ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මාණාවලෝකන කෘතිය දොරට වැඩීමේ උළෙල මෙම 25 දා (සිකුරාදා) සවස 4.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරේ. ප්‍රවීණ ගීත රචක සහ ප්‍රවීණ විචාරක ධම්මික බණ්ඩාර මහතා මෙහි ප්‍රධාන දෙසුම ඉදිරිපත් කරයි. ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනීන් රැසක් මෙදින ගී ගැයීමට නියමිතය. සත්සර සම්මාදම රංජිත් බාලසූරිය මහතාගෙනි. සහෘද ඇමතුම අමිල ජයසේකරගෙනි. සහෘද සංවාද කේන්ද්‍රය මෙම උළෙල සංවිධානය කරයි. මතු දැක්වෙන්නේ කෘතියේ රචක ගෝනදෙණියේ විමලජෝති හිමි සහ ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා සමග අප කළ කතාබහක් ඇසුරින් සැකසුණු ලිපියකි.
වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා සුභාවිත ගීත සාහිත්‍යයක් ගොඩනැඟූ රචකයන් සංගීතඥයන් ගායක ගායිකාවන් බොහෝ දෙනා අද වන විට නිහඬව කලකිරීමෙන් සිටින බව ප්‍රකට කාරණයකි. එහෙත් වරින් වර නූතනයේ එම සුභාවිත ගීතයේ වටිනාකම් මතු කරන විමර්ශනාත්මක කාර්යයන්ද සිදු නොවන්නේ නොවේ. එය නූතනයේ අප සතුටට පත්විය යුතු කාරණයකි. තිරය ඇරෙනවා තිරය වැහෙනවා, බාල ළමා වරුනේ, සඳ තනියම රෑ තුන් යම, දුවේ නුඹ මගෙ ප්‍රාණයයි, චක්ගුඩු ගුඩු, වන්නි වන පෙතේ, ජීවිතේ කවියක්, මගෙ අමල් බිසෝ ආදි ගීත රැසක් රචනා කළ ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමි සම්පාදනය කළ නොනිවෙන පහන් සිළ කෘතිය මේ සඳහා හොඳම උදාහරණයකි. විමලජෝති හිමියන්ගේ මේ උත්සාහය ඇහැළියගොඩ මහතා දකින්නේ කෙසේද? ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.
“ගීතයට ඉතාම නරක කලදසාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. සුභාවිතය භාවිත නොවීමේ හා අවප්‍රමාණ වීමේ තත්වයක් තිබෙනවා. ඒ නිසාම අපේ ඇතැම් රචකයෝ උදාසීන වෙලා ගීත නොලියා ඉන්නවා. ඉස්සර වගේ මාධ්‍යවලත් ඒවට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නෑ. මේ හේතු නිසා බොහෝ අය අකර්මණ්‍ය වෙලා. ඒත් මම අකර්මණ්‍ය වෙන්නෙ නෑ. මේ කරන නිර්මාණ ජනතාව අතරට යනවද නැද්ද, මාධ්‍යයේ ඉඩක් තියෙනවද නැද්ද කියලා බලන්නෙ නැතුව මම දිගටම නිර්මාණ කරනවා. ගෝනදෙණියේ විමලජෝති හිමි මම දීර්ඝ කාලයක් තිස්සේ දන්න හඳුනන කෙනෙක්. උන්වහන්සේ දිගු කලක පටන් මා රචනා කළ ගීත විමර්ශනාක්ෂියෙන් යුතුව කියවන කෙනෙක්. හොඳ රසිකත්වයක් තිබෙන කෙනෙක්. මීට පෙරද උන්වහන්සේ ගීත විමර්ශන ග්‍රන්ථ කිහිපයක්ම රචනා කරල තියෙනවා. නොනිවෙන පහන් සිළ කෘතියේ උන්වහන්සේ මගේ ගීත ගැන ඉතා දීර්ඝ විමර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේගේ මෙම විමර්ශන කාර්යය ගැන මම අතිශය සතුටට පත් වෙනවා. මේ කාර්යය මගේ ගීත ගැන ආපසු හැරිල බලන්නට විවර කර දුන් කවුළුවක් කියලා මම හිතනවා.”
ඇහැළියගොඩ මහතාගේ බොහෝ ගීත තම පෞද්ගලික අත්දැකීම් ආදිය ද ආශ්‍රය කරගෙන රචනා කළ ඒවා බව පැහැදිලිය. ඒ බොහෝ ගීත මානව ප්‍රේමය මහ ඉහළින් මතු කරන ඒවාය. විශේෂයෙන්ම කුටුම්භය වටා ගොඩනැගෙන විවිධ සමීප චරිත ඔහු මොනතරම් නිර්මාණත්මක ලෙස ගීතයේ භාවිතයට ගන්නවාදැයි කෙනකුට නිරීක්ෂණය කළ හැකිය. තම ගීතවල ආ ජීවනානුභූතීන් කවරාකාරදැයි ඇහැළියගොඩ මහතා අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
“මගේ ගීත හැම එකක්ම ජීවිතේ ලබාපු අත්දැකීම්වල කිසියම් ප්‍රතිඵලයක් කියල කියන්න පුළුවන්. මේ කිසිම ගීතයක් මම ආයාසයෙන් ලියපුවා නෙවෙයි. නිරායාසයෙන් ලියැවුණු ඒවා. තිරය ඇරෙනවා තිරය වැහෙනවා ගීතය ලියන්න පදනම් වුණේ 1974 දී පාසලේදී මම වින්ද අත්දැකීමක්. ඒක ගීතයක් බවට පත්වුණේ 1983 දී. ඔබ කිව්ව වගේම පවුල, කුටුම්භය කියන සංකල්පය මගේ බොහෝ ගීතවලට පදනම් වුණා. මම හිතන විදියට එය බොහෝ ගීත රචකයන්ට විෂය නොවූ කාරණයක්. ප්‍රේමය වගේ මාතෘකා ගැන මා අතින් ලියැවුණු ගීත ඉතාම අවමයි. වන්නි වනපෙතේ කියන ගීතය මම මගේ තාත්තාගේ ඇසුරේ ලබාපු අත්දැකීම් පදනම් කරගෙන ලියැවුණේ. තාත්තාගේ මරණය දවසේ මට ඇතිවුණු කියැවීම මේ සඳහා විශේෂයෙන් බලපෑවා. මගෙ අමල් බිසෝ ගීතය වුණත් මම පෞද්ගලිකව වින්ද අත්දැකීමක් නොවුණත් මේ රටේ ඒ කාල වකවානුවේ සංචාරක ව්‍යාපාරය නිසා අපේ පවුල් අතර ඇතිවන යම් ව්‍යසනකාරී සිදුවීම් තමයි ඊට මුල් කරගන්නෙ. අන්න බලන් බෙර හඬින් උදම් වී ගීතයේ පවා අදහස මට ආවෙ මගේ තාත්තගෙ අයියා සබරගමු නැටුම් ශිල්පියකු ලෙස මුහුණ දුන් අත්දැකීම් නිසයි. අන්න බලන් ඉදිකඩ ළග කොක්කු රෑන වගේ ඇවිත් ගීතයට මට අදහස ආවෙ මගේ දුව පාසල් යන කාලෙ මට මගේ පාසල් දිවිය මතක් වීමෙන්.”
බණ්ඩාර ඇහැළියගොඩ මහතා තම අත්දැකීම් එසේ විස්තර කළත් 60-70-80 දශකවල අමරණීය ගීත කලාවක් ගොඩනැගූ බොහෝ ගීත රචකයන් බහුල ලෙස විෂය කරගත්තේ ප්‍රේමය විරහව වැනි තේමා බව පෙනේ. එහෙත් ඇහැළියගොඩ මහතා එයින් වෙනස් වෙයි. මේ වෙනසට හේතුව කුමක්ද? ඊට ඔහුගේ පිළිතුර මෙසේය.
“මට හිතෙන්නෙ ඒකට හේතුවක් වෙන්න ඇත්තෙ මම ගීත රචනා කලාවට සක්‍රීය ලෙස දායක වෙන්නෙ යෞවන ප්‍රේමය වගේ මාතෘකා කතා කරන වයසෙන් පස්සෙ. විවාහ වෙලත් දරු මල්ලො ලැබුණටත් පස්සෙ තමයි මම වැඩිපුර ගීත ලිව්වෙ. ඒත් ප්‍රේමය කියන දේ කතා කරන්නට ඒක සීමාවක් ද බාධාවක් ද කියල කෙනෙක් අහන්න පුළුවන්. අජන්තා රණසිංහයන් තමන්ගෙ ජීවිතය පුරාම ඉතාම අපූරු ප්‍රේම ගීත ලීවා. ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, සුනිල් සරත් පෙරේරා, සුනිල් ආරියරත්න, මේ හැම කෙනෙක්ම ප්‍රේමය කියන විෂයත් එක්ක ඉතාම රමණීය ගීත ගණනාවක් ලියලා තියෙනවා. ඒක ඔවුන්ගේ ප්‍රතිභා ශක්තිය. ඒත් මගේ රචනා කලාව වෙන හැඩයක්. ඒත් මම ලියපු හැම ගීතයකම මානව ප්‍රේමය කියන දේ තියෙනවා කියලා මම හිතනවා. මේ මගේ විදිය.
ඒත් වෙනත් රචකයන් ලියූ ප්‍රේම ගීත මම පුදුම ආස්වාදජනක විදියට විඳිනවා. මහගම සේකරගේ
ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
නීල චංචල කිඳුරු දෑසයි
වගේ ගීතයක් මොනතරම් දැනෙනවද? එහෙම ලියන්න බෑ ලේසියෙන්.
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
කියලා කුමාරදාස සපුතන්ත්‍රි ලියනකොට අපිට ඒක කොච්චර දැනෙනවද? මට නම් කවදාවත් එහෙම ලියන්න බෑ. ඒ වගේ අතිවිශිෂ්ට ප්‍රේම ගීත විරහ ගීත ගණනාවක් අපේ ගීත සාහිත්‍යයේ තිබෙනවා. ඒත් මගේ භාවිතාව ඇතුළෙ ඉතාම අඩු සැලකිල්ලක් තමයි විරහ සහ ප්‍රේම ගීතවලට ලැබුණෙ. ඒ ඉතින් මගේ හැටි.”
60-70-80 දශකවල ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ ගීතය අද වනවිට පත්ව ඇත්තේ කවර මට්ටමකටද? ඒ සම්බන්ධයෙන් ඇහැළියගොඩ මහතා අප සමග පළ කළේ මෙබඳු අදහසකි.
“මේ කඩා වැටීම බරපතළයි. ඒත් ඒකට මෙන්න මේ හේතුව කියල එක කාරණයකට ඇඟිල්ල දික් කරන්න බෑ. හේතු රාශියක් තියෙනවා. මීට දශක කිහිපයකට පෙර නිර්මාණ රචනයේ යෙදුණු අයගේ දැනුම අවබෝධය සහසම්බන්ධකම් හොඳ නිර්මාණ බිහිවීමට බලපෑවා. මහගම සේකරලගෙන් මානවසිංහලගෙන් මඩවල රත්නායකලගෙන් පටන්ගත්තාම ඒ හැමෝම නිර්මාණ කළේ ස්වභාව සෞන්දර්යයත් එක්ක බැඳුණු ගීත කලාවක්. සුනිල් ආරියරත්නලා, සුනිල් සරත් පෙරේරලා, ධර්මසිරි ගමගේලා ඊට පස්සෙ මේ මාර්ගයේම ගමන් කළා. සොබාදහමයි ගීත කලාවයි වෙන් කරන්න බැරි තරම් බැඳුණා. ප්‍රේම ගීතයක් ලිව්වත් ඒකෙ තියෙන්නෙ සොබාදහම.
ගලන ගගකි ජීවිතේ දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ ළපලු නටයි ගං තෙරේ
කියලයි මානවසිංහ ලිව්වෙ. මානවසිංහ බෞද්ධ ගීතයක් ලිව්වත් ඒකෙ තිබ්බෙ සොබාදහම.
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩසිටි බුදු සමිදා
එහෙම බලද්දි අපව නිවන සනහන අරුම පුදුම විශිෂ්ට ගීත කලාවක් මේ කාලයේ නිර්මාණය වුණා. ඒකට අවශ්‍ය දැනුම අවබෝධය රසවින්දනය මේ අයට තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක නවකතා ලියනකොට ඔවුන් ඒ දේ කළේ මනා අවබෝධයෙන්. අපේ පරම්පරාවේ අය කළේ නිර්මාණ කරන්න කලින් අධ්‍යයනය කරපු එක. භාෂා දැනුම පවා ඔවුන්ට ලැබුණෙ මේ අධ්‍යනයත් එක්ක. අපි කරපු නිර්මාණ ඒ කාලෙ ගුවන්විදුලිය නිර්ලෝභීව ප්‍රචාරය කළා. රසිකයන් අතරට ගෙන ගියා. ගුවන්විදුලිය එදා අලුත් ගීත නිර්මාණයට විශේෂ තැනක් දුන්නා. මේවා ඇද බැඳ වැළඳගන්නා රසික පරම්පරාවක් සිටියා.
ඒත් විවෘත ආර්ථිකය ආවට පස්සෙ මේ ඔක්කොම උඩුයටිකුරු වෙනව. ඊට පස්සෙ නව තාක්ෂණයේ බලපෑමට ගොදුරු වෙනවා. මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් එක්ක කෙරෙන ගනුදෙනුව වෙනුවට තාක්ෂණික ලෝකයක් රසිකයන් තුළ මැවෙනවා. අද වනවිට පෙර පාසල් දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා ගනුදෙනුව තියෙන්නේ දුරකතනයත් එක්ක. ඔවුන්ට මේ ලෝකෙ සිහියක් නෑ. පොතක් පතක් පුවත්පතක් කියවන්න ඒ අයට ඕනැකමක් නෑ. නිර්මාණ රසවිඳීම කියන එක ගැන කිසිම සැලකිල්ලක් මේ අයට නෑ. මොනවා හරි වචන ටිකක් එකට එකතු කරලා සංගීතය කියලා මොනව හරි භාණ්ඩ ටිකක් වයලා ගීතයක් හදනවා. මේ කාලෙ ගීත නිර්මාණය කරන්න දැනුමක් අවබෝධයක් අත්දැකීම් කිසි දෙයක් අවශ්‍ය නෑ. අද ගායකයෙක් වෙන්න කටක් විතරක් තිබුණොත් හොඳටම ඇති.
මේ හැමදේම නිසා ගීතයේ තියෙන සුභාවිත බව වැදගත්කම අභිබවා නිකම්ම නිකං වචන සෙල්ලම් ටිකක් සංගීත භාණ්ඩවල එකතුවක් හෝ මෙලෝ සිහියක් නැතුව කරන ගායනයක් බවට ගීතය පත්වෙලා තියෙනවා. යූ ටියුබ් නාලිකාවලින් විවිධ විසූක දස්සන ගීත හැටියට එළියට එනවා. මේවා දඩ බඩ ගාල එළියට ඇවිත් ඒ තරම් ඉක්මනටම නැතිවෙලා යනවා. දැන් ඉතින් ගීතය විතරක් නෙවෙයි සියලු ක්ෂේත්‍ර විනාශ මුඛයට යමින් තිබෙන්නෙ. දේශපාලනය, අධ්‍යාපනය, මේ ඔක්කොම දැන් වැහැරිලා තියෙන්නෙ. වර්තමානයේ බොහෝ දෙනකුට හැදෑරීමක් නෑ. අත්දැකීම් එකතු කරගන්නෙ නෑ. ජීවිතේ විඳින්නෙ නෑ. භාෂාව ඉගෙන ගන්නෙ නෑ. ඒ නිසා අද ගීත කියන්නෙ නිකම්ම නිකං වචන ටිකක් විතරයි. ඒ වචනත් හරසුන් බොල් විප්‍රකාර. යූටියුබ් එක බලපුවාම ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්.
මේ වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්වයට අපි හැම කෙනෙක්ම වගකියන්න ඕනෑ. පරිපාලනයේ ඉඳල පහළම තැන දක්වා හැම කෙනෙක්ම. අපි ඉන්නෙ සංස්කෘතික ප්‍රතිපත්තියක්වත් නැති රටක.
(***)
සටහන
ගාමිණී කන්දේපොළ
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
himal Wednesday, 23 April 2025 08:55 AM
මෙතුමා වටිනා නිර්මාණ කරලා තියෙනවා... ඒක හරි. ඒ වුණාට ඕනෑම කාලෙක දැන් බිහිවෙන නිර්මාණ ගන්න දෙයක් නැති කතාව ඒ ඒ කාලයේ සමහරු කියන කතාවක්නේ. ඉස්සර එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීත විවේචනය කළා... ඒත් අදටත් ඒ නිර්මාණ ජනප්‍රියයි, ඔහුගේ හොඳ නිර්මාණ ගැන දැන් කතිකාවතක් තියෙනවා. ලංකාවේ එළි දකින හැම නිර්මාණයම ලුම්පන් නෑ. අභව්‍ය නෑ. එහෙම කියනවා නම් ඇයි හොඳ නිර්මාණයක් කරලා ඒක සමාජ මාධ්‍යයේ මුදා හරින්නේ නැත්තේ? සරලම දේ, ඉස්සර එක්තරා කලාකරුවෙක් කිව්වලු, මල්ලි එයාලා ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ. ඔන්න ඕක තමයි කියන්න තියෙන්නේ.
randil dunuwille Friday, 25 April 2025 05:06 PM
සීයට සියක් ඇත්ත හරසුන් නිර්මාණ. රස විඳින අද රසිකයිනුත් මේවාට වගකිව යුතුයි.