IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොරෝනා කාලේ අයවැය


 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වී වසරක් ගත වුණේ පසුගිය සතියේය. මේ රටේ ජනාධිපති ධුරයට එතුමා පත්වූයේ 2019 නොවැම්බර් 16 වැනිදා ය. පසුගිය වසරක කාලයෙන් මාස අටක් පමණ ගත වුණේ කොරොනා වසංගතයත් සමගින්ය. අනෙක් අතට තවත් මාස හයක් ගත වුණේ රටේ පාර්ලිමේන්තුවක්ද නැතිවය. දැන් පාර්ලිමේන්තුව තෝරා ගෙන ඇති අතර කොරෝනා දෙවැනි රැල්ල පැමිණ ඇත්තේ එවන් තත්ත්වයකය. ඒ කෙසේ වෙතත් මේ වන විට අලුත් ආණ්ඩුවේ පළමු අය වැය ඉදිරිපත් වී තිබෙන බව අප කවුරුත් දන්නා කාරණයක්. මගේ සටහනින් මා සාකච්ඡා කරන්නේ කොරෝනා කාලේ අයවැය පිළිබඳවය.


තාක්ෂණික ආර්ථිකයක්
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය නොවැම්බර් 17 වැනිදාය. ඒ අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමැති වර්තමාන අගමැතිතුමන් පාර්ලිමේන්තුවට කීවේ මේ වන විට ලෝක ආර්ථිකය කාර්මිකකරණයේ උපරිම අදියරකට පැමිණ ඇති බවත් එය තාක්ෂණික ආර්ථිකයක් ලෙසින් නම් කළ හැකි බවත්ය.  එසේම අපේ රටේ පවතින ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වයේ ඇති සාපේක්ෂ වාසිය මත පදනම්ව රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් එහිදී විශේෂ වශයෙන් අපේ රටේ පිහිටීමේ සාපේක්ෂ වාසිය ආර්ථික වශයෙන් උපරිම ආකාරයෙන් පාවිච්චි කළ යුතු බවත් අගමැතිවරයාගේ අදහස විය.

ලෝක ආර්ථිකයේ දැවැන්තයන් දෙදෙනකු ලෙසින් ඉන්දියාවත් චීනයත් නැගී සිටින නව කලාපීය දේශපාලන තත්ත්වයක් තුළ සහ ලෝක ජනගහනයෙන් සියයට හැටක් පමණ ජීවත් වන කලාපයක් ලෙසින් මේ කලාපයේ ඇති වැදගත්කම මෙහිදී විශේෂ වශයෙන් අවධානයට යොමු වූ කාරණයක් විය. දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් පෙන්නුම් කෙරෙන මේ අලුත් තත්ත්වය ආමන්ත්‍රණය කර ගත් ආර්ථිකයක් අවසාන වශයෙන් අපේ රටේ මේ මොහොතේ සැලසුම්වලට අවසාන අරමුණ විය යුතු බව මේ අදහසින් පෙන්නුම් කරන එක කාරණයක්ය.

රටේ වරාය සහ ගුවන් තොටුපොළ වැනි අතිශයෙන්ම වැදගත් ආර්ථික මර්මස්ථාන දියුණු කිරීම එල්ල කර ගත යුත්තේ නැගී එන ආසියාවේ අලුත් ආර්ථිකය දෙසට බව ඉතාමත් පැහැදිලි කරුණක්ය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ ගොඩ නැගුවේම මේ අදහසින්ය. එහෙත් මීට පෙර පැවැති යහපාලනය යැයි කියා ගත් රජය මේ වරාය චීනයට සම්පූර්ණයෙන්ම පවරා දුන්නේ එහි ඇති වටිනාකම පිළිබඳව කිසිදු හැඟීමකින් තොරවය.


අයවැයක පදනම
රටක අයවැයක් සමහරුන් හිතන්නේ ඉලක්කම් විජ්ජාවක් ලෙසය. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ අයවැයක් කියන්නේම හුදු ඉලක්කම් විජ්ජාවක් නොව දේශපාලන ලියවිල්ලක් බවයි. මේ ආණ්ඩුවේ අයවැය පදනම් වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම දේශපාලන න්‍යාය පත්‍රය සමගය. සමහර කාලවල අපේ රටේ අයවැය හැදුණේම රටේ දේශපාලන පදනම මත පිහිටා නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුවේ හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මූලික ලියවිල්ලක් ලෙසින් බවද මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත්ය.  මෙවර අයවැය එවැනි හුදු බාහිර ආයතනවලින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන විදේශීය හස්තයක් නොවන බව මෙහිදී තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

අයවැයක න්‍යායික පදනම වන්නේ රටක ආර්ථිකයට සම්බන්ධ තුන් ආකාරයක අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා සකස් කරන ආර්ථිකමය වූ දේශපාලන ලියවිල්ලක් යැයි පැවැසීම නිවැරදිය. ඒ කියන්නේ රටක අයවැය ලේඛනයක් මගින් කරුණු තුනක් මූලික වශයෙන් ආමන්ත්‍රණය විය යුතු බවය. ඒ කරුණු තුන වන්නේ 1. රටේ ආර්ථික වර්ධනය පිළිබඳ රජයේ යෝජනා 2. රටේ ආර්ථික ස්ථායීභාවය පිළිබඳ රජයේ යෝජනා සහ 3. රටේ සමාජ සමානාත්මතාව ගොඩ නැගීමට රජයේ යෝජනා යන ඒවාය. මෙවර රජයේ අයවැය අප විමසා බැලිය යුත්තේ මේ අවශ්‍යතා මෙම ලේඛනය මගින් ආමන්ත්‍රණය කර ඇත්තේ කෙසේද යන කාරණය සිතේ තබා ගනිමින්ය.


ආර්ථික වර්ධනය
මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අතීතයේ සිටම විවිධ න්‍යායික තේරුම් ගැනීම් පැවැති බව මෙහිදී අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. 1948 සිට 1978 දක්වා කාලයේ මේ රටේ ආර්ථිකය පදනම් වූයේ සම්භාව්‍ය ධනවාදී අර්ථක්‍රමයටය (1952 සහ 1965 ආණ්ඩු මෙහිදී නිදසුන්ය). 1956 සහ 1970 කාලයේ පෙන්නුම් කරන්නේ දේශීයකරණය වූ  සහ මාක්ස්වාදී අර්ථක්‍රමය පදනම් කර ගත් ආර්ථිකයෝය. (56 සහ 70 ආණ්ඩු මේවාට නිදසුන්ය) 1978 න් පසුව පැමිණියේ ඉහත සඳහන් න්‍යායික උපාය මාර්ගික ආර්ථික පදනම්වලින් බැහැර වූ විවෘත ආර්ථික ක්‍රමයක්ය.  මේ අනුව අප මූලික ආර්ථික ක්‍රම කීපයක්ම අත්හදා බලා ඇති බව පැහැදිලිය.

මේ ආර්ථික ක්‍රමවලට සාපේක්ෂව බැලූ විට වැදගත් කාරණයක් වන්නේ ඒ ඒ ආණ්ඩු විසින් රාජ්‍ය සහ වෙළෙඳපොළ අතර ගොඩ නඟා ගත් සම්බන්ධතාව කවරේද යන්නයි. විශේෂයෙන් 1978 න් පසු කාලයේ එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් ආණ්ඩු පදනම් වුණේ ‘රාජ්‍ය දිය වෙන’ පරිද්දෙන් සහ ‘වෙළෙඳපොළ එකම ගැලවුම්කරු’ යන පදනමින් බව මගේ තේරුම් ගැනීමය. මෙවර අයවැයෙන් පැහැදිලිවම පෙන්වා දෙනු ලබන්නේ අපේ ආර්ථිකයේ පදනම තනිකරම රාජ්‍යවාදයක් absolute statism) හෝ තනිකරම වෙළෙඳපොළ වාදයක්  හෝ (absolute Makertism) නොවන බවයි. මේ අයවැයට අනුව එය තේරුම් කළ හැක්කේ දේශපාලන ප්‍රායෝගිකවාදයක් (political pragmatism) ලෙසින් බව මගේ අදහසය.

ආර්ථික සංවර්ධනය පැත්තෙන් මේ අයවැයේ ඉදිරිපත් වෙන කරුණු ඉතාමත් ඍජුය. ඉතාමත් ප්‍රායෝගිකය. ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ග අතර අපනයන ආදායම වර්ධනය කිරීමත් ආනයන ආදේශන හඳුන්වාදීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් එක් පැත්තකින් ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි.

අනෙක් පැත්තෙන් සියයට 6 ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගනිමින් දේශීය නිෂ්පාදන සහ සේවා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා වැදගත් පියවර රාශියක් යෝජනා කරයි. එසේම රජයේ ආදායම හා වියදම අතර තිබෙන පරතරය සියයට 9 සිට සියයට 4 දක්වා අඩුකිරීමේ උත්සාහයක් කැටි කර ගත් මේ සාර්ව ආර්ථික මෙහෙයුම මගින් යෝජනා කරන්නේ පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් ඉලක්ක කරගත් ශක්තිමත් වර්ධනයකි. සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන සහ ‘‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩ සටහන මත පදනම්ව යෝජනා වී ඇති මෙම ආර්ථික සංවර්ධන ක්‍රියාදමය මෙම අයවැයේ ප්‍රධානතම කලාපය ලෙසින් පෙන්වා දීම නිවැරදිය.


ආර්ථික ස්ථායීභාවය
අයවැයක දෙවැනි වැදගත් කාරණය වන්නේ එය මගින් එම රටේ ආර්ථිකයේ ස්ථායීභාවයට සිදුකරන බලපෑමය. ඒ කියන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා එය මගින් යෝජනා කරන උපාය මාර්ගවල ඇති තත්ත්වයයි. රටේ බදු ප්‍රතිපත්තිය රටේ පොලී අනුපාතය වැනි ආර්ථික උපකරණ (economic instruments)  නිසි පරිදි ස්ථාපිත කිරීම රටේ ආර්ථිකයේ වර්ධනයට විශාල බලපෑමක් සිදුකරන බව මෙහි යටි අර්ථයයි. පසුගිය යහපාලනය යැයි කියා ගත් රජයේ තිබූ බරපතළම අවුල ලෙසින් දැකිය හැක්කේ මේ අංශයේ තිබූ අපැහැදිලි සහ අපරිණතභාවයයි.

මෙවර අයවැයෙන් විදේශ මූල්‍ය උපයෝජනය පිළිබඳවත් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් නිශ්චිතව කරුණු ඉදිරිපත් කර ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එසේම ඩිජිටල් තාක්ෂණය මූල්‍ය ක්ෂේත්‍රයේ ගෙවීම් සඳහා යොදා ගැනීමට ගෙන ඇති තීරණයද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි. මෙයට අමතරව මූල්‍ය සමාගම් ප්‍රතිසංස්කරණය පිළිබඳව රජයේ ස්ථාවරය මෙම අයවැය ලේඛනයේ නිශ්චිතවම ඉදිරිපත් වී ඇති තවත් වැදගත් කාරණයකි. ආර්ථික ස්ථායීකරණය පැත්තෙන් ඉදිරිපත් වෙන මෙම යෝජනා මගින් නව පණක් රටේ ආර්ථික දේහයට ලැබෙන බව මගේ විශ්වාසයයි. ඉතිරි කිරීමේ හා ආයෝජන දිරිගැන්වීමේ උපාය මාර්ග පැත්තෙන්ද මෙවර අයවැය මගින් යෝජනා වෙන නව්‍ය අදහස් මේ ක්ෂේත්‍රයේ ශක්තිමත් ආයෝජන ගොඩ නැංවීමට හේතු වන බව පෙනී යයි.


සමාජ සමානාත්මතාව
රටක අයවැයක අනෙක් වැදගත් කාරණය වන්නේ එය මගින් සමාජයේ ආර්ථික හා සමාජ සමානාත්මතාව සඳහා ලබා  දෙන සහයෝගයයි. මේ අයවැය ඒ පැත්තෙන් පෙන්වා දෙන්නේ යම් ආකාරයක යථාර්ථවාදී එළඹුමක් බව මගේ අදහසය. බොහෝ අයවැය මගින් කරන්නේ වැටුප් වැඩි කිරීම සහ රාජ්‍ය අංශයේ ප්‍රගමනය පිළිබඳව පමණක් බව අප බොහෝ විට දන්නා කාරණයකි. මෙවර අයවැයේ මේ අංශයේ න්‍යායික පදනම සකස් කර ඇත්තේ ගම සමග පිළිසඳරක් වැඩ සටහන මගින් ප්‍රායෝගික තලයේ සිදුකළ සාකච්ජා මත පදනම්ව බව එහි පැහැදිලිවම සටහන් කර ඇත.

සන්නිවේදන ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීම සහ සමාජ සුබසාධන සඳහා විශාල අවධානයක් යොමු කිරීම මෙහිදී අපේ අවධානයට යොමු විය යුතු කලාපයක්ය. අනෙක් අතින් වෘත්තීය අධ්‍යාපන ඉඩ සහ දුරස්ථ අධ්‍යාපනය සඳහා ලබාදී ඇති ශක්තිමත් සහයෝගය මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක්ය.

කොරෝනා කාලයේ රටම සෞඛ්‍ය ප්‍රශ්නයක් සමග ගැට ගැසී ඇති අවස්ථාවක ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පිම්මක් යෝජනා කරන ප්‍රායෝගික අයවැයක් වශයෙන් මෙවර අයවැය හැඩ හඳුන්වා දිය හැකි බව මගේ අදහසය.

(*** මහාචාර්ය  - චරිත හේරත්)



අදහස් (0)

කොරෝනා කාලේ අයවැය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site