ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ අගනුවරයි.  කොළඹ වාණිජ අග නගරයයි.  එසේ වුවත් විශේෂයෙන් කාගේත් අවධානය මේ දිනවල යොමුවී තිබෙන්නේ කොළඹ කෙරෙහිය.  ඒ කොළඹ ඇතුලූ දිවයිනේ ප‍්‍රධාන නගරවල මහ නගර සභා මැතිවරණය ඔක්තෝබර් අට වැනිදාට යෙදී තිබෙන බැවිණි.  කොළඹ මහ නගර සභාවේ ඉතිහාසය කෙසේ ද? කොළඹ නගර සභා සීමාවේ  සිංහල, දෙමළ පමණක් නොව පෘතුගී‍්‍රසි, ලන්දේසි, ඉංගී‍්‍රසි, අරාබි, බෙංගාල , බර්ගර් ජාතිකයෝද කොරමණ්ඩල්, මලබාර් ජාතිකයෝද කාපිරි, චෙට්ටියාර්වරු, හෙට්ටීන්(නාට්ටිකුටිවරු), මැලේ, ජා, බෝරා ආදී ජන වර්ගද වාසය කළහ. 1848 වර්ෂයේ ඉංගී‍්‍රසි අධිරාජ්‍යයෙන්  මව්බිම මුදාගැනීම සඳහා සිංහලයෝ අරගලයක් ආරම්භ කළහ.  ඒ පිළිබද සොයාබැලීම සඳහා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුව  විශේෂ කොමිටියක් පත් කෙළේය.  ඒ කොමිටිය නිර්දේශය මත කොළඹට මහ නගර සභාවක් පත්කළ යුතු යැයි 1850 දී එම කමිටුව නිර්දේශ කළේය.  කොළඹ නගරයට නාගරික සභාවක් පිහිටුවීම සඳහා 1865 දී ආණ්ඩුකාර සර් හර්කියුලිස් රොබින්සන්  ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවට පනතක් ඉදිරිපත් කෙළේය.  ඒ අනුව 1865 නොවැම්බර් 25 වැනිදා කොළඹ නගර සභා සීමා නියම කර ඇත .  ඒ අනුව කොල්ලූපිටිය, කොම්පඤ්ඤවිදිය, කොටුව, සාන්ත බස්තියම, පිටකොටුව, සාන්ත පාවුළු, නිව්බසාර්, මරදාන නගර සභා සීමා ලෙස නම් කැරිණි. කොළඹ නගර සීමාවේ සියලූම නිවාස ගොඩනැගිලි ඉඩම් හා පේලි ගෙවල් වලින් එදා වරිපනම් බදු අයකර ඇත.  සතුන්ගෙන් වාහනවලින්, ඇළවල් වෙනුවෙන්, මත්පැන් හා තුවක්කු බලපත‍්‍ර මගින්ද, අධිනීතීඥවරුන්, නීතීඥයින් හා නොතාරිස්වරුන් විසින් සහතික කැරුණු  සහතික මුද්දර ගාස්තු , වෙළද සල් මස් මඩු වලින්ද, පොලිසිය හා නාගරික මහේස්ත‍්‍රාත් වරයා විසින් පනවනු ලබන දඩ වලින් ද, වෙනත් විවිධ බදු වලින් ද නගර සභාවේ බදු ආදායම සමන්විත විය. කොළඹ නගර සභා ගොඩනැගිල්ල වූයේ පිටකොටුව මහ වීදිය පටන්ගන්නා ස්ථානයේය අද ගෑස්පහ හන්දිය යනුවෙන් හදුන්වනුයේ එතැනයි. එම පැරණි ගොඩනැගිල්ල අද වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පවතියි. 1873 වර්ෂයේදී එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින් මෙම ගොඩනැගිල්ල විවෘත කැරිණි.  අවුරුදු පනහක් පමණ මෙම ගොඩනැගින්ලේ නගර සභාව රැස්වී ඇති අතර ඉඩකඩ ප‍්‍රමාණවත් නොවූ බැවින් නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව ඇතිවිය.  ඒ අනුව අද විහාරමහා දේවි උද්‍යනය අසල ඇති නව නගර සභා ගොඩනැගිල්ල ඉදිකැරිණි.  මෙම ගොඩනැගිල්ල සැලසුම සදහා තරගයක් පවත්වා ඇත . ඒ සඳහා සිංගප්පූරුවේ රැල්ප් බූවි සහ සමාගමේ ඇස්. ජේ. එඩ්වර්ඩ්ස්, අලහාබාද්හි ඩබ්. එච්. බෝර්ග් සහ අලහබාද්හි ඇප්. ලිෂ්මන් සහ ඇප්. ආර්. අයි. ඒ. සහ ට්ම් රෂ් ශර්මා  පිළිවෙළින් තෝරාගත් බව පැරණි ලියැකියවිලි වලින් පෙනේ . සිංගප්පූරුවේ රැල්ප් බූවි සමාගමේ ඇස්. ජේ. එඩ්වර්ඩ්ස් ගේ සැලසුම අනුව ඒ.ඒ ගැමන් සහ සමාගම  නගර සභා ගොඩනැගිල්ල ඉදිකර ඇත.  1924 දී ටී. රීඩ් විසින් මුල්ගල තබා ඇති අතර 1928 මැයි මාසයේදී  ඉදිකිරීම් ආරම්භකර ඇත.  එවකට නගරාධිපති එච්. ඊ. නිවුන්හැම් ගේ මහත් උත්සාහය නිසා ගොඩනැගිල්ල මනාව ඉක්මනින් සාදා නිමකළ බවද නගර සභා ඉතිහාසය කියයි. කොළඹ නගර සභාව 1866 පිහිටැවුවද  ප‍්‍රථම නගරාධිපති පත්වූයේ 1973 දීය.  ඒ අනුව ආර්. සරවනමුත්තු ප‍්‍රථම නගරාධිපති විය.  සරවනමුත්තුගේ සිට මේ වන තෙක් ජාතික මට්ටමේ විශිෂ්ට දේශපාලඥයෝ ගණනාවක් නගරාධිපති පදවිය නගරික මන්තී‍්‍ර දූර  දැරූහ. ආර්. සරවනමුත්තු, ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, වී. ඒ. සුගතදාස, දොස්තර කුමාරරත්නම්,  වින්සන්ට් පෙරේරා, සිරිසේන කුරේ, කරූ ජයසූරිය ද ඒ අතර වෙති. කොළඹ නාගරික මන්ත‍්‍රීන් අතර එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක, ජේ.ආර්. ජයවර්ධන, පීටර් කේනමන්, බර්නාඞ් සොයිසා ආර්. පේමදාස, එච්. ජී. එස්. රත්නවීර, එල්. ඩබ්. පණ්ඩිත , හලීම් ඉෂාක් ද වෙති. කොළඹ නාගරික මන්ත‍්‍රීවරුන් තෝරාපත්කර ගැනීම සඳහා මැතිවරණ පැවැත්වූ අවස්ථාවල අපේක්ෂකයන් වෙනුවෙන් එකල යොදාගත්තේ එක් එක් වර්ණ සහිත පෙට්ටියකි.  එක් එක් අපේක්ෂකයාට වෙන් වෙන් වර්ණ ලබාදී තිබිණි.නාම යෝජනා භාර ගැනීම සඳහා විශේෂ නිලධාරියකු වෙත ඇප මුදල් තැන්පත් කළ යුතුව තිබිණි.  එය රුපියල් 250 කි.   මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් දහයෙන් එකකට වැඩි ප‍්‍රමාණයක් ගත නොහැකි වූ අපේක්ෂකයාගේ ඇප රාජසන්තක විය .  නියෝජිතයන් තොරාගැනීමෙන් පසුව සභාවේ පළමු රැස්වීමදී නගරාධිපතිවරයක් ද   සහ උප නගරාධිපතිවරයෙක් පත්කර ගනු ලැබූහ.  ඉන් අනතුරුව මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවක් ද තවත් ස්ථාවර කාරක සභා තුනකට නොඅඩු සංඛ්‍යාවක්ද තෝරා පත්කර ගත යුතුවිය.  නගරාධිපතිවරයා නගර සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා විය.  නාගරික කොමසාරිස් හා අන් සියලූ නිලධාරීහු ඔහු යටතේ වූහ.නගර සභාව ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදීව පාලනය කැරිණි.  නගර සභා ඡන්දයේ දී ඡන්දය දීමට අවුරුදු 21 ට වැඩි අය සුදුසුකම් ලදහ. කුළී ගෙවමින් නගරයේ පදිංචිව සිටීමත්,  මසකට රුපියල් 100 ට නොඅඩු මුදලක් ගෙවමින් හෝටලයක හෝ බෝඩිමක හෝ සමාජ ශාලාවක පදිංචිව සිටීමත්, රුපියල් 180 ට නොඅඩු වාර්ෂික වටිනාකමක් සහිත දේපොළ හිමියෙකු වීමත්, මහා බි‍්‍රතාන්‍යයේ හෝ ඉන්දියාව හෝ වෙනත් බි‍්‍රතාන්‍ය යටත් විජිතයක උපාධිධාරියකු වීමත් ඡන්ද දායකයකුගේ සුදුසුකම් අතර විය. කොළඹ නගරයේ විශාලත්වය වර්ග සැතපුම් 15ක් පමණි.  එහි වෙසෙන ජනතාව සඳහා කොළඹ නගර සභාව එදා කළ යුතු කාර්යන් කීපයක් මෙසේ දැක් විය හැකියි.  මහජනයා ගැවසෙන ප‍්‍රසිද්ධ ස්ථාන ආලෝක කිරීම, ගොඩනැගිලි, ව්‍යපාරික ස්ථාන, රථවාහන පාලනය කිරීම, මනා සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම, ව්‍යපාරික ස්ථාන, නාන හා සෝදන ස්ථාන, රෝග සංක‍්‍රමණය වැළැක්වීම, රෝග බීජ විනාශ කිරීමේ මෙහෙයුම්, ආරෝග්‍ය ශාලා, ගව මඩු, වැසිකිළි, කැසිකිළි, කාණු, ඇලි, විදුලිරිය(ට‍්‍රෑම් කාර්), ජල මාර්ග, උද්‍යන, ගෙවතු තැනීම, පාලනය කිරීම, වැඩකරන ජනයාගේ වාසස්ථාන ඉදිකිරීම, මං මාවත් තැනීම, ශුද්ධ පවිත‍්‍ර කිරීම, පාසල් හා පුස්තකාල පවත්වාගෙන යාම, අසරණ සරණ සමිතිවලට ආධාර අනුබල දීම, ජීවිත දේපොළ ගින්නෙන් ආරක්ෂා කිරීම ආදිය සමහරකි. ඹක්තෝබර් අට වැනි දා පැවැත්වෙන මෙවර කොළඹ මහ නගර සභා මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ නවයක්ද ස්වාධීන කණ්ඩායම් දහයක්ද ඉදිරිපත්ව සිටිති.  පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 531 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් 590 දෙනෙක්ද ඉදිරිපත්ව සිටිති. ඉහත පිරිස අතරින් මෙවර නගර සභාව සඳහා පත්වෙන පිරිස වෙත විශාල කාරයභාරයක්ද පැවරෙණු ඇත.

කොළඹ නගර සභාව සඳහා ප‍්‍රථම වරට පත්වූ මන්තී‍්‍රවරු

සී.ඇල්. පර්ඩිනන්ඩිස් කොල්ලූපිටිය
දොස්තර. ඇප්.ඩී. විලිස්පෝ කොම්පඤ්ඤවීදය
ජේ. ඩබ්. වෙග් කොටුව
ඇප. ජේ. ද සේරම් සාන්තබස්තියම
දොස්තර ජේ. වැන් ගේසල් පිටකොටුව
ඇස්. තම්බයියා සාන්ත පාවුලු
සී.ඒ.  ලෝරන්ස් කොටහේන
ජේ. ඩී. අල්විස් නිව් බසාර්
ඇප් සී. ලූසා මරදාන
  







ප‍්‍රථම වරට රැස්වූ දිනය

  • 1866 ජනවාරි 16

මුල්ම මහ සභාපති වූයේ

  • සී. පී. ලෙයාඩ්ය,

තනතුරු ඇති කළ ආකාරය

  • ලේකම් තනතුර
  • සෞඛ්‍ය නිලධාරී තනතුර
  • මාර්ග අධිකාරී තනතුර
  • ගබඩා භාරකරු
  • නාගරික පරීක්ෂකවරු
  • ලිපිකරු
  • කාර්යාල කාර්ය සහායක

1866 අපේ‍්‍රල් 12 වැනිදා ස්ථාවර කාරක සභාවක්ද පත්කැරිණි .

  • මුදල් හා ආදායම් එකුකිරීම
  • සෞඛ්‍ය කටයුතු
  • මහජන වැඩ
  • නීති කටයුතු
  • සාමාන්‍ය කටයුතු
කොළඹ මහ නගර සභා නිල ලාංඡනය මුල්ම රැස්වීම පැවැති ආකාරය මුල්ම රැස්වීම පැවැති ආකාරය මුල්ම රැස්වීමේ අවස්ථා පැරණි නගර සභා ගොඩනැගිල්ල පැරණි නගර සභා ගොඩනැගිල්ල මුල්ම නගරාධිපති නිල ඇදුම (නිසි ලෙස සංරක්ෂනයක් නොමැතිව දිරාපත් වෙමින් පවතින අයුරු) මුල්ම නගරාධිපති නිල ඇදුම මුල්ම නගරාධිපති නිල ඇදුම වර්තමාන නගර සභා ගොඩනැගිල්ල වර්තමාන නගර සභා ගොඩනැගිල්ල