IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘කහ ඉරේ නීතියට’’ නොගියොත් උසාවි දඩ

”දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න’’ පාර හරහා පනින බොහෝ අවස්ථාවලදී පාසලේ දෙකේ පන්තියේ හෝ තුනේ පන්තියේදී ගුරුතුමියක විසින් කියා දෙන ලද මේ කවි පන්තිය අනුව ක‍්‍රියාත්මක වන්නේ නිරායාසයෙනි. බොහෝ අවස්ථාවල කොළඹ ආදී ප‍්‍රධාන නගරවල එක් දිසාවකට පමණක් ධාවන මං තීරු ඇති මාර්ගවලින් පාර මාරු වන විටදී වාහන එන දිශාව දෙස බැලූ සැණින් අනෙක් දිසාවද බැලෙනුයේ නිරායාසයෙනි. එහෙත් පාර පනින බොහෝ අයට මේ උපදේශය තබා පාරේ යන එන වාහන පිළිබඳව වත් මතකයක් නැත්තා සේය. ඇතැම් අය එලෝ මෙලෝ නැත්තාසේ කහ ඉර පෙනි පෙනී වේගයෙන් එන වාහන ඉදිරියට මගින් පනිනු බොහෝ විට දැකිය හැකිය. එවන් විටෙක නොසරුප් වදන් වැලක් ඇතැම් රියදුරකුගේ මුවෙන් නිකුත් වන්නේ ක්‍ෂණිකවය. ඒ තම වාහනයට වන හානියට ද නැතහොත් යම් අනතුරක් වූවහොත් එයට දැරීමට සිදුවන වියදම නිසා දැයි එසේත් නැතිනම් අනතුරක් සිදු වූවහොත් යන සිතුවිල්ල නිසාදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් රථවාහන තදබද අවස්ථාවල පවා මගීන්ගෙන් මෙවන් අවිනීත ක‍්‍රියා දැකිය හැකිය. මාර්ග ආලෝක සංඥා පුවරු ඇති ස්ථානවල මගියාට යම් වේලාවක් පාර මාරුවීමට ලබා දුන්නද ඒ තත්ත්පර දහය දොළහවත් ඉවසාගත නොහැකි ඇතැම් රියැදුරෝ සිටිති. මගින් පාර පැන අවසන් වීමටත් පෙර ඇතැම්විටෙක වාහන ධාවනය කරන්නටද මෙවැනි රියැදුරෝ පෙළැඹෙති. ඒ නිසාමදෝ ඇතැම් මාර්ග සංඥා ලාම්පු ඇති තැන්වලත්, කහ ඉරි දෙපස පමණක් නොව මාර්ගය මැද කොටසෙත් රැුඳී සිටිනු දැකිය හැකිය. පාසල් ඇරෙන වැහෙන වේලාවලදී බොහෝවිට පාසල් අසල ඇති කහ ඉරිවල පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් හෝ එක් අයෙක් සිටිති. ඇතැම් පාසල්වල පුහුණු කළ පාසල් සිසුන් පොලිස් රාජකාරිය කරනුද දැකගත හැකිය. ඒ කෙලෙස ආරක්ෂාව සැපයූවත් පොලිස් නිලධාරීන් බලා සිටියදීත් කහ ඉර පසෙක තිබියදී පාර හරහා මාරුවන පදිකයන් මෙන්ම ජංගම දුරකථන ඇමතුම් ගනිමින් හෝ සිංදු අසමින් මහමග ගමන් ගන්නා පදිකයන් නිසාද රිය අනතුරු කීයක් නම් සිදුවන්නට ඇත්ද? රථවාහන තදබද අධික අවස්ථාවලදී වාහන පෝලිම් අතරින් එහෙට මෙහාට දිවයන මගීන් නිසාද බොහෝවිට අනතුරු සිදුවෙයි. වටරවුම් අසල, මංසන්ධි අසල මෙවන් තදබද පවතින විටදී පාර පනින මගීන් නිසා සිදුවන අනතුරුත්, වටරවුම් නීති නොතකා හරින මගීන් වෙනුවෙනුත් උමං මාර්ග හා ගුවන් පාලම් කොතෙකුත් ඉදි කර ඇත. ඇතැම් නගරවල ඉදිකර ඇති මෙවන් උමං හෝ ගුවන් මගී පාලම් මතින් ගමන් නොකර පාර මාරුවන මගීන්ට දඩ ගැසීමේ ක‍්‍රියාවලිද ඇතැම් පොලිස් ස්ථාන කරගෙන යයි. කුරුණෑගල නගරයේ ප‍්‍රධාන වටරවුම යට ඉදිකර ඇති උමං මාර්ගය භාවිත නොකර පාර පනින මගීන්ට රුපියල් හත්සිය පනහක දඩයක් ගෙවිය යුතු බැව් කියැවෙන පුවරු වටරවුම අසල තැන් තැන්හි කාලයක් තිස්සේම ප‍්‍රදර්ශනය කර ඇත. මෙතෙක් කාලයක් එවන් අවවාද නොපිළිපැදි පදිකයන්ට මුලින් අවවාද කර පසුව දඩ ගැසීමේ පිළිවෙත අනුගමනය කරන්නටද පොලිසියට සිදු විය. එවන් ක‍්‍රියාමාර්ගයක් පොලිසිය අනුගමනය කළේ වටරවුම අසලදී නිරන්තරවම සිදුවූ අනතුරු නිසාය. ඒ හේතුවෙන්ම එම නීතිය ක‍්‍රියාත්මක කළ මුල් දිනවල දිනකදි පමණක් දෙසීයකට ආසන්න මගීන් පිරිසක් පොලිසියට ගෙන ගොස් අවවාද කිරීමට සිදුවූ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අජිත් වංශනාථ මහතා ප‍්‍රකාශ කළේය. පදිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය කොතෙක් ක‍්‍රියාමාර්ග ගත්තද දිනෙන් දිනම කහ ඉර මත, හෝ පාර මාරුවන විටක හෝ පාර දෙපස ගමන්ගත් මගීන්ට සිදුවන අනතුරු වැඩිවීමක් මිස අඩුවක් නැත. ඇතැම්විට මෙම අනතුරුවල වරද පදිකයාගේ වූවද මුලින් පහර කෑමට හෝ වාහනය ගිනිබත් කර ගැනීමෙන් වන පාඩුව විඳ දරා ගැනීමට හෝ පොලිසි උසාවි ගානේ ගොස් දඩ හෝ බන්ධනාගාර ගත වීමට සිදු වන්නේ රියැදුරන්ටය. ඒ අතරම අවිනීත රියැදුරන් නිසා සිදුවන අනතුරුවලදී අඩුවක් නොමැති බව ද කිව යුතුය. මේ නිසාම, පදික හා රියැදුරු ආරක්ෂාව වෙනුවෙන් කහ ඉරේ නීතිය යළිත් බලාත්මක කිරීමට පොලිසිය ඉකුත් සතියේ පියවර ගත්තේය. ඒ 1987 මාර්තු 03 වැනි දින අංක 444/18 අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි අනුවය. මෝටර් වාහන පනතට අනුව පදික මාරුවක් තිබෙන ස්ථානයකදී හෝ තමා මාරුවීමට උත්සාහ කරන ස්ථානයේ සිට මීටර පනහක් දුරින් පදික මාරුවක් තිබේනම් එම ස්ථානයෙන් අනිවාර්යෙන්ම පාර මාරුවිය යුතුය. එවන් විටෙක කහ ඉර සහිත විවෘත පදික මාරු, කහ ඉර හා විදුලි සංඥා ලාම්පු සහිත ස්වයංක‍්‍රීය පදික මාරු, ගුවන් පාලම් උමං මාර්ග ආදිය භාවිත කළ යුතුය. මේ නීතිය කඩ කරන අයකුට මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ පවත්වන ලද ලඝු නඩුවකදී පළමු වතාවට රුපියල් දහසක දඩයක් ද, දෙවැනි තෙවැනි වර නම් පිළිවෙළින් රුපියල් දෙදහස හා තුන්දහස් පන්සියයක දඩයක්ද පැනවේ. පදික මාරු නීතිය කඩ කරනවිටදී දඩ පත‍්‍රිකා නිකුත් නොකරන අතර අනිවාර්යෙන්ම උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පෙලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය. ගෙවුණු වර්ෂයේදී පදික මාරුවීමේ නීතිය කඩ කළ නඩු 1866 ක් ද, වසරේ මුල් මාස හය තුළ නඩු 4222 ක් ද නීතිය නැවත බල ගැන්වූ දා සිට එනම් ජූලි 24 දින සිට ජූලි 31 දින වනවිට නඩු 600 ක්ද, ජූලි 31 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 12 දක්වා කොළඹ නගරයේ පමණක් මෙම නීතිය කඩ කිරීමේ නඩු 1107 ක් ද ලබාගෙන ඇත. මෙම කහ ඉරි නීතිය කඩ කිරීමේ වැඩි ප‍්‍රවණතාවක් කොළඹ නගරයේ දැකිය හැකිය. ඉකුත් වසරේ පමණක් ඒ සම්බන්ධ නඩු 1330 ක්ද, ගෙවුණු මුල් මාස හය තුළ නඩු 1107 ක්ද ගොනුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. කහ ඉරි නොමැති ස්ථානවල පදික මාරු සිදුවිය යුත්තේ ආසන්න ස්ථානයක් නොමැතිනම් පාර දෙපස බලා පාර මාරුවීම බවද අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කර සිටී. පදික මාරු සලකුණු කර නොමැති ප‍්‍රදේශ වල පදිකයන් සඳහා ඉහත නීතිය වලංගු නොවන බවත් හැකි සෑම විටකම ආරක්ෂාකාරී ලෙස පාර මාරුවීම පදිකයාගේ යුතුකමක් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ නගරයේ ගුවන් පාලමකට නැගීමට නොහැකි වයෝවෘද්ධ, ආබාධිත අය අසල සිටින කාගෙන් හෝ උදව් ලබාගෙන පොලිස් නිලධාරියකුගේ සහයද ලබා පාර මාරුවිය හැකිය. කෙසේ හෝ අධික තද බද සහිත අවස්ථාවල කහ ඉරි දැක දැක පාරපනින පදිකයන්ට මින් මතුවට එලෙස සෙල්ලම් දැමීමට ඉඩ නොදීමට පොලිසිය ලක ලෑස්ති වී සිටි. මෙයට පෙර මෙවැනි වරද කළ පදිකයන් ඉරු දිනයක පොලිසියට ගෙන්වා ඔවුන් වැනි අය නිසා සිදුවූ අනතුරු මෙන්ම ඒවායේ ඵල විපාක වීඩියෝ හා ඡායාරූප මගින් පෙන්වා දී ඇත. එවන් දැනුවත් කිරීම් කර අවසානයේදී මෙම නීතිය බලාත්මක කිරීමට පොලිසියට සිදුවූයේ ‘‘කීවා නාහන ගුරු උඩින් ගියත් එකයි, බිමින් ගියත් එකයි කියා දෑස කට වසාගෙන සිටිය නොහැකිම තැනය. කහ ඉරේ නීතිය නොපිළිපදින අයට වූ විපත් කොතෙකුත් පෙන්වා දුන්නද අප සමාජය කහ ඉරේ නීතියට හෝ මගියාට පවා රියදුරුටවත් ගරු නොකරමින් තම යුතුකම් වගකීම් පැහැර හරිමින් කටයුතු කරයි. එවන් අයට ඇතැම් විටෙක ඇතැම් පොලිස් නිලධාරීන් අපූරූ දඬුවම් දුන් අවස්ථාද පසුගිය කාලයේ අසන්නට දකින්නට සිදු විය. එක් අවස්ථාවක ලේක්හවුස් වටරවුම අසල කහ ඉර නොතකා පාර පැන්න අක්ක මලෝ දෙදෙනකුට පොලිස් නිලධාරියකුගේ උපදෙස් පිට දෙවරක් බැගින් කහ ඉර මතින් එහා මෙහා යෑමට සිදුවිය. තවත් විටෙක එක් පදිකයකුට දැවැන්ත අතුල් පහරක් කණ හරහා ලැබුණේද එවන් කහ ඉර නොතකා ක‍්‍රියා කළ නිසාය. මින් මතුවට ශාරීරික හෝ මානසික වදයකට බඳුන් නොවී කහ ඉර නීති කඩ කරන පදිකයන්ට උසාවි ගාණේ යෑමට සිදුවනු ඇත. ඒ කහ ඉර තිබියදී පාර පැන අතපය නොකැඞී හෝ ජීවිතය බේරාගතහොත් පමණි. ඉතින් තීරණය පදිකයා සතුය. පදිකයාගේ නීති කඩ කිරීම්වලට දඬූවම වැනිම දඬුවමක් කහ ඉරි නීතිය කඩ කරන රියැදුරන්ටද ලැබෙනු ඇත.

පුෂ්පා වීරසේකර



අදහස් (0)

‘‘කහ ඉරේ නීතියට’’ නොගියොත් උසාවි දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site