IMG-LOGO

කොල්වින් සිංහලෙන් ලියූ ජනරජ ව්‍යවස්ථාව

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

යටත් විජිත උරුමයක් වශයෙන් අප ලද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට පූර්ණ නිදහස ලබාදුන් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාවට නැගුණු මැයි 22 ජනරජ දිනය වශයෙන් අපේ වංශකතාවට එක්වී ඇතත් එය තවත් නිසොල්මන් දිනයක් වශයෙන් ගෙවී යනු ඇත.

72 ව්‍යවස්ථාව ඉතා සූක්ෂමව සොයා බැලීමේ දී මට පෙනී ගියේ එහි ඇති නිරවුල් සුසංගතභාවයයි. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතාට ව්‍යවස්ථාවේ මෙම ලක්ෂණය ගැන සඳහන් කළ විට (එකවරම ශබ්ද නගා ඔහු පැවසුවේ) එය අමුතුවෙන් කිවයුතු දෙයක් නොවන බවත්, එය කොල්වින් ආර්. ද සිල්වා මහතා සිංහලෙන් ලියා ඇති බවත්ය. ව්‍යවස්ථාව සිංහලෙන් ලිවීමේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහතාගේ උපකාරය ලබා ඇති බවත්ය.

පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහාචාර්යවරයා පුරාක්ෂණ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකි. එතුමන් ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ ග්‍රන්ථය සිංහල අකුරු ක්‍රමයේ විකාශනය පිළිබඳ ලියන ලද්දකි. කොල්වින් ආර් ද සිල්වා මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු කැඳවා තමා සිංහලෙන් ව්‍යවස්ථාව ලියන බව සැලකර එයට උපකාර කරන ලෙස ඉල්ලා ඇත. මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු මහතා කේ.එන්.ඕ. ධර්මදාස මහතාගේ විශ්වවිද්‍යාල ගුරුවරයෙකි. සම්පිණ්ඩිත ප්‍රබල භාෂා ශෛලිය නිසා ව්‍යවස්ථාවෙන් රිංගා යෑමට නීතිවේදීන්ට පවා බැරිවිය. ව්‍යවස්ථාවට අභියෝග ඉදිරිපත් නුවූයේ සිංහල භාෂාවේ පැවති සුසංගත ස්වරූපය නිසයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත ස්වරූපය පිළිබඳ විශාරද ඥානයක් තිබූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා නව ව්‍යවස්ථාව නිර්මාණයට තෝරා ගැනීම ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලනමය ඥානය පිළිබිඹු කරයි. 71 ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් ලියන ලද බවට ජීවමාන සාක්‍ෂි වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළ හැකිය.

වරෙක වාසුදේව නානායක්කාර මහතාගෙන් මා විමසූ විට ඔහු පැවසුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සම්බන්ධ කමිටු වාර්තා පවා තමන් අතට පත්වූයේ සිංහල භාෂාවෙන් බවයි. මේ දෙදෙනාම එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දකුණු කොළඹ මහජන මන්ත්‍රී බර්නාඩ් සොයිසා මහතා සිංහලෙන් ව්‍යවස්ථාව සකස් කිරීමේ දී කළ මෙහෙවර ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යාංශයේ ලේකම් වන ශන්මුගදාසම් මහතා වරෙක මා වෙත පවසා ඇත. ශන්මුගදාසම් මහතා එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති වශයෙන් ද කටයුතු කළේය.

පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ද එදවස ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර තිබුණි. එමෙන්ම ඔහු ඒ පිළිබඳව මහත් ඕනෑකමක් දැක්විය. කෙසේ වුවද ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා කෙරෙහි විශ්වාසයක් තැබූ මැතිනිය එය ඔහු ලවා කරගැනීම වැදගත්ය. කූට දේශපාලන ඥානයකින් කටයුතු කළ ඩොයිලියේ දුරදක්නා නුවණ නිසා උඩරට ගිවිසුමේ පවා බුද්ධාගමට දී තිබූ ප්‍රමුඛස්ථානය නැතිකිරීමට බ්‍රිතාන්‍යයෝ සූදානම් නොවූහ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම පනතේ බුද්ධාගමට දී ඇති ස්ථානයට බාධාවක් කිරීමට මේ කප පවතිනා තුරු නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික දේශපාලන දන්නන් ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදයේ බුද්ධාගමට දී ඇති ස්ථානය මෙනෙහි කළ යුතුය.

සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේ දී ගිවිසගත් පොදු ගිවිසුම පිළිබඳ කදිම විවරණයක් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා “මීළඟ ආණ්ඩුව” යනුවෙන් ලියා ඇති ග්‍රන්ථයේ සඳහන් කරයි. එතුමන්ගේම වචනයෙන් එය අවධානයට පාත්‍ර කිරීමේ අරමුණෙන් එය මෙහිලා උද්ධෘත කර දක්වමි. පොදු ගිවිසුමේ මූලික පරමාර්ථ යටතේ එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡේදයෙන් මෙය උපුටා ගන්නා ලදී.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිරීටයෙන්බේ රාගත් උපක්‍රමය

සෘජු නියතාර්ථ දෙන වචන යෝජනය කොල්වින්ගේ ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණයක් වන අතර පදයකින් හෝ වචනයකින් බේරී යෑමට මෙහිදී ඉඩ තබා නැත.

කිරීටය - Crown යන යෙදුම යොදන අතර ඒ ආසන්නයේම මහ රැජින යන වචනයෙන් වැඩිදුරටත් එම අදහස තහවුරු කර තිබුණි. එතැනින් ගිලිහුනොත් තව ආකාරයකින් එය අර්ථ දැක්වීම මේ අනුව වගබලාගෙන ඇත. කෙක්කෙන් බැරිනම් කොක්කෙන් යන ගැමි වාගාලාපය මෙහිදී සිහියට නැඟේ. කොල්වින්ට මෙම භාෂාත්මක චෙස් ක්‍රීඩාව කිරීමට හැකිවුණේ ඔහු සතුව තිබූ සිංහල භාෂා දැනුමත්, පී.ඊ.ඊ. ප්‍රනාන්දු වැනි හරි සිංහල මහාචාර්යවරයාගේ මග පෙන්වීමත් නිසා විය හැකිය. බර්නාඩ් සොයිසා මහතා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කටයුතු කළ හැකි වියතෙකි. ඔහුගේ දායකත්වයන් ඇම්. ශන්මුගදාසන් මහතා මා සමඟ පවසා ඇත.

කොල්වින්ගේ ව්‍යවස්ථාවේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ සිංහල භාෂාවෙන් ප්‍රකාශිත කරුණට නෛතික බලයක් ලබාදීමයි.

සෝල්බරි ව්‍යවස්ථාවෙන් පිට පැන්න මෙයට අභියෝග කිරීමට බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සලය දක්වා යෑමට තිබූ ඉඩකඩ ඇහුරුණේ මෙම සිංහල භාෂාවේ මහිමය නිසාය. ව්‍යවස්ථා සම්පාදනයේ දී ව්‍යවස්ථා සම්පාදනයට අනුබද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු පිහිටුවා තිබුණි. මෙම කමිටුවල කතාබහට ලක්වන කරුණු කොල්වින් හැමදාම කමිටු රැස්වීම අවසානයේ ඇන්.ඇම්. ඇතුළු තම සහෝදරයන් වන ලෙස්ලි, බර්නාඩ් සමඟ ඇන්. ඇම්ගේ නිවසේ දී සමාලෝචනයක යෙදී ඇත. ඇන්. ඇම්ගේ කොටා රෝඩ් නිවසේ දී මෙම සාකච්ඡා ඇති වී තිබේ. ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් යන නායකයන් අතර තිබූ සමගි ශක්තිය මෙයින් පෙන්නුම් කරයි. ආණ්ඩුක්‍රම කමිටු වාර්තා පවා සිංහලෙන් තමන්ට එවූ බව වාසුදේව මහතා වරෙක මා සමග සැලකරනු ලැබීය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

නව වැඩ පිළිවෙළේ සාමාන්‍ය පරමාර්ථ අපි කලින් පෙන්වා දුනිමු. අපි දැන් එම ගිවිසුමේ විවිධ කොටස් විස්තර කිරීමට අදහස් කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ ප්‍රශ්න එහි වැදගත් තැනක් දී තිබේ. ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ඇතැයි එහි සඳහන් වේ. මෙයින් අදහස් කරන්නේ විරුද්ධ පක්ෂය, වර්තමාන සෝල්බරි ව්‍යවස්ථාව, නුසුදුසු වූයෙන්, ප්‍රමාණවත් වූ ව්‍යවස්ථාවක් ලෙස පිළිනොගන්නා බවයි. මේ ව්‍යවස්ථාව බිහි වූයේ 1948 දීය. පසුගිය විසි අවුරුද්ද තුළ එහි අඩුපාඩු සහ දුර්වලතා අපි දුටුවෙමු. මෙය අප විසින් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාවක් නොවන බව කලින් ලිපියක සඳහන් කරන ලදී. එය අපේ ඉතිහාසය, පැවතුම හා සංස්කෘතිය අනුව මෙරටවාසීන් සම්පාදනය කළ එකක් නොවේ. මෙය බ්‍රිතාන්‍යය හා ස්වදේශීය ධනේශ්වර පන්තියේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට පිටින් ගෙනවූත් ක්‍රියාත්මක කරන ලද්දකි. මෙම ව්‍යවස්ථාව ඉහළින් ආ එකකි. එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදුව මෙරට ජනතාවගේ කැමැත්ත නොවිමසා මෙහි ක්‍රියාත්මක කරන ලදී. ලංකාවේ ස්වදේශීය ධනේශ්වර පන්තියේ නියෝජිතයකු වශයෙන් ඩී.ඇස්. සේනානායක මහතා ලැජ්ජා විරහිතව මේ ව්‍යවස්ථාව පිළිගෙන, විදේශීය අයිතිවාසිකම් ආරක්‍ෂා කරදෙන අයුරින් ක්‍රියාත්මක කළ බව ඇත්තය. 1947අවසානයේ දී මේ ව්‍යවස්ථාව ලංකා පාර්ලිමේන්තුවේ දී සිරිතක් වශයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බවත් සැබෑය. මේ ව්‍යවස්ථාව පිළිගත යුතු යැයි ඩී.ඇස්. සේනානායක මහතා විසින් සාමාන්‍ය යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව විවාදයක් පැවතුණි. විවාදය අවසානයේ දී ඡන්දය විමසා යෝජනාව සම්මත කරගන්නා ලදී. ලංකා සමසමාජ පක්ෂය මීට තදින්ම විරුද්ධත්වය දක්වා එහි අඩුපාඩු, සදොස් තැන් සහ නොයක් යටි උගුල් පෙන්නුම් කිරීමට සම්පූර්ණ ශක්තිය යෙදවූයේය. අපේ විරෝධය තිබුණත් එම යෝජනාව සම්මත වූයේය. එහෙත් ව්‍යවස්ථාවේ එක් එක් ඡේද හා කොටස් කිසි දිනක පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ නැත. 1948 පෙබරවාරි 4වෙනිදා ආරම්භ වූ ඒ ව්‍යවස්ථාව ගැන අප කළ විවේචනයන්ගේ සත්‍යතාව පසුගිය වර්ෂවලදී මැනවින් පැහැදිලි වූයේය.

මෙය ආසියාවේ හා අප්‍රිකාවේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව නිදහස ලැබූ රටවල සිදුවූ දේට වඩා වෙනස් වේ. ආසියා මහාද්විපයේ ඉන්දියාව, බුරුමය, පාකිස්ථානය සහ අප්‍රිකා මහාද්වීපයේ උගන්ඩාව, කීනියාව, සැම්බියාව, ටැන්සානියාව, ඇතුළු රාජ්‍ය ගණනාවක්ම නිදහස ලැබූ විගස ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල පිහිටුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරගත්හ. මේ සෑම රටකම මහජන නියෝජිතයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කර තම රටවල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ව්‍යවස්ථා සම්පාදනය කරගත්හ. ඔවුන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලියාදුන් ව්‍යවස්ථාවක් කීකරුව බාරගත්තේ නැත.

නිදහස දිනාගත් රාජ්‍ය බැවින්, අනාගතය සකස් කරගැනීම තමන්ම කළ යුතු යැයි ඔවුහු කල්පනාකර තම ව්‍යවස්ථාවක් සකස් කරගත්හ. මේ ව්‍යවස්ථාවල නොයෙක් අඩුපාඩු තිබෙන්නට පිළිවන. සමහර රාජ්‍යවල පෙණුන පරිදි ඒ ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකිය. එසේ වුවද තමන්ගේම වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමේ අවස්ථාව ඔවුන්ට එළඹිණ. තම රටේ ජනතාවගේ අවශ්‍යතා අනුව සංශෝධනය නුවූ ව්‍යවස්ථා ලෝකයේ දකින්නට නොලැබේ. ඉහත කී රටවල අයට තම තමන්ගේම ස්වාමිවරුන් වීමේ භාග්‍යය හිමිවුණි. එහෙත් අපට සිදුවූයේ යාචකයන් ලෙස අපේ නිදහස ලබාගැනීමටයි.

දේශපාලනය සහ ව්‍යවස්ථාව පිළිබඳව අප අලු‍තින්ම පටන් ගත යුතු බව ඉහත සඳහන් කරුණුවලින් පෙනේ. අපේ රටවැසියාගේ බුද්ධි මහිමයට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අප විසින් සපයාගත යුතුයි. මෙය අපම කළ යුතුය. විදේශීය විශේෂඥයන්ගෙන් බලාපොරොත්තු වීම සුදුසු නොවේ.

එසේ හෙයින් අපගේ වැඩපිළිවෙළේ පළමුවැනි කාර්යය වන්නේ නව පාර්ලිමේන්තුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමයි. නව පාර්ලිමේන්තුවට අයත් අවශේෂ වගකීම් ඉටුකරන අතරම ව්‍යවස්ථාව ද පිළියෙළ කරණු ඇත. මේ ව්‍යවස්ථා මණ්ඩලය, රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ව්‍යවස්ථා කාරක සභාවක් පත්කරනු ඇත. එම කාරක සභාව ඉදිරිපත් කරන යෝජනා ව්‍යවස්ථා මණ්ඩලය අනුමත කළ යුතු වන්නේය. එසේ සකස් කෙරෙන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මඟින් පිළිගැනුණු පසු මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත්වෙනු ඇත.

නව ව්‍යවස්ථාවේ ස්වභාවය ගැන තරමක හැඳින්වීමක් ඒකාබද්ධ වැඩපිළිවෙළේ සඳහන් වේ. ඒ අනුව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇරඹීම අරභයා ලංකාව නිදහස් සමූහාණ්ඩුවක් බවට පත්කරනු ලැබේ. එමඟින් රටවාසීන්ගේ පොදු අයිතිවාසිකම් තහවුරු කරනු ඇත. මේ අයුරින් ලංකාව ජනතාවගෙන් බලයලත් සමූහාණ්ඩු ව්‍යවස්ථාවක් මඟින් පාලනය වන්නේය. රටේ ස්වෛරීභාවය මහජනයා වෙත පැවරේ. ඒ බලය සිය කැමැත්තෙන් මහජන නියෝජිතයන්ට පවරනු ඇත. එහෙයින් නව පාර්ලිමේන්තුව කවර විදේශීය බලයකට හෝ යටත් නොවූ, සම්පූර්ණ ස්වාධීන බලතල ලබා රාජ්‍ය පාලන කටයුතු කරනු ඇත. එසේවූ විට පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය ගැන ප්‍රශ්න කරනු ලැබුවාවූ ද, ඒ පරම බලය බ්‍රිතාන්‍ය රැජිනියගෙන් ලබාගන්නා වූවද, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා වෙනස් වනු ඇත.

වර්තමාන පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍ය මහා රැජිනිය පැවරූ බලතල අනුවය. රැජිනියගේ කැමැත්ත නැතිව අපට ස්වපාලනයක් නැත. මූලික වශයෙන් මෙරට තවමත් යටත් විජිතයකි. ව්‍යවස්ථාමය වශයෙන් අප තවමත් නිදහස් නොවේ. අපේ ස්වාධිපත්‍යය උදෙසා සුදුසු වෙනස්වීම අප සකස් කරගත යුතුයි. අප සම්පාදනය කරන නව ව්‍යවස්ථාව මඟින් ලංකාව සම්පූර්ණ නිදහස් රටක් බවට පත්වේ. එහි පරම බලය මහජනයා වෙත පැවරෙන අතර, මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකට පාලන බලතල හිමිවනු ඇත.

මේ අනුව වර්තමාන ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය වැනි කොටස් අහෝසි විය යුතුය. මෙයින් සුළු ජාතීන්ගේ සංස්කෘතික හා ආගමික උරුමයන් අහෝසි වන්නේ නැත. ජාතික හා ආගමික සුළු කොටස්වලට සිය අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව ලැබේ. කුලය, ජාතිය හෝ ආගම අනුව අසමානකම්වලට ඉඩ නොතබමු. රැකියාවක යෙදීමට ඇති අයිතිය ඇතුළු පොදු අයිතිවාසිකම් මාලාවක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අපි අදහස් කරන්නෙමු. අපේ ව්‍යවස්ථාවේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ප්‍රජාතනත්‍රවාදී අඩිතාලමක් මත සමාජවාදී රජයක් ගොඩ නැංවීමයි.

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

II වන පරිච්ඡේදය

බුද්ධාගම

9, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු‍ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර, බුද්ධ ශාසනය සුරක්‍ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

(***)



අදහස් (0)

කොල්වින් සිංහලෙන් ලියූ ජනරජ ව්‍යවස්ථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 8 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 456 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 233 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site