IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ජනපති පේ‍්‍රමදාසට ”සිංහාසන” හැදු කලාකරුවා

”මේ තරම් සියුමැලිද කළුගල් 
සිතන්නටවත් බැරි නිසා 
මම ගියා අව්කන බුදුන්ටත් 
දෑස් දුන් මිනිසා සොයා...”

යුග යුග ගණන් ඈත දවසක පටන් ආදරය, ඉවසීම, කරුණාව ළයක් නැති කළුගලට ජීවම් කරමින් තැනූ නිමැවුම් අදටත් අප මව්බිමේ ඉපැරැණි නගර පුරා යොදුනින් යොදුන හමුවන තරම්ය. වදනක් තරම්වත් නොදෙඩූ, රුවින් නොදුටු ඒ කලාකරුවන් වෙනුවෙන් අදටත් අප හද මඬල ඉපදෙන සෙනෙහසකි. ඒ කළුගලින් මතු කළ කලාවක විස්මිත ශ්‍රේෂ්ඨත්වය උපරිමය තෙක්වන නිසාවෙනි. දුදරුවන් 9 දෙනෙකුට පීතෘත්වය දෙමින් මුනුපුරු මිනිපිරියන් 17 දෙනෙකුගේ ආදරය මැද දිවි ගෙවන 72 හැවිරිදි රාජකපුරු ගම්මහේලාගේ විජේරත්න මහතාද කලාව ආත්මය කොටගත් කලාකරුවෙක් ලෙස හැඳින්වීම ඔහුට කළ හැකි උපරිම සාධාරණය යැයි සිතෙන්නේ කලාව හා බැඳීගිය ඔහු දිවියේ මතක අතර සැරිසරද්දීය. 


ජාතික ශිල්ප සභාවේ ගුරුවරයෙකු ලෙසින් තම දැනුම තරුණ පිරිස අතර බෙදා දීමේ මෙහෙවරද ඔහු අතින් ඉටුවූවකි. 1977 වසරේදී පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ බකමූණු සියඹලාව ගමේ සිට සීගිරියට පැමිණි රාජකපුරු ගම්මහේලාගේ විජේරත්න පොල් අතු 25 කින් නිමවූ පුංචි පැල්පතක සිට තම කලා ජීවිතයේ නව මං සොයා ගියේය. 


1991 මැයි 22 වැනි දින ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා වෙතින් කලාශූරී සම්මානයෙන් පිදුම් ලද කලාශූරී, කලාභූෂණ මැදරට තිලක පද්මාංජලී ආර්.ජී. විජේරත්න මහතාගේ කලා නිර්මාණ අතර 1990 දී නිමැවූ දාහත් ලක්‍ෂයේ සිංහාසනය, 1990 දී නිර්මිත

 

 
සිංහාසනයේ නිර්මාතෘ

මහ විශ්වකර්ම දේව ප‍්‍රතිමා වහන්සේ, මහා විෂ්ණු භද්‍රකාලි ප‍්‍රතිමාව සහ විශාල බුද්ධ ප‍්‍රතිමා වහන්සේ යන නිර්මාණ වැදගත් වෙයි. 


අපේ පරපුරේ අය අතීතයේදීත් රජ මැදුරුවල කලා කැටයම් සිදුකර තිබෙනවා. මගේ පියා හීංඅප්පු. ඒ කාලේ තාත්තාගේ කලා කටයුතුවලට මම උදවු කරනවා. 1948 දී අගමැති ඞී.ඇස්. සේනානායක මහතාට සිංහ හිස කැටයම් කළ බස්තමක් පිරිනැමුවා. ඒත් සමඟම එදාම සෝල්බරි ආණ්ඩුකාරවරයාටත් බස්තමක් පිරිනැමුවා. 


තාත්තයි මායි දෙන්නා මීට අවුරුදු ගණනකට උඩදී බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ බකිංහැම් මාලිගයට කැටයම් සහිත පුටු සැටියක් හැදුවා. විවිධ පුද්ගලයන්ගේ රූප ලීයෙන් කපන්න මට පුළුවන්. මේ විදියට මම කරපු නිර්මාණ පිටරටවල පවා තිබෙනවා. මම දන්න දේ මම මේ කලාව ඉගෙන ගන්න ආසා අයට කියා දුන්නා. ගෝල බාලයින් හාරසියයකට වඩා පිරිසක් මම බිහි කළේ එහෙමයි. මමම හදා ගත්ත උපකරණවලින් තමයි මම කැටයම් කැපුවේ. සීගිරියේ කලාපුරයේ ඉඳගෙන කැටයම් වැඩ හා වඩු කර්මාන්තයෙන් තමයි මම මගේ දරුවන්ට ඉගැන්නුවේ. ඒ වගේම වී ගොවිතැනත් කළා. ඒ වගේම තමයි වෙදකම හා නක්‍ෂත‍්‍රයත් මම ඉගෙන ගෙන තිබෙනවා. 
දෙස් විදෙස්හි ප‍්‍රසිද්ධ මේ කලාකරුවාගේ අතීතය සොයා යන ගමනක දී ඔහු විසින් නිර්මාණය කළ සිිංහාසනය පිළිබඳව මතකය වඩා සුවිශේෂී වෙයි. ඒ මතකයේ සටහන් සොයා යාමට පෙර ඔහුගේ ජීවිතයේ වෙනත් මතක අකුරු කොට දක්වන්නට අපි කල්පනා කළෙමු. 


අකුරු උගනින පාසල් වියේදීම කැටයම් කලාවට පෙම් බැන්ද මේ ගැටයා කුඩා කාලයේ සිටම ඒ කෙරේ වූ නිසඟ හැකියාවක්ද පෙන්නුම් කළේය. 


ඒ 1948 වසරයි. ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් අගමැති ඞී.ඇස්. සේනානායකගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ විජය විදුහලේ පැවැති උත්සවයට මේ කොලූ ගැටයාද තම පියා සමග ගියේය. ඒ ගියේ කෝපි ලීයකින් නිර්මාණය කළ කැටයම් කරන ලද බස්තමක්ද අතැතිවය. උත්සවය අවසානයේ සියත රැඳුණු බස්තමත් රැගෙන ඉදිරියට ගිය මේ කොලූවා, එය නිදහස් ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයාට තෑගි කළේ පැමිණ සිටි සෙස්සන්ගේ සිත් මත කුතුහලයක්ද දනවමිනි. 


”මම ඒක තෑගි දෙද්දි එතන ගුණපාල මලලසේකර මහතා සහ සර් ඔලිවර් ගුණතිලක මහතාත් හිටියා. අගමැතිතුමා මගේ ඔළුව අත ගගා මට කීවා උඹ ජිල් බෝල ගහන්න යන්න එපා, හොඳ ළමයෙක් වෙන්න කියලා. කොලූ ගැටයකුගෙන් ලද තෑග්ග අගමැති සිතේ ජනිත කළේ සතුටකි. කොලූවාගේ හිස අතගාමින් රුපියල් පනහක ත්‍යාගයක්ද අගමැතිවරයා විසින් කොලූ ගැටයාට දුන්නේ ඒ සතුට නිසාමය. එදා මට අවවාද දිදී ඞී.ඇස්. මහත්තයා මගේ ඔළුව අතගාද්දී මට දැනුණේ ඔළුව අතගානවා කියලා නෙවෙයි. ඔළුව මිරිකනවා කියා. එතුමාගේ අත ඒ තරම් ශක්තිමත්. ඇත්තමයි මට ඒ වෙලාවේ මුත‍්‍රා යන්න ආවා ඔහු පැවසුවේය.


පසුකාලයේ සීගිරි පව්වට නුදුරින් පිහිටි ඉලූක් වැව ගම්මානයේ අතු පැලක් හදාගෙන තම බිරිය සමග පදිංචි වූ මේ තරුණ ගැටයා එතැන් සිට නිදහස් ලෙස තම කලා ජීවිතය ඇරඹුවේය. 


දිනක් ලීයක කැටයම් කළ සිංහරූපයක් විකුණා මුදලක් උපයා ගන්නට ඔහු කල්පනා කළේය. එදා අද මෙන් සීගිරිය නැරඹීමට බුරුතු පිටින් විදේශිකයෝ නොපැමිණියහ. කෙසේ හෝ සීගිරිය නැරඹීමට පැමිණි ජර්මානුවෙකුට ඔහු මෙම සිංහ රූප සහිත කැටයම අලෙවි කළේය. ඒ රුපියල් හතළිහක තරම් මුදලකටය. ඉනික්බිති ඔහු නිර්මාණය කළ සීගිරි චිත‍්‍රය ඔහුට රුපියල් 450 ක තරම් මුදලකට අලෙවි කරගත හැකිවිය.


එසේ වූ තවත් බොහෝ මතක රැඳි ඔහුගේ කලා ජීවිතයේ වටිනාම මතකයක් වන සිංහාසනය පිළිබඳව මතකය අපි මෙලෙසින් සටහන් කර තබමු. 


මම පේ‍්‍රමදාස ජනාධිපතිතුමා අඳුරා ගත්තේ 1978 මැයි මාසයේ. එතුමා ක‍්‍රියාවට නගපු උදාගම් සංකල්පයේ අදහස මුලින්ම එතුමාට දුන්නේ මමයි. ජනසවිය අදහස දුන්නෙත් මමයි. මම මේවා කියන්නේ ආඩම්බරයකට නෙවෙයි. එතුමා මට බොහෝම හිතවත්. ගම්උදාව සංකල්පය හැදුවේ වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය මූලික කරගෙන. ජනසවිය සංකල්පය හැදුවේ රැස් වෙහෙරට විදුලිය ගත්ත දවසේ. ඒ අතීතය මට හොඳට මතකයි. 


ඒ කාලයේ මෙහෙ ජේ.වී.පී. විමානයක්. මෙහෙම ජේ.වී.පී. කලබල තියෙද්දී රට විනාශ වෙද්දී මට හිතුණා කැලණියේ නා රජුන් යුද්ධයෙන් මිදීමේ අභිප‍්‍රායෙන් බුදුරජාණන් වහන්සේ වෙත මැණික් පුටුව පූජා කරපු තේමාව අනුව යමින් සිංහාසනයක් නිර්මාණය කරන්න. 


ඉතින් මම සිංහාසනය හදන්න ගැළපෙන චිත‍්‍රයක් නිර්මාණය කරමින් සිටින අතර ඒ සිංහාසනය හදන්න කරුවල දැවයක් සොයමින් සිටිද්දී උසස් පොලිස් නිලධාරියෙක් අපේ ගෙදර ආවා. මගේ අවශ්‍යතාව කීවාම ඒ මහත්තයා මට පහුවදා අනුරාධපුරයට එන්න කීවා. ඒ දවස්වල අනුරාධපුරයට තියා පාරේවත් කිසි කෙනෙකුට යන්න බෑ. ජේ.වී.පී. වසංගතේ හරි භයානකයි. 


ඒත් මම පොලිසියේ මහත්තයා මුණගැහෙන්න ගියා. එතුමා දුන්නු බලපත‍්‍රයත් අරගෙන මම මින්නේරියේ දැව සංස්ථා ශාඛාවට ගියත් එහි දැව තිබුණේ නෑ. කළමනාකාරතුමා කීවා කළුවර දැව වැලිකන්ද ගබඩාවේ තියෙනවා කියලා. මම පොලිසියේ මහත්තයාට ඒ බව කීවා. 


එතුමා දුන් උපදෙස් මත මම අවසානයේ මින්නේරි දැව සංස්ථාවේ මෝලෙන් දැව ඉරාගෙන ගෙදර එද්දී රෑ 12.00 ත් පහුවෙලා. ඒ ගෙනාව කළුවර ලීයෙන් තමයි මම සිංහාසනය හදන්න පටන් ගත්තේ. 


ඔය විදියට දුක් කරදර දරාගෙන හදපු සිංහාසනය සහ බුදු පිළිම 10 ක් මම ප‍්‍රදර්ශනයට තැබුවා. ඒ මාතලේ කච්චේරියෙන් ලැබුණු පණිවිඩයකට අනුව. ජාතික ශිල්ප සභාවේ අලෙවි සැලක් ආරම්භ කරන බවත් කලාකරුවන්ගේ භාණ්ඩ මිලදී ගන්නා බවත් දැනුම් දී තිබුණු නිසා මගේ පුතාලා දෙදෙනෙකුත් ඒ ගමන ගියා. එහිදී පොලිස් නිලධාරියෙකු මගේ නිර්මාණ රුපියල් 35,000 කට ඉල්ලූවා. මට ඇතිවූ කේන්තියට මම කීවා කෝටි දහයකටවත් දෙන්නෙ නෑ කියලා. එහෙම කියලා නිර්මාණ ටිකත් කුලී වෑන් රථයේ පටවාගෙන මම ගෙදර ආවා. 


මම මීට පෙර ලිපියකින් ජනාධිපතිතුමාට මේ සිංහාසනය ගැන විස්තර දන්වලා තිබුණා. ඉහත සිද්ධිය වෙච්ච දවසේ හවස මාතලේ දිසාපති කාර්යාලයේ ජීප් රථයක් මගේ නිවෙසට ආවා. මේ සිංහාසනය ජනාධිපතිතුමාට බාරදිය හැකි බව පැමිණි මහත්තුරු කීවා. ඊට පසුව මගේ නිර්මාණ එම ජීප් රියෙන් මාතලේ බෞද්ධ මන්දිරයට ගෙන ගියා. ඒ ජනාධිපතිතුමා එහි පැමිණීමට නියමිතව තිබූ නිසා. 
ඔය යද්දී මම පුතාලා දෙන්නට කීවා ආයුධ ටිකකුත් ගනින් කියලා. එතන හිටපු පිරිස මට යම් පදනමක නමක් කියලා ඒ නම සිංහාසනයේ කොටන්න කීවා. මට තේරුණා මම කරපු නිර්මාණය වෙන පිරිසක් ඒ අයගේ එකක් විදියට දෙන්න තමා මේ හදන්නේ කියලා. මම කළේ නිර්මාතෘ ආර්.කේ. විජේරත්න කියලා එහි නම කොටපු එකයි.


මෙතන කරදරවලින් බේරීමේ මඟක් විදියට එතන හිටපු නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පල මහතාට කීවා මම ආරක්‍ෂක අරමුදලට රුපියල් 50,000 ක් දෙනවා. මගේ නමද ඇතුළත් කරන්න කියලා. එතන හිටපු අය මම වැද්දෙක් වගේ නිසා මාව ගණන් ගත්තෙ නෑ. දඹුල්ල බැංකුවේ කළමනාකාර තුමාත් එතන හිටියා. 


ඊට පසු නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පල මහතාගේ අනුමැතියෙන් සිංහාසනය ජනාධිපතිතුමාව පිළිගන්න සාදා තිබූ ස්ටේජ් එකේ තිබ්බා. සිංහාසනයත් සමග මම කළ ත‍්‍රී මූර්තියත් එතන තිබ්බා. මම එහෙම තියද්දී තමා එතන හිටපු අය එය මා විසින් කළ නිර්මාණයක් බව දැන ගත්තේ. 
එදා රෑ මට බැංකු මැනේජ්ර් මහත්තයාගේ ගෙදර නවාතැන් ලැබුණා. 
කොහොමින් කොහොම හරි ඔය සිංහාසනය පල්ලෙකැලේ ගම්උදාවට රැගෙන ගියාම මම මාතලෙන්ම කුලියට වාහනයක් අරගෙන අඹු දරුවොත් සමඟ ගම්උදා භූමියට ගියා. ජනාධිපතිතුමා එද්දී මම ඉස්සරහට ගියා. මට කලින් දැනුම් දී තිබුණා ජනාධිපතිතුමාට මා හමුවීමට අවශ්‍ය බවත් ඒ බව දන්වා ලිපියක් සීගිරියේ පොලිසියට යවා ඇති බවත්. ඒ ලිපිය නම් මා අතේ තිබුණෙ නෑ. 


මම ජනාධිපතිතුමා හමවන්න යද්දී හමුදාවේ කෙනෙක් මාව නැවැත්තුවා. මට යකා නැග්ගා. මම ආපහු ආවා. 
ඔය සිදුවීමෙන් පසුව මම රෑ නැවතී හිටියේ බූවැලිකඩ නිවෙසක. පසුදා ආයෙත් මම මගේ පුතුන් දෙදෙනෙකුත් සමඟ ශ්‍රී දළදා මාලිගාවට ගියේ ඇරියුමකට අනුව. ඒ ගමනට කැමරා කරුවෙකුත් ආවා. මම යද්දී ජනාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් හිටියා. සිංහාසනය වටේටම නූල් ඇදලා සකස් කර තිබුණා. 

 

ජනපති පේ‍්‍රමදාසට සිංහාසනය බාරදුන් මොහොත


මම වස් දොස් ඇත්නම් තුරන් වෙන්න කියලා සෙත් ශාන්තියක් කළා. අවසානයේ රුපියල් ලක්‍ෂ 17 කට වෙන්දේසි වූ සිංහාසනය දළදා මාලිගාවට පූජා කළා. සිංහාසනය වෙන්දේසි කළ රුපියල් ලක්‍ෂ 17 ක මුදල ජාතික ආරක්‍ෂක අරමුදලට බැර කළා. මම සතුටින් ගෙදර ආවා. එදා මෙදාතුර මම හදපු සිංහාසනයේ ඉඳගත්තේ එකම එක පුද්ගලයෙක් පමණයි. ඒ පුද්ගලයා තමයි ඇමැති පී.සී. ඉඹුලාන මහත්තයා. හැබැයි ඒකේ ඉඳගත්තට පසුව පී.සී. ඉඹුලාන මහත්තයාත් ඒ මොහොතේම ගෙදර ගිහින් උණුවතුර නෑවා. 


ඔය සිංහාසනය පූජා කළ සිද්ධියෙන් පසුව පේ‍්‍රමදාස ජනාධිපතිතුමා දිනක් මාව කැඳවලා මගෙන් ඇහුවා මොනවද  ඕනෑ කියලා. මම කීවා යාපනයේ ඉඳන් මාතරට බයක් සැකක් නැතුව පයින් යන්න තිබුණොත් ඒ ඇති කියලා. ඊට පසුව ජනාධිපතිතුමා එතුමාගේ චෙක්පොත ගෙනත් මට රුපියල් පනස් දහසක චෙක්පතක් ලියා දුන්නා. ඊට වසර ගණනකට පෙර ඞී.එස්. සේනානායක අගමැතිතුමාගේ රුපියල් පනහක තෑග්ගක් ලබා ගත්තු දවස මට ඒ මොහොතේ මතක් වුණා. අදටත් ඒ සිංහාසනය දළදා මාලිගාවේ තියෙනවා. මම අදටත් දුප්පත් මිනිහෙක්. හැබැයි පොහොසත් කලාකරුවෙක්. සතර මහා නිධානය තරම් වස්තුව නැති වුණාට සතර මහා නිධානයක් තරම් සතුටක් මට තියෙනවා. ජීවිතය කියන්නේ ඒ සතුට නෙවෙයිද?


ජීවිතය කියන්නේ ඒ සතුට නොවෙයිද? දුප්පත් මිනිසකුගේ සහ පොහොසත් කලාකරුවකුගේ හදවතින් නැගුණු ඒ වදන් ඔස්සේ මම නැවත නැවතත් සිතන්නට වීමි.

 

සටහන -  සංජීවිකා සමරතුංග



අදහස් (0)

ජනපති පේ‍්‍රමදාසට ”සිංහාසන” හැදු කලාකරුවා

චන්දිම. Monday, 11 February 2013 12:12 PM

මෙවන් ලක් පුතෙක් ගැන තොරතුරැ රටට හෙළිකල ලංකාදීපයට මගේ ස්තුතිය පුදකරමි මමත් කලාකරුවෙක්. මේ කලාවෙන් ලබන සතුට මුදලින් මිළ කරන්න බැහැ.(ස)

:       0       0

නොනි Sunday, 10 February 2013 05:49 AM

දැන් පුළුවන්නේ දළදා මාලිගාවට මේ කලාකරුවාට ගෙවන්න ? (නි)

:       0       0

හිල්මි Sunday, 03 February 2013 11:49 PM

දුප්පත් මිනිසුන්ට සළකන්න ප්‍රේමදාස මහත්තයා තරම් කාරුණික වුණ කෙනෙක් මේ ලංකාවේ හිටියේ නැහැ. (නි)

:       0       0

අශෝක Monday, 04 February 2013 12:37 AM

බොහොම දෙනෙක් පෝසත්කම මිළ මුදලින් තීරණය කළත්, ඇත්තටම හිතේ තියෙන පෝසත්කම​හොරකම් කරන්නත් මුදලට ගන්නත් බැරිබව දන්නේ බොහොම ටිකදෙනයි. ඒ අය තමයි ජීවිතයෙ නියම​සතුට බුක්තිවිඳින්නේ. ඔබ ජීවිතයේ යථාර්ථය තේරුම්ගත් ගරු කළ යුතු ආදර්ශමත් ලක් පුත්‍රයෙක්. ඔබටත් ඔබ පවුලේ සැමදෙනාටත් නිරෝගීව චිරාත් කාලයක් සතුටින් ජීවත්වෙන්න ලැබේවා! (නි)

:       0       0

සුදේෂ් Sunday, 03 February 2013 03:56 PM

මෙන්න නියම සිංහල මිනිස්සු.(නදී)

:       0       0

සමන් පීරිස් Saturday, 09 February 2013 03:38 PM

මෙවන් ලක් පුතෙක් ගැන තොරතුරැ රටට හෙළිකල ලංකාදීපයට මගේ ස්තුතිය පුදකරමි..!(නු)

:       0       0

ඉෂාන් Thursday, 07 February 2013 12:03 AM

මමත් කලාකරුවෙක්. මේ කලාවෙන් ලබන සතුට මුදලින් මිළ කරන්න බැහැ. (නි)

:       0       0

කරුණාරත්න Monday, 11 February 2013 10:14 AM

රටට නෙවේ ලෝකෙටම වටින ලක් පුතෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා
2024 මැයි මස 28 686 3

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ
2024 මැයි මස 28 138 0

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
2024 මැයි මස 28 171 0

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතක


නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 233 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 117 1

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 903 3

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 997 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site