෘහස්ථ මිලදී ගැනීමේ බලය පිළිබඳ මුලික දත්ත නොමැතිව, මෙම පියවර මහජන අතෘප්තියට සහ පරිභෝජනය අඩුවීමට හේතු වූ අතර, ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී විය. තත්‍ය කාලීන දත්ත නොමැතිකම ප්‍රතිපත්ති ආර්ථික පීඩනය සමනය කරන්නේ ද නැතහොත් නරක අතට හැරෙන්නේ ද යන්න තීරණය කිරීම දුෂ්කර කළේය.
ඉන්දියාවේ කාලීන උපකරණ පුවරු, උද්ධමනය සහ ආහාර සුරක්‍ෂිතතාව වැනි තීරණාත්මක දර්ශක වෙත ක්ෂණික ප්‍රවේශය ලබාදීමෙන් ආර්ථික අභියෝග හමුවේ පරිවර්තනයක් කර ඇත. ඒ හරහා ආර්ථික බාධා සහ සම්පත් අවශ්‍යතා වේගයෙන් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ. ඒ හා සමානව රුවන්ඩාව ආර්ථික අර්බුදයෙන් පසු එහි ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා ඩිජිටල් කෘෂිකාර්මික දත්ත උපයෝගී කරගෙන ඇත. SAIP ව්‍යාපෘතිය හරහා ජංගම යෙදුම් සහ චන්ද්‍රිකා දත්ත භාවිත කරමින් ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කළේය. ග්‍රීසිය 2008 වසරේ මුහුණ දුන් ණය අර්බුදයෙන් පසු දත්තවල විනිවිදභාවය සහ නිරවද්‍යතාව සහතික කිරීම, ආයෝජන විශ්වාසය යථා තත්වයට පත් කිරීම සහ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සක්‍රීය කිරීම සඳහා දත්ත පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සම්පත් වෙන් කිරීම වැනි ආර්ථික තීරණ ගැනීමේදී යාවත්කාලීන නිවැරැදි දත්ත පද්ධති තුළින් ආර්ථික අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරය මැනවින් අවධාරණය කරයි.
රටක ආර්ථිකය ක්‍රියාත්මක වන දිශානතිය සහ එය මැනිය හැකි සංඛ්‍යාලේඛන ආර්ථික දත්ත යටතට ඇතුළත් වේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකුව, විශේෂිත සමීක්ෂණ සහ ජාත්‍යන්තර සංවිධාන දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියේදී විශාල කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ නමුත්, සමාජ සංඛ්‍යානඥයන් පර් යේෂකයන් ආර්ථික විශේෂඥයන් ප්‍රශ්න කරන්නේ දත්ත වෙත ප්‍රවේශ වීමට පර් යේෂකයන්ට අවස්ථාවක් නොමැති බවයි. දත්ත රැස් කිරීම සඳහා ආයතනික ව්‍යුහයක් පැවැතියත් සේවකයන් යොදවා තිබුණත් දත්ත පද්ධති නිසි පරිදි යවත්කාලීන වන්නේ ද කළමනාකරණය වන්නේ ද පිළිබඳ ගැටලු ඇතිවේ. රජයේ හා ආයතනික සැලසුම් තුළින් දත්ත ඵලදායි තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා හරවත් කාර්යයක් ඉටු කරන්නේ ද නිසි පරිදි දත්ත පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ද යන්න පිළිබඳ ගැටලු මතුවේ. මන්ද ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රතිපත්ති සම්පාදනය පුරවැසියන්ගේ ජීවිතවලට සෘජුවම බලපාන අතර, තිරසාර ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම, රාජ්‍ය සේවා වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය කටයුතු පිළිබඳව ජනතාව අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. දත්ත මත පදනම්ව තීරණ ගැනීමෙන් සම්පත් අපතේ යාම වළක්වා ගනිමින් අභියෝග වඩාත් ඵලදායි ලෙස විසඳාගත හැකි අතර පුරවැසියන්ට වඩා යහපත් අනාගතයක් ගොඩනඟා ගත හැකිය. එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී දත්ත තීරණාත්මක වන්නේ මන්දැයි ගැඹුරින් සොයා බැලීම වැදගත් වේ.
ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්ති සැකසීමේ දී සහ ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා තීරණ ගැනීමේ දී දත්ත භාවිත කිරීමේ අභියෝග සැබෑ නමුත් එය කළමනාකරණය කළ හැකිය. දත්තවල ගුණාත්මකභාවය, ප්‍රවේශතාව, පෞද්ගලීකරණය, තාක්ෂණික ගැටලු, මහජන විශ්වාසය වැනි ගැටලුවලට විසඳුම් සෙවීමෙන් රජයට සහ ආයතනවලට ප්‍රතිපත්තිවල ඵලදායීතාව ඉහළ නැංවීමට දත්තවල බලය උපයෝගී කරගත හැකිය. මේ සඳහා දත්ත පද්ධතිවල ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාව දිය යුතුය. සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලියේ සිට විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම දක්වා බොහෝ අවස්ථා ආර්ථිකය තුළ පවතී. යල්පැන ගිය හෝ අසම්පූර්ණ දත්ත දුර්වල තීරණ ගැනීමේ සහ දෝෂ සහිත ප්‍රතිපත්තිවලට හේතු විය හැකි බැවින් දත්තවල ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව ඇති කිරීම උදෙසා කඩිනම් ක්‍රමවේදයක් සැලසිය යුතුය.
ප්‍රතිපත්ති සම්පාදකයන් සිවිල් සේවකයන් සහ පළාත් පාලන කාර්ය මණ්ඩලය දත්ත ඵලදායී ලෙස භාවිත කිරීමට සන්නද්ධ විය යුතුය. දත්ත ඔවුන් ලබා දෙන තීරණ තරම්ම බලවත්ය. එබැවින් අවබෝධයකින් තොරව, නිවැරැදි දත්ත පවා භාවිතයට නොගෙන පවතින අතර විවිධ දේශපාලන මැදිහත්වීම් හරහා පවතින දත්ත අතුරුදන්වීම හෝ වෙනස්වීම්වලට ලක් වීමේ අවදානමක් ද පවතී. මේ නිසා දත්ත පද්ධතිවල රහස්‍යභාවය, ආරක්ෂාව සහ විනිවිදභාවය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. නිවැරැදි ප්‍රවේශය තුළින් දත්ත මත පදනම් වූ තීරණ ගැනීම ශ්‍රී ලංකාව වැනි රටවල වඩා හොඳ පාලනයක් සහ ශක්තිමත් ආයතනික රාමු ඇති කිරීමට හේතුවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය හමුවේ ක්‍රමිකව යථා තත්වයට පත් වෙමින් තිබේ. කෙසේ නමුත් ආර්ථික තත්වය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා නිවැරැදි කාලීන විනිවිදභාවයකින් යුතු දත්ත පද්ධතිවල අවශ්‍යතාව සහ පවතින දත්ත පද්ධති යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවකි. යහපත් ප්‍රතිඵලවලට නිවැරැදි දත්ත අවශ්‍ය වේ. සීමිත සම්පත්වලින් කාලීන අවශ්‍යතා සහතික කරමින්, රජයට ආර්ථික වර්ධනය සහ ජනතා විශ්වාසය සමග ක්‍රියා කිරීමට ඉඩ සැලසෙයි. එසේ නොමැතිව ප්‍රකෘතිමත් වීම වඩාත් මන්දගාමී සහ අවිනිශ්චිත විය හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය යහපත් තීරණ ගැනීමේ දී දත්ත පද්ධති ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අඩිතාලමක් බවට පත් කරන බව පැහැදිලි වේ.
දත්ත සෑම ගැටලුවක්ම විසඳන්නේ නැති විය හැකි නමුත්, දත්ත නොමැතිව කිසිදු ගැටලුවක් සැබැවින්ම විසඳිය නොහැකිය. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් සෑම අර්බුදකාරී අවස්ථාවකදීම පැහැදිලි වන්නේ නිවැරැදි කාලීන දත්ත පද්ධතියක් භාවිත නොකළ බවයි. දත්ත මත පදනම්ව ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ තීරණ නොගත් බවයි. නිවැරැදි තීරණ ගැනීම සඳහා දත්ත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළත් ශ්‍රී ලංකාව තුළ එකී තීරණාත්මක අවස්ථාවලදී සැලසුම් සකස් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී කාලීන දත්ත භාවිත නොකළ බව අපට පැහැදිලි වේ. වර්තමානය වනවිට කාලීන සාධනීය පියවර ගනිමින් සිටින නමුත් ඒවා විධිමත්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තිබේ. එසේ නොවන විට සමාජ ආර්ථික ගැටලු තවදුරටත් උග්‍රවීමේ අවදානම පවතී.
(***)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දත්ත හිඟයෙන් මතුවන අර්බුද
රිතික් Wednesday, 30 July 2025 01:57 PM
ඇත්තම කතාව දත්ත හිඟ නෑ දත්ත හුඟයි.