IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජාතියක් ලෙස එකාවන්ව පෙළගැසෙමු

නිදහස යනු මිනිසාට මෙන්ම සකලවිධ ජීවින්ටම දැනෙන්නා වූ සුන්දර අත්දැකීමකි. නිදහස අවහිරවන සෑම අවස්ථාවකදීම දැකිය හැක්කේ අරගලයකි. ඒ නිසා මානව ඉතිහාසයේ පමණක් නොව ජෛව ලෝකයේ ඉතිහාසයද ලියවී ඇත්තේ නිදහස උදෙසා කළ අරගල හෝ කැප කිරීම් තුළිනි.

රටකට නිදහසේ අර්ථය වඩාත් තදින් දැනෙන්නේ නිදහස අහිමි වූ විටය. 1815 පසු අප රට මහා බි්‍රතාන්‍යයේ පූර්ණ යටත් විජිතයක් බවට පත්වූ අතර එහිදී අපට නිදහසේ අගය කෙතෙක්ද යන්න වඩාත් තදින් දැනුණි. එහිදී නිදහස සඳහා නිදහස්කාමීන් රැසක් තම ජීවිතය පවා නොතකා සටන් වැදුණ අතර 1915 පසු සටන්කාමී ක්‍රියාමාර්ග වෙනුවට සාමකාමී ක්‍රම ඔස්සේ නිදහස් අරගලය පෙරට ඇදුණි. එම කාලයේදී වර්තමානයට ගත හැකි අප දකින හොඳම ආදර්ශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් පටු සීමා බිඳ ජාතික අවශ්‍යතාවය සපිරීම සඳහා සියලුදෙනා එකට එක් වීමය. එය වර්තමානයට ද එක්කර ගත හැකි මනා ආදර්ශයකි. අද වුවද අපට ලැබූ නිදහසේ උපරිම ප්‍රතිඵල ලබා ගත හැක්කේ ජාති ආගම් වශයෙන් බෙදී සිටීමෙන් නොව එකට එක්ව ගමන් කිරීමෙනි.

ශ්‍රී ලංකාව යනු බහු වාර්ගික බහු ආගමික රටකි. මෙහි විවිධාකාර සංස්කෘතික ලක්‍ෂණ ඇති අතර දේශපාලන, ආර්ථික අදහස්ද විවිධ වේ. එම නිසා වසර 400කට අධික කාලයක් විවිධ ජාතීන්ට යටත්ව තිබූ අප රට නිදහස ලැබූ පසු නැවත ගොඩනඟා ගැනීමට නම් සමාජ, ආර්ථික මෙන්ම චින්තනයෙන් ද ස්වාධීන විය යුතුව තිබිණි. එය අදටත් වලංගුය. ලැබූ නිදහස පරිපූර්ණ වනුයේ සමාජ, ආර්ථික මෙන්ම චින්තනය ද ස්වාධීන වූ විටය. එනම් අද වන විට අප රටට අවශ්‍යව ඇත්තේ ආකල්පමය වෙනසකි.

එකල ඉංග්‍රීසින් පවසා සිටියේ “ලාංකිකයන්ගේ බල බිඳීමට කළ යුතු එකම දේ කෘෂිකාර්මික ශක්තිය නැති කිරීම” බවයි. එය සත්‍යයකි. අප රට ස්වයංපෝෂිත කරවීමේ අභියෝගය ණය නැති ආර්ථිකයක් තැනීමේ අභියෝගය අද වන විට අප සතුව පවතී. එයට සුදුසුම පිළියම වන්නේ අප රට තුළ දේශීය නිෂ්පාදන ඇති කිරීමය. දේශීය නිෂ්පාදන දියුණු කිරීමත් නව දේශීය නිෂ්පාදන හඳුන්වා දීමත්ය. ඒ තුළින් කෘෂි ආර්ථිකය දියුණු කරගත හැකි අතර මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර ආනයනය කිරීම ද වළකාගත හැක. එනම් අද වනවිට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සිත් වහල් බවින් මුදවා ගැනීමට අත්‍යවශ්‍යව පවතී. එවිට මිනිසා වහල් මානසිකත්වයෙන් වහල් අනුකරණයෙන් මිදී ස්වාධීනව සිතන්නට පටන් ගනී.

එසේම සමාජය තුළ පවතින උගත් නූගත් පරතරය, දුප්පත් පොහොසත් පරතරය මකා දැමිය යුතු අතර සමානාත්මතාව, සර්ව සාධාරණය ඇති කළ යුතුය. ඒ සඳහා අප තුළ යහපත් ආකල්ප වර්ධනය කරගත යුතුයි. රට පුරා විසිර සිටින දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබෙනවාද යන්න මීළඟ ගැටලුවයි. එය සත්‍ය වශයෙන්ම සිදු නොවේ. එම නිසා සියල්ලන්ටම එක හා සමාන ලෙස නිදහස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු සලසා දීම ඉතා වැදගත්ය. එමෙන්ම සියලුම පොදු සේවාවන් කාර්යක්‍ෂම කරවීමද රටක සාර්ථක බවට බලපාන ප්‍රධානතම සාධකයකි. ඒවා අකාර්යක්‍ෂම වීම හා නිලධාරිවාදය ඇතිවීම, වැඩිවන පඩිය පමණක් අරමුණු කර සේවය කිරීම, තම පෞද්ගලික අපේක්‍ෂා පමණක් මුදුන්පත් කිරීමට නිලධාරින් පෙලඹීම, වැනි දෑ පසෙක ලූ විට පොදු සේවාවක් තුළින් වඩාත් ප්‍රයෝජනවත් සේවයක් රට වෙනුවෙන් ලබා ගත හැක. එනම් ඔවුන් තුළ හිතකර ආකල්ප ඇතිකර ගත යුතුයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍ය සම්පන්න රටක් කිරීමේ ජාතික වගකීම උදෙසා සියලු දෙනාම එකාවන්ව අත්වැල් බැඳ ගත යුතු කාලය එළඹ තිබේ. අප අද දවසේ භුක්ති විඳින නිදහස අනාගතයේදී අපේ දරුවන්ට ආරක්ෂා කර දීම අපගේ වගකීමයි. ශ්‍රී ලංකිකයන් ලෙස හෙට ලොව දිනන්නට අවශ්‍ය කරන පසුබිම උදා කරගනිමින් හැත්තෑ තෙවසරක් භුක්ති විඳි නිදහස අනාගත පරපුර වෙනුවෙන් වඩාත් අර්ථවත් ලෙස ස්ථාපිත කිරීමට අප වග බලා ගත යුතුය.


(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)

 



අදහස් (1)

ජාතියක් ලෙස එකාවන්ව පෙළගැසෙමු

vinivida Saturday, 06 February 2021 09:00 PM

ජාතියක් ලෙස එකාවන්ව පෙළගැසෙමු, වසරක් පාසා සෑම රජයක් මගින් මෙවැනි ප්‍රකාශ නිකුත් උවද වසර 70ක් කාලයක් තුළ ශ්‍රී ලංකිකයන් ලෙස ලැබුවා වූ ජයග්‍රහණ මොනවද? අගරදගුරු තුමා, සමාජ සේවයේ නියුතු ප්‍රධාන භික්ෂුන් වහන්සේලා, වෙනත් ආගමික නායකයන් ඔවු නොවුන් පිළිබඳව කරගන්නාවූ අගය කිරීම් නිතර දක්නට ලැබේ. මෙම අගය කිරීම් වලින් ඔබ්බට යාමට සහ ඔවුන්ගේම ඇතුළාන්තයට ගොස් සත්‍ය ඔවුන් විසින්ම අවබෝධ කොට ගත යුතුවේ. ප්‍රකාශ නිකුත් කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් රටට නොලැබෙනවා සේම කිසිදු ජාතික ප්‍රශ්නයකට පිළිතුරුද නොලැබේ. බොහෝ අවස්ථවන්වලදී මතුවන්නේ අපේ ජාතිය හෝ අපි ජාතියක් වශයෙන් නැගී සිටිය යුතු බව වේ. කිසි දිනෙක අපි ශ්‍රී ලාංකිකයන් සේ නැගී සිටිය යුතු බව ආගමික නායකයන් විසින් කරන්නාවූ ප්‍රකාශවලින් පෙනෙන්නට නැත. උදාහරණයක් මතුකළහොත් එකම තේරුම තිබෙන්නවූ ජාතික ගිය සිංහල සහ ද්‍රවිඩ භාෂාවෙන් ජාතික දිනයේදී ගයනා නොකිරීම සම්බන්ධව කිසිදු ආගමික නායකයකු කිසිවක් මෙතෙක් ප්‍රකාශ කොට නැත. මෙවැනි සරල රටටම හැගීම් ලබාදියහැකි සංවේදී කරුණු සහ අවස්ථාවන් පිළිබඳව සියලු ආගමික නායකයා නිහඬව නොසිට එක මතයකට පැමිණීමට කාලය පැමිණ ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1701 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site