IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කොරෝනා දේශපාලන ව්‍යාධිය

මේ රටේ අති බහුතරයකගේ සිත් කොතරම් දුරට දේශපාලනීකරණය වී ඇත්දැයි දැන ගැනීමට ඉතාම හොඳ දර්ශකය ඔවුන් කොරෝනා ලෝක වසංගතය දෙස බලන ආකාරයත් ඒ අනුව ක්‍රියා කරන ආකාරයත්ය.

දශක තුනක් පුරා පැවැති යුද්ධය ඉතා භයානකය, විනාශකාරීය. එහෙත් එය රටේ සෑම නිවසකටම මරණයේ බිය රැගෙන ගියේ නැත. එහෙත් මෙම වසංගතය මේ වන විට ජාති, ආගම්, කුල, පන්ති, පක්ෂ ආදී කිසිදු භේදයකින් තොරව ඈත ගම්මානවල පවා සෑම නිවසකටම මරණයේ බිය ගෙන යමින් තිබේ. එහෙත් මෙරට බොහෝ දෙනකුට විශේෂයෙන්ම දේශපාලනඥයන්ට මෙයද දේශපාලනය සඳහා යොදා ගත හැකිව තිබේ.

2020 මාර්තු මාසයේ සිට මේ රටේ කොරෝනා රෝගයේ රැලි හතරක් ඇති වී තිබේ. ඒවායින් තුන්වැනි රැල්ල ඇතිවූයේ පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුය. අවුරුදු සමයේ ජනතාව විනෝද ගමන් ඇතුළු ගමන් බිමන්වල නිරතවිය හැකි නිසා ඒ දිනවල සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටියහ. එහෙත් ඒ ඉල්ලීම ඉටු වූයේ නැත. ඒ අනුව අප්‍රේල් මුලදී 200 ක් වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අප්‍රේල් අවසානයේදී දහස ඉක්මවීය. මැයි මාසයේ මැදදී 3500 ඉක්මවීය.

මේ සම්බන්ධයෙන් ආණ්‍ඩුව දෝෂ දර්ශනයට ලක්කළ විපක්ෂයේ බොහෝ දෙනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් තිබුණු තත්ත්වයක් යටතේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දිනපතාම පාහේ උද්ඝෝෂණ පවත්වද්දී එහි වරදක් දුටුවේ නැත. අවුරුදු සමයේ ජනතාව ගමන් බිමන් යාම වයිරසය පැතිරීමට හේතු වූවා නම් ඊට වඩා මිනිසුන් එකිනෙකාට සමීපව කරන උද්ඝෝෂණවලදී වයිරසය පැතිරීමට ඉඩක් නැතිද යන්න ගැන ඔවුන් සිතන බවක් නොපෙනුණි.

මැයි මාසයේදී උත්සන්න වූ තුන් වැනි රැල්ල මැයි අවසානයේදී හා ජූනි මාසයේදී පනවන ලද සංචරණ සීමා නිසා පාලනය වී ජූලි මුල සතියේදී එම සීමා බොහෝ දුරට ඉවත් කෙරිණි. උද්ඝෝෂණ ආරම්භ වූයේ ඒ සතියේමය. ඒ සමග යළිත් කොරෝනා රෝගයේ රැල්ලක් (සිව්වැනි රැල්ල) ආරම්භ වූ අතර දැන් ආණ්ඩු පාක්ෂිකයෝ ඒ නිසා සිව්වැනි රැල්ලේ මුළු වගකීමම උද්ඝෝෂකයන් හා ඔවුනට සහාය දුන් විරුද්ධ පක්ෂ මත පටවති.

එය මුළුමනින්ම සත්‍ය නොවන්නේ ජූලි මස මුලදී ප්‍රමාණවත් තරම් රෝගය පාලනය නොවූ තත්ත්වය යටතේ එනම් දෛනික රෝගීන් සංඛ්‍යාව 1500 ක්ව තිබියදී ආණඩුව සංචරණ සීමා ඉවත් කිරීම නිසාය. එහෙත් උද්ඝෝෂණවලින් රෝග ව්‍යාප්තියට බලපෑමක් කොහෙත්ම සිදුවූයේ නැතැයි කිසිවකුටත් තර්ක කළ නොහැක.

ජූලි මුලදී 1500 ක් දක්වා අඩු වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අගෝස්තු මුල් සතියේදී යළිත් දෙදහස ඉක්මවා ගොස් තිබිණි. සංචරණ සීමා ඉවත් කිරීම හෝ උද්ඝෝෂණ හෝ ඒ දෙකම හෝ ඊට හේතු වූවා විය හැකිය. ඒ කුමක් වුවත් රෝගය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් කරා යමින් තිබියදී ආණ්‍ඩුව අගෝස්තු 2 වැනිදා සිට සියලුම රජයේ සේවකයන් තම තමන්ගේ සේවා ස්ථානවල රාජකාරියට වාර්තා කරන ලෙස නියෝග කළේය. එම සේවකයන්ට තම සේවාස්ථානවලට යන්නට සිදුවූයේ පොල් පැටවූවා සේ පිරුණු බස් රථ හා දුම්රිය වලිනි.

එහෙත් තවම ආණ්‍ඩු පාක්ෂිකයෝ සිව් වැනි කොරෝනා රැල්ල සම්බන්ධයෙන් උද්ඝෝෂකයන්ට දොස් පවරති. විරුද්ධ පක්ෂ ඒ සම්බන්ධයෙන් ජූලිමස මුල සංචරණ සීමා ඉවත් කළ හා අගෝස්තු මුල සියලු රජයේ සේවකයන් සේවයට කැඳවූ ආණ්‍ඩුවට දොස් පවරති. සියලු දෙනාම දේශපාලන ඇසින් වයිරස් ව්‍යාප්තිය දෙස බලන බව අප මුලින්ම සඳහන් කළේ ඒ අනුවය.

කිසිවකුත් රෝග ව්‍යාප්තියට තමන්ගේ දායකත්වයක් තිබුණේ දැයි සිතා බලන්නට හෝ සූදානම් නැත.
පිරිසක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවය රෝග ව්‍යාප්තියට දායක වූ බව කියති. එය නොපිළිගන්නා අනෙක් පිරිස එතරම් උස් හඬින් නොවුවද මහරාජා ආයතනයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අවමගුල් උත්සවයට ඒ අයුරින්ම ඇඟිල්ල දිගු කරති. එය තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවය ගැන කතා කළ පිරිස නොපිළිගනිති.

වයිරසය අදෘශ්‍යමානය. එය මේ කියන සියලු සිදුවීම්වලදී පැතිරෙන්නට ඇත. එහෙත් වයිරසයේ අදෘශ්‍යමාන බව නිසාම ඕනෑම කෙනකුට වයිරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඕනෑම සිද්ධියකට දොස් පැවරීමටත් ඕනෑම චෝදනාවක් ප්‍රතික්ෂේප කරන්නටත් හැකිවී තිබේ. ඔවුන් එසේ කරන්නේ දේශපාලන වශයෙන් අනෙකා හෙළා දැකීමටත් දේශපාලන වාසි ලබා ගැනීමටත්ය යන්න ඉතා පැහැදිලිය. කොරෝනා මාරයා සෑම නිවසකම දොරට තට්ටු කරන තරම් සමීපයට පැමිණ තිබියදී වුවද ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව බැලීමට දේශපාලනය ඉඩ නොදෙයි.

දේශපාලනය කොතරම් දුරට කොරෝනා පාලක කටයුතුවලට බලපෑම් කොට තිබේද යන්න හා දේශපාලනඥයන් කොතරම් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන්නේද යන්න මනාව පෙනෙන්නේ මෙරට කොරෝනා පාලන එන්නත්කරණය දෙස බැලීමේදීය.

එන්නත්කරණය සඳහා වූ ආණ්ඩුවේ සූදානම සම්බන්ධයෙන් විවිධ චෝදනා පැවතියද මේ වසරේ ජනවාරි මස අගදී මේ රටට එන්නත් ලැබෙන්නට පටන් ගෙන තිබිණි. ඒ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට තිබූ එන්නත් පිළිබඳ මාර්ගෝපදේශවලත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලත් කොරෝනා මර්දනයේ නිරතවී සිටින සෞඛ්‍ය සේවකයන් හා ඔවුනට සහායක සේවා සපයන හමුදා, පොලිස් නිලධාරීන්ගෙන් පසු වයස අවුරුදු 60 ඉක්මවූවන්ට එන්නත ලබා දිය යුතු බව සඳහන් වී තිබිණි.

එහෙත් දේශපාලනඥයෝ එය වෙනස් කළහ. ඒ වන විටත් කොරෝනා රෝගයෙන් වැඩි වශයෙන්ම මහලු අය මියයන තත්ත්වයක් ඉතා පැහැදිලිව තිබියදීත් සෞඛ්‍ය සේවකයන් එන්නත ලබාගන්නා කාලයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එන්නත ලබා ගත්හ. එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වූවක් නොවීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේත් එන්නත්කරණ මාර්ගෝපදේශවල පදනම වූයේ රෝග ව්‍යාප්තිය වැළැක්වීමට වඩා මරණ අවම කර ගැනීමට ප්‍රමුඛතාව දිය යුතුය යන්නයි. එසේ වුවද වයස අවුරුදු 60 ඉක්මවූවන් නොතකා විවිධ ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාස තෝරාගෙන ඒවායේ වයස් සීමාවකින් තොරව වැඩිහිටි සියලු දෙනාටම එන්නත් ලබා දෙනු ලැබීය. එසේ කිරීමේදී ඇතැම් ස්ථානවල දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවලට එන්නත් ලබා දීමක්ද සිදුවිය. සෞඛ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වීම නිසා ඇතැම් ස්ථානවල ගැටුම්කාරී තත්ත්වයන් පවා ඇති විය.

මුල් වටයේදී වයස අවුරුදු 60ට වැඩි අය තෝරාගෙන දෙන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවැක්ස් වැඩසටහන යටතේ මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 2,64,000 පමණි. එය එසේ කළ යුතුවූ හෙයිනි. එම පිරිසගෙන් ඇතැමෙකුට දෙවැනි මාත්‍රාව ලැබුණේ මාස පහකට පමණ පසු අගෝස්තු මාසයේදීය.

වයස වුරුදු 60 ඉක්මවූවන්ට එන්නත් දීමේදී ප්‍රමුඛතාව දිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූනි මස මුලදී පවසා තිබිණි. එහෙත් ඉන් පසුවත් විවිධ ප්‍රදේශවල ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන් නොතකා හැර එන්නත් ලබාදීම කෙරිණි. ගාල්ලේදී වයස් සීමාව පමණක් නොව ප්‍රදේශ සීමාවද නොතකා හැරිණි.
මෙය මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතවලට වඩා දේශපාලන අවශ්‍යතා මුල් තැනට පැමිණීමේ ප්‍රතිඵලයයි. සෞඛ්‍ය සේවයේ බලධාරීන්ද මීට තීරණාත්මක අයුරින් විරෝධය දැක්වූයේ නැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මේ දිනවල කොරෝනා රෝගයෙන් මියයන 200 කට වැඩි පිරිසෙන් 150 දෙනකු පමණ (සියයට 75 ක් පමණ) වයස අවුරුදු 60 ඉක්මවූවන් වීමයි. මේ 150 දෙනාගේම ජීවිත එන්නත් කරණයෙන් බේරා ගන්නට හැකියාව තිබිණි යැයි කිව නොහැකිය. එහෙත් අඩු තරමින් 100 දෙනකුගේ හෝ ජීවිත බේරාගත හැකිව නොතිබිණිද? මේ දේශපාලනයේ ප්‍රතිඵලයි.

එසේම වසංගත පාලනය හා ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම අතර තුලනයක් ඇති කර ගැනීම ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදී ඇති ප්‍රධානතම ප්‍රශ්නයයි. මේ වන විට රට මුහුණදී සිටින්නේ ඉතාමත් නරක විදේශ විනිමය අර්බුදයකටය. ප්‍රධාන විනිමය ඉපැයුම් මාර්ග වන සංචාරක කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය හා විදේශ රැකියා ආදායම බරපතළ තත්ත්වයකට මුහුණ දී ඇත. එය අත්‍යවශ්‍ය භාණ්‍ඩ ආනයනයටද බලපා තිබේ. මේ තත්ත්වයට බලපා ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පනවනු ලැබූ සංචරණ සීමායි.

ඒ තත්ත්වය යටතේ මේ රටේ වසංගතය පෙර නොවූ විරූ ආකාරයට උත්සන්න වෙමින් තිබේ. රෝහල් හා ඒවායේ දැඩි සත්කාර ඒකක  පිරී ගොසිනි. අතර මැදි ප්‍රතිකාර ඒකකවල තත්ත්වයද එසේම යැයි සෞඛ්‍ය බලධාරීහු ජනමාධ්‍ය මගින් පවසති. මේ නිසා සංචරණ සීමා දැඩි කළ යුතු යැයි ඔවුහු පසුගිය සති ගණනාවක් තිස්සේ කියා සිටිති. කොරෝනා රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන එක් ප්‍රධාන වෛද්‍යවරයකු පැවැසුවේ “කන්න නැතිව මැරෙනවාද ඔක්සිජන් නැතිව මැරෙනවාද” කියන ප්‍රශ්නය මතුවී ඇති බවය.

මෙම ප්‍රශ්නයද දේශපාලන පක්ෂ දකින්නේ තම තමන්ගේ පක්ෂ දේශපාලන ඇසිනි. ආණ්‍ඩුවට හිතවත් පිරිස් ආර්ථිකය රැක ගැනීම ගැන කතා කරන අතර විරුද්ධ පක්ෂ ජීවිත රැක ගැනීම ගැන කතා කරයි. තම පක්ෂයේ මතයට වඩා වෙනස් අන්දමට ප්‍රශ්නය දකින්නේ ඉතාමත් සුළු පිරිසකි. අනෙක් කිසිවකුටත් ස්වාධීන මතයක් නැත. කෙසේ වෙතත් විපක්ෂයෙන් හා වෛද්‍යවරුන් වෙතින් එල්ලවූ පීඩනය හමුවේ ආණ්‍ඩුව පසුගිය 20 වැනිදා සිට 30 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත්තේය. දැන් එය ලබන 6 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

මෙය අවබෝධයෙන් නොව බලපෑම් නිසා කළ බව පෙනෙන්නේ ඇඳිරි නීතිය පැනවූ ආණ්‍ඩුවේම ඇතැම් ඇමැතිවරුන් එනිසා ඇති විය හැකි අනිසි ආර්ථික ප්‍රතිඵල ගැන අනතුරු අඟවන නිසාය. අනෙක් අතට මෙම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබුණේ දින නවයකටය. වයිරසයේ බීජෞශන කාලය හා රෝගියකු රෝගය පැතිරවීමේ කාලය අනුව මෙය ප්‍රමාණවත්ද යන්න දැකගත හැක්කේ ඉදිරියේදීය. ආණ්‍ඩුවේ සුළු පක්ෂ ඉල්ලා සිටියේ සති තුනක් රට වසා දමන ලෙසය.

මේ අතර බලධාරීන් රට තුළ වසංගතයේ තත්ත්වය නියමාකාරයෙන් තක්සේරු කොට ඇත්ද යන්න තවත් ගැටලුවකි. එසේ වන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන අතර දක්නට ඇති බරපතළ වෙනස්කම් නිසාය. ඇතැම් දිස්ත්‍රික් සංඛ්‍යා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ සංඛ්‍යා මෙන් තුන් ගුණයකි. රටේ කෙරෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අනුව රෝගීන්ගේ සැබෑ සංඛ්‍යා මේ දෙපාර්ශ්‍වයේම සංඛ්‍යාවලට වඩා වෙනස් විය යුතුය.

අවබෝධයක් ඇති සෑම කෙනකු තුළම මරණ බිය ගෙනදී ඇති තත්ත්වය දේශපාලන වාසි තකා නොදැක සිටිය නොහැකි බරපතළ අර්බුදයකි. ඇතැම් ප්‍රදේශවල දේශපාලන භේද නොතකා වෙළෙඳ සංගම් පසුගියදා තම තමන්ගේ ප්‍රදේශ අගුළු ලා ගැනීමට ඉදිරිපත් වූයේ තත්ත්වය එතරම් බරපතළ නිසාය. මෙයට විසඳුම් ඇත්තේ අන් කිසිවක් තුළ නොව විද්‍යාත්මක ප්‍රවේශයක් තුළය. මෙය දිනපතාම රූපවාහිනී නාලිකාවල කතා කරන දේශපාලනඥයන්ට විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එවැනි විද්‍යාත්මක ප්‍රවේශයක් සකස් කර ගත හැක්කේ අදාළ අනෙකුත් ක්ෂේත්‍රවල විශේෂඥයන් සමග ආර්ථික හා සෞඛ්‍ය විශේෂඥයන් එක්වීමෙනි.

මන්දයත් පවතින තත්ත්වය පිළිබඳ නිවැරැදි තක්සේරුවකින් තොරව වසංගතය මර්දනය කරන්නට යාම භූමිය නොදැක යුද්ධ කරන්නට යෑම හා සමානය. එසේම දේශපාලන වශයෙන් බෙදී ඊට මුහුණ දීමද එසේම හානිකරය. කෙසේ වෙතත් තත්ත්වය නිසි පරිදි තක්සේරු කර ගැනීමේදීත් දේශපාලනය නොතකා විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් සතු නිපුණතා හා කුසලතා වසංගතය මැඩලීම සඳහා යොදා ගැනීමේදීත් මූලිකත්වය ගත යුත්තේ ආණ්ඩුවයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා එවැනි අදහසක් පළ කොට තිබිණි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

කොරෝනා දේශපාලන ව්‍යාධිය

hesa Saturday, 28 August 2021 11:37 AM

මේ 1000% ක්ම ආත්මාර්තකාමී වන්න.. අදහස දරුනු උවත්.. තම තමුන් මේ කොරෝනා වසංගතයෙන් බේරීම තරයේ අදිටන් කර ඒ ඒ සෞඛ්‍ය නීති පිලිපදින්න පිලිවන් නම්. අනිකා ගැන කොහෙත්තම නොසිතා.. සම්පූර්නයෙන්ම "තම පවුල පමනක් "යන ආත්මාර්තකාමී සිතුවිල්ලෙන්, අනිකාට ගැන නොසොයා ඉන්නවා නම්.. නැතිනම් එකිනෙකාට ඇඟිලි දිගු කරන එකමනෙ වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site