මැතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මාසයේදී ද පැවැත්වීම දුෂ්කරවනු ඇතැයි ඇතැම් පාර්ශව පළකළ අනාවැකිද මේ වනවිට ව්‍යර්ථවෙමින් තිබේ. මහ මැතිවරණය ස්ථීර වශයෙන්ම අගෝස්තු මස 05 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම ලහි ලහියේ සූදානම් වෙමින් සිටී.

ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂද තවමත් මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ආරම්භ කර නැත. කොරෝනා ව්‍යාප්තිය සහ සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති තහංචි හේතුවෙන් අපේක්ෂකයෝ තම තමන්ගේ ඡන්ද ව්‍යාපාර ආරම්භ කිරීමට තවමත් අදිමදි කරමින් සිටිති.

මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම කෙරෙහි පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසම පෙරහුරු ඡන්ද විමසීම් 15 ක් පැවැත්වීමට තීරණය කර තිබිණි. එහෙත් මැතිවරණ කොමිසම අලුතින්ම තීන්දු කර ඇත්තේ සෑම කච්චේරියකමත් පෙරහුරු ඡන්ද විමසීම් සංවිධානය කිරීමටය. සෑම කච්චේරියකම ඡන්ද විමසීම පිළිබඳව පුහුණු සැසි සංවිධානය කරන අතර ඊට සමගාමීව පෙරහුරු ඡන්ද විමසීම්ද පැවැත්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි. ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේම රාත්‍රියේ ඡන්දය ගණන් නොකිරීම ගැනද ඇතැම් පාර්ශ්ව කසු කුසු ගාන්නට පටන් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉකුත්දා පිළිතුරක් දුන්නේය.

‘‘ඡන්ද විමසීම තියන්නේ මැතිවරණ කොමිසම ඡන්දය අයිති ජනතාවට. මැතිවරණ කොමිසම. ගැන විශ්වාසයක් තිබීම අවශ්‍යයි. විශ්වාසයක් නැතිව මේක කරන්න බැහැ’’ යැයිද දේශප්‍රිය කියන්නේය. ‘‘අපි ඡන්ද පෙට්ටි සීල් කරනවා.

ඡන්දපොළ නිලධාරීන්ගේ අත්සන් ලේඛනයක් ගන්නවා. ඒ අත්සන් ලේඛනයත් ඡන්ද පෙට්ටිවල අලවනවා. පෙට්ටි කාමරයක දමලා සීල් කරලා තබනවා. අපි පොලිස්පතිතුමා සමග සාකච්ඡා කළා. දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ ඡන්ද පෙට්ටි ආරක්ෂා වෙනවා. කාටවත් ඒවායේ සීල් කඩන්න බැහැ.’’ යැයිද මහින්ද දේශප්‍රිය පවසන්නේය.

මේ අතර ඡන්ද රැස්වීම්වලට පැමිණෙන පුද්ගලයන්ගේ නාම ලේඛනයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දෙන්නැයි සෞඛ්‍ය අංශ මගින් කර ඇති නියමය පිළිබඳවද ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් බිය සැක පළ කිරීම නිසාය.

‘‘විපක්ෂයේ ඡන්ද රැස්වීම්වලට එන අයගේ නම් ගම් ගත්තම ඒ අය හඳුනා ගැනීමකට ලක්වෙනවා. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන රැස්වීම්වලට එන්නේ කවුද ඒවා සංවිධානය කරන්නේ කවුද කියලා හඳුනා ගැනෙනවා.’’ යැයි ඇතැම් දේශපාලනඥයන් චෝදනා කරන්නේය. එහෙත් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එවැන්නක් කරන්නේ දැඩි ආරක්ෂාවට බවය.

ඡන්ද රැස්වීමකට එන අය කවුද කියන තොරතුරු ළඟ තබාගත්තම ඉතාම පහසුවෙන් හදිසියකදී රෝගීන් හඳුනා ගන්න පුළුවන්. ඡන්ද රැස්වීමකට වයිරසය ආසාදිතයෙක් ආවොත් අනෙක් අයගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්න වෙනවා’’ යැයිද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

මෙවර තැපැල් ඡන්දය සඳහා දින 6 ක් වෙන් කර තිබීම විශේෂයකි. වෙනත් මැතිවරණවලදී තැපැල් ඡන්දයට වෙන් කරනුයේ දින තුනක් හෝ හතරක් පමණි. එහෙත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන් දහ පහළොස් දහසක් එකවරම තැපැල් ඡන්ද දායකයන් වීම නිසා ඒ සඳහා දින හයක්ම වෙන් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී තිබේ.

රාජ්‍ය ආයතනවල මාධ්‍ය ඒකකවල තිබෙන සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට මෙවර ඉඩ නොතබන බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වාහන, සම්පත් හා සේවකයන් ඡන්ද ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන බවද මැතිවරණ කොමිසම කියයි. විශේෂයෙන් ආණ්‍ඩුකාරවරුන් මාර්ගයෙන්ද මැතිවරණ කොමිසම සෘජුවමද ඒ සම්බන්ධයෙන් සොයා බලන බවද එම කොමිසම අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීහු ඉකුත් බදාදා ජනාධිපතිවරයා හමුවූහ. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම හමුවේදී ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලු කීපයක් ගැන සාකච්ඡා කර තිබූ අතර ඡන්ද මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම හා සෞඛ්‍ය අංශ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවූ බවද වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම පැවැත්වීමට උචිත වාතාවරණය සකස්කර දීම හා එය තහවුරු කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. ඒ අනුව ඡන්ද විමසීම නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය සහාය ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට ලබාදිය යුතුය. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාමත් ලේකම්වරයාත් සහභාගි වූහ.

සමගි ජනබලවේගය රටපුරා ඡන්ද රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ රටපුරා ඡන්ද රැස්වීම් දහසක් අමතන බවය. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි සංවිධානය කරන එම රැස්වීම් ඇමතීම කථිකයන් සීමිත පිරිසකට සීමා කරන බවද සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හා වාණිජ බැංකුවල ඉහළ නිලධාරීන් පිළිබඳව විවේචනාත්මකව කතා කළේය. ජනාධිපතිවරයා කීවේ කොරෝනා ව්‍යසනයෙන් අගාධයට පත් ව්‍යාපාර නැංවීමට මහ බැංකුව කිසිදු වැඩපිළිවෙළක් දියත් නොකළ බවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ටත් රජයේ වාණිජ බැංකුවලටත් ඉතා තදින් දොස් නැගූ ජනාධිපතිවරයා තමාට ඉතා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගිවී සිටියේ නැත.

කෙසේ වෙතත් මහ බැංකුවේ නිලධාරීන්ට කරුණු කියන්නට අවස්ථාවක් නොදීම ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයාගේ හමුවෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‍ඩලයේ හදිසි රැස්වීමක්ද පැවැත්විණි. එහිදී රට තුළට වැඩි වැඩියෙන් මුදල් සංසරණය කරවීම සඳහා වැදගත් තීන්දු තීරණ කීපයක්ම ගෙන තිබිණ. ‘‘ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පසුව මුදල් මණ්‍ඩලය රැස්වුණා. එදා රාත්‍රියේම සාකච්ඡා වට කීපයක්ම තිබුණා. නිලධාරීන් රෑ තිස්සේ සාකච්ඡා කරලා වැඩ පටන් ගත්තා’’ යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරියෙක් කීවේය. ‘‘සංවර්ධන ණය දෙන්න බැංකු ටිකක් අදිමදි කරනවා. මේ ණය අනවශ්‍ය පුද්ගලයන් අතට යාවිද. රටේ උද්ධමනයට බලපෑම් එල්ලවේවිද. අක්‍රීය ණය ප්‍රමාණය වැඩිවේවිද යන අවධානම් කරුණූ ගැනත් බැංකු නිලධාරීන් සැලකිය යුතුයි’’ යැයිද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ඉකුත් සඳුදා මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග වටමේස සාකච්ඡාවක් පැවැත්වූවාය. කොවිඩි වසංගතය හේතුවෙන් රැස්වීමට නොහැකි නිසා තානාපතිනිය කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිට එම වටමේස සාකච්ඡාව පැවැත්වූයේ අන්තර්ජාලය ඔස්සේය. තෝරාගත් මාධ්‍යවේදීහු කිහිප දෙනා තම තමන්ගේ කාර්යාලවල සිට අන්තර්ජාලය ඔස්සේ එම සාකච්ඡාවට එක්වූහ. එහිදී අමෙරිකානු තානාපතිනිය සඳහන් කළේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ ආණ්‍ඩුව සමග සාකච්ඡා කරන බවය. බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවද තානාපතිනිය කීවාය.

කොළඹ මහ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීනියකට ඉකුත්දා ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවිය.  කොරෝනා වසංගතය හේතුවෙන් අසරණ වූ පවුල් වෙත රුපියල් 5000 දීමනාව බෙදා දෙන ස්ථානයකට මන්ත්‍රීවරිය තවත් නාගරික මන්ත්‍රීරයකු සමග ගියාය. එහිදී ඉහළ රාජ්‍ය නිලධාරියෙක් උස් හඬින් මන්ත්‍රීවරියට බැණ වැදුනේය. මන්ත්‍රිනියගේ මුදල් ජනතාවට බෙදන්නේ නැතැයිද මේ සල්ලි රජයේ සල්ලි බවද එම නිලධාරියා කීවේය.  මන්ත්‍රීවරිය සිය ඡන්දදායකයන් ඉදිරියේ ලජ්ජාවට පත්වූවාය. ඉකුත්දා කොළඹ මහ නගර සභා රැස්වීමේදී මේ පිළිබඳව පොහොට්ටු මන්ත්‍රිනිය නගරාධිපතිනී රෝසි සේනානායකට පැමිණීලි කළාය. තමාට එම නිලධාරියා පහත් අයුරින් බැණ වැදුණු බවද මන්ත්‍රීවරියගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මහ සභා රැස්වීමේදී රෝසි සේනානායක කියා සිටියේ මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම්දී පරීක්ෂණයක් සිදුකරන බවය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්‍ඩාර ඉකුත්දා ජනමාධ්‍යවේදීන් පිරිසකට රහසක් හෙළි කළේය. ‘‘මම ජාතික ලැයිස්තුවට ආවේ ඇයි කියලා මගෙන් හැමෝම ප්‍රශ්න කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයෙන් මට තරග කරන එක සුළු දෙයක්. මට ඡන්දය දිනන්න පුළුවන්. ඒත් අපේම දිස්ත්‍රික්කයේ ආනන්ද කුමාරසිරිට තැනක් දෙන්න අපට අවශ්‍ය වුණා. ආනන්ද කුමාරසිරි තරග කරනවා. මම ඔහුට සහාය පළ කළා. හරීන්ටත් වුණේ ඒ වගේ දෙයක්. සමගි ජනබලවේගය පක්ෂයේ ජනමාධ්‍ය වැඩ කොටස හරීන් ප්‍රනාන්දුට පැවරුවා. එයාට ලොකු වැඩ කොටසක් තිබෙනවා. ඒ නිසා හරීන්ටත් ජාතික ලැයිස්තුවෙන් තරග කරන්නට සිදුවුණා.’’ යැයි රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

මංගල සමරවීර මන්ත්‍රී සටනින් ඉවත් වීමට හේතුවද අනාවරණය වුණේය. ‘‘මංගලට අවශ්‍ය වුණා නිදහස් අදහස් ප්‍රකාශ කරන්න. හාමුදුරුවන්ගේ ප්‍රශ්න’’ එයා දරන වෙනත් මතවාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස නායක තුමාට කිව්වා. ඒත් සජිත් ඊට ඉඩ නොතබා මගහැර හිටියා. ඒ නිසා මංගල තරමක අමනාපයකින් තමයි හිටියේ. දැන් එතුමා සමාජ මාධ්‍ය ඔස්සේ එක එක අදහස් පළ කරනවා. ඒක එතුමාගේ අයිතියක්. හැබැයි දේශපාලනයේදී ඒ දෙය කරන්න අමාරුයි. සටනින් ඉවත් වෙච්ච එක එතුමාට වගේම සමගි ජන බලවේගය පක්ෂයටත් හොඳයි’ යැයි සජිත් පිලේ දේශපලඥයෙක් කීවේය.

(*** කස්තුරි)