IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයද? ජනපතිවරණයද?

2024 මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක වසරකි. ව්‍යවස්ථානුකූලව මෙම වසර ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එනම්, ජනාධිපතිවරණයයි. එසේම, ලබන වසර (2025) වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පැවැත්විය යුතුව ඇත. මෙරට ව්‍යවස්ථාවට යටත්ව සෑම වසර පහකට වතාවක්ම නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමකි. රටක ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රකාශ කිරීමට අවකාශ ලැබෙන්නේ ඒ අනුවය.

මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ පවත්වන කාල පරාසය අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීම හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත්ම සුදුසු නොවේ. ඒ අනුව, මෙරට මැතිවරණ පැවැත්වීමට සුදුසුම වසර හතර, පහ හෝ හය යන කාල පරාසයන්ය. 1978 ව්‍යවස්ථාවේත්, ඉන් පසු සිදු කරන ලද 19, 20, 21 සංශෝධනවලත් මැතිවරණ පැවැත්විය යුතු කාල රාමුව කුමක් ද යන්න පිළිබඳව විස්තර ඇතුළත් වේ. මුල් ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරණයක් වසර 6කට වතාවක් පැවැත්වීමටත්, ධුරය දරමින් සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් එම ධුරය දැරීමටට අදහසක් ඇත්නම්, පළමු ධුර කාලයෙන් වසර හතරක් ගෙවුණු තැන ජනාධිපතිවරණයක් පැවැත්වීමටත් හැකියාව තිබේ.

මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට පත්වූ දා සිට මේ වසර වන විට වසර 5ක් සම්පූර්ණ වන බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම සිදු වූයේ, 2019 නොවැම්බර් මස 19 වැනිදායි. ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියේ සඳහන් වන පරිදි, ධුරය හොබවන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන, මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වේ. ඒ අනුව, ඊට නිශ්චිත කාලය වන්නේ, සැප්තැම්බර් අග හෝ නොවැම්බර් කාල සීමාවයි.

එහෙත්, මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වේවි ද යන සැකය මේ වන විට ජනතාව තුළ වර්ධනය වෙමින් ඇති බව පෙනේ. එම සැකය ඇතැම් දේශපාලන පක්ෂ බලවේග විසින් ද වර්ධනය කරනු ලබන ආකාරයක් දැකිය හැකිය. මෙම සැකය වඩාත් තහවුරු වූයේ, ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරයකු විසින් කරන ලද ප්‍රකාශයකිනි. ඔහු කියා සිටියේ, මෙය ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවන බවත්, එසේ පැවැත්වුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත්ය. එම මුදල ජනතා සහන සඳහා යොදවා ජනාධිපතිවරයා තවදුරටත් තනතුරෙහි තබා ගැනීම සුදුසු බව ඔහුගේ ප්‍රකාශයෙහි ඇතුළත් විය. එහෙත්, ජනාධිපතිවරණය කල් දමන බවට කිසිම ප්‍රකාශයක් මේ වන තෙක් ජනාධිපතිවරයා සිදු කොට නැත. කල් දැමීමට අවකාශයක් ද නොමැත. එබඳු බලයක් ව්‍යවස්ථාවෙන් ද ලැබී නැත. එසේ කිරීමට හැකිවන්නේ, ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ ජනමත විචාරණයකිනි.

එසේම, ඒ අතරතුර ඇතැම් දේශපාලන පක්ෂවල නායකයන් මතු කරන අදහසක් වී ඇත්තේ, අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයකට වඩා පාර්ලිමේන්තු මහ මැතිවරණයක්ය යන්නයි. මේ අදහස ප්‍රබලව මතු කරන්නේ පොදු ජන පෙරමුණයි. බැසිල් රාජපක්ෂ මහතා යම් යම් තර්ක ඉදිරිපත් කරමින් මේ අදහස අවධාරණය කරන බව පෙනේ. මහ මැතිවරණයක් සඳහා ද අවකාශ නැත්තේ නොවේ. ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයක් ද වසර පහකට පසුව පැවැත්විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට කියා සිටීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ. පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් සිටින ඇතැම් දේශපාලන කොටස් මේ මොහොතේ මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටින්නේ ඒ අනුවය. මේ යෝජනාව ගෙනෙන පිරිසගේ තක්සේරුව වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළ සැබෑ ජන මතය එමගින් නිරූපණය වන බව තහවුරු කිරීමය. එහෙත්, අපගේ තර්කය නම්, ජනාධිපතිවරණයකදී වුව ද මේ කියන ජනමතය නිරූපණය වන බවය. එයින් ජනමතය විකෘති වීමක් සිදු නොවේ. මෙතැනදී අපට ඇති වන ගැටලුව වන්නේ, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබියදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ඉල්ලා සිටීම කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ද, සදාචාරයට එකඟ ද, රටේ ජනමතයට අනුකූල ද යන්නයි.

වසර දෙක හමාරත්, පහත් අතර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම අත්‍යවශ්‍ය බව ව්‍යවස්ථාව තුළ කිසි විටෙකත් නොකියැවේ. එය ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව විය යුතු දෙයකි. එසේම, අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වය ඇතිව ජනාධිපතිවරයාට දන්වන ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ඉල්ලා සිටිය හැකිය. එහෙත්, දැනට තිබෙන තත්වය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ඒ සඳහා එකඟ වෙතැයි සිතිය නොහැකිය.

කෙසේ වෙතත්, පවතින මේ තත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ යෝජනාව පළමුව ඉදිරියට ගෙන ඒම තුළ පැහැදිලි වන්නේ, එම දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදය සහ ආත්මාර්ථකාමයයි. මෙම අවස්ථාවේ ලංකාවේ ජනාධිපතිවරණයකට බලමුළු ගැන්වීම තුළ බොහෝ පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා පැහැදිලිය. එහෙත්, ජනාධිපතිවරණයක් වෙනුවට මහ මැතිවරණයක් ඉල්ලා සිටින දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂවල පැහැදිලි ජනාධිපති අපේක්ෂකයකු ගැන සඳහනක් නොවේ. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් විය නොහැකිය. නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය සලකා මේ අවස්ථාවේ ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරතැයි සිතිය නොහැකිය. බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට ඒ වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරා ගැනීමට සිදුවනු ඇත. ඒ හැර පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලෙන් බැහැරව සිදු වෙතැයි සිතන්නට ද පුළුවන්කමක් නැත. මේ තත්වය තුළ මහ මැතිවරණයකට යෑමෙන් රටේ ඡන්ද පදනම පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි පරිණත දේශපාලන අත්දැකීම් ඇති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කල්පනා කරනවා විය හැකිය.

කෙසේ වෙතත්, රටේ පවත්නා අර්බුදකාරී මෙවන් අවස්ථාවක පොදු ජනතාව අපේක්ෂා කරන්නේ වඩා යහපත් හෙට දවසකි. පක්ෂ භේදවලට වඩා ජනතාව මේ මොහොතේ පෙළගැසෙන්නේ එම අර්බුදවලට විසඳුම් සෙවිය හැකි නායකයකු සමගය. එබඳු තත්වයක් තුළ ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවීමක් පිළිබඳව කිසිදු සඳහනක් සිදුකොට නැත. ජනාධිපතිවරයා ද තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සිටියි. ඒ අනුව වඩාත් පැහැදිලිව කිව හැකි දෙය නම්, මේ වසරේ පැවැත්වෙනු ඇත්තේ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවය. පළමුව මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ජනතා හඬක් ද ඇති බවක් නොපෙනේ.

එසේම, ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වුවහොත්, එය පැවැත්විය යුත්තේත් දිගු කාල අවකාශයක් තුළ නොවෙයි. කෙටි කාලයක් ඇතුළත මැතිවරණ දෙකක් සඳහා මුදල් යෙදවීමට සිදු වේ. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මැතිවරණ යාන්ත්‍රණය සඳහා යෙදවිය යුතුව තිබේ. රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය හැකිව තිබෙන කාලය මැතිවරණ දෙකක් සඳහා යෙදවීමට සිදුවනු ඇත. එම නිසා මුලින්ම අප සලකා බැලිය යුත්තේ, ව්‍යවස්ථානුකූලව අප කළ යුතු දෙය කුමක් ද යන්නය. එසේ කිරීමෙන් අප ක්‍රියා කොට ඇත්තේ පුද්ගල මතයට නොව ව්‍යවස්ථානුකූලව බව රටේ ජනතාවට මෙන්ම ලෝක ප්‍රජාව ඉදිරියේ ද පෙන්වා දීමට හැකි වනු ඇත.

දුෂ්කර දිවි පෙවෙතක් මේ මොහොතේ ගෙවන ජනතාවට තම වැඩපිළිවෙළ කුමක් ද යන්න පැහැදිලි කර දීමට ජනාධිපති අපේක්ෂකයාට හැකි වනු ඇත. ජනතාව මේ මොහොතේ නිතර විමසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහුට හැකි වනු ඇත. එබැවින්, මුලින්ම රැගෙන ආ යුත්තේ ජනාධිපතිවරණය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තකි.

ජනාධිපතිවරණය පසෙක තබා මහ මැතිවරණයක් වෙත යොමු වුවහොත් සිදුවන්නේ, අවධාරණය විය යුතු ජනතා ප්‍රශ්න අමතකව යාමයි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කුමන පක්ෂයකින් නියෝජිතයන් ඉදිරිපත් වුව ද ඔවුහු ප්‍රමුඛ පෙළේ ජාතික ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු නොකරති. ඉදිරියට එන්නේ පෞද්ගලිකත්වයයි. එය මේ මැතිවරණ ක්‍රමය තුළ පුරුදු වී ඇති පිළිවෙළයි. අපේක්ෂකයන්ගේ අවසන් අරමුණ වන්නේ, පත්වන පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකු වීමයි. එබැවින්, මහ මැතිවරණයකදී තරග වදින සෑම අපේක්ෂකයකුම උත්සාහ ගන්නේ පක්ෂයේ අරමුණු ප්‍රතිපත්ති ඉටු කිරීම නොව තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමයි. ඒ අනුව, මහ මැතිවරණයකට යොමු වීම, මේ අවස්ථාවේ කතා කළ යුතු ජාතික ප්‍රශ්න අමතක කිරීමයි.

අප එවැනි තැනකට තල්ලු වෙනවා ද, නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන පරිදි ක්‍රියා කරනවා ද, ජනතා ප්‍රශ්නවලට මුල් තැන දෙනවා ද යන්න මේ මොහොතේ අවධානයට ගත යුතු කරුණකි. එම අරමුණට අපට යා හැකි වන්නේ මේ මොහොතේ ජනාධිපතිවරණයක් වෙත යෑමෙනි.

ඒ අනුව මගේ තර්කය බවට පත් වන්නේ, මේ අවස්ථාවේ රැගෙන ආ යුත්තේ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්ෂා කරන, අනුමත කරන අප හැමවිටම දිරිමත් කළ යුත්තේ ව්‍යවස්ථාවට එකඟ ක්‍රියාමාර්ග කෙරෙහිය. ජනතාව ලෙස අප කළ යුත්තේ, ඒ අවස්ථාව ඉල්ලා සිටීමය. අපේක්ෂා කිරීමය. ජනාධිපතිවරණය පැවැත්වීම පමණක් නොව එය අර්ථාන්විතව ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවෙන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුය.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)

 



අදහස් (2)

ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයද? ජනපතිවරණයද?

HD Friday, 22 March 2024 12:46 PM

අගනා කරුණු දැක්වීමකි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සුදුසුයි...

:       1       4

wije Friday, 22 March 2024 03:06 PM

මහා ඇදුරුතුමනි, බෙහෙවින්ම ස්තුතියි, අමන දේශපාලකයන්ට හරි මග යන්ට බලපෑම් කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 125 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 303 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 842 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 430 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1756 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1225 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site