IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


කළු ආර්ථිකයකට මාර්ග පාදන අල්ලස දූෂණය

අද වනවිට ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වංචාව දූෂණය සම්බන්ධ කාරණය සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. දකුණු ආසියාවේත් ආසියාවේ බොහෝ රටවලත් සංඛ්‍යා දත්ත සැලකිල්ලට ගත් කල්හි වංචා දූෂණවල මෑත කාලීන වර්ධනයක් දත හැකිය. බොහෝ දියුණු රටවල මේ තත්වය අවම වුවත් වරින් වර දූෂණ චෝදනා එල්ලවීමෙන් ඇතැම් රාජ්‍ය නායකයන්ට තම ධුරවලින් ඉවත්වීමට සිදු වූ අවස්ථාද දක්නට ලැබේ.

වංචාව – දූෂණය රටක වර්ධනයවීමට හේතුව කුමක්ද? ඊට බලපාන්නේ පුද්ගලයන්ගේ උගත්කම, ආර්ථික ශක්තිය හෝ රටේ දියුණුව ආදියම නොවේ. එය පුද්ගලානුබද්ධව මිනිසුන් විසින් තීරණය කරනු ලබන කාරණාවකි. මුලින් කී ලෙසම දියුණු රටවල ඇතැම් රාජ්‍ය නායකයන්ද දූෂණ වංචා චෝදනාවලට ලක්වුවත් එය හෙළිදරව් කිරීමට අවශ්‍ය තරම් නීති රීති සමුදායක් ඒ රටවල ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එහෙත් ගැටලුව වන්නේ අපේ රටේ එවන් ගැටලුවකදී ප්‍රමාණවත් නීතිරීති පද්ධතියක් පැවැතියේද යන්නයි. මෙරට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව තිබුණත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව තිබුණත්, එම ආයතන සඳහා පැවැති බලතලවල ප්‍රමාණාත්මක අඩුපාඩුවක් පසුගිය දශක හය හත දෙස බැලීමේදී අපට හඳුනාගත හැකිය.

එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට යටත්ව යම් යම් ආයතන දිගින් දිගටම ප්‍රශ්න කිරීමත් එයින් රට හුදෙකලා වීමට තිබූ අර්බුද නිසාත් වංචා - දූෂණ සම්බන්ධ ප්‍රශ්නය සඳහා රජයට සක්‍රීයව මැදිහත්වීමක් වීමට සිදුවිය. එය මෑත කාලයේ අප ලැබූ ජයග්‍රහණයක් සේ සැලකිය හැකිය. 2023 අංක 09 දූෂණ විරෝධී පනත එන්නේ ඒ අනුවය. එම පනතෙන් සැලකිය යුතු මට්ටමක බලතල හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ. රාජ්‍යය ක්‍රියාත්මක කිරීමේදී මෙම පනත අලුත් වැදගත් පියවරක් සේ සැලකිය හැකිය.

මිනිසුන් අල්ලසට. දූෂණයට, වංචාවට යොමුවන්නේ ඇයිද යන්න මෙහිදී ගැඹුරින් සොයා බැලිය යුතු සමාජ විද්‍යාත්මක කාරණයයි. ඊට එක් හේතුවක් නම් මිනිසුන්ගේ තෘප්තියේ සීමාවක් නොමැතිවීමයි. ආශාවේ වැඩිවීමයි. එවිට ඔවුහු තව තවත් එකතු කරගැනීමට, ලබාගැනීමට නෛතික වශයෙන් පමණක් නොව අනීතික වශයෙන්ද පෙළඹෙති. මේ තත්වය ආයතන භේදයකින් තොරව වාර්තා වන්නකි. පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තු, වනජීවී අංශ, භාණ්ඩ ප්‍රවාහන අංශ, ඉදිකිරීම් ක්ෂේත්‍ර ආදියෙහි පවා වංචාව දූෂණය ප්‍රධාන වශයෙන් වාර්තා වන අවස්ථා නැත්තේ නොවේ. පසුගිය දශක දෙක තුළ මේ තත්වය සැලකිය යුතු මට්ටමට වර්ධනය වී ඇති බව පැහැදිලි කරුණකි.

දූෂණ දර්ශකය අනුව ලෝකයේ රටවල් 180 අතරින් ලංකාව පැවැතියේ 115 වැනි ස්ථානයේය. එය සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයකි. එය යහපත් තත්වයක් නොවේ. රටක් වඩාත් යහපත් යැයි සැලකිය හැක්කේ එහි අගය බින්දුවේ මට්ටම ගන්නා විටය. එහි අගය වැඩිවන්නට වැඩිවන්නට එම රට ඉහළ දූෂණයක් සහිත රටක් ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු නොයෙක් ජාත්‍යන්තර ආයතනවල අවධානය ලංකාවේ මේ තත්වය කෙරෙහි යොමුව පැවැති බව ද පෙනේ.

රටක ඉහළ දූෂණයක් පවතින විට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට මෙන්ම දේශපාලන ක්ෂේත්‍ර වෙතද ඇඟිල්ල දිගු වේ. තමන් ලබන වැටුපෙන් සෑහීමකට පත්නොවී ඉතා ඉක්මනින් සැප සම්පත් අපේක්ෂා කරමින් සුඛෝපභෝගී දිවියක් ගෙවීමට උත්සාහ කරන මානසිකත්වයක් ජනතාව තුළ ඇති වෙමින් තිබීම මීට එක් හේතුවකි. කිසියම් සේවාවක් ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් සන්තෝසම් අපේක්ෂා කිරීමේ ප්‍රවනතාවක් වර්ධනය වී ඇත්තේ ඒ අනුවය. ඒ සන්තෝසම් අධික ලෙස වර්ධනය වීම නිසා ඒ වෙනුවෙන් දරන පිරිවැය අවසාන වශයෙන් එම ව්‍යාපෘතියට, සේවාවට, භාණ්ඩයට ඇතුළත් වෙයි.

එයින් කාරණා කිහිපයක් මහජනතාව සම්බන්ධයෙන් බලපායි. ඉන් එකක් නම් ක්‍රියාත්මක කෙරෙන සේවාව යථාර්ථවාදී නියමාකාර සේවාවක් ලෙස ඉටු නොවීමයි. කිසියම් ඉදිකිරීමක් කරන කල්හි වුවද එම ඉදිකිරීම නියමාකාර ලෙස කිරීමට නොහැකි වන්නේ සන්තෝසම්, අල්ලස් දීමට සිදුවන නිසාය.

අපේ කලාපය තුළ අපට ආසන්නව ඇති පාකිස්ථානය ගත්තත් භූතානය ගත්තත් ඒ රටවල පවා ඇතැම් රාජ්‍ය නායකයන් වංචා දූෂණවල චෝදනාවලට ලක්ව දීර්ඝ කාලයක් සිරගත වන්නට සිදුවූ අවස්ථා නැත්තේ නොවේ. පාකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට එල්ල වූ චෝදනාව මෑතකාලීන උදාහරණයකි. එසේ වුවත් ඒ රටවල නීතිය ඉතාමත් තදින් ක්‍රියාත්මක වීම දැකිය හැකිය.

බොහෝ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් වංචා දූෂණ සඳහා මෙතරම් පෙළැඹෙන්නේ ඇයි? මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ලංකාවේ මැතිවරණ ක්‍රමයේ පවත්නා දුර්වලතාය. මැතිවරණයක් පැවැත්වීමටත් ඊට ප්‍රචාරය ලබාදීමටත් අති විශාල මුදල් සම්භාරයක් වැය කෙරෙයි. එබැවින් මගේ මතය නම් අල්ලස දූෂණය අවම කිරීමට මෙරට මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය.

මුලින් මෙරට මැතිවරණවලදී පැවැතියේ ආසන ක්‍රමයකි. දිස්ත්‍රික්ක ක්‍රමය නිසා සිදුවන්නේ මුළු දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක කටයුතු කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමය. මේ හේතුවෙන් ඒ මුදල කෙසේ හෝ සොයා සපයා ගැනීමට දේශපාලකයෝත් ඔවුන්ගේ අනුගාමිකයෝත් උත්සාහ කරති. එසේ වීමෙන් අල්ලස දූෂණය හා වංචාවට ඇති ඉඩ අවකාශය පුළුල් වේ.

රටක අල්ලස දූෂණය ඉහළ යාමෙන් සිදුවන්නේ කළු ආර්ථිකයක් වර්ධනය වීමය. එය රටක ආර්ථිකයට යහපත් නොවේ. ලංකාවේ කළු ආර්ථිකයේ අංශ ගණනාවක් දැකිය හැකිය. මීට කලකට පෙර එම කළු ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් තිබුණේ ග්‍රාමීය මට්ටමේ කසිප්පු ව්‍යාපාර, සීට්ටු මුදල් දැමීම ආදිය පදනම් කොටගෙනය. ඒ මීට වසර හතළිහකට පමණ පෙර පැවැති කළු ආර්ථිකයේ ස්වාභාවයය. එහෙත් අද ඒ තත්වය වඩාත් සංකීර්ණ ස්වරූපයක් දරයි. අද එහි ඇත්තේ මත්ද්‍රව්‍ය, අල්ලස් දූෂණ ආදියයි. ඇතැම්විට ඒවායේද ඇත්තේ අසීමාන්තික ලක්ෂණය. මෙම ක්‍රම මගින් ලැබෙන මුදල් රාජ්‍යයට බලපාන්නේ කෙසේද? මත්ද්‍රව්‍ය අල්ලස් ආදියෙන් ලැබෙන මුදල් සංසරණය වන ආර්ථිකයක් තුළ රටේ ආර්ථිකය පාලනය කරගත නොහැකි එහෙත් රටේ ආර්ථිකයට ලැබිය යුතු, රටේ ආර්ථිකය විසින් දැරිය යුතු නැති මුදලක් දැරීමට සිදුවීමය. සමස්තයක් ලෙස මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් කරන්නකි.

පුද්ගලයන්ට සන්තෝෂම් ලබා දීම සඳහා අයථා මට්ටමින් මුදල් ගනුදෙනු වීම නිසා රාජ්‍යයේ මුදල් විශාල ප්‍රමාණයක් වැයවන්නේ නම් එය ඍජුවම ආර්ථිකයට බලපාන්නකි. මෙම තත්වය වැළැක්වීමට විධිමත් ක්‍රියාමාර්ගයක් නොගතහොත් රටේ ආර්ථිකය තුළ අප නොදකින විශාල කළු ආර්ථිකයක් නිර්මාණය වීමේ අවදානම පවතී.

එබඳු කළු ආර්ථිකයක් නිර්මාණය වූ විට රටේ උද්ධමනය පාලනය කරගත නොහැකි මට්ටමක් ඇති වේ. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සිදු වේ. එසේම ධනවත් පිරිසක් විසින් පමණක් රටේ ආර්ථිකය හසුරුවන මට්ටමක් නිර්මාණය වේ. එය රටේ ආර්ථිකයට අතිශයින්ම අහිතකර තත්වයකි.

මෙම මුදල් ලබාගන්නේ කොතැනින්ද? වියදම් කරන්නේ කෙසේද යන්නට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වූ විට ඒවා නීත්‍යනුකූල නොවන ගනුදෙනු බවට පත්වේ. අනෙක් අතින් මේ නිසා රටට විශාල බදු මුදලක් අහිමිවන තත්වයක් ද නිර්මාණය වේ.

මෙරට අල්ලස දූෂණය අවම කොටගෙන ආර්ථිකය යහපත් අතට ගෙන ආ හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් කවරේද යන්න මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු වැදගත් කරුණයි. ඉන් ප්‍රධාන වන්නේ රජයේ නෛතික අණ පනත් තදින්ම ක්‍රියාත්මක කිරීමය. පොදු සමාජය මේ සම්බන්ධයෙන් නිවැරදිව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. අල්ලස දූෂණය සම්බන්ධ අණපනත් මේවාය, ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ මෙසේය යන්න මහජනයා නිවැරදිව දැනුවත් වීමෙන් අල්ලසට දූෂණයට වංචාවට යොමුවීමේ ඉඩකඩ අවම වනු ඇත. එය කෙටිකාලීනව ක්‍රියාවට නැංවිය හැක්කකි. දීර්ඝකාලීන විසඳුම් පිළිබඳ අවධානය යොමු කළොත් වංචා දූෂණ අවම කොට සංවර්ධන ඉලක්ක සපුරාගත් ලෝකයේ වෙනත් රටවල් ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද යන්න සොයා බැලීම වටී. එයින් ලබාගන්නා ආදර්ශ අපේ රටේ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේදැයි විමසා බැලීම වැදගත්ය. හුදෙකලා රාජ්‍යයක් ලෙස අප තනිව ගන්නා යම් යම් ක්‍රියාමාර්ගවලට වඩා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයක් තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත යුතුය. එකිනෙකාට ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන පරිදි සැමට එක නීතියක්ය යන සම්මතයේ පිහිටා කටයුතු අවශ්‍යය. නීතිය කෙනකුට ක්‍රියාත්මක වී තවත් කෙනකුට ක්‍රියාත්මක නොවන තත්වයක් පැවැතියහොත් එයින් අර්බුදයක් නිර්මාණය විය හැකිය.

පුද්ගලයන් අල්ලස දූෂණයට පෙළඹීම අවම කිරීමට නම් පාසල්, රාජ්‍ය හා ආයතනික මට්ටමින් පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. අල්ලස්, වංචා දූෂණ කටයුතු සඳහා පුද්ගලයකු දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වී කරදරයේ අමාරුවේ වැටෙන්නට පෙර එවැනි කටයුතුවලට යොමු වීමෙන් ඇතිවන අර්බුදකාරී තත්වය ඔවුනට වටහා දිය යුතුය. අනුන්ගේ දේ කඩා වඩා ගැනීමේ පිළිවෙතක් ආගමික සමාජ සාරධර්මය තුළ පවා කිසිවිටෙක අනුමත නොකරන්නකි. රාජ්‍යතන්ත්‍රයට එවැනි මිනිසුන්ගේ අවශ්‍යතාව අතීතයේ පටන්ම අවධාරණය වූවකි. මුල්කාලීනව දේශපාලනයට පැමිණි බොහෝ පාලකයන් මේ කෙරෙහි දැක්වූ උනන්දුව කැපී පෙනුණි. ඔවුහු දේශපාලනයෙන් මුදල් හරිහම්බ නොකළහ. ආර්ථික වශයෙන් පවා විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් එහෙත් රාජ්‍ය මුදල් කඩා වඩා නොගත් මුදල් ඇමැතිවරුන් ගැන පවා මෙරට දේශපාලන ඉතිහාසය තුළ අසන්නට ලැබේ.

එහෙත් ආර්ථික ප්‍රතිපත්ති වෙනස්වීම හා දේශපාලන මැතිවරණ ක්‍රමයේ වෙනස්වීම් නිසා අතිවිශාල වශයෙන් දේශපාලකයන්ද නිලධාරීන්ද සාමාන්‍ය ජනයාද හැකි තරම් මුදල් සෙවීමේ ක්‍රමෝපායයන් සොයන්නට යාමෙන් සිදුවූයේ වංචා දූෂණ ඉහළ යාමය. එබැවින් 2023 අංක 09 දූෂණ විරෝධී පනත නිසි පරිදි ක්‍රියාත්මක කොට අල්ලස දූෂණය අවම වන අන්දමේ සැලැස්මක් ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාවකි. එසේ අල්ලස දූෂණයට යෙදවෙන මුදල් රටේ සංවර්ධනයට ක්‍රමවත්ව යොදා ගැනීමෙන් ආර්ථිකයේ දියුණුවක් අපේක්ෂා කළ හැකි වැඩපිළිවෙළකට ගමන් කළ යුතුය.

එබඳු වැඩපිළිවෙළකට ගමන් කිරීමේදී මුලින් සඳහන් කෙරුණ පරිදි හුදෙකලා නොවී පිළිගත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව යමින් ක්‍රියාත්මක වීම වැදගත්ය. ලෝකයේ බොහෝ රටවල් දියුණු වූයේ අල්ලස දූෂණය පිටුදැකීමෙනි. තදබල ලෙස නීති ක්‍රියාත්මක කිරීමෙනි. සිංගප්පූරුව ඊට හොඳම උදාහරණයකි. මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැන්නන් තම රාජ්‍ය දියුණු කිරීමට ගත් ක්‍රියාමාර්ග නැවත විමසා බැලීම වටී. තායිලන්තය මෑත කාලයෙහි ලෝකයේ කතාබහට ලක්වූයේ දූෂණයට පළ කළ විරෝධය නිසාය. ඉන්දුනීසියාව, තායිවානය දියුණු වූයේ අල්ලස දූෂණය පිටුදැකීමෙනි. චීනය ද එසේමය. මේ තත්වය අප තේරුම්ගෙන ක්‍රියා කිරීම වඩාත් අවශ්‍ය වන්නේ එබැවිනි.

 

(***)

සටහන – ගාමිණී කන්දේපොළ



අදහස් (0)

කළු ආර්ථිකයකට මාර්ග පාදන අල්ලස දූෂණය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදුලිබිල් කතාවට බෙල්ල දීම
2024 මාර්තු මස 02 206 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ නොයෙල් ප්‍රියන්ත මහතා පසුගිය 22 වැනිදා එම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික රූපව


කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?
2024 මාර්තු මස 02 102 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙ


එදා - මෙදා තීන්දුවල ඇදකුද
2024 මාර්තු මස 01 271 0

2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත්


බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න
2024 මාර්තු මස 01 255 0

යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් විසින්ය. ත්‍රස්තවාදීන


දිනෙන් දින වැඩි වන ණය බර
2024 පෙබරවාරි මස 29 400 0

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන් සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක


සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු
2024 පෙබරවාරි මස 29 245 0

මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 421 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site