IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජනතා දුෂ්කරතාවලට මුලින්ම ආමන්ත්‍රණය කරමු

අපි ගෝත්‍රික වනචාරී අශිෂ්ට යුගයේ සිට නූතන දියුණු ශිෂ්ට සම්පන්න යුගයක් කරා පැමිණ සිටින්නෙමු. අප රට පිහිටා තිබෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුලුනු තුන මතය. රටේ පැවැත්ම රඳා පවතින්නේ එම කුලුනු තුනෙහි සවිමත්බව මතය. මේ සම්බන්ධයෙන් කවර මතිමතාන්තර විවේචන තිබුණද ඉක්මයන පැයට අදාළ යථාර්ථය එය වේ. අරගල බිම් මත අලුත් අසිපත් සේ එසවෙන මානව අනුරාගයෙන් දණ ගහගෙන මිනිසුන් මෙන්ම මේ රට මේ නරකාදියට ඇද දැමූ ජරාපත් වියපත් බලකාමී හා ජන පීඩක දේශපාලනඥයන් ද ඒ බව එයට හිමි නිසි බරින් එය හඳුනා ගත යුතුය.

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. අපි මේ බව බොහෝ අවස්ථාවල සිහිපත් කර ඇත්තෙමු. එහෙත් යළි යළිත් ඒවා සිහිපත් කිරීමට සිදුවීම උප නූපන් දරු පරම්පරාවන්ගේ අවාසනාවකි. ගඟට රැකවරණය සපයන ඉවුර බිඳී ගියහොත් ගඟ අයාලේ යයි. ඉන් සිදුවන විනාශය තේරුම් ගැනීම අසීරු නැත. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමෙන් රටකට අත්වන්නේද එබඳුම විනාශයකි. එම විනාශය මේ මොහොතේ අපගේ දෑස් ඉදිරිපිට නිමාවෙමින් තිබේ.

රට දැවැන්ත අර්බුද සුළියක ගිලී තිබේ. ආර්ථික අර්බුදය හරහා දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය කළේය. එමගින් සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙම අර්බුද පොකුරට තම තමන්ගේ මනස්වල දිග පළලට අනුවද දේශපාලන වර්ණයට අනුවද නිර්පාක්ෂික මුහුණුවරින්ද විවිධ විසඳුම් යෝජනා කෙරෙති. ඇතැම් විසඳුම් කුණු වී දුඟද ගසන පල් මඩ වගුරක් බවට පත්ව ඇති මෙරට දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් නොවැළැක්විය හැකි ආවේගාත්මක විසඳුම්ය. ඇතැම් ඒවා එම පල් මඩ වගුර තුළ තමන්ගේ ආරක්‌ෂාව සඳහා බංකර් තනන විසඳුම්ය. රටේ අනාගතය දෙස බලා නොපමාව නිවැරැදි විසඳුම් ක්‍රියාත්මක කළ යුතු තීරණාත්මක පැය එළැඹ තිබේ.

විසඳුම සම්බන්ධයෙන් දෙගිඩියාවක් ඇති කර ගත යුතු නැත. මන්දයත් අපට විසඳුම නිර්ණය කර ගැනීමට යහපත් මග පෙන්වීමක් තිබේ. ඒ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙබඳු අර්බුදයකදී ගත යුතු පියවර එහි පැහැදිලිව දක්වා තිබෙන හෙයිනි. අප ගමන් කළ යුතු වන්නේ එම මාර්ගයේය.

අප රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වූ යුගයක් තිබිණි. පෙර දිග ධාන්‍යාගාරය ලෙසද හැඳින්විණි. ධර්මද්වීපය යන්නද අප අතීත මිනිසාගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් පිරිනැමුණු සාඩම්බර පදක්කමකි. ශාපලත් දේශපාලකයන් අපට ඒ සියල්ල අහිමි කර තිබේ. එහෙත් ආසියාතික ගුණගරුක භාවයෙන් පිරිපුන් සහ පොහොසත් ශ්‍රී ලාංකිකයාගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගත යුතුය.

අප තනි රටක් නොවේ. ලෝකයත් සමග බැඳුණු ගමනක් අපට උරුමය. ශිෂ්ට මානව සාරධර්ම අප ඉහළින්ම ආරක්ෂා කළ යුතුය. ලෝකය හා අප අතර ඇති බැඳීමේ පදනම එයය. අප රටේ මුලින් නීතියට යටත්ව විසඳුම් නිර්මාණය කර ගත යුතුවන්නේ එහෙයිනි. අප රට දෙස මුළු මහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ. එක් අතකින් ජනතා සටන් කලාවට අලුත් අත්දැකීම් එක් කළ අරගල බිම සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබේ. අනිත් අතට රටේ පවතින තත්ත්වය මාරක ආපදාවක් බවට පෙරළේද යන්න සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුවකට ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇතැයි අප පුවත්පත ඉකුත් දා වර්තා කළේය. එමෙන්ම එය ශ්‍රී ලංකවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ආමන්ත්‍රණය කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් බවත් බලය පැවරීමේ ක්‍රියාවලියේදී නීතියේ ආධිපත්‍ය සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෞද්ගලික සහ පොදු දේපලවලට හානි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

රට තිබෙන්නේ ඉතාම භයානක තත්ත්වයකය. මෙම තත්ත්වය සමග රටට ඉදිරි ගමනක් නැත. ඉදිරියට යන්නේ මේ මාවතේම නම් අපට හමුවනු ඇත්තේ පරාජය විනාශය හා මරණය පමණි. එබඳු ඛේදවාචකයට අප යා යුතු නැත. අප කළ යුතු වන්නේ රට ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීමය. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව අවංකව කැපවිය යුතුය.

නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණ විට ආදේශ වන්නේ කැලෑ නීතිය වේ. මේ බවත් අපි බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු. කැලෑ නීතිය ආදේශවීම යනු අප රට චිකාගෝවක් බවට පත්වීමය. එබඳු විනාශයකදී අප කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ. අප වැළඳගත යුත්තේ විනාශය ද යන්න එළැඹගත් සිහියෙන් වටහා ගත යුතුය.

(***)



අදහස් (1)

ජනතා දුෂ්කරතාවලට මුලින්ම ආමන්ත්‍රණය කරමු

goviyek Sunday, 17 July 2022 09:06 PM

මේ වනවිට අනුරපුර විලච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ වගාවන් ඉන්ධන නොමැතිවීම නිසා දඹුල්ල වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරගැනීමට නොහැකිව තිබේ. ඒ සඳහා එම ප්‍රදේශයේ ට්‍රක් රථ කොළඹට පැමිණෙන අවස්ථාවක හෝ යුදහමුදා ට්‍රක් රථයකින් මගින් ඉන්ධන සඳහා මුදල් අයකර ප්‍රවාහනය සලසා දෙන්න. කවුරුන් හෝ ඉන්ධන සඳහා වැයවන මුදල පියවිය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site