IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


ඛේමාගේ කොලුවාත් ගිය වගයි


මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වැනි සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සැමරුම් ශාලාවේදීය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූයේ 1989 පෙරවාරි 15 වැනි දින පැවැති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයකු වශයෙනි.

කලින් විදේශ කටයුතු ඇමැතිවරයා වූ “ඛේමාගේ කොලුවා” වන මංගල සමරවීර ඒ වනවිට මුදල් ඇමැති ලෙස යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහුගේ මෙම සැමරුම් උත්සවයට ආරාධිත දේශකයා ලෙස පැමිණියේ ඇමෙරිකානු යුද වාර්තාකාරිනියක් වූද, ඇමෙරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරියක වූද, බරාක් ඔබාමා ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වූද, ජනාධිපති ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වූද, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක් වී පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වූ යම් පමණක ආන්දෝලනාත්මක චරිතයක් වන සමන්තා පවර්ය. ඇය කතාව ආරම්භ කෙරුවේ මංගලගේ ආරාධනය මොනම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් මේ හදිසි ගමන පැමිණීමට ඇයට සිදුවූ බව කීමෙනි. යහපාලන ආණ්ඩුවේ ආරම්භක විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් මංගල වගා කරගත් ප්‍රතිරූපය සතුවූ ආකර්ෂණය එවැනි විය.

මේ රටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතුරෙන් ලක්ෂ්මන් කදිර්ගාමර් සහ මංගල සමරවීර විශේෂ යැයි බොහෝ දෙන කියති. ඔවුන් බහුතරය වැඩි බරක් තබන්නේත් කැමැත්තක් දක්වන්නේත් එනමුත් කදිර්ගාමර් ඇමැතිවරයාට ය. ඒ දෙපළ සැසඳීමේදී දැකිය හැක්කේ විදේශ කටයුතු ඇමැති ලෙස අසීරු කාර්යන්ට උර දෙන්නට සිදුවූයේ මංගලට බවය. චන්ද්‍රිකා කුමාරතුංග අගමැති වූ පසු 1994 අවසන් කාර්තුවේ සිට (2001 දෙසැම්බරයේ සිට 2004 අප්‍රේල් දක්වා කාලය හැර) කදිර්ගාමර් ඇමැතිවරයා 2005 අගෝස්තුවේදී ඝාතනය කරනු ලබන විටද මෙරට සිවිල් යුද්ධය බටහිර බලවතුන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමට මානුෂීය අර්බුදයක් නොවීය. එබැවින් කදිර්ගාමර් ඇමැතිවරයාට තිබූයේ එල්.ටී.ටී.ඊය ලොව රටවල් වැඩි සංඛ්‍යාවක තහනම් කරවා ගැනීමේ වගකීම පමණය. ඒ වෙනුවෙන් මෙරට සිංහල-බෞද්ධ දේශපාලනයෙහි ඔහුව වීරයකු ලෙස වැළඳගනු ලැබූයේ ඔහු දෙමළ ජාතිකයකුද වූයෙනි. එහෙත් දෙමළ සමාජයෙහි ඔහුට දෙමළ ජාතිකයකු යැයි එතරම් පිළිගැනුමක් නොවුණි.

සිංහල-බෞද්ධ සමාජයේ දෙමළ විරෝධී මුහුණතක් දෙනු ලැබූ එල්.ටී.ටී.ඊයට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේ ජයග්‍රාහීව අවසන් කෙරුණු පසු එය අවසන් කෙරුණු ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් හා ගැටුම් නිරාකරණය කිරීමේ ආයතන හා සංවිධාන විසින් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කෙරිණ. බටහිර බලවත් රටවල්ද එලෙසින්ම ලංකාණ්ඩුවට එරෙහිව යුධ අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වග නොවීම් වැනි චෝදනා එල්ල කළහ. එවැනි අපරාධ සඳහා ආණ්ඩුවේ නායකයන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් උපරිම දඬුවම් ලබා දිය යුතු යැයි දෙමළ ඩයස්පෝරාව ලොකු ඝෝෂාවක් නැගූහ. ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව 2009 සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි හැම සැසි වාරයකම යෝජනා සම්මත කෙරෙන්නට විය. විදේශ කටයුතු ඇමැති වශයෙන් මංගල මුහුණ දෙන්නේ මේ අභියෝගවලටය.

ඔහුගේ හැකියාව ගැන එකල කොළඹ ප්‍රභූ සම්බන්ධකම් පමණක් නොව, වෘත්තිකයකු ලෙසද ඉහළ පිළිගැනුමක් තිබූ අයකු මා සමග කියූවේ, “මංගලට පින්සිද්ධ වෙන්න දැන් ඕනෑම එයාපෝට් එහෙක අපේ පාස්පෝට් එක දිගු කරන්න පුළුවන් ලැජ්ජා නැතුව” යැයි කියා ය. ඔහු කියුවේ ඊට පෙර කාලයේ පිටරටකදී ශ්‍රී ලාංකිකයකු යැයි කියූ විට අනෙකා බලන බැල්මෙහිද බාල්දු අපහාසාත්මක පෙනුමක් තිබුණු බවය.

නිදහසින් පසු අපගේ දෙවැනි පරම්පරාවේ කසි කබල් දේශපාලනඥයන් අතරින් මංගල අනෙක් හැමට වඩා වෙනස් වන්නේ ඇත්තටම ප්‍රතිපත්ති ගරුක ලිබරල් දේශපාලනයක් නිසාම නොවේ. මහ බැංකුව දක්වාම යෝධ දූෂණ දිගු ඇදෙන ඉහ වහා ගිය අතිශය දූෂිත දේශපාලන සංස්කෘතියක “මිස්ට ක්ලීන්” පවා මහපරිමාණ දූෂණ සඳහා වගකිව යුතු වූ රටක, මංගල සමරවීර ආණ්ඩු පාලන යුග දෙකක කිසිදු දූෂණ වංචා චෝදනාවක් නොමැති ඇමැතිවරයකුව සිටීම ම ඉතාම ගෞරවනීය පැවැත්මකි.

එලෙසින් මා 1988 සිට ඉතා සමීපව හඳුනාගෙන සිටි, නිතර මා සමග ඉතාම සුහද නමුත් බරපතළ වාද විවාද වල පටලැවුණු මංගලගේ ගති ලක්ෂණ අතර වූයේ දූෂණයෙන් තොර පෞද්ගලිකව අවංකයකු වීම පමණක්ම නොවේ. වර්තමානයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ අති බහුතරයක් දේශපාලනඥයන් නොකරන වැදගත් පොත පත කියවීම, ඉහළ සෞන්දර්යාත්මක අගයක් ඇති සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය කලාව ඇසුරු කිරීම ඔහුගේ ඉතාම වැදගත් ලක්ෂණයක් විය.

ඒ දියුණු “සංස්කෘතික සත්වයා” කාටත් හඳුනාගත හැකිවන ලෙස එක් සිදුවීමක් මංගලට කෙරෙන ගෞරවයක් ලෙස මෙහි සටහන්කර තැබිය යුතු යැයි සිතමි. ඇමෙරිකාවේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ ප්‍රාථමික තරග වටයේ අවසානය පැමිණ තිබුණි. එදින රාත්‍රියෙහි මංගලගේ නිවසෙහි අල්ලාප සල්ලාපයේ යෙදී සිටි අප අතර වාදය වූයේ ඩිමොක්‍රැටික් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ය. මගේ තේරීම බරාක් ඔබාමා වූ අතර මංගල තර්ක කෙරුවේ හිලරි ක්ලින්ටන් වෙනුවෙනි. ඉන් සති කිහිපයකට පසු මංගල ලන්ඩන් බලා පිටත්ව ගියේය. ඔහු පෙරළා පැමිණියේ (2008) මැයි මාසයේ 23 වැනි දිනය. ඒ වනවිට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබාමා තේරී සිටියේය. පුරුද්දක් ලෙස ගුවන් යානයේදී කුමක් හෝ පොතක් කියවන මංගල ඒ සඳහා පොතක් ගැනීමට හීත්රෝ ගුවන් තොටුපොළේ පොත් සාප්පුවකට ගොඩ වන්නේය. එහිදී බරාක් ඔබාමා ලියූ සිය පියා සම්බන්ධ මතක සටහන් සහිත පොත (Dreams From My Father) දුටු විගස ඔහු එය තෝරා ගන්නේය. මෙහි පැමිණි වහා ඔහු එය මට තෑගි කළේය. එහි ඔහුගේ අත්සන සමග “හිතවත් කුසල්, විනාශවන අපේ රටට යහපත් අනාගතයක් ලබාදීමට නොබියව සිහින මවන ඔබට මෙය තිළිණයකි” යැයි ඉංග්‍රීසියෙන් සටහනක් තබා තිබිණ.

පාර්ලිමේන්තුවේ 225 අතර මංගල හැර වෙනත් එවැනි කෙනකු තෝරා ගැනීමට සිටීදැයි මට වහා ප්‍රශ්නයක් ඇති විය. එවැනි පොත් කියවන? තවත් පොත් කියවන්නකුට පොතක් තෑගි කළ යුතු යැයි හිතන?ඔහු දියුණු “සංස්කෘතික සත්වයකු” යැයි කීවේ එනිසාවෙනි. එහෙත් මේ වැනි දියුණු සංස්කෘතිකයක් සමගින්වන මංගල හැම කාරණාවකදීම එසේ නොවන බවත් මෙහි සටහන් කළ යුත්තේ මෙය මිය ගිය හිතවතකු පිළිබඳව කෙරෙන සම්ප්‍රදායික ස්තෝත්‍රයක් නොවන හෙයිනි.

මංගල සමරවීර පැතිකඩ කිහිපයක් සහිත දේශපාලනඥයෙකි. එකක් ඔහුට බාර කෙරෙන ඕනෑම වැඩක් කැපවීමෙන් හා අවංක මහන්සියකින් කිරීමය. අනෙක ඔහු හැම විටම දේශපාලන බලය සඳහා දැක්වූ අධි තෘෂ්ණාවය. ඊළඟට ඔහුගේ වෘත්තීය සුදුසුකම් අනුවම ඔහු අලුත් නිර්මාණ සමගින් ඔහුගේ වටපිටාව සැරසීමට උනන්දු වීමය.

ඔහු ගොඩවන හැම අමාත්‍යාංශයක්ම ලස්සන සුවපහසු තැනක් ලෙස සකසා ගැනීමට ඔහු පසුබට නොවීය. ඔහු 2007 රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් පසු සිංහලවාදී පෞද්ගලික රූපවාහිනියක කෙරුණු සාකච්ඡාවකදී එය මෙහෙයවන්නිය ඔහු දූෂිත යැයි කීමට දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ඔහු අමාත්‍යාංශය අලුත්වැඩියා කිරීමට දැරූ වියදම ගැන කීමෙනි. එයට පිළිතුරු දෙමින් මංගල කියුවේ, “මට වැඩ කරන තැන ලස්සනට පිළිවෙළට තියෙන්න ඕනේ. මට වෙන අය වගේ ගුබ්බෑයම්වල වැඩ කරන්න බැහැ. රජයේ කාර්යාල වලට යන්න. ඒවායේ කොහොමද වැඩ කරන්නේ? ඒවට උදේට ආවම වැඩක් කරන්න හිතෙනවද?” යනුවෙනි. ඔහු කියූ අයුරු ගුබ්බෑයම් ලෙස පැවැති තැපැල් කාර්යාලද අලුත් කෙරුණේ මංගල විෂය භාර ඇමැති වූ පසුවය.

දේශපාලන බලය සඳහාවූ ඔහුගේ අධි තෘෂ්ණාව අන් සියල්ලට ඉහළින් තිබුණකි. එනිසා බලය තහවුරුකර ගැනීමේදී අද බොහෝ දෙනා ඔහුගේ ගුණ ගයන්නට කියන “ප්‍රතිපත්ති ගරුක ලිබරල් මංගල” හිටියේ නැත. ඔහු සාම සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටි වික්‍රමසිංහට විරුද්ධව දකුණේ සියලු ජාතිවාදී කණ්ඩායම් ගොනු කරනු ලැබූ 2005 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරුවකු වූයේ ලිබරල්වාදය වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමග ආණ්ඩු බලය සඳහාය.

එයට ඉතාම හොඳ නිදසුන ඔහු ලබා දුන්නේ 2001 දෙසැම්බර් මැතිවරණ පරාජය සමගය. ඒ මැතිවරණයෙන් බලයට පැමිණි වික්‍රමසිංහගේ එ.ජා.ප. ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබුණේ විපක්ෂය නියෝජනය කළ විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගිනි. වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුවේ බරපතළම හා දැවැන්තම දේශපාලන කටයුත්ත වූයේ නෝර්වේජියානු මැදිහත්කරුවන් සමග එල්.ටී.ටී.ඊය හා ආරම්භ කළ සාම සාකච්ඡාය. ඒ වෙනුවෙන් අන් කවරදාකවත් නොවුණු ආකාරයේ සටන්විරාමයක්ද පවත්වා ගත යුතුව තිබිණ.

ජනාධිපති කුමාරතුංගගේ 1995 ජනවාරියේ ආරම්භ කෙරුණු අළස සාම සාකච්ඡා බිඳ වැටුණු පසු ආරම්භ වූ “සාමය සඳහා යුද්ධය” යැයි නම් කෙරුණු යුද්ධය අතරතුර දකුණේ සමාජය බලය බෙදීමකට සූදානම් කිරීමේ මතවාදය වෙනුවෙන් චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ලෙස “සුදු නෙළුම්” සමගින් “තවලම්” ගිය මංගල, 2002 පෙබරවාරියේ වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ සටන් විරාමයට හා සාම සාකච්ඡාවලට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස විරුද්ධ වන විට, ඔහුට ලිබරල්වාදයක් අවශ්‍ය නොවුණි. ආණ්ඩු බලය නැවත ලබා ගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව අස්ථාවර කිරීමට එදා අන්ත ජාතිවාදී කණ්ඩායම් මංගල හවුල් කර ගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඉතාම නිර්ලජ්ජී ලෙස යොදා ගෙන වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යධුර පවරා ගනිමින් ඒ ආණ්ඩුව විසුරුවා හැරි චන්ද්‍රිකාගේ සැළසුමෙහි චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයා වූයේද මංගල ය.

එවගේම බලය වෙනුවෙන් ඔහු ප්‍රතිපත්ති පැත්තකින් තැබීමේ අනෙක් අවස්ථාව දැකිය හැක්කේ 2010 ජනාධිපතිවරණයට යුද සෙන්පතියකු ලෙස වර්ණ ගැන්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තොරම්බල් කිරීමෙහිදීය. ජනාධිපති කරවීමට වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජෙනරාල් ෆොන්සේකා යැයි රට පුරා යන විට, සමාජයම හමුදාකරණය කිරීමේ මතවාදයකට ඉන් යටත් කෙරෙන බව ඔහුට ඒ මොහොතේ අදාල නොවුණකි.

මංගල නැවත සැබෑ ලිබරල්වාදියකු වන්නේ 2020 දී සම්මත පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් ඉවත් වන්නට සිදුවූ පසුවය. ඔහු හා වැඩි දේශපාලන එකඟත්වයක් තිබූ අගමැති වික්‍රමසිංහ වෙනුවට ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස පෙරට ගැනීමට අවශ්‍ය එ.ජා.පයේ පිරිස් ගොනු කරන්නට මංගල අත ගසන්නේ වික්‍රමසිංහට වඩා සජිත් ආකර්ශනීය ජනාධිපති අපේක්ෂකයකු වන්නේ යැයි විශ්වාස කළ හෙයිනි. නැවත ආණ්ඩු බලය ගැන ගණන් හැදීමේදී ජයග්‍රහණය සඳහා ඔහුට ඔහුගේ ලිබරල්වාදයට වඩා එනිසා සජිත්ගේ සිංහල-බෞද්ධ ආටෝපය වැදගත් විය. එහෙත් 2019 නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාට රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශප්‍රේමය තරම් වෙන කිසිවක් වැදගත් නොවුණි.

ජනාධිපතිවරණයේ සජිත්ගේ පරාජයෙන් පසු මංගලගේ උපාය වූයේ රාජපක්ෂ දේශපාලනයේ සිංහල-බෞද්ධ ජාතිවාදය අභියෝග කිරීමෙන් පාර්ලිමේන්තු මැතිවරණය දිනා ගැනීමය. ඔහුගේ ගණන් හැදීමට අනුව රට පුරා දෙමළ හා මුස්ලිම් ඡන්ද සාම්ප්‍රදායික එ.ජා.ප. ඡන්ද වලට එකතු කිරීමෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ ඇති බවය. ඔහුගේ දේශපාලන සූත්‍රය දිරවන පිරිසක් එනමුත් සජිත්ගේ සමගි ජන බලවේගයේ නොවුණි. නාමයෝජනා බාර දීමෙන් පසුව මංගලට සජිත්ගේ දේශපාලන හවුලෙන් ඉවත් වන්නට සිදු විය. ඔහු මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වන්නේ නැවත රාජපක්ෂලා සමග සම්මුති ගැසීමට සූදානම් නොවූයෙනි. දේශපාලන ස්වාධීනයකු ලෙස ඔහුට ඒ අනුව ඉතිරිවූයේ ඔහුගේ ලිබරල් දේශපාලනය විකල්පයක් ලෙස කතා කිරීම සඳහා වේදිකාවක් ගොනුකර ගැනීම පමණය.

බලය වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති නොතැකූ මංගල මට අනෙක් සියලු දෙනා හා ගත් කල සාපේක්ෂව වැදගත් වූයේ ඔහුගේ බල ව්‍යාපෘති නොතැකූ නිදහස් හා නොවෙනස්වන දේශපාලනයක්ද ඔහු සතුව තිබූයෙනි. බල දේශපාලනයේ සම්මතයන් නොතකා ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටි හෙයිනි. ඒවා එනමුත් පරිධියේ දේශපාලන ස්ථාවර විය. ඒවායේ වැදගත්කමක් තිබූයේ නාගරික මැදපංතික අලුත් පරම්පරාවන්ට පමණි. ඔහුගේ “රැඩිකල් මැද මාවත දේශප්‍රේමය” විසින් ආමන්ත්‍රණය කෙරුණේද ඒ සමාජ ස්ථරයන්ය. ඉන් එහා දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැතැයි මට විටෙක සිතුනි.

ඔහුගේ සීමා තේරුම් ගැනීමේ අවධියකට ඔහු ඒ වනවිට පැමිණ සිටියේය. ඔහු අපගෙන් සමුගෙන යන්නේ ඒ අවබෝධය ඇතිව ඔහුගේ අලුත් අත්හදා බැලීමට අවශ්‍ය කාලය ලබා නොගෙනය. ඔහු වෙනුවෙන් මා කනගාටු වන්නේ එනිසාවෙන් සහ ඊටත් වඩා, වාද විවාද කළ හැකි දියුණු සංස්කෘතික සත්වයකුද අපට අහිමිවුණු නිසාවෙන්ය.

(*** කුසල් පෙරේරා)



අදහස් (10)

ඛේමාගේ කොලුවාත් ගිය වගයි

jayath Monday, 30 August 2021 12:04 PM

මංගල ගැන මම දැකපු හොදම විවේචනය . කව්රුත් කලේ මලාට පසු ඔහුට සුදුහුණු ගාපු එක . නමුත් මේ ලියුම්කරු ඔහුගේ අදුරු පැත්ත ගැනත් ඇත්ත ලියල තියනවා . මගේ මතයත් මොන අඩුපාඩු තිබුනත් දැන් අපි දකින දේශපාලන මී හරක් ට වැඩිය මංගල දහස් වාරයක් හොදයි

:       4       38

senaMonday, 30 August 2021 04:36 PM

2002 පෙබරවාරියේ වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ සටන් විරාමයට හා සාම සාකච්ඡාවලට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස විරුද්ධ වන විට, ඔහුට ලිබරල් වාදයක් අවශ්‍ය නොවුණි. ආණ්ඩු බලය නැවත ලබාගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව අස්ථාවර කිරීමට එදා අන්ත ජාතිවාදී කණ්ඩායම් මංගල හවුල් කර ගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඉතාම නිර්ලජ්ජී ලෙස යොදාගෙන වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යධුර පවරා ගනිමින් ඒ ආණ්ඩුව විසුරුවා හැරි චන්ද්‍රිකාගේ සැළසුමෙහි චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයා වූයේද මංගලය. “ඛේමාගේ කොලුවා” මේ වන විට ඔහු ජීවිතයෙන් සමුගෙන තිබේ. නමුත් ඔහු පිළිබඳ දන්න අය කොලුවා කවුද කියා හොඳින් දනියි.

:       2       9

sena Wednesday, 01 September 2021 04:40 AM

“ඛේමාගේ කොලුවා” මංගල අවස්ථා කිහිපයකදී මාධ්‍ය සාකච්චා පවත්වා මසේ කියා සිටියේය. අපි රනිල්ගේ ආණ්ඩුව 2004දී පරජය කරපු එක ලොකු වරදක්. අපි එහෙම නොකලානම් අද ලංකාව ලෝකයේ දියුණු රටක්. අපි ඒ ගමන කණගාටු වෙන බව ඔහු කියා සිටියේය. අද රට වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයන් වසයෙන් රටට සකතිමත් දේශපාලන පදනමක් දැමිය යුතු බව ඔහු කියා සිටියේය. ඔහු මෙසේ කියා සිටින්නේ ආණ්ඩු කිහිපයක කැබිනට් තනතුරු දරා දේශපාලනයෙන් ඉවත්වූ පසුබිමක සිටය. තනතුරු දරන්නාවූ අත්සන් වලදී ශ්‍රී ලාංකික අනන්‍යත්වය පිලිබදව කිසිවක් නොකියන දේශපාලකයන් දේශපාල නයෙන් ඉවත් වු විට රට එක්සේසත් කිරීමට හෝ රට ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රටක් කිරීම පිලිබදව කතා කරන්නේ බලයේ සිටින විට මොලය නැති නිසා ද ,නොඑසේනම් අවස්ථාවාදයද කියා ජනතා වට ප්‍රශ්නයක් තිබේ. මංගලව විවේචනය කිරීමට අපට අවශ්‍ය තවක් නොමැත. නමුත් ඔහුට අවසානයේ හෝ ඔවුන් විසින් වරදක් වී ඇති බව අවබෝදවී එය ප්‍රසිද්ධියේ කියා සිටීම අගය කරමු.

:       1       8

Mangala Monday, 30 August 2021 01:29 PM

'ඔහුගේ හැකියාව ගැන එකල කොළඹ ප්‍රභූ සම්බන්ධකම් පමණක් නොව, වෘත්තිකයකු ලෙසද ඉහළ පිළිගැනුමක් තිබූ අයකු මා සමග කියූවේ, “මංගලට පින්සිද්ධ වෙන්න දැන් ඕනෑම එයාපෝට් එහෙක අපේ පාස්පෝට් එක දිගු කරන්න පුළුවන් ලැජ්ජා නැතුව” යැයි කියා ය. ඔහු කියුවේ ඊට පෙර කාලයේ පිටරටකදී ශ්‍රී ලාංකිකයකු යැයි කියූ විට අනෙකා බලන බැල්මෙහිද බාල්දු අපහාසාත්මක පෙනුමක් තිබුණු බවය.' අපිත් පිටරට යනවා. ඒත් ඔය කියන හැගීම නම් කවමදාවත් ඇවිත් නැහැ. කොහොමත් ලංකවෙන් කිව්වහම ඉන්දියාවට, පකිස්ථානයට සහ බංගලාදේශයට වඩා පිලිගැනීමක් නම් තියෙනවා.

:       4       19

Piumal Monday, 30 August 2021 01:55 PM

ඉතා හොද ලිපියක්

:       3       8

Deepal Nirosh Monday, 30 August 2021 02:42 PM

ඉතා හොඳ සමබර විග්‍රහයක්, හැබැයි 2016 දි එජාසං ලංකාවට එරෙහිව ගෙනා යුදපරාධ යෝජනාවට රාජ්‍ය නායකයාටත් හොරෙන් විදේශ ඇමති ලෙස සම අනුග්‍රහය දැක්වීම නම් මංගල දේශපාලන දිවියේ නො මැකෙන කළු පැල්ලමක්. ඒ වගේම හිටපු වීර යුද හමුදාපති සරත් ෆොන්සේකාට බොරු සමීක්ෂණ වාර්තාවක් පෙන්වා 2010 දි අමාරුවේ දැමීමත් එවැනිම ක්‍රියාවක්. ලාංකිකයෙක් විදියට තමුන්ගෙ අනන්‍යතාව ලොව කොතැනක හෝ පෙන්වීමට යමෙක් මැළි වේ නම් එය ඔහුගේ පෞරුෂ දුබලතාවක් මිස වෙනකක් නොවේ.

:       2       13

මැක්ස් Monday, 30 August 2021 08:01 PM

කුසල් පෙරේරා මහත් උජාරුවෙන් කියන එයාගෙ හිතවත් පැලැන්තියේ අනිත් අය නොදකින හෝ දකින්නට උවමනාවක් නැති කරුණ වන්නේ ශ්‍රී ලංකාව කොටි හටනින් පරාජය වූයේ නම් ඔය කියන රටවලින් අපට පිළි ගැනීමක් ලැබුණත් එය කමකට නැති පිලිගැනීමක් බවයි.

:       2       9

Vithana Tuesday, 31 August 2021 04:37 AM

ජනතාවගේ මානව හිමිකම් රැකදීම වෙනුවෙන් කළ උදාර මෙහෙවර වෙනුවෙන්, විශේෂයෙන්ම 88-89 භීෂණ සමයේ මව් පෙරමුණ පිහිටුවාගෙන කළ උතුම් සේවය වෙනුවෙන් නැවත මිනිස් ආත්මයක්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මළ මිනිසුන් සේ ඉන්නා පාලකයින් සිටින සමයක ඔබගේ වියෝව බලවත් පාඩුවකි.

:       1       0

Nishan Tuesday, 31 August 2021 04:55 AM

කුසල්ගේ විග්‍රහයෙන් ඔප්පු වන දෙයක් තමයි ලංකා දේශපාලනයේ ප්‍රතිපත්ති රැකගෙන දේශපාලනය කරන්න තියෙන අපහසුකම... ආණ්ඩුව සහ විපක්ෂය බලපෙරේතකම නිසා එකිනෙකාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක සිටිනවා විනා රටේ දියුණුවට සහ යහපතට අදාලව ප්‍රතිපත්තිවල නෑ. ඒ තත්වය රටේ අක්මුල් නෑරම මුල් බැහැගෙන තියෙන නිසා තමයි ඉතිහාසයේ අපිට අපේ රට ගොඩ ගන්න තිබුණු ස්වර්ණමය අවස්ථා ගණනාවක් අතපසු වුනේ.... මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය බිහිකිරීමට බලවත් චරිතත් වගකිව යුතුය. දැන් සැපද කියලා එදා අහපු අයට දැන් ඊට වඩා සැප දුක් සොයා බලන්න සිදුවී තිබෙන හැටි අපිට පෙනී යාමෙන් ඔප්පු වෙන්නේ ඒ යතාර්ථයයි. හැබැයි මංගල අවසාන කාලයේ එලිපිට එහි වගකීම බාර ගත්තා. ඒ ඔහුගේ හෘද සාක්ෂිය කටින් පිටවුණු නිසා සහ ඔහු අවංක නිසා. ඒත් ඔහුට වඩා බලවත් ලෙස තීන්දු තීරණ ගත්තු සහ අද ගන්න උදවිය මේ තත්වයට වඩා වගකිව යුතු බව මතකේ තබාගත යුතුයි.

:       0       0

චමින්ද ඉලංගකෝන් Tuesday, 31 August 2021 10:04 AM

මංගල සමරවීර මහතාගේ ජීවිතය අළලා ඔබ විසින් සිත්තම් කරන ලද ලිපිය ඉතා කාලීන වූත්, අර්ථාන්විත වූත් ලිපියක් බව මෙහිලා කෘතවේදිව සඳහන් කරනු කැමැත්තෙමී. ඊට එතුමාගේ පියාණන් වූ මහානාම සමරවීරයන් පිළිබඳවද කෙටි සටහනක් තැබුවේ නම් මැනවි. මා අසා ඇති පරිදි එතුමා සමගි පෙරමුණු රජයේ නිවාස ඇමැතිවරයා වූ නමුත් නිවසක් නොතිබුණු අයෙකි. දෝෂාභියෝගයකදී සිරිමාවෝ මැතිණිය එක් ඡන්දයකින් පරාජය කිරිමට සමත් වූ අයෙකි. මා වැරදි නම් නිවැරදි කරන්න. ඔබට බෙහෙවින්ම ස්තුතියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

හදිසියේ ඉස්මතු වූ ජනපති සටන
2024 පෙබරවාරි මස 28 1819 2

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහ


සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු
2024 පෙබරවාරි මස 28 291 0

‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි. එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති. ඒ ගමනට සම්මාන ල


රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය එකම විසඳුමද?
2024 පෙබරවාරි මස 27 349 6

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසය නිදහසින් පසු ආණ්ඩු ආර්ථික සංවර්ධනයේ සහ ජාතිය ගොඩනැගීමේ මාවතකට අවතීර්ණ වූ යුගය දක්වා දිව යයි. 1950 සහ 1960 ගණන්වල ජනසතු


මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
2024 පෙබරවාරි මස 27 489 1

වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර ත


​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 375 3

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 307 2

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 393 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site