ශ්රී ලංකාවේ අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂවලට වඩා ජනතා විමුක්ති පෙරමුණ වාසනාවන්තය. ඒ එම පක්ෂය මෙරට බලයට පත්වූ එකම වාමාංශික පක්ෂය වීම නිසාය.
වාමාංශික පක්ෂ පමණක් නොව ඕනෑම පක්ෂයක ආරම්භක නායකයන්ගේ අරමුණු යහපත් වුවත්, අයහපත් වුවත් එම අරමුණු ඉටු කර ගැනීමට නම් එම පක්ෂය බලයට පත්විය යුතුය.
1965 මැයි 14 වැනිදා ආරම්භ කරන ලද ජවිපෙ සිය 60 වැනි සංවත්සරය පසුගිය බදාදා කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීය. වසර 90ක් වයසැති මෙරට පළමු වාමාංශික දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය හා වසර 86ක් වයසැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු අනෙක් සියලු වාමාංශික පක්ෂ මේ වනවිට කිසිදු සැලකිල්ලකට ලක් නොවන නාම මාත්‍රික පක්ෂ බවට පත්වී තිබේ.
ජවිපෙ යනු පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කණ්ඩායමක පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ගොඩනැගූ පක්ෂයක් නොව ඉතිහාසයේ අවශ්‍යතාව විසින් බල කරනු ලැබ ගොඩනඟන ලද පක්ෂය කැයි ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා 1979 දී පවසා තිබිණි.
එම වසරේ ජූලි මාසයේ තංගල්ලේ පැවැති ජවිපෙ පළමු ජාතික මට්ටමේ අධ්‍යාපන කඳවුරේදී ඔහු පක්ෂයේ ආරම්භය විස්තර කොට තිබුණේ මෙසේය. ඔහු මෙම විස්තරය කර තිබුණේ ධනවාදී සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමයක් තුළ දුප්පතුන් මුහුණ දෙන සියලු ප්‍රශ්නවලට විසඳුම සමාජවාදය බවට ලොව පුරා ප්‍රබල මතයක් පැවැති තත්වයක් තුළය.
1960 ගණන් වනවිට මෙරට සමාජවාදය ගොඩනැඟීමේ වගකීම දරා සිටි සමසමාජ, කොමියුනිස්ට් වැනි පක්ෂ එම වගකීම ඉටු නොකරන තත්වයක් පෙනී ගිය බව පැවසූ විජේවීර මහතා 1964 දී එම පක්ෂ ප්‍රකට ඉල්ලීම් 21 අරගලය පාවාදීමත් සමග ඔවුන් පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැරීමට සිදුවූ බව පැවැසීය.
එහෙත් 1960 කියුබානු විප්ලවය ජයගැනීමත් සමඟ ලොව පුරා වාමාංශික කණ්ඩායම් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තු අලුත් විය. අනෙක් අතට ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ඇතුළු පන් ලක්ෂයකට අධික පිරිසක් බිලිගත් එරට රාජ්‍ය මර්දනය විසින් සමාජවාදය පහසු කටයුත්තක් නොවන බවද පෙනෙන්නට තිබිණි. මේ තත්වය යටතේ තමන් ඇතුළු කුඩා කණ්ඩායමක් සුළු කාලයක් රහසිගතව සංවිධානය වන්නට තීරණය කළ බවද 1965 මැයි 14 වැනිදා එහි පළමු සාකච්ඡාව පැවැත්වූ බවද ඔහු විස්තර කළේය.
ඉන්පසු ජවිපෙ මහා පරිමාණ රාජ්‍ය මර්දනයන් දෙකකට මුහුණ දුන්නේය. ඒ 1971 දී හා 1988/89 යන කාලවලය. පළමු මර්දනයේදී දස දහසක් පමණ මියගිය අතර විසි දහසක් පමණ සිරගත කරනු ලැබූහ. දෙවැනි මර්දනයේදී හැට දහසකට වැඩි පිරිසක් ඝාතනය කෙරෙන්නට ඇතැයි සැලකේ.
ඉන්දුනීසියාවේ සිදුවූ මහා සංහාරයක් වූ රාජ්‍ය මර්දනය නිසාදෝ ජවිපෙ සිය පළමු කැරැල්ලට පෙර බොහෝ දුරට රහසිගත සංවිධානයක් වූ අතර නිතර රාජ්‍ය මර්දනය ගැනද කතා කළේය. එම රහසිගතභාවය නිසා ඔවුන් එදා රාජ්‍ය මර්දනය ඉක්මන් කරවා ගත් බවද සිතිය හැකිය.
එහෙත් 1977 දී බන්ධනාගාරවලින් පිටතට පැමිණ යළි දේශපාලනය ආරම්භ කළ ජවිපෙ අතිශයින්ම සාමකාමී පක්ෂයක් විය. ඔවුහු අතුරු මැතිවරණවලට තරග කළහ. 1981 දී පළමු හා එකම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරවලට තරග කොට ආසන 13ක්ද දිනා ගත්හ. 1982 ජනාධිපතිවරණයටද විජේවීර මහතා ඉදිරිපත් විය.
එහෙත් 1977දී බන්ධනාගාරවලින් පිටතට පැමිණ යළි දේශපාලනය ආරම්භ කළ ජවිපෙ අතිශයින්ම සාමකාමි පක්ෂයක් විය. ඔවුහු අතුරු මැතිවරණවලට තරග කළහ. 1981 දී පළමු හා එකම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණවලට තරග කොට ආසන 13ක්ද දිනා ගත්හ. 1982 ජනාධිතිවරණයටද විජේවීර මහතා ඉදිරිපත් විය.
එහෙත් කිසිදු සාක්ෂියකින් තොරව 1983 දෙමළ විරෝධී කෝලහල පිටුපස සිටියේ යැයි චෝදනා කරමින් එවක පැවැති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම වසරේම ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කළේය. 1982 පැවැති ජනමත විචාරණයේ ප්‍රතිවලට අභියෝග කරමින් විජේවීර මහතා අධිකරණයට යාම මීට හේතු යැයි කියවේ. ඉන්පසු ඇතිවූ මර්දනයේදී විජේවීර මහතා ඇතුළු හැට දහසකට වැඩි පිරිසක් ඝාතනය වුවද 1994 දී යළි දේශපාලනය කිරීමට තරම් ඉතිරිවූ ජවිපෙ නායකයෝ අධිෂ්ඨානශීලී වූහ.
පළමු කැරැල්ලෙන් පසු ජවිපෙ මැතිවරණවලට තරග කරද්දී එම පක්ෂය විප්ලවය අත්හැර පාර්ලිමේන්තුවාදය වැළඳ ගෙන ඇතැයි අනෙක් වාමාංශික පක්ෂ ඔවුන් විවේචනය කරන්නට විය. එහෙත් ඒ වනවිට එම පක්ෂ කළේද පාර්ලිමේන්තු දේශපාලනයයි.
මුල් කාලයේ සිටම ජවිපෙ පෙනී සිටියේ සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයක් වෙනුවෙනි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය හෝ පවසන නාමික සමාජවාදයක් නොව මාක්ස්වාදයේ ඉගැන්වෙන නිෂ්පාදන මාර්ග පොදු අයිතියට යටත්වූ සැලසුම්ගත ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වන සමාජවාදයයි. එහෙත් මේ වනවිට ජවිපෙ එම මතවාදයේ සිටින්නේ දැයි සැක සහිතය.
මීට වසර දහයකට පෙර පවා ජවිපෙ වෙතින් මේ වෙනස දක්නට ලැබිණි. 2015 දී ව්‍යාපාරික ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද රැස්වීමක් ඇමතූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික ආයෝජන දිරි ගන්වමින් කතා කළේය. ජවිපෙ පාලනයක් යටතේ පෞද්ගලික ආයෝජනවලට අවශ්‍ය වටපිටාව සකස් කර දෙමින් එම ආයෝජන ආරක්ෂා කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
සමාජවාදී ආර්ථික මොඩලය නොපිළිගන්නා කණ්ඩායම් සමග එක්ව ජවිපෙ 2019 දී ජාතික ජන බලවේගය ගොඩ නැඟීමද ඔවුන් තවදුරටත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නේද යන ප්‍රශ්නය මතු කරයි. එහෙත් ඔවුන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිනවාද නැද්ද යන්න ඔවුන් පසුගිය වසරේදී බලයට පත්වීමට හේතු වූවා යැයි කිව නොහැකිය. 2019දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරි පත් වූයේ ජාතික ජන බලවේගයේ නායකයා වශයෙනි. එහිදී ඔහු ලබා ගත්තේ ජවිපෙ නමින් තරග කළ කාලයේ මෙන් ඡන්ද 418,553කි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.16කි.
ජවිපෙ බලයට පත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග විසිනි. රාජපක්ෂ මහතා බලයට පත්වූ විගස රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකකට සමාන වූ බදු ආදායමක් කපා හැරියේය. බන්දුල ගුණවර්ධන වැනි ඔහුගේ ආර්ථික විශේෂඥයෝද එය අගය කළහ. රාජපක්ෂ මහතා සැලැස්මකින් තොරව රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කළේය. එයද කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රබල ලෙස බලපෑමට ලක්ව තිබූ ආර්ථිකයට මරු පහරක් විය.
මේවා නිසා වේගයෙන් අවප්‍රමාණය වෙමින් පැවැති රුපියල් තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීමට රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඩොලරයට ස්ථාවර අගයක් දෙන්නට උත්සාහ කළේය. මේ නිසා ඩොලර් බිලියන 5.5ක් වෙළෙඳපොළට මුදා හරින්නට සිදුවූ බව පසුව මහ බැංකුවේ නිලධාරීහු රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පැවසූහ. මෙය වසරකට ඉන්ධන ආනයනය කරන්නට වැය වන මුදලට සමාන මුදලකි. අවසානයේදී ඒ සියලු කටයුතු නිසා ඇතිවූ මහා විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන්නට එවකට පැවැති එකම විසඳුම වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමද වසර දෙකක් පමණ ප්‍රමාද විය.
ඒවායේ ප්‍රතිඵලය වූයේ දිනකට පැය 13ක් පමණ ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව හා සැතපුම් ගණනක් දික් වූ ගෑස් හා ඉන්ධන පෝලිම්ය. එය මහා ජනතා නැගිටීමකට හේතු වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පලා ගියේය. ඊළඟට ජනාධිපති ලෙස බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද ජනතා කෝපයට ලත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරයෙන් පාලනය පවත්වාගෙන යාම නිසාත් නිතරම මහජන මතය මර්දනය කිරීමට යොමුවීම නිසාත් මුල සිටම බහුතර ජනතාව වෙතින් ප්‍රතික්ෂේප විය.
පැවැති පාලන ක්‍රමය හා එතෙක් රට පාලනය කළ සියලු පක්ෂ ජනතාවගේ කෝපයට ලක් වූයෙන් ඔවුනට ඉතිරි වූයේ ජවිපෙ වෙත හැරීම පමණි. පසුගිය වසරේදී ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් වූයේ ඒ අනුවය. ජවිපෙ අදූෂිත පක්ෂයක් බවට ගොඩ නැගී තිබූ මතයද ඊට බලපෑවේය. ඒ ආර්ථික අර්බුදය එතරම් දරුණු නොවූයේ නම් මෙවරද ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් සියයට දහයක තරම් ඡන්දයක් හෝ ගනු ඇතැයි සිතිය නොහැකිය.
එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ පළාත් පාලන සභා 340න් 267ක වැඩිම ආසන දිනා ඇතත් ඔවුනට බහුතර බලය ලැබී ඇත්තේ සභා 130ක පමණය. අනෙක් පක්ෂවලට ජවිපෙ ලැබූ සභා ගණනට හෝ ආසන ගණනට හෝ ඡන්ද ගණනට හෝ කිට්ටුවටවත් පැමිණීමට නොහැකි වුවද ජාජබ මහ මැතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද ලක්ෂ 23ක් අඩුවීම ජාජබ නායකයන්ට අලුතින් සිතන්නට යමක් ඉතිරි කර දී ඇත. ජවිපෙ සිය හැට වැනි සංවත්සරය සැමරුවේ ඒ පසුබිම තුළය.
ආණ්ඩුව කිසිවක් කරන්නේ නැතැයි යන්න පොදුවේ ජා.ජ.බ හිතවතුන් පවා නගන චෝදනාවකි. මෙවර ජාජබට ඡන්ද අඩුවීමට ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනා එය සලකති. අපගේ මතකය අනුව නම් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත හා විසර්ජන පනත හැර ජා.ජබ ආණ්ඩුව ගතවූ මාස හය ඇතුළත සම්මත කොට ඇත්තේ ආර්ථිකයට අදාළ පනත් තුනක් පමණි.
යුදමය තත්වයක් නැති වටපිටාවක ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකරන්නේ මන්දැයි සිතාගත නොහැකිය. වසර තුනකින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව ආණ්ඩුව කීවද ඒ සඳහා මෙතෙක් වැඩ කටයුතු ආරම්භ කළ බවක් පෙනෙන්නට නැත. වංචා හා දූෂිත ගනුදෙනු රාශියක් හෙළි කර ගැනීමට කෝප් කමිටුව සමත් වුවද ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවක්ද පෙනෙන්නට නැත.
ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා නමින් වැඩ සටහනක් ආරම්භ කළේය. එය කසළ ඉවත් කිරීමේ වැඩ සටහනක් නොව රාජ්‍ය යාන්ත්‍රණය ජනතා කේන්ද්‍රීයව පණගැන්වීම සඳහා වූ වැඩ සටහනකැයි කියවිණි. එහෙත් රජයේ කාර්යාලවල කටයුතු ජනතා කේන්ද්‍රීයව කෙරෙන බවක් හෝ ඊට සූදානම් වන බවක් හෝ පෙනෙන්නට නැත. කොටින්ම ජාජබ පාලන කාලයෙන් දහයෙන් එකක් ගතව තිබියදීත් කොහිවත් කිසිවක් වෙනස් වී ඇති බවක් පෙනෙන්නේ නැත. වෙනසකට සූදානම් වන බවක්ද පෙනෙන්නේ නැත.
මේ පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගෙන් සවිඥානක බවින් කටයුතු කරන්නේ ඉතා සුළු පිරිසකි. හැට වසරක් තුළ විශාල රාජ්‍ය මර්දන දෙකකට මුහුණ දී විශාල කැඩීයාම් දෙකකට මුහුණ දී අහඹු තත්වයක් මත ජනමතය තමන් වෙතට යොමු කරගත් ජවිපෙ පැවැත්ම රැදී ඇත්තේ එම පක්ෂය ප්‍රමුඛ ජා.ජ.බ ආණ්ඩුවේ කුසීත බව තුරන් කර වේගය වැඩි කර ගතහොත් පමණි. අරගලයෙන් පසු ජනතාව තමන් වෙතට යොමු වූයේ අවබෝධයෙන් නොව ආවේගයෙන් බව ඔවුන් තේරුම් ගත යුතුය.
(*** එම්.එස්.එම්. අයුබ්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජනතාව පැතූ දේ ඉටුවේද?
Neel Thursday, 22 May 2025 02:41 PM
ආණ්ඩුව යන ගමන ගැන ජනතාවට පැහැදිලි අවබෝධයක් තිබෙන බව ජන සමාජය තුළ පැහැදිලිව පෙනෙන අතර නියමිත තීරණ ගන්න ඕන.