IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කාබනික තීන්දුවේ වින්නැහිය

පාලකයන්ගේ වැරැදි ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නිසා ලංකාව නිදහසින් පසු දරුණුතම ගෙවුම්ශේෂ අර්බුදයකට මුහුණදී සිටියි. එසේම කෘෂිකර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් සිදුවී තිබෙන්නේ ගොවිතැන සියයට 100 ක් කාබනික කිරීමේ අදූරදර්ශී තීරණය නිසා බව කාගේත් පිළිගැනීමයි. ඒ හේතු දෙක මත රට දරුණු  සාගතයකට තල්ලුවෙමින් පවතින බව දෙස් විදෙස් කාගේත් පිළිගැනීමයි. මේ කළුවළා අතර රිදී රේඛාවක් නැද්දැයි අප විමසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කෘෂිකර්ම සහ පරිසර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් ගජනායක ගෙනි. මේ ඒ කෘෂි විද්‍යාඥයාගේ හඬයි.

ගෙවුම් ශේෂ අර්බුදය සහ විදෙස් මුදල් සරලව කිවහොත් ඩොලර් උපයා ගැනීමට ඇති නොහැකියාව නිසා ලංකාව බංකොලොත්වී  හමාරය. තමන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි හිස් භාණ්ඩාගාරයක් සහිත රටක් බව ලෝකයට හඬගා කිව්වේ ලංකා ආණ්ඩුව විසිනි. ඒ පසුබිමේ තමන් විසින් නිර්මාණය කරගත් කෘෂිකාර්මික අර්බුදය හේතුවෙන් දැන් රට සාගතයකට තල්ලුවෙමින් පවතී. ගොවිතැන සීයට සියක් කාබනික කිරීමේ ඒ අමනෝඥ තීරණය සඳහන් ගැසට්ටුව ප්‍රකාශයට පත් කළේ 2021 මැයි 06 වැනිදාය. එදා සිට මේ දක්වා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටුණු ආකාරයක් එමගින් රටේ ආර්ථිකයට, සමාජ  දේහයට, දේශපාලනයට සහ රටේ ඉදිරි අනාගතයටත් වන බලපෑම් ගැන අපි මෙහිදී සලකා බලමු.

වසර 2010 පමණ වන තෙක් අපේ රටේ හාල් අවශ්‍යතාව සපුරා ගැනීමට පිට රටවලින් යම් හාල් ප්‍රමාණයක් ආනයනය කිරීමට අපි පුරුදුවී සිටියෙමු. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පර් යේෂකයන් සහ විශ්වවිද්‍යාල පර් යේෂකයෝත් දැනුමත් උත්සාහයත් මගින් වැඩි දියුණු කළ සහ වැඩි අස්වැන්නක් ලැබෙන වී ප්‍රබේද  හෙවත් වී වර්ග රැසක් රටට හඳුන්වා දුන්හ. එසේම ඒ වනවිට ක්‍රියාත්මකවූ රසායනික පොහොර සහනාධාරයත් හේතුවෙන් 2010 න් පසු අපේ රට සහළින් ස්වයංපෝෂිත විය.

2020/ 2021 මහ සහ යල් කන්න දෙක මෙරට වී නිෂ්පාදනයේ ස්වර්ණමය කන්න දෙකයි. ඒ කන්න දෙක නිම වුණේ ගොවිතැන සීයට සීයක් කාබනික කිරීමේ අමනෝඥ තීරණය ගත් 2021 මැයි 06 වැනිදාට පෙරය. ඒ කන්න දෙකෙහි සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 51 කි. ඒ වී කෙටීමෙන් ලැබුණු හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 33 සිට 36 අතර ප්‍රමාණයක් විය. ලංකාවට අවුරුද්දකට අවශ්‍ය හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 22 සිට 24 අතර ගණනකි.

ඉන් ප්‍රත්‍යක්ෂ වන්නේ ගොවිතැන සියට සීයක් කාබනික කිරීමේ අමන, මුග්ධ, තීරණය ගැනීමට පෙර මෙරටෙහි මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක පමණ හාල් අතිරික්තයක් පැවැති බවය. එහෙත් 2021 මහ කන්නයේ සිට ක්‍රියාත්මකවූ ගොවිතැන සියට සීයක් කාබනික කිරීමේ අමනෝඥ තීරණය නිසා 2021 මහ කන්නයේ අස්වැන්න සීයට 40 සිට සීයට 50 අතර ප්‍රමාණයකින්ද 2022 යල කන්නයේ අස්වැන්න සීයට 50 සිට සීයට 60 අතර ප්‍රමාණයකින්ද අඩුවිය. ඒ නිසා රටේ හාල් හිඟයක් නිර්මාණය විය. එසේම වෙළෙඳපොළෙහි හාල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ඒ  නිසා රජය කළේ හාල් ආනයනය කිරීමය. මේ වනවිට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 ක් පමණ ආනයනය කර තිබේ. ඉදිරියටද හාල් ආනයනය කිරීමට සිදුවෙයි. දැන් රසායනික පොහොර ලබාදුන්නත් රසායනික ගොවිතැන තහනම් කිරීමෙන් වූ මහා ව්‍යසනය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට වසර කිහිපයක් ගත වෙයි. ඊට හේතු වී තිබෙන්නේ ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්වීම සහ පවතින අර්බුදය හේතුවෙන් බිත්තර වී, රසායනික පොහොර සහ අනෙකුත් යෙදවුම් සේවා යන්ත්‍රෝපකරණ කුලිය සේම ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ යාමය. ඒ නිසා තවත් දිගු කාලයක් රටින් හාල් ගෙන්වීමට ලංකාවට සිදුවෙයි. එහෙත් කෘෂිකර්ම ඇමැති කියන්නේ ආනයනය කරන හාල් පරිභෝජනයට නුසුදුසු බවය. එය සීයට 100 ක් සත්‍ය නොවුණත් සීයට සියක් අසත්‍යය ද නොවේ.

සාමාන්‍යයෙන් ලංකාවේ අක්කර දෙකහමාරකට එනම් හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝ 138 ක් භාවිතා කළත් අප හාල් ආනයනය කරන බොහෝ රටවල් හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝ 300 ක් පමණ යොදයි. එසේම ඒ රසායනික පොහොර බොහෝ දුරට ප්‍රමිතියෙන් තොරය. ඒ නිසා ඒ හාල්වල ලංකාවේ හාල්වලට වඩා විෂ සහිතයි. එසේම රටින් ගෙන්වන හාල් බොහෝ කල් ගබඩා කර තබාගැනීම නිසා සහ ප්‍රමිතියෙන් තොර ගබඩා කරගැනීම හේතුවෙන් ඇෆ්ලටොක්ෂින් (Aflatoxin) වැනි විවිධ විෂ වර්ග ඒ  හාල්වල ඇතිවිය හැකිය.

ලංකාවේ පාලකයන්ගේ අමනෝඥ තීරණ නිසාත් රුසියානු - යුක්රේන් යුද්ධය සහ දේශගුණික කාරණා නිසාත් ලෝක ආහාර අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා වෙයි. එය සාගතයකින් කෙළවර විය හැකි බවට පුරෝකතනද කෙරෙයි. ලෝකයේ බොහෝ සාගත නිර්මාණය වූයේ පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති සමග පැමිණි ස්වභාවික හේතු නිසාය. වර්ෂ 1769 සිට 1773 දක්වා පැවැති මහා බෙංගාල සාගතය පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ නියඟයේ ප්‍රතිඵලයකි. ඒ සාගතයෙන් මියගිය පිරිස ලක්ෂ 100 කි. එසේම 1789 සිට 1792 තෙක් ඉන්දියාවේ පැවැති ‘දොජි බරා’ සාගතය ද පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ නියඟය සේම විවිධ ලෙඩ රෝග පැතිරීමේ ප්‍රතිඵලයකි. ඒ සාගත සමයේ මළ සංඛ්‍යාව ලක්ෂ 110 කි.

1845සිට 1852 යුගයේ අයර්ලන්තයේ ඇතිවූ අර්තාපල් සාගතය ද වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති සහ ශාක රෝග පැතිරීමේ ප්‍රතිඵලයකි. ඒ සාගතයෙන් මැරුණු සංඛ්‍යාව ලක්ෂ 20 කි. සිවිල් යුද්ධය සහ නියඟය හේතුවෙන් 1921 සිට 1922 දක්වා කාලයේ රුසියාවේ ඇතිවූ සාගතයෙන් ලක්ෂ 50 සිට 100 අතර සංඛ්‍යාවක් මරණයට පත්වූ බව සඳහන් වෙයි. 1932 සිට 1933 දක්වා කාලයේ යුක්රේනයේ පැවැති සාගතය ද පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. ඒ සාගතයේදී ලක්ෂ 30 සිට 130 අතර පිරිසක් මියගිය බව සඳහන් වෙයි.

මහා චීන සාගතය තවත් උදාහරණයකි. එය පැවැතියේ 1959 සිට 1961 කාලයේය. ඉන් මළ පිරිස ලක්ෂ 550 කි. එයද එරට පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. මා ඉහත දැක්වූ උදාහරණ සියල්ලෙන් හෙළිවන්නේ සාගතවලට මූලික හා ප්‍රමුඛ හේතුව වන්නේ පාලකයන්ගේ වැරදි කෘෂිකර්ම ප්‍රතිපත්ති මිස ස්වභාවික හේතු නොවන බවය.

ජනගහනයෙන් සියයට 80 ක් කෘෂි ආර්ථිකයෙන් ජීවත්වන සේම ඉන් අතිවිශාල බහුතරය ග්‍රාමීයව ජීවත්වන ලංකාවේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම ග්‍රාමීය ආර්ථිකයට ඍජුව බලපායි. මූලික යෙදවුම් හිඟය සහ ඒවායේ මිල අධිකකම නිසා වී, බඩඉරිඟු, එළවළු, තේ නිෂ්පාදනය පහළ ගොසිනි. එසේම නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා ග්‍රාමීය ආර්ථිකයද කඩාවැටී හමාරය. සත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ව පාලනයෙන් දිවි ගෙවූ වැඩි පිරිසක්ද තම කර්මාන්ත අතහැර දමා කාලයකි. කුකුළු ගොවිපොළ මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණයකි. ඒ නිසා කුකුළු මස් සහ බිත්තර සම්බන්ධයෙන් වෙළෙඳපොළේ නිර්මාණයවී තිබෙන්නේ කතිපයාධිකාරිත්වයකි. ඒ නිසා කුකුළු මස් කිලෝව රුපියල් 1400 සිට 1700 අතර පවතී.

බිත්තරයක පාලන මිල රුපියල් 50 කි. කිරි ඇතුළු අනෙකුත් සත්ව නිෂ්පාදන මිල ද ඉහළ යාම නිසා රටේ සමස්ත ජනතාවම පීඩිතව සිටිති. කොරෝනා නිසා කඩා වැටීම ආරම්භ වූ ගැමි ආර්ථිකය දැන් සම්පූර්ණයෙන්ම සල්ලන් ය. එදා රත්තරන් බඩු උගසට තැබූ ගැමියෝ දැන් විදුලි උපකරණ ඇතුළු අනෙකුත් ගෘහ භාණ්ඩ උගස් කරති. ගෙවත්තේ තිබෙන දැවමය වටිනාකමක් සහිත ගස්ද පස් හා ගල්ද විකුණති. ශරීරයේ ඉන්ද්‍රියන්ද මුදලට විකුණති. ඒ දිවි පැවැත්ම සඳහාය. ග්‍රාමීය ආර්ථිකය වැටී තිබෙන තරම ඒ තොරතුරුවලින් මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

රටේ උදාවී තිබෙන ඒ තත්ත්වය නිසා ලංකාවේ සමස්ත ජනගහනයෙන් සීයට 30 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ලෝක ආහාර සංවිධානය කියයි. ඒ අනුව දැන් ලංකාව උග්‍ර ආහාර අර්බුදයක සිට මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා තල්ලුවෙමින් පවතී. ආහාර සුරක්ෂිතතාව අතින් 2021 පෙර දකුණු ආසියාවේ රටවල් අතර ලංකාව සිටියේ පළමුවැනි ස්ථානයේය. එකල අපට ලෝකයෙන්ම හිමිවූයේ 66 වැනි තැනයි. එහෙත් අද වන විට ලංකාව 77 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටියි. රටේ පවතින උද්ධමනය නිසා සමබල ආහාර වේලක්  සපයා ගැනීමට අතිබහුතරයකට නොහැකි ය.

බිත්තර හා කුකුළු මස් මිල අධිකවීම නිසා බොහෝ පවුල්වල ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ලබාගත් දොරවල් වැසී පවතී. මාළු මිල ද ඉතා ඉහළය. ඒ නිසා ජනතාව වැඩි වශයෙන් කාබෝහයිඩ්ඩ්‍රේට් මත යැපෙමින් සිටිති. විශේෂයෙන් ගැබිනි මවුවරුන්, ශරීරය හා මොළය වර්ධනය වෙමින් පවතින කුඩා ළමයින්, පාසල් දරු දැරියන්, සරසවි සිසු සිසුවියන් නිසි පෝෂණයකින් තොරව වැඩෙයි. ඒ බොහෝ දෙනා දැන් ගන්නේ ආහාර වේල් එකක් හෝ දෙකකි. ආහාර ප්‍රශ්නය නිසාම පාසල් හා සරසවි යන සිසු සිසුවියන් සංඛ්‍යාව දිගින් දිගටම අඩුවෙමින් පවතී.  කාබෝහයිඩ්ඩ්‍රේට් ආහාර මත යැපීම නිසා විවිධ බෝනොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්ද පවතී.

අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ නොමැතිව රෝහල් පද්ධතිය ද කඩා වැටී පවතින තත්ත්වය මත නිරෝගී ජනතාව රෝගීන් වීමේ සහ රෝගී ජනතාවගේ ලෙඩ රෝග උත්සන්නවීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතී. මේ සියල්ලට මූලික හා ප්‍රධාන හේතුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රටේ ගොවිතැන සීයට 100 ක් කාබනික කරවීමේ අමන තීරණය බව කොයි කාටත් දැන්වත් අවබෝධ විය යුතුය. ඒ තොරතුරුවලින් යළි යළිත් සනාථ වන්නේ සාගතවලට මූලික හා ප්‍රමුඛ හේතුව වන්නේ පාලකයන්ගේ වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති මිස ස්වභාවික හේතු නොවන බවය.

සාගතයට තිත තැබිය හැක්කේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමෙනි. ඒ සඳහා පළමුව කළයුත්තේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සැකසීමය. දෙවනුව යැපීම් මානසිකත්වයෙන් මිදී වාණිජමය කෘෂිකර්මාන්තය වර්ධනය කළයුතුය. තෙවනුව කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය ප්‍රවර්ධනය, සංවර්ධනය සහ ව්‍යාප්තිය සඳහා පෞද්ගලික අංශය මැදිහත් කරගත යුතුය. සිව්වනුව වී සඳහා සහතික මිලක් නියම කර පෞද්ගලික වෙළෙන්දා විසින් වී ගොවියා සුරාකනු ලැබීම නැවැත්වීම සඳහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය සක්‍රීයව දායක විය යුතුය.

පස්වැනිව රසායනික තෙල් පොහොර මිල ඉතා ඉහළ බැවින් රසායනික හා කාබනික යන දෙවර්ගයෙහි මිශ්‍රණයක් නැතහොත් ඒ දෙක ඒකාබද්ධ කළ පෝෂණ කළමනාකරණ ව්‍යාපෘතියක් හෝ වැඩ සටහනක් සඳහා සියලුම ගොවීන්ට සහනාධාරයක් ලබාදිය යුතුය. මානසිකව වැටී සිටින ගොවීන්ට වගා හානි වන්දියක් ලබාදී ඔවුන් යළි උද්යෝගීමත් කිරීම මා යෝජනා කරන හයවැනි පිළියමයි. ඒ සඳහා නියම, තත්ත්වාකාර සහ ප්‍රායෝගික කෘෂි රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීම තවත් උත්තේජකයකි. අගය එකතු කළ නිෂ්පාදන සඳහා තරුණ පරපුර දිරිගැන්වීම මාගේ හත්වැනි යෝජනාවයි. එසේම බිඳවැටුණු බිත්තර හා කුකුළු මස් කර්මාන්තයයට යළි පණපෙවීම සඳහා අවශ්‍ය සියලු පියවර එනම් අඩු මුදලකින් යුත් පෝෂණීය සත්ව ආහාර නිපදවීම ඇතුළු සියලු පහසුකම් සහ දිරිගැන්වීම් දීම මා කරන අටවැනි යෝජනාවයි. එසේම පණ අදින ධීවර කර්මාන්තයට ඉන්ධන සහනාධාර සහ සහන පොලී ණය ලබාදීම මගින් ඔක්සිජන් සැපයීය යුතුය. එය මාගේ නවවැනි යෝජනාවයි.

මා කරන 10 වැනි යෝජනාව වන්නේ තේ, රබර්, පොල්, ක්ෂේත්‍ර බෝග, බහුවාර්ෂික බෝග, අපනයන භෝග, එළවළු, පලතුරු යනාදී සියලු බෝග වගා සඳහා කාබනික හා රසායනික තෙල් පොහොර මිශ්‍ර ඒකාබද්ධ පෝෂක කළමනාකරණ ව්‍යාපෘතියක් වහා දියත් කළ යුතු බවය. එමගින් ලෝක ආර්ථික අර්බුදය හමුවේ රසායනික පොහොර මිලෙහි උච්ඡාවචනයන්ට ඔරොත්තු දෙන තිරසාර කෘෂිකර්මාන්තයක් රටෙහි පවත්වාගෙන යාමට හැකිවෙයි. මා ඉහත කළ යෝජනා කෙටි, මධ්‍ය හා දිගුකාලීන වශයෙන් වෙන වෙනම හඳුනාගෙන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මගේ තක්සේරුවයි.


ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කෘෂිකර්ම සහ පරිසර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය ආචාර්ය ප්‍රදීප් ගජනායක

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්



අදහස් (0)

කාබනික තීන්දුවේ වින්නැහිය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 141 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 186 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 78 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 30 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 51 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 484 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1303 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site