IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ගනු දෙනු ඡන්දය සදාචාරද?

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ජානකී ජයවර්ධන

ලංකාවේ දේශපාලන සද‌ාචාරය හා සංස්කෘතිය කාගේත් නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව ආචාර්ය ජානකී ජයවර්ධන සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූවකි.

සද‌ාචාරය යන වචනයෙහි සරල අර්ථය හැසිරීමය. එහිදී හරි විදියට හැසිරීම හා වැරැදි විදියට හැසිරීම යන දෙක අතර සාපේක්ෂතාවක් ද තිබේ. වැරැදි විදියට හැසිරුණොත් දඬුවම් ලැබෙයි. පවුලෙන් සමාජයෙන් කොන්විය හැකි අතර නීතියෙන් ද දඬුවම් ලැබිය හැකිය. ඉන් අදහස් වන්නේ සද‌ාචාර සම්මතයට පටහැනිව කටයුතු කළහොත් සමාජයෙන් සේම නීතියෙන් ද දඬුවම් ලැබෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ වන්නේ නිදහස, විමුක්තිය හා සමානාත්මතාව යි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යාන්ත්‍රණය එනම් ආණ්ඩුව, ආණ්ඩුකරණය, ඊට සම්බන්ධ වන සමාජ සංස්ථා, ඡන්දදායකයන් හා රාජ්‍ය ද සකස්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ වූ නිදහස, විමුක්තිය සහ සමානාත්මතාව මත ය. මිනිසුන්ගේ සද‌ාචාරය එනම් හැසිරීම ප්‍රජාතන්ත්‍ර කරණය වන්නේ එසේ වුවහොත් පමණකි.

ලංකාවේ මා දකින ලොකුම ප්‍රශ්නය පුද්ගලයන් සේම සමාජ සංස්ථා ද ප්‍රජාතන්ත්‍ර නොවීමය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සියල්ලම අප සතුව තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේම නැත. එසේ නොවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ එනම් නිදහස, විමුක්තිය හා සමානාත්මතාව අනුගමනය නොකිරීම නිසාය. එසේ නොවීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එහිදී යටත් විජිත සමයේ සිදු වූ දේවල් තීරණාත්මක ය. ලංකාවට නියෝජන ප්‍රජාතන්ත්‍රවදය සහිත ආණ්ඩු ක්‍රමයක් යෝජනා කෙරෙන්නේ 1832 කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණවලිනි. කෝල්බෲක් හා කැමරන් කියන්නේ ආණ්ඩුකාරවරයා වටේ බලතල අසීමිතව රැස්ව තිබීම නුසුදුසු බව ය. විධායක, ව්‍යවස්ථාද‌ායක, අධිකරණ යනුවෙන් වෙන් වෙන් ආයතන තුනක් යෝජනා කෙරෙන්නේ එහිදී ය. එහිදී ඔවුන් කියන්නේ ලංකාවේ ජනතාවගෙන් බහුතරය පීඩාවට පත්ව සිටින බව ය. ඒ ජනතාව පීඩිත ජීවිතයක් ගත කරන බව ය. ඒ පීඩිත ජනයාම තමන්ගේ අවශ්‍යතා හා උනන්දුව ප්‍රකාශ කිරීමට තැනක් නැති බව ය. එසේම ඒවා කතා කිරීමට තැනක් නැති බව ය. ඒ සඳහා ව්‍යවස්ථාද‌ායක සභාව පිහිටුවීමට ඔවුහු (කෝල්බෲක් - කැමරන්) යෝජනා කරති.

ව්‍යවස්ථ‌ාද‌ායක සභාවේ රැස්වීම්වලට ආණ්ඩුකාරයා සම්බන්ධ නොවිය යුතු බව ඔවුන්ගේ නිගමනය විය. විධායකයෙන් ව්‍යවස්ථාද‌ායකය දුරස් කළ යුතු බව ඔවුන්ගේ පිළිගැනීම විය. ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාද‌ායකයේ හිටියොත් ජනතාවට අවශ්‍ය දේවල් නොවන බව ඔවුන්ගේ පිළිගැනීම විය. ආණ්ඩුකාරවරයාගේ බලපෑම එල්ලවන බව ඔවුහු විශ්වාස කළහ. එසේම ලංකාවේ ජනයාට ඡන්දය හෙවත් ඡන්ද බලය ගැන අවබෝධයක් නැති නිසා උසස් ය, වැදගත් ය කියා සමාජ පිළිගැනීමක් තිබෙන අය ඒ ජනතාව නියෝජනය කිරීමට පත් කරති. එතැන දී ඇති වූ ප්‍රශ්නය ඒ නිල නොලත් නියෝජිතයන් තේරීම ය. ලංකාවේ ජනයා පිළිබඳව වර්ග කිරීමක් සිදුවන්නේ එහිදී ය. එහිදී බ්‍රිතාන්‍යයෝ ලාංකික ජනයා වර්ගය (Race) නමැති සංකල්පය මත බෙද‌ා වෙන් කරති. ඒ අනුව ලාංකික ජනයා වර්ග 11කට බෙද‌ා වෙන් කළහ. පාට, කුලය, ජාතිකත්වය වැනි සාධක මත එසේ වර්ග කළහ. ඒ අනුව යටත් විජිත නිලධාරීන් තීරණය කළේ ඒ ඒ ජන වර්ග නියෝජනය සඳහා නියෝජිතයන් පත්කළ යුතු බවට ය. ලංකාවේ වාර්ගික නියෝජනය ඇරැඹෙන්නේ එලෙසිනි.

නිදහස, විමුක්තිය හා සමානාත්මතාව යන ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශ අනුගමනය නොකිරීමට ලාංකිකයන් නොපෙළඹුණු අනෙක් හේතුව වාර්ගික නියෝජනය ඉවතලා සර්වජන ඡන්ද බලය ලබාදීම ය. එය ලබා දුන්නේ මැතිවරණ මූලධර්මය මත ය. මැතිවරණ දේශපාලනය හා සුබසාධන දේශපාලනය එකිනෙකට සම්බන්ධ වන්නේ එහිදී ය. මිනිසුන් සිතන්නේ ආණ්ඩු තිබෙන්නේ තමන්ට ලැබිය යුතු දේවල් දීමට බව ය. තමන්ගේ අභිලාෂ හා මත ප්‍රකාශ කිරීමට නොවන බව මිනිසුන්ගේ ඇදහීම විය. දේශපාලකයා තම අභිලාෂ හා උනන්දු පාර්ලිමේන්තුවෙහි නියෝජනය කළ යුතු බවක් මේ ජනතාව නොසිතති. ජනතාවට එවැනි වුවමනාවක් ද නැත. ඔවුනගේ අපේක්ෂාව වන්නේ දේශපාලකයන්ගෙන් යමක් ලබා ගැනීම පමණකි. අනෙක් කාරණය බහුතරය යන වචනයෙහි සැබෑ අරුත නිසි ලෙස තේරුම් නොගැනීම ය. බහුතරය, වැඩි ජන සංඛ්‍යාවක් සිටින ජන කණ්ඩායමේ කැමැත්ත ලෙස තේරුම් ගනියි. ඒනිසා බහුතරයේ කැමැත්ත පාර්ලිමේන්තුවෙහි ප්‍රකාශ වන්නේ ද නැත.

ලංකාවේ දේශපාලන සද‌ාචාරයක් නැතිවීමට බලපා තිබෙන්නේ මේ කාරණා ය. දේශපාලකයන්ට සදාචාරයක් නැති වන්නේත්, ජනතාව පුරවැසියන් නොවී ඡන්ද ද‌ායකයන් පමණක් වන්නෙත් මේ පසුබිම මත ය. ඒ අර්ථයෙන් දේශපාලකයන්ට පමණක් නොව ජනතාවට ද සද‌ාචාරයක් නැති බව මගේ නිගමනය යි. මේ ජනතාවට තම අභිලාෂ හා උනන්දුත් පාර්ලිමේන්තුවෙහි නියෝජන කරන නියෝජිතයකු තෝරාගැනීමේ අභිලාෂයක්, වුවමනාවක් නැත. තමන්ට මොනවා හෝ එනම් උදලු තලයක්, සිල් රෙද්දක්, මග් එකක්, ප්ලාස්ටික් පුටුවක්, ටකරන් තහඩුවක්, නොවටිනා බිත්ති ඔරලෝසුවක්, වියළි සලාක මල්ලක්, බත් පාර්සලයක් වැනි දෙයක් දෙන ඕනෑම කෙනකු තම නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැවීම මේ ජනතාවගේ ස්වභාවයයි.

දේශපාලකයෝ ද මේ තත්ත්වය ඉතා හොඳින් දනිති. ඒනිසා සද‌ාචාරය රැකීමට හෝ සද‌ාචාරවත්වීමට ඔවුහු උනන්දු නොවෙති. දේශපාලන දාර්ශනිකයන් කී ලෙස නම් ජනතාව හා නියෝජිතයා අතර ඇති වන්නේ සමාජ ගිවිසුමකි. ජනතාව නියෝජිතයන්ට පවරන්නේ තමන්ට තිබෙන බලයයි. එහෙත් එවැන්නක් නැති බව ලංකාවේ දේශපාලකයෝ දනිති. දැන් ලංකාවේ ජනතාව හා ඔවුන්ගේ නියෝජිතයන් අතර පවතින්නේ ගිවිසුමක් නොව ගනුදෙනුවකි. මෙය දේශපාලන විද්‍යාවේ හඳුන්වන්නේ අනුග්‍රාහක දේශපාලනය නමිනි.

(Clientelism) මේ දේශපාලනයේ සිටින්නේ කණ්ඩායම් තුනකි. එනම් දේශපාලකයා, ඔහු දිනවන්නට කටයුතු කරන්නා හා ඡන්ද ද‌ායකයාය. ඡන්ද ද‌ායකයන් සමග සම්බන්ධ වන්නෝ දේශපාලකයා දින වන්නට කටයුතු කරන්නෝ ය. එහිදී ඡන්ද ද‌ායකයා හා දේශපාලකයා අතර ද විශාල පරතරයක් ඇතිවෙයි. ගනුදෙනුව ගැන කතා කරන්නෝ අතරමැදියෝ ය. ඡන්දය දිනුවට පස්සේ අරක දෙන්නම් මේක දෙන්නම් කියන්නේ ඒ අතරමැදියන් ය. තීරකයා වන්නේ ඒ අතරමැදියා ය.

ප්‍රජාතන්ත්‍රකරණය වූ රටක මෙය යහපත් ලෙස ක්‍රියාත්මක වෙයි. එවැනි සමාජයක ජනතාව තම නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගන්නේ තමන්ට යමක් දෙන පුද්ගලයකු හෝ තමන්ට යමක් ලබාගත හැකි පුද්ගලයකු නොව තම අභිලාෂ හා උනන්දුවීම් ව්‍යවස්ථාද‌ායකය මත නියෝජනය කරන පුද්ගලයෙකි. ලංකාවේ සිටින දේශපාලකයන් වෙතින් ගමේ, නගරයේ හා රටේ අවශ්‍යතා ඉටු නොවන දේශපාලනයක් නොවන්නේ එහෙයිනි. මේ ක්‍රමයේ ක්‍රියාත්මක වන්නේ පිරිසකගේ එනම් අතරමැදියන්ගේ වුවමනා ඉටුකරන දේශපාලනයකි. දේශපාලන සද‌ාචාරයක් නොපවතින්නේ මේ හේතු මත ය.

ලංකාවේ ජනතාවට සේම දේශපාලකයන්ටත් ආචාරධර්ම අවශ්‍ය නොවන්නේ මේ අනුග්‍රාහක දේශපාලනයේ මහිමයෙනි. රටේ ජනයා පුරවැසියන් නොවනතාක් කල් මේ තත්ත්වය මෙලෙසම පවතිනු නියත ය. රටේ ජනයා සිටින්නේ ඡන්ද ද‌ායකයාගේ භූමිකාවෙහි ය. ඔවුන් ඡන්දය දෙන්නන් පමණකි. කිසි ලෙසකින්වත් පුරවැසියෝ නොවෙති. පුරවැසියකු නම් කල්පනා කරන්නේ රටේ ප්‍රශ්න හා ඒවාට දේශපාලකයන් ඉදිරිපත් කරන විසඳුම් ගැන ය. පුරවැසියා ප්‍රතිපත්ති දෙස බලනවා මිස දේශපාලකයා දෙස නොබලයි. පුරවැසියාට වැදගත් වන්නේ ප්‍රතිපත්තිය මිස පුද්ගලයා නොවේ. කොච්චර වැරැදි කළත් හොරකම් කළත් ජඩකම් කළත් ඔහුට නැවත නැවත ඡන්දය දෙන්නෝ ඡන්ද ද‌ායකයන් මිස පුරවැසියෝ නොවෙති. පුරවැසියන් අපරාධකරුවන්ට ඡන්දය දෙන්නේ නැත. අපරාධකරුවන් පාර්ලිමේන්තුවට එවන්නේ නැත. අපචාරකයන් හා අපරාධකරුවන් ගෙදර යවන්නේ පුරවැසියෝ ය. එහෙත් ලංකාවේ එවැන්නක් නොවීමෙන් හෙළිවන්නේ මෙරටෙහි පුරවැසියන් නොමැති බව ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමට මහජනයාට කිසිම වුවමනාවක් නොමැති බව ලංකාවේ දේශපාලකයෝ ඉතා හොඳින් දනිති. ඒනිසා දේශපාලකයාට තිබෙන්නේ තමන් කේන්ද්‍ර කරගත්  දේශපාලනයකි. ජනතාවට තිබෙන්නේ ද තමන් කේන්ද්‍රකරගත් දේශපාලනයකි. එනම් යමක් ලබාගැනීමේ දේශපාලනයකි. දේශපාලකයා පාර්ලිමේන්තුවට යන්නේ තම මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ අභිලාෂ හා උනන්දුවීම් නියෝජනය කිරීමට නොවේ. සල්ලි හම්බ කරන්නේ කොහොමද? කොමිස් ගහන්නේ කොහොමද?

ටෙන්ඩර් ලබා ගන්නේ කොහොමද? ඒවාට සම්බන්ධ වෙන්නේ කා සමග ද? බලය වර්ධනය කරගන්නේ කොහොමද? ඒ සඳහා උදව් ගන්නේ කාගෙන්ද? වැනි අභිලාෂ හා උනන්දුවීම් මත දේශපාලකයා ක්‍රියාත්මක වෙයි. ඔහු පාර්ලිමේන්තුවට යවන මිනිසුන්ගේ අපේක්ෂාව වන්නේ ගමට, ගෙදරට යන එන පාර හද‌ාගන්නේ කොහොමද? වතුර ටික ලබාගන්නේ කොහොමද? රැකියාවේ උසස්වීමක් ලබාගන්නේ කොහොමද? දරුවන්ට රැකියා ලබාගන්නේ කොහොමද? යනාදිය යි. තමන්ගේ ඡන්ද කොට්ඨාසය හා රට ගැන මිනිස්සු නොසිතති.

අල්ලස්, දූෂණ, නාස්ති, බලය අවභාවිතය හා පොදු දේපළ අයථා පරිහරණය යනාදියෙන් තොරව දේශපාලකයන් කටයුතු කළ යුතු බවක් ජනතාව අපේක්ෂා නොකරන නිසා ඒ ජනතා අපේක්ෂාවලට පිටින් කටයුතු කිරීමට දේශපාලකයෝ නොපෙළඹෙති. දේශපාලකයන් මත්කුඩු හා එතනෝල් බිස්නස් නොකළ යුතු බවක් ද ජනතාව අපේක්ෂා නොකරති. එවැනි බිස්නස් කරන දේශපාලකයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් මත්කුඩු ජාවාරමුන්ගෙන් හා එතනෝල් ව්‍යාපාරිකයන්ගෙන් පාර්ලිමේන්තුව දූෂණය වන්නේ නැත. එවැනි ජාවාරම්කරුවන්ට නැවත නැවතත් පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අර්ථයෙන් ගත්විට දේශපාලකයන් එතැනට තල්ලු වෙනවා නොව ජනතාව දේශපාලකයන් එතැනට තල්ලු කරති.  ඒ ජාවාරම්කරුවන්ට ජනතාව අකැමැති නම් මැතිවරණයේ දී ඔවුනට මනාපය නොදී සිටිය හැකිය. මනාප නොදී ඔවුනට පාර්ලිමේන්තුවේ දොර වසා දැමිය හැකිය. එහෙත් ජනතාව එසේ නොකරති. මනාප දෙමින් යළි යළිත් පත් කරති. ජනතාව එසේ කරන්නේ ඒ ජාවාරම්කරුවන්ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තුවෙනි. හොරා හෝ කුඩ්ඩා වුණත් කම් නැත. ඔහු අපේ මළගෙදර පැමිණියේය. හොරකමට, මිනීමැරුමට සම්බන්ධව අත්අඩංගුවට ගත් අපේ මාමා, බෑනා, තාත්තා, පුතා බේරාගැනීමට පොලීසියට බලපෑම් කළේ ය යන පදනමින් ජනතාව ජාවාරම්කරුවා වැළඳගනියි. මෙය ගනුදෙනුවක් මිස දේශපාලනයක් නොවේ.

මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ මැතිවරණ හා සුබ සාධන දේශපාලනයයි. අනුග්‍රහක දේශපාලනය නිර්මාණය වන්නේ ඒ සම්බන්ධය ඇතුළේය. සද‌ාචාරයක් නැති, ප්‍රජාතාන්ත්‍රීකරණය නොවූ නාමික ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ලාංකිකයන්ට ලැබී තිබෙන්නේ එහෙයිනි.
පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සිටින ඇතැම් දේශපාලකයන් කරන අපරාධ ලංකාවේ දේශපාලන සද‌ාචාරය නැති වීමට බොහෝ බලපා තිබේ. මෙරට තිබෙන්නේ ඉතා ප්‍රචණ්ඩ දේශපාලනයකි. මගේ ජීවිත කාලයේ මේ ප්‍රචණ්ඩ දේශපාලනය අත්දුටුවේ 1977 දේශපාලනයේ දී ය. මැතිවරණ කාලයේත් ඉන්පසුවත් ප්‍රචණ්ඩක්‍රියා සිදුවෙයි. ඡන්දයෙන් දිනූ පසු දේශපාලකයාගේ වුවමනාව මත අසල්වැසියාට හිරිහැර කරන්නෝ අසල්වැසියෝම ය. ඒ අනුව දේශපාලන ප්‍රචණ්ඩත්වය තිබෙන්නේ දේශපාලකයන් අතර පමණක් නොවේ. සාමාන්‍ය මිනිසුන් අතර ද ඒ ප්‍රචණ්ඩත්වය පවතී. විරුද්ධවාදීන් පැහැර ගැනීම, අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම් ද දැන් සුලබ ය. ඒ සියල්ල දැන් සාමාන්‍ය කරණය වී තිබේ. ආණ්ඩුවට විපක්ෂයෙන් චෝදනා එල්ලවන විට ප්‍රතිචාර දක්වන්නේ ‘උඹලාගේ කාලෙත් මෙහෙම වුණා’ කියලා ය. එය සෑම ආණ්ඩුවකටම සේම සෑම විපක්ෂයකටත් එල්ල කළ හැකි චෝදනාවකි. බලයට පැමිණි වහාම අපරාධ ගැන සොයා බලා වැරැදිකරුවන්ට දඬුවම් දෙන බව හැම පක්ෂයක්ම කිව්වත් කී දේවල් එලෙස නොකරයි. එසේ වී තිබෙන්නේ අපරාධ මේ ක්‍රමයට අන්තර්ගතව තිබෙන හෙයිනි. ප්‍රචණ්ඩත්වය නැතිව දේශපාලනය කිරීමට කොයි කවුරුත් කැමැති නැත. එය තීව්‍ර වී තිබෙන්නේ මනාප ක්‍රමය හේතුවෙනි. මේ සියල්ලට හේතු වී තිබෙන්නේ ආචාරධාර්මික කරුණු මත පදනම් වූ දේශපාලනයක් මේ රටේ ක්‍රියාත්මක නොවන නිසා ය.

එයට හේතු වී තිබෙන්නේ අපේ රටේ දේශපාලනය චිත්තවේග මත තීරණය වීම ය. ජනතාව තීරණ ගන්නේ හැඟීම් හා ආවේග මත ය. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක තිබිය යුතු මූලධාර්මික දාර්ශනික පදනමක සිටිමින් ජනතාව ක්‍රියාත්මක වන්නේ නැතිකම මේ තත්ත්වයට බරපතළ ලෙස බලපා තිබේ. ජනතාව එසේ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පුරවැසියන් නොවන නිසා ය. ජනතාවට වුවමනා වී තිබෙන්නේ තමන්ට කෑම, බීම ලැබෙන හා තම වෙනත් වුවමනා ඉටුවන දේශපාලන ක්‍රමයක් මිස නිදහස විමුක්තිය හා සමානාත්මතාව සුරක්ෂිත පාලන ක්‍රමයක් නොවේ. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් තම වුවමනා ඉබේම ඉටුවන බව ජනතාව නොසිතති. කල්පනා නොකරති. ලංකාවේ සද‌ාචාරයක් නැති දේශපාලනයක් පවතින්නේ ප්‍රජාතන්ත්‍රිකරණය නොවූ දේශපාලන පද්ධතියක් පවතින හෙයිනි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (2)

ගනු දෙනු ඡන්දය සදාචාරද?

ravi Tuesday, 04 August 2020 02:47 PM

ඔයා දාගෙන ඉන්න කණ්ණාඩි කුට්ටම තමයි ප්‍රශ්නේ... හ්ම්...

:       17       1

Rohana Tuesday, 04 August 2020 05:14 PM

දේශපාලකයන්ට ආවැඩීම මගින් ඔවුන්ගෙන් ඵලප්‍රයෝජන ලබාගැනීමට අපේ මිනිසුන් පුරුදුවෙලා. ප්‍රතිපත්ති දේශපාලනයක් අපට නැතිවීම රට ඉදිරියට ගෙනයාමට බාධාවක් වී තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 374 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 221 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 804 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 599 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 175 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 48 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 313 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site