IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කලවානට අමතක නොවන සරත් මුත්තෙට්ටුවේගම

1970 සමගි පෙරමුණ ආණ්ඩුවේ කලවාන මන්ත්‍රීවරයාව සිටි අභාවප්‍රාප්ත සරත් මුත්තේට්ටුවේගම මහතාගේ 35 වැනි ගුණ සමරුව අදට (18 වැනිදාට) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කුරුවිට කෝරළය කර වූ නෙල්ලිවල සිරිවර්ධන සෙනෙවිරත්න මුදියන්සේ රාළහාමිල්ලාගේ හර්බට් මුත්තෙට්ටුවේගම මහතාට හා පානදුර කුරුප්පුමුල්ලේ විජේසේකර වලව්වේ සිලිනා විජේසේකර මැතිනියට දාව, සරත් මුත්තේට්ටුවේගම 1935 අප්‍රේල් 29 වැනිදා මෙලොව දුටුවේය. සරත් මූලික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විදුහලෙනි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු, එම අධ්‍යාපනය හමාර කොට නීති විද්‍යාලයට පිවිස, එහි අධ්‍යාපනය ලබමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු විය. එවකට කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිව සිටි දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් වැනි නායකයන්ගේ දේශනවලට සවන් දීමෙන් ඇති වූ ආශ්වාදය නිසා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. සරත් තම දේශපාලන දිවියේ ප්‍රථම වරට මැතිවරණ සටනට ඉදිරිපත් වන්නේ 1957 කුරුවිට කෝරළේ ගම් සභාවට තරග වදිමිනි.

1960 මාර්තු මැතිවරණය, ඔහුගේ පළමු පාර්ලිමේන්තු මැතිවරණ සටන විය.

මැතිවරණ සටනින් ලැබූ අත්දැකීම් පදනම් කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් නාගරික කම්කරුවන් මෙන්ම, වැඩකරන ජනතාව සංවිධාන කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මහත් ප්‍රසාදයක් දිනාගත් චරිතයක් බවට ඔහු පත් වූයේය.

1961 දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා සෙසු ප්‍රගතිශීලී තරුණ සංවිධාන සංවිධානගත වූ ප්‍රගතිශීලී තරුණ සමිති සම්මේලනයේ ප්‍රථම සභාපතිවරයා වූ සරත්, 1964 දී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්විය. නීතිඥවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වන්නේ, ප්‍රසිද්ධ දොඩම්පේ මුදලාලිගේ මිනීමැරුමයි. 1966 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සඳහා ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් දොඩම්පේ මුදලාලි හතරවන තට්ටුවෙන් පැන දිවිනසාගත් බවට තීරණය විය, එහෙත් දොඩම්පේ මුදලාලිගේ මරණය මිනීමැරුමක් බව ඔප්පු කරන ලදදේ සරත්ගේ අපරිමිත කැපවීමෙනි. 1964 වසරේ දී මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ දියණිය සමග විවාහ විය. මනෝරි ද සිල්වා නම් වූ ඇය ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වූ චරිතයකි.

දශක තුනකට ආසන්න කාලයක්, ජනයා වෙනුවෙන් කැප වූ ඔහු 1969 ජුලි 20 වැනිදා රැකියා විරහිත තරුණයන් පිරිවරාගත් පෙළපාළියක් සංවිධාන කර රත්නපුර සිට කොළඹ දක්වා පැමිණි ගමන ඩඩ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුව බිඳ වැටීමට ගාමක බලවේගයක් විය. 1970 මැතිවරණ ජයග්‍රහණය මෙරට ප්‍රගතිශිලී ව්‍යාපාරයේ, බලාපොරොත්තු ඵල ගැන්වීමක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශිලී බලවේග ඒකරාශී කරගනිමින් පිහිටවූ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ කලවාන මන්ත්‍රීවරයා වූයේ සරත් මුත්තෙට්ටුවගමය. 1970- 77 කාලය තුළ කලවාන ආසනය වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු නොදියුණු එම මැතිවරණ කොට්ඨාසයේ පාසල් අධ්‍යාපනනය නැංවීම සඳහා මූලිකත්වය ගත්තේය. කලවාන රෝහල, තැපැල් කාර්යාලය, ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම, මං මාවත් වැඩිදියුණු කිරීමට පියවර ගත්තේය. 1970-77 ආණ්ඩුවේ මැති සබය තුළදී වගකීමකින් යුතුව හරබර කතා රාශියක් පැවැත්වූ එකම පසුපෙළ මන්ත්‍රීවරයා ලෙස ඔහු ඉතිහාසගත වෙයි. රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳව කතා කළ ඔහු එම ප්‍රශ්නවලට නිවැරදි විකල්පයන්ද යෝජනා කළ බව, එවකට පාර්ලිමේන්තු වාර්තා වලින් පැහැදිලි වේ.

1977 කලවාන අසුනින් සරත් පරාජය විය. එම අසුනට පත් වූ අබේරත්න පිලපිටිය මහතාට එරෙහිව ඉතිරිපත් කළ ඡන්ද පෙත්සමින් පිලපිටිය මහතා පරාජයට පත්වුව ද ඔහු පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ බව අපට මතකය. එවකට එජාප රජය ගෙන ගිය ව්‍යවස්ථා විරෝධී ක්‍රියා කලාපය හෙළිදරව් කරමින් ජනමතයක් ගොඩ නැගීමට සරත් විශාල කාර්යයක් ඉටු කළේය. අබේරත්න පිලපිටිය මැති සබයෙන් ඉවත් වූ පසු 1982 පැවති අතුරු මැතිවරණයෙන් සරත් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය.

1980 ජූලි වැඩවර්ජනය නිසා රාජ්‍ය හා සංස්ථා අංශයන්හි සේවකයන් ලක්ෂයකට පමණ රැකියා අහිමි වූ අවස්ථාවේ වර්ජකයන් නැවත සේවයට කැඳවන්නැයි රජයට බලකරන වීදි සටන් මෙහෙය වූ අයෙකි සරත්. ජූලි වර්ජකයන්ට නැවත රැකියා ලබාදීම සඳහා වූ සටන කෙළවර වූයේ ජයග්‍රහණයකිනි.

සරත්ගේ දේශපාලන දිවිය අවසන් වන්නේ අප සිහිනෙන්වත් නොපැතු අයුරිනි. 1986 මැයි 18 වැනිදා සිදු වූ හදිසි අනතුරකින් ඔහු අප අතරින් සමු ගන්නේ මුළු රටම කම්පාවට පත් කරමිනි. සරත්ගේ තිස් වසරක දේශපාලන දිවිය තුළ දී මැති සබය තුළත් ඉන් පිටතත් මෙරට ගොවියන්, කම්කරුවන්, ශිෂ්‍යයන් වෙනුවෙන් හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ තරුණ වාමාංශික මන්ත්‍රීවරයකු නොමැති තරම්ය. ස්වකීය දේශපාලන දිවියේ දී උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා මුළුමහත් දිවයිනේ වෙසෙන පීඩිත ජනයා වෙනුවෙන් නිරතුරුව සටන් කළේය. ඔහුට ජාති ආගම් භේදයක් තිබුණේ නැත. අන්තවාදී වාමාංශිකයකු නොවී සැබැවින්ම මානව හිතවාදියකු විය.

අද ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් සමග එක්ව ගමන් කරන දේශපාලන සංවිධානයකි. අද සරත් ජීවතුන් අතර සිටියේ නම් ප්‍රගතිශීලී ජනයා සමග එක්ව කටයුතු කරනු ඇත. ඔහුගේ චරිතය ආදර්ශවත්ය. ඔහුගේ චරිතයෙන් උකහා ගත යුතු දේශපාලන ආදර්ශ අපමණය.


(***)
එම්. කරපුටුගල
මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ
හිටපු සභාපති සහ කුණ්ඩසාලෙ ප්‍රාදේශීය සභාවේ
හිටපු කොමියුනිස්ට් පක්‍ෂ මන්ත්‍රී



අදහස් (1)

කලවානට අමතක නොවන සරත් මුත්තෙට්ටුවේගම

surath Wednesday, 19 May 2021 03:15 PM

සැමදා අගය කළ යුතු ගෞරවනීය දේශපාලඥයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site