IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


තවත් ප්‍රමාද කරන්න එපා අවශ්‍ය පියවර වහා ගන්න

කොරෝනා වසංගතය අපේ රට තුළ ගිනි කන්දක් බවට පත්වෙමින් තිබෙන බවද එය පුපුරා යා නොදී පාලනය කර ගැනීමට රජය ද සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක හමුදා ද පොලීසිය ඇතුළු මහජනතාව ද එක්ව කටයුතු කළ යුතු බව පසුගිය සතියේ කතුවැකියකින් අපි පෙන්වා දුන්නෙමු. දැන් දෛනිකව වාර්තා වෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ද වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් දක්වන අදහස් අනුව ද පෙනී යන්නේ කොරෝනා ගිනි කන්ද අළු ධූලි නිකුත් කරමින් විදාරණය වෙමින් පවතින බවය. එය තවදුරටත් ක්‍රියාකාරී වී මහා ගිනි ජාලාවක් බවට පත්වීම වළක්වා ගැනීමේ හැකියාව ඇත්තේද අප තුළම පමණි.

දැනට මාසයකට පෙර දිනකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව දහසකට ආසන්න වන විට හැම අතින්ම අනතුරු ඇඟවීම් නිකුත් විය. එහෙත් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ යතුරු අතැතිව සිටින බලධාරීහු ඉදිරියේදී මතුවිය හැකි තත්ත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවකින් නොසිටියහ. ඒ බව සනාථ කරමින් පසුගිය බදාදා (19) දිනකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහස් පන්සියයද ඉක්මවා ගියේය. මරණ සංඛ්‍යාවද 30 ඉක්මවා වාර්තා විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය. දැනට ලැබෙමින් පවතින්නේද නිසි පරිදි යාවත්කාලීන නොවූ සංඛ්‍යාලේඛන බවද සඳහන් කරන එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දී තිබුණේ පවතින තත්ත්වය යටතේ රෝහල් ධාරිතාව ඉක්මවා යාමට ඉඩ නොතබා නිවෙස්වලදී ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කඩිනමින් ආරම්භ කළ යුතු බවය. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කරන්නේ කොරෝනා නියුමෝනියා තත්ත්වයට පත් රෝගීන් 1000කට වැඩි පිරිසක් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබන බවය. නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් තව සති කිහිපයකදී තත්ත්වය දරුණු වන බවටද ඒ මහතා අනතුරු ඇඟවීය.

කොරෝනා 3 වැනි රැල්ල ආරම්භයේදීම වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ප්‍රකාශ කරන ලද මෙවැනි අනතුරු ඇඟවීම්වලට බලධාරීන්ගෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. එහි ප්‍රතිඵලය වෛද්‍යවරුන් පුරෝකථනය කළ පරිදි රටේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමය. තීන්දු, තීරණ ගැනීමේදී ප්‍රමුඛතා පටලවාගෙන ඇති බවක්ද මෙහිදී පෙනී යයි.

කොරෝනා පළමු රැල්ලේදී ලොව බොහොමයක් රටවල්වලට සාපේක්ෂව ඉතාම හොඳින් රෝග ව්‍යාප්තිය පාලනය කරගත් රටවල් අතරේ ශ්‍රී ලංකාවේ නම ඉහළින්ම සඳහන් විය. රෝග පාලනයට අද සිටින්නේත් එම බලධාරීන්මය. එහෙත් රටම බරපතළ අවදානමක් කරා ශීඝ්‍රයෙන් ළඟාවෙමින් සිටියි. ප්‍රමුඛතා පටලවාගැනීමක් සිදුව ඇතැයි අපට පෙනී යන්නේ එබැවිනි. එම තත්ත්වය නිවැරදි කර ගනිමින් වෛද්‍ය උපදෙස්වලට මූලිකත්වය ලබාදෙන වැඩපිළිවෙළකට අනුගත වීම ඉක්මනින් නොසිදුවුවහොත් නොසිතූ අනතුරකට රටට මුහුණදීමට සිදුවීම කිසිවකුටත් වළක්වාගත නොහැකි වනු ඇත.

රෝගය පාලනය කර ගැනීමේ ක්‍රමවේද අතුරින් අංක එක එන්නත්කරණයයි. එසේම ප්‍රමාණවත් තරම් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරමින් නිවැරැදි සංඛ්‍යාලේඛන, දත්ත එක්රැස් කර ගැනීමද ඊළඟට වැදගත් කාරණයයි. මේ ප්‍රමුඛතා දෙකේදීම අපේ රට සිටින්නේ අරගලකාරී තත්ත්වයක බව තවදුරටත් රහසක් නොවේ. වසංගත රෝග අංශය මගින් ලබාදෙන දත්ත නිවැරැදි නොවන බවටත් එම සංඛ්‍යාලේඛන තමන් නොපිළිගන්නා බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනාව මගින් එය තවදුරටත් තහවුරු වී තිබේ. එන්නත්කරණය ද සිදුවෙමින් පවතින්නේ සියලු‍ දෙනාටම පිළිගත හැකි ක්‍රමවේදයක් අනුව නොවන බවටද චෝදනා එල්ල වෙයි. එන්නත් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ දේශපාලන පම්පෝරි කතා නොව ක්‍රියාත්මක වීම බව ඇතැම් බලධාරීන් තවමත් තේරුම් ගෙන නැත. ලොව මේ වන විට කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගත් බොහොමයක් රටවල් ඒ ප්‍රතිඵලය ලබාගෙන ඇත්තේ සාර්ථක එන්නත්කරණය හේතුවෙන් බවද පෙන්වා දිය යුතුය.

දැන් රට වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම පමණක් නොව හැකි ඉක්මනින් අදාළ වාර්තා ලබාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් යෙදිය යුතු වෙයි. වසංගත රෝග විද්‍යා අංශයට පමණක් මේ කාර්යභාරය කළ නොහැකි නම් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. මේ අතරවාරයේ ජනතාවගේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමද අවශ්‍යය. මේ තීරණ ක්‍රියාත්මක වීම ප්‍රමාද කිරීම රට තව තවත් කොරෝනා මකර කටටම තල්ලු‍ කිරීමකි.

දිනකට රෝගීන් තුන්දහසක් ඉක්මවීම යනු ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ඉහළ ගණනකි. එය තවදුරටත් පුළුල් වීම නිසැකවම රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි සීමාව ඉක්මවා යාමට හේතු වනු ඇත. එසේ වුවහොත් අපේ රටේ තත්ත්වය ඉන්දියාවේ තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. එය වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව තවමත් ප්‍රමාද නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ රජය අප්‍රමාදව සහ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීම පමණි.


(***)



අදහස් (2)

තවත් ප්‍රමාද කරන්න එපා අවශ්‍ය පියවර වහා ගන්න

JAYATH Saturday, 22 May 2021 06:12 AM

බීරි අලියෙකුට වීනා ගායනය නොඇසේ... අශ්වයා ගියපසු ඉස්තාලය වසා ඵලක් නැත... ලූලා යවා වලපත ගැනීමෙන්ද ඵලයක් නොමැත...

:       9       2

saman Saturday, 22 May 2021 10:48 PM

ජනතාවගේ තියෙන අවාසනාවක මහත.. මේ කියන කිසිම දෙයක් ඇහෙන මිනිහෙක්නේ රටේ...

:       29       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site