සම්බුදු රාජාණන් වහන්සේ පුරා වර්ෂ 45 ක් ලෝ සතුන් හිත සුව පිණිස සදා සැනසිල්ලකට පත්විය හැකි උතුම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට 80 වැනි වියේ දී දෙව් මිනිසුන්ගේ මහත් ගෞරව සත්කාර මධ්‍යයෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් වනයෙහි සල් ගස් දෙකක් අතර උතුරු දිසාවට හිසලා සිංහ සෙයියාවෙන් සැතපී වදාරා පිරිවන් පා වදාල සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුදුසු පරිදි අන්තර්ගත කොට සකසන ලද ත‍්‍රිපිටකය සූත‍්‍ර, විනය හා අභිධර්මය නමින් වර්තමානයෙහි ව්‍යවහාරයේ පවතියි. සූත‍්‍ර පිටකයේ මහා පරිනිම්බාන සූත‍්‍රයෙහි ඒ අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත්ව පවතියි. මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ. මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග‍්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.   ‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප‍්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
  මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම් කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්‍ෂත‍්‍රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප‍්‍රකාශ කර සිටියහ.   ‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීග නිකාය)
මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප‍්‍රකාශයක් කර ඇත. එය නම් - ‘‘පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්‍ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය. මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප‍්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.   ‘‘කපිලවස්තුවේ (වර්තමාන කිඹුල්වත්පුර නමින් හැඳින්වෙන නේපාලයේ) ශාක්‍යයෝ ද භාග්‍යවතුන්ගේ ශරීර කෙටස් තැන්පත් කොට චෛත්‍යයක් කරවා මහා පූජා සත්කාර ද කළහ’’
(මහා පරිනිබ්බාන සූත‍්‍රය - දීඝ නිකාය)
  ඉන්දීය පුරාවිද්‍යා කැණීම් මගින් අනාවරණය කර ගැනුණු පුරාවස්තු අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරයට අයත් අස්ථි කොටස් ඉතා විද්‍යාත්මකව සොයා ගැනීම අතිශය ප‍්‍රසාදය දනවන සිත්ගන්නා සුළු කාරණයකි. එරට කැණීම් මගින් සොයා ගැනුණු මෙම අස්ථි කොටස් ලෝකවාසී බෞද්ධයෝ පූජනීය හා වන්දනාමය අර්ථයෙන් ‘‘ධාතු’’ යැයි ව්‍යවහාර කරති. කපිල වස්තු ධාතු නමින් මෙකල හඳුන්වනුයේ ඉහත විස්තර කළ පරිදි බුදු හිමියන්ගේ ශ්‍රී ශරීරය දහනය කොට ශේෂ වූ අස්ථි වලින් එක් කොටසක් ලබාගත් කපිල වස්තුවේ ශාක්‍ය රජ දරුවන් විසින් අදින් වසර 2400 කට පමණ පෙර ඉදි කරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබුණු සම්බුද්ධ ධාතූන් වහන්සේලාය. මෙම පූජනීය ධාතු සොයා ගැනීමේ ගෞරවය හිමි වනුයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාටය. ඒ අදින් වසර 113 කට පමණ පෙර මොහුගේ මූලිකත්වයෙන් සිදු කළ පුරාවිද්‍යා කැණීම් මගින් මෙම ධාතු හමු වූ නිසාය. ඒවා හමු වූයේ වර්තමාන බිහාරයේ (උත්තර් ප‍්‍රදේශය) පිප‍්‍රාවා නමැති ස්ථානය කැණීම් කිරීමෙනි. පැරණි ඉන්දීය ඉතිහාසයේ දී ‘‘කපිලවස්තු’’ යන්න වර්තමානයේ නාමය හඳුන්වනු ලබනුයේ ‘‘පිප‍්‍රාවා’’යන  නාමයෙනි.
මැදගම ධම්මානන්ද හිමි