‘‘දඩ දඩස් - දඩ දඩස් - දඩ දඩස්’’
කේබල් කාරය පහළ වේදිකාවෙන් ඉහළ ගමන අරඹද්දීම දෙවරක් තුන්වරක් ගැස්සෙයි. මුල් වරට කේබල් කාරයක යන්නවුන්ගේ හදවත් ගැස්සෙන්නේ ඊටත් වඩා සැරටය. පුරුදු කාරයෝ නම් ගාණක් නැතුව අවට සිරි නරඹන්නට හා ඡායාරූප ගත කරන්නට ලක ලැහැස්තිවෙති.
අප මේ සැරසෙන්නේ ලංකාවී දූපතේ කේබල් කාර් මගින් මීටර් 700 ක් පමණ උසැති මචින්චාං කඳු මුදුනට යන්නටය. මේ කේබල් කාර් ගමන සංචාරකයන් අතර බෙහෙවින්ම ජනප‍්‍රියය.
කඳු පාමුල වෙළෙඳ කුටි හා සල්පිල් වලින් යුතු කුඩා ගම්මානයකි. මැලේසියාවට ආවේණික ගෘහ නිර්මාන සම්ප‍්‍රදායයන් පාදක කර ගනිමින් තැනූ ගොඩනැගිලි ගණනාවක් මේ ගම්මානය පුරා විහිද තිබේ. පෙරදිග ගම්මානය නම් වූ එහි ගොඩනැගිලි අතරින් වැටී ඇති පටු මං මාවත් දිගේ විනාඩි 10 ක පමණ පා ගමනකින් පසු කේබල් කාර් නැවතුමට පැමිණිය හැකිය.
කේබල් කාර් කුටිය තනා ඇත්තේ හය දෙනකුට පහසුවෙන් අසුන් ගත හැකි ආකාරයටය. අසුන් ගත් පසු මුළු වට පිටාවම හොඳින් දැක බලාගත හැකි වන සේ කුටියේ බිම් මට්ටමේ සිට වහල දක්වාම තනා ඇත්තේ වීදුරු වලිනි. දැන් කේබල් කාරය සෙමෙන් සෙමෙන් ඉහළ ඇදෙයි. පහළ කේබල් කාර් නැවතුම දැන් පෙනෙනුයේ සෙල්ලම් ගෙයක් තරම් කුඩාවටය. මචින්චාං කඳු යාය පුරා පැතිර ඇති තුරුලතාවන් ඇස ප‍්‍රීති කරවයි. ඒ අතරින් ඉහළ නැගුණු අපූරු හැඩතල ගත් ගල් කුළු අවුරුදු කෝටි 50 කටත් වඩා පැරණි ඒවා බැව් භූ විද්‍යාඥයෝ පවසති.
කඳු මුදුන කරා යන කේබල් කාර් ගමනට අදියර දෙකකි. පහළ නැවතුමෙහි සිට මැදි නැවතුම දක්වා වනපළමු අදියරේදී කිලෝ මීටර එකහමාරකට වැඩි දුරක් ගෙවමින් මීටර 650 ක පමණ උසකට කේබල් කාරය ගමන් ගනියි.
නිල්ල ගැහුණු කඳු යායේ මහ ගස් අතරින් ඇද හැලෙන දිය ඇල්ලකි. දිය ඇල්ලට දුරස් වෙමින් කේබල් කාරය තව තවත් ඉහළ නගියි. ලංකාවී දූපත වට කරගත් මහ සයුරද දැන් ඈතින් දිස්වෙයි. ඒ අන්දමන් සයුරය. ඇස පුරා දකින්නට මෙවන් නේක දසුන් බැලූ බැලූ අත ඇතද කේබල් කාරයේ ඉන්නා කෝඩුකාරයන් අන්දමන්දව දෑස් පියා ගෙනය. බය වැඩි කමටය.
දැන් මැද නැවතුමට ඔන්න මෙන්නය. මෙතෙක් තරමක වේගයෙන් පැමිණි කේබල් කාරයේ ගමන බාලවෙයි.
‘‘දඩ දඩස් - දඩ දඩස් - දඩ දඩස්’’
කෝඩු කාරයෝ ගැස්සිල්ලට බියෙන් එක් වරම ඇස් අරිති. එසැණින්ම යළි පියා ගනිති. එතකොටම කේබල් කාරයේ වේගය තව තවත් අඩු වෙයි. නැවතුම් වේදිකාවට ඇතුළු වනුයේ ඉබි ගමනිනි. දොරවල් ස්වයංක‍්‍රීයව විවෘත වෙයි. එහෙත් නැවතුමක් නැත. සෙමෙන් ගමන් කරන කේබල් කාරයෙන් සීරුවට වේදිකාවට බැසිය යුතුය. එය කෝඩුකාරයින්ට තවත් ලෙඩකි. සමහරු බහින්නට ගොස් බසින්නේ නැතුව විලාප දෙති. විලාපය නවතින්නේ තවත් කවුරුන් හෝ අතින් ඇද වේදිකාවට බස්සවා ගත් පසුය.
මැදි නැවතුමෙහි සිට ඉහළ නැවතුමට යන්නට සිටින මගීහු ඉබි ගමනින් ඇදෙන කේබල් කාර් කුටියට ගොඩ වන්නේ ඉන් පසුවය. කේබල් කාරය නැවතුම් වේදිකාවේ කෙළවරට ළං වෙද්දීම දොරවල් වැසෙයි. වේදිකාව පසුවෙත්ම කීප වරක් ගැස්සෙයි.
‘‘දඩ දඩස් -දඩ දඩස් - දඩ දඩස්’’
නැවතුම් වේදිකාවේ සිට ඉහළ ඇදෙන කේබල් කාරය දෙස මද වේලාවක් බලා සිටින කෝඩුකාරයෝ සැනසුම් සුුසුම් හෙළති. කේබලයක එල්ලූණු ගෝලාකාර කුටියක විනාඩි 15 ක් පුරා ගැහෙන හදැතිව දෑස පියාගෙන සිටි කෝඩුකාරයන් පපුව පිරෙන්නට හුස්ම ගන්නේ දැන්ය. අසළ ඇති වෘත්තාකාර නැරඹුම් වේදිකාවන්ට ගොඩවී අවට සිරි නරඹන්නේ දැන්ය. මේ නැරඹුම් වේදිකාවන් තනා ඇත්තේ අංශක 360 ක වට පිටාවම රිසි සේ දැක බලා ගත හැකි ආකාරයටය.
කඳු මුදුනට යන්නට තවත් මීටර 50 ක් පමණ ඉහළ නැගිය යුතුය. කිලෝ මීටරයක තරම් දුරකි. හැබැයි ඒ අදියරෙහි නැග්ම මුල් අදියරෙහි තරම් තියුණු නැත. මුල් අදියරෙහි සාමාන්‍ය ආනතිය සියයට 42 කි. සමහර ස්ථානයන්හි එය සියයට 60 ක් තරම්ය. ඒ නිසා ලොව තියුණුම ආනතිය සහිත කේබල් ගමන් මග ලෙසද සැලකෙයි. පළමු අදියර හා සසඳන කළ දෙවන අදියරෙහි ආනතියක් නැති තරම්ය. ඒ නිසා කිරිකෝඩුලාට බයක් හැකක් නැතුව ඇස් ඇරගෙන ගමනට එක් විය හැකිය.
පහළ සිට එන මගීන් මැදි නැවතුමෙන් බැස්ස පසු ඉහළ නැවතුම කරා ඇදෙන කේබල් කාරයට ගොඩවීමේ ඉඩකඩ සැලසෙයි. දොරවල් ස්වයංක‍්‍රීයව වැසී වේදිකාව පසුවෙද්දි දෙවරක් තුන්වරක් ගැස්සෙන කේබල් කාරය කන්දේ ඉතිරි කොටස නගින්නට පටන් ගනියි. විනාඩි 5 කින් පමණ අපි ඉහළ නැවතුම් වේදිකාවේය.
කඳු මුදුනට වඩාත් සිසිල දැනෙයි. කඳු පාමුලට වඩා උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 5 ක් පමණ අඩුය. නැවතුම් වේදිකාවෙන් බැස ඔබ්බෙන් ඇති වෙළෙඳ කුටි අතරින් වෘත්තාකාර නැරඹුම් වේදිකාවන් වෙත පිය නගද්දී ඉහළ සිට පහළ බසින්නට බලා සිටි මඟීන් කේබල් කාර්වලට ගොඩ වෙනු පෙනෙයි.
ඉහළ නැවතුමේ නැරඹුම් වේදිකා කරා යන්නට තවත් මද දුරක් පා ගමනින් ඉහළ නැගිය යුතුය. අංශක 360 ක් පුරා වටපිටාව දැක බලා ගත හැකි වන සේ නිර්මිත වෘත්තාකාර වේදිකාවට ගොඩ වූ විට ඉලන්දාරි නිල් පැහැයේ සිට ගැඹුරු ඝන නිල් පැහැය දක්වා වූ නේක උපවර්ණයන් ගෙන් දිදුලමින් ඈතින් ඈතට ඇදෙන මහ සයුර කෙළවර මැලේසියානු මහ ගොඩබිම පමණක් නොව තායිලන්තය පවා දැකිය හැකිය. හරිත පැහැයේ උපවර්ණ සිය ගණනක් තැවරී ඇති මෑත කඳු යාය අතරින් කැපී පෙනෙන ආගන්තුකයා රිදී වණින් බබලන එල්ලෙන ආකාස පාලමයි.
නැරඹුම් වේදිකාවෙන් පහළට ඇති කුඩා පියගැට බැස මහ වන මැදින් වැටී ඇති ගල් පඩි නගිමින්. බසිමින් විනාඩි 10 ක පමණ තරමක වෙහෙසකර පා ගමනකින් පසු එල්ලෙන පාලම වෙත ළඟා විය හැකිය. මහ පාලමට ගොඩ වූ සැණින් ගමන් වෙහෙස කොහේ ගියාද කියා නැත.
කඳු ශිඛර දෙකක් යා වන සේ අඩ සඳක හැඩය ගත් පාලම එල්ලී ඇත්තේ කඳු හෙළ පාමුල සිට ඉහළට එසැවුණු මීටර් 82 ක් උසැති යෝධ යකඩ කණුවකට ඈඳුණු කේබල් අටකටය. නිර්මාන විශ්මිතය වන්නේ ඒ යෝධ කණුවද ඇලවුණු එකක් වීමයි!
ඇලවුණු කණුවේ එල්ලෙන ආකාස පාලම මීටර් 125 ක් දිගය. ලෝකයේ දිගම වක‍්‍රාකාර එල්ලෙන පාලම මෙයය. පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 687 ක් ඉහළිනි.
චන්ද්‍රවංක පාලම දෙකෙළවර ත‍්‍රිකෝණාකාර නැරඹුම් වේදිකා දෙකකි. නැරඹුම් වේදිකාව පසු කොට චන්ද්‍රවංක පාලම දිගේ පිය නගද්දී වළාකුළු පැමිණ සියොළඟ එතෙයි. ඈත මහ සයුර, ලංකාවියේ පරිවාර දූපත් අපූරුවට පෙනෙයි. කඳු නගින, බසින කේබල් කාර් දිස් වන්නේ වැලක එල්ලා ඇති කුඩා කඩදායි බකට් පෙළක් සේය. පාලමෙන් පහළ බලද්දී පෙනෙනුයේ මහා හරිත වනාන්තරයයි. මේ වනපරම්පරාව වසර කෝටි පණහක් පමණ පැරැුණිය. හිටි අඩියේම ගත දැවටෙන වළාරොද පලවා හරිමින් මහ සුළං හමයි. සුළං සැරට පාලම පැද්දෙයි. එක් වරම සිත් කීරි ගැස්සෙයි. සමහරු පාලම් වැට තදින් බදා ගනිති. තවත් සමහරු හුන් තැනම බිම හිඳ ගෙන දෑස් වසා ගනිති. මදකින් සුළඟ සන්සුන්ය. පාලම තැන්පත්ය.
”හෙළවෙන කොට - වැල්පාලම
දෑස් පියන් බිම නොබලන්’’
හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ, ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ සංගීතයට මානෙල් ගැයූ ‘වැල් පාලමේ ගීතය’ මුමුණමින් අපි ආකාස පාලම තරණය කරමු.
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි
මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කේබල් කාරයේ කෝඩුකාරයෝ