IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කවිය භාෂා ගෝඩා හැළියේ වාෂ්පයෙන් පෙරාගන්නා ස්පිරිත්තුවයි

සඳකත් මිණි‌ ගඟුල පත්ලෙ, සාරසියක් නියුට්‍රෝන, ක්වෙන්ටම් භෞතික සංඛාරා ඇතුළු තවත් කෘති කිහිපයක්ම ලියා පළ කළ කුමාර හෙට්ටිආරච්චි මෑත කාලීනව සිංහල කවියේ තමන්ටම හිමි සුවිශේෂ අනන්‍යතාවක් ප්‍රකට කළ කවියෙකි. ඔහු ලියූ ‘සරමිණි සුගුමුව’ කාව්‍ය සංග්‍රහය මෙවර බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවා පමණක් නොව සාහිත්‍ය සම්මාන උත්සව කිහිපයකම අවසන් වටය නියෝජනය කරන්නට සමත් විය. මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන දිනා ගත්තේ ද කුමාර හෙට්ටිආරච්චිගේ සරමිණි සුගුමුව කෘතියයි. මෙවර වීමංසා සංවාදය ඔහු සමඟයි.

ඔබේ සරමිණි සුගුමුව කාව්‍ය සංග්‍රහය මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූවාසේම අනෙක් සම්මාන උත්සවවල අවසන් වටය ද නියෝජනය කළා. මේ සංග්‍රහයට පදනම් වූ නිර්මාණ අත්දැකීම් කෙබඳුද?

කවිය යනු ජීවිතයයි. උත්පත්තියේ පටන් මරණ මංචකය තෙක් ගලා බසින්නේ කවියයි. ඉතින් මට දැනෙන්නේ සංසාරයම කවියක් වගෙයි. මිනිසෙකුගේ කවිය නිමා වෙන්නේ නිර්වාණ සම්පත්තියෙන්.

ඉතිං මගේ කවිය උපදින්නේ පූර්ණත්වය සොයා යන අපරිපූර්ණ මිනිසුන්ගේ ආත්මීය දෝංකාරයෙන් කියලයි මට හිතෙන්නේ. එබඳු දෝංකාරයක් අප තුළ පවතින බව පවා අපි දන්නේ නෑ. ඒ දෝංකාරයම තමයි කවියට උල්පත් සදන මහා සෞන්දර්ය නිධානය.

ඉතිං ජීවිතයෙන්ම උනාගෙන ආ සරමිණි සුමුගුවේ සියලුම කාව්‍ය නිර්මාණ විනාඩි හතක් අටක් තුළ මට ඉබේටම ජපානයේදී ලියැවුණු කවි 600න් තෝරාගත් එකතුවක්.

• අත්දැකීමට පණදෙන නව අර්ථෝත්පාදන භාෂාව ඔබේ කවියේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. මේ පණ ගැහෙන භාෂාව ඔබ කොහොමද නිපදවා ගන්නේ?
ඇත්තටම මම කවදාවත් කවිය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කළ කෙනෙක් නෙවෙයි. මම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයෙන් උපාධිය ලබා ජපානයේ සගා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ජපානයේ කෝබේ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබුවා. ඒත් කවදාවත් සිංහල කවිය හා සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය ලෙස හදාරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ.
    
ඉතිං ඔබ නව අර්ථෝත්පාදන පණ ගැහෙන භාෂාව ලෙස හඳුනා ගන්නා මගේ කවි බස මටත් නොදැනී ඉබේටම මා තුළ ප්‍රේරණයවී තාමත් ගොජ දමන ප්‍රවාහයක්. ඇත්තටම භාව පූර්ණ ධ්වනිථාර්ථවත් සංඝටකයන් සමඟම පදාර්ථමය ද්‍රව්‍යමය ලෝකයේ මුල්, ගල්, වැලි, යකඩ, ඇටකටු, පටක මස් මාංශ ද කළවම් වූ මගේ භාෂාව මටම දැනෙන්නේ මා තුළම පැසවනා ගෝඩා හැළියක් වගෙයි. මගේ භාෂාමය ගෝඩා හැළියේ වාෂ්පයෙන් පෙරා ගන්නා ඉස්පිරිත්තුව තමයි කවිය.

• වත්මන් පරපුරේ ඇතැම් කවි රසසුන් වාර්තාමය ස්වරූපයට පත්වීමට හේතුව අත්දැකීම ප්‍රබල වුවත් භාෂාවේ පවත්නා දුබලතාව බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. නූතන පුරාතන භාෂා විචිත්‍රත්වය හඳුනා නොගන්නා කවියකුට සාර්ථක කවියකු විය නොහැකිද?
ඇත්තටම මටත් ඒ බව සිය දහස්වර ප්‍රත්‍යක්ෂවී තිබෙනවා. මම කවියක් ලියන්නේ සිනමාවෙන්. මගේ ලොකුම හීනය තිබුණේ චිත්‍රපටිකාරයෙක් වෙන්නයි. මම ඉස්කෝලේ යන කාලයේදී පොලිතින් පටිවල රූප රාමු ඇඳගෙන, පුංචි කාඩ්බෝඩ් පෙට්ටියක කොටුවක් කපා පිටුපසින් ටෝච් එකක් අල්ලා බිත්තියේ රූපරාමු පතිත කරමින් චිත්‍රපටි පෙන්නුවා.
ඇත්තටම එකම චිත්‍රපටයක්වත් කරන්නට මට බැරි වුණත් මා  සක් සුදක්සේ දන්නවා ඒ චිත්‍රපටි කාරයා මා තුළ තාමත් කරණම් ගහමින් ඉන්නා බව. අන්න ඔහු තමයි මගේ කවි ලියන්නේ. නූතන හා පුරාතන භාෂා විචිත්‍රත්වය හඳුනා ගත් පමණින්ම සාර්ථක කාව්‍ය නිර්මාණයක් බිහිවේ යයි මා හිතන්නේ නෑ. ඒ නූතන හා පුරාතන භාෂා සංකලනයෙන් අපූර්ව හා සිත් කාවදිනා රූපරාමු දාමයක් පරිකල්පනය වූ විටයි ප්‍රබල කවියක් උපදින්නේ. කැමරාව ඇමරිකන් ජපන්, ජර්මන් වුවත් එළිය හා අඳුර තුළ තෝරාගනු ලබන කෝණ අතිශයින් වැදගත්.

• හුදු අත්දැකීමක් කවියක් බවට පත් කිරීමේදී නිර්මාණකරුවා ගන්නා ප්‍රයත්නය ඔබ දකින්නේ කොහොමද?
අත්දැකීමෙන් තොර මානව ජීවිතයක් නෑ. මේ ඉර හඳ යට අව්ව වැස්ස එක්ක සමාජ දේශපාලන, ආගමික, ආර්ථික සංස්කෘතික ගෝරනාඩු එක්කයි අපි මැරෙනතුරු පොර බදන්නේ. අපි බතක් කොත්තුවක් කාලා  හීන් අඩියකුත් ගහලා නිදා ගත්තාට යක්කු ගස් යනවා වගේ සමාජීය හැල හැප්පිලි අපේ ලේ නහර දිගේ දුවනවා. අපි කවුරුත් ඉන්නේ ස්පාඤ්ඤ ගොං පොරේක. අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෘෂභ අංතට්ටු ප්‍රහාරයට කොයි වෙළෙත් මුණ දෙන්න වෙනවා. ඇත්තටම කීවොත් කවියාගේ භාෂාමය ගෝඩා හැළිය කලත්තන්නේ නහර දිගේ දුවනා යක්කු වගේම අං තට්ටු ප්‍රහාර. එතකොට අත්දැකීම කවියක් බවට පත් කිරීමට කවියා ප්‍රයත්නයක් ගත යුතු නෑ. වරුසාවට ඉඟිනියාගල වැව වාන් දානවා වගේ ඉබේටම කවිය ‘‘ස්පිල්’’ වෙනවා.

• ශ්‍රී ලංකාවේ කවිය සම්බන්ධව ඇති වත්මන් සංවාදය ගැන මොකද හිතන්නේ?
අනේ එහෙම සංවාදයක් නෑ. කීප දෙනෙක් ඒකාධිපතියන් වගේ තමන් කැමති සුළු පිරිසක් හෝ එක් අයෙක් තෝරාගෙන වොලිබෝලය වගේ උඩ දානවා. ඒ කල්ලියේම තව කෙනෙක් උඩ පැනලා ඩෑෂ් පාරක් ගහනවා. අන්තිමට ටිකක් බරසාර සිංහලෙන් හේතු පාඨ කියනවා. සමහර ප්‍රකාශ මට නම් අහේතු පාඨ වගෙයි දැනෙන්නේ.
ඇත්තටම කවියේ අලුත් සහල් මංගල්ලෙකට අස්වනු කපාගෙන කමතට ගොඩවෙන තරුණ පරපුර දැක්කාම සිත ආශ්වාදයෙන් පිරී යනවා. ඔවුන්ගේ ප්‍රබල සේම දුබල ලක්ෂණ ද පිරිසිඳ නුවනින් විමසා බලා ගැඹුරු සංවාදයකට ලක් කරනා අවංක ප්‍රාඥයන් පිරිසක් රටකට අවශ්‍යයි. එහෙම නැත්තං වෙන්නේ ඔවුන් බහුතරයක් ද අවලංගු කාසි වගේ සිල්ලර විදියට පැත්තකට විසි කිරීමයි.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (0)

කවිය භාෂා ගෝඩා හැළියේ වාෂ්පයෙන් පෙරාගන්නා ස්පිරිත්තුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site