ඉහළ කොත්මලා ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට අනූහයකින් පමණ අවසන් කොට තිබේ. එය වූ කලී ශ්‍රී ලංකාවේ ඉදිවූ අවසන් විශාලතම ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලැකේ. පරිසර හිතකාමී ලෙස ඉදිවූ ඉහළ කොත්මලා ඔය ජලාශ ව්‍යාපෘතිය මේ වන විට විශාල පාරිසරික ගැටලූ රැසකට මුහුණ පා ඇත. එම තත්ත්ව ඉතාමත් කඩිනමින් නිරාකරණය කරගත නොගතහොත් ඉහළ කොත්මලා ඔය ජලාශය ගණ අපද්‍රව්‍ය හා රොන් මඩ වලින් පිරී ඊට වැය කරන ලද ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂ 384 කට අධික මුදල වතුරේ යනු ඇත. ඉහළ කොත්මලා ඔය ජලාශය ඉදිකර ඇත්තේ හෝර්ටන්තැන්න පාමුලින් ආරම්භ වන සුන්දර කොත්මලා ඔය තලවකැලේ නගරයට මදක් පහළින් හරස් කොටය. ඉහළ කොත්මලා ඔය ජලාශයට ජලය මේ වන විට සම්පූර්ණයෙන්ම පුරවා අවසන් කොට ඇති අතර ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 2730 න් සමන්විතය. එම ජල පෝෂක ප‍්‍රදේශ ආශ‍්‍රිතව සිදුවෙන උස් පහත් වූ විවිධ වූ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා මෙසේ ජලාශයේ ආයු කාලය සීමා සහිත අවදානමකට ලක්ව තිබේ. ජලාශයේ පෝෂක ප‍්‍රදේශයේ පිහිටි කඩ, වීදි හා නිවාස වලින් බැහැර කරනු ලබන දෛනික කසළ ප‍්‍රමාණය ටොන් 10 කට ආසන්න බව එම ජල පෝෂක ප‍්‍රදේශයේ පිහිටි තලවකැලේ ලිඳුල නගර සභාවත්, නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවත් පවසයි. ජල පෝෂක ප‍්‍රදේශයේ පිහිටි එම පළාත් පාලන ආයතන දෙක විසින් සාර්ථක ගණ අප ද්‍රව්‍ය කළමණාකරන වැඩසටහනක් ක‍්‍රියාත්මක නොකළහොත් වාර්ෂිකව කසළ ටොන් 3650 කට අධික ප‍්‍රමාණයක් නතර වෙනුයේ ඉහළ කොත්මලා ඔය ජලාශය තුළය. දැනට ඩයගම නගරයේ සිට ඉහළ කොත්මලා ඔය ජලාශය දක්වා ගලා බසිනා කොත්මලා ඔය දෙපසට නගර රැසකින් එකතු වෙන කුණු කසල දැමීමට නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇත. වසර 30 කට අධික කාලයක පටන් මෙසේ එම ප‍්‍රාදේශීය සභාව මගින් ඩයගම ආගරපතන, මනරාසි, හෝල්බෲක්, මෙරාය ආදී නගර හා ඒ ආශ‍්‍රිතව එකතු වෙන කසළ එම නගර ආසන්නයේදීම කොත්මලා ඔය සමීපයේ ගොඩ ගැසීමට පුරුදුව සිටී. එසේ කොත්මලා ඔය සමීපයේ ගොඩ ගසා ඇති කසළ අධික වර්ෂාව ඇති දිනවලදී හා බල්ලන්, ඌරන්, කබරයන් වැනි සතුන් මගින් නිරන්තරයෙන්ම කොත්මලා ඔයේ ජලයට මුසුව ගලා බසිනු දක්නට ලැබේ. එය ඉහළ කොත්මලා ඔය ජලාශයේ පැවැත්මට මෙන්ම එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ගඟ පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම පරිසර අහිතකර ක‍්‍රියාදාම සම්බන්ධව නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එස්. සදාසිවම් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ පැවසීය. "වසර 30 කට අධික කාලයක පටන් ප‍්‍රාදේශීය සභාව කුණු ප‍්‍රශ්නයට මැදිව සිටිනවා. විශාල වතු ප‍්‍රමාණයක් හා විශාල නගර තුනක් හා උප නගර 21 කින් සමන්විත ප‍්‍රාදේශීය සභාවට කුණු දැමීමට සුදුසු ඉඩමක් නෑ. ප‍්‍රදේශයේ වතුවලින් ඉඩම් ඉල්ලූවත් කිසිදු වත්තකින් ඉඩමක් ලබා දෙන්නේ නෑ. මේ ප‍්‍රශ්නයට මූලික හේතුව එයයි.” "දැනට පතන ප‍්‍රදේශයේ අක්කර හතරකින් යුතු ඉඩමක් හඳුනාගෙන තිබෙනවා. එය ලබා ගත්තත් බල ප‍්‍රදේශයේ කුණු ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට නොහැකි වේවී” නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව එසේ ප‍්‍රායෝගික ගැටලූ වලට මුහුණ පා ඇත. එහෙත් මෙකී පාරිසරික ප‍්‍රශ්නයට නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවට කෙසේ හෝ මුහුණ දී සාර්ථක විසඳුම් ලබා ගත යුතුව තිබේ. දැනට කොත්මලා ඔය දෙපස ගොඩ ගසන කුණු දැමීම සඳහා දැල් ආවරණ හෝ තාවකාලිකව යොදා ගත යුතුව තිබේ. එසේ නොවුන හොත් විනාශ වනුයේ ඉහළ කොත්මලා ජලාශය හා පහළ කොත්මලා ජලාශය වැනි මෙරට ජාතික සම්පත්ය. මේ නිසා ඉතාමත් කඩිනමින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් හෝ වැඩ සටහනක් දියත් කොට මෙකී ගණ අපද්‍රව්‍ය කළමණාකරණයට නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවටත්, තලවකැලේ ලිඳුල නගර සභාවටත් සහයෝගය දැක්විය යුතුය. දැනට බොහෝ කලක පටන් උඩරට වතුකරයේ තේ ගස් ගලවා ඉවත් කොට අර්තාපල් හා අනෙකුත් එළවළු වර්ග වගා කිරීමේ අඳබාල ක‍්‍රියාවක් සිදුවෙමින් පවතී. උඩරට වතුකරයේ අක්කර දහස් ගණනක් මෙසේ දැනට එළවළු වගා බිම් බවට පරිවර්තනය වී තිබේ. කඳුකරයේ සංවේදී පරිසර කලාප විනාශ කරමින්, මෙරට තේ කර්මාන්තයට කනේ පහරක් එල්ල කරමින්, ඉහළ ජල පෝෂක ප‍්‍රදේශ විනාශ කරමින් කරන්නාවූ එකී විනාශය නිසා එය සෘජුවම විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වලට ප‍්‍රබල බලපෑමක් ඇති කරයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු 25 ක පමණ දැනට තේ ගස් ගලවා ඉවත් කොට අක්කර 3500 ක පමණ බිම් ප‍්‍රදේශයක එළවළු වගා කොට ඇතැයි අනාවරණය වී තිබේ. මෙම ඉඩම් සියල්ලම දැනට ව්‍යාපාරිකයන් බදු ක‍්‍රමයට ලබාගෙන අවිධිමත් වගා කිරීම් වලට යොමු වීම නිසා රොන්මඩ ටොන් ගණනක් වැසි දිනවලදී කොත්මලා ඔය දිගේ පහළට ගලායයි. සමර්සෙට්වත්ත, රදැල්ලවත්ත, ඩෙස්පෝඞ් වත්ත, වංගිඔය වත්ත, ග්ලාස්ගෝවත්ත, ක්ලැරැුන්ඩන් වත්ත, කැල්සි මහාඑළිය වත්ත අග‍්‍රා කන්ද වත්ත, ඌව කැලේ වත්ත, තංගකැලේ වත්ත, රත්නගිරිය වත්ත, ආදී වතුවල තේ ගස් ගලවා ඉවත් කොට එළවළු වගා කිරීම සඳහා ව්‍යාපාරිකයන්ට ඉඩම් අක්කර දහස් ගණනක් බදුදී තිබේ. එකී සියලූම වතු පිහිටා ඇත්තේ ඉහළ කොත්මලා ඔය ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශයේය. ඊට අමතරව ඉහළ කොත්මලා ඔය ජලාශයට ඉහළින් කොත්මලා ඔය උපයෝගී කරගනිමින් සැලැසුමකින් තොරව ඉදිකරන කුඩා ප‍්‍රමාණයේ ජල විදුලි බලාගාර ව්‍යාපෘති නිසා විශාල වශයෙන් පරිසර හානි සිදුවෙමින් පවතී. අවිධිමත් මෙම ඉදිකිරීම් නිසා පාංශු ඛාදනය උග‍්‍ර අතට හැරී ඇති බවත් එවැනි අවිධිමත් කුඩා ජල විදුලි බලාගාරයක ඉදිකිරීම් නුවරඑළිය දිසාපති ඞී.ජී.ජී. කුමාරසිරි මහතාත්, තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතාත් එක්ව දැනට අත්හිටුවා  තිබේ. එය ලිඳුල ප‍්‍රදේශයේ පිහිටුවා ඇති අතර එමගින් විශාල ලෙස පාංශු ඛාදනය සිදුවී කොත්මලා ඔයට වැටීම නිසා දැනට අත්හිටුවා ඇතැයි පැවැසේ. ඉහළ කොත්මලා ඔය ජලාශය සමීපයේම පිහිටි පළාත් පාලන ආයතනය වන්නේ තලවකැලේ ලිඳුල නගර සභාවයි. එහි වත්මන් සභාපතිවරයා වන්නේ ඒ. අශෝක සේපාල මහතායි. මේ සම්බන්ධව අප ඔහුගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ කීය. "නුවරඑළිය ග්‍රෙගරි වැවෙන් පටන්ගන්නා නානුඔයත්, ඩයගම ප‍්‍රදේශයේ සිට ගලා එන කොත්මලා ඔයත් මූලික ලෙස එකතුව ඉහළ කොත්මලා ඔය ජලාශයට ජලය සපයනවා. එම ඔය දෙකම දැනට විශාල ලෙස පරිසර හානියකට ලක්වී තිබෙනවා. ගණ අප ද්‍රව්‍ය මුදාහැරීම් අනවසර ඉදිකිරීම්, එළවළු වගා කිරීම්, රක්ෂිත කැලෑ බිම් ගිනි තැබීම් නිසා මෙම පරිසර හානිය සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් අප අවසන් කරගත නොගතහොත් ඉහළ කොත්මලා ඔය ගණ අපද්‍රව්‍ය හා රොන් මඩින් පිරී අපේක්ෂිත ඉලක්ක වලට යා නොහැකි වෙනවා.” "ජලාශයට ජලය පුරවා මාස පහක වැනි කෙටි කාලයක් ගත වී ඇතත් එහි දැනටමත් රොන් මඩ හා ගණ අපද්‍රව්‍ය පිරෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතනයක් හැටියට අප මූලිකව ඉහළ කොත්මලා ඔය ජලාශය බේරාගැනීමේ වැඩ සටහනක් ආරම්භ කොට තිබෙනවා.” ගණ අපද්‍රව්‍ය කළමනාකරණය මගින් ඉහළ කොත්මලා ඔය ජලාශය දුෂණය වීම අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා තලවකැලේ ලිඳුල නගර සභාව සංවිධානය කොට ඇත. මෙම වැඩමුළුව මගින් ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන නිලධාරීන්, ජනතා නියෝජිතයන්, රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් දැනුවත් කළ බව තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතා අප සමග කීය. ඉහළ කොත්මලා ඔය ව්‍යාපෘතියේ පරිසර නිලධාරි වසන්ත අබේසිංහ මහතා අප සමග කීවේ ජලාශය පුරවා ඉතා කෙටි කාලයක් වුවත් ජලාශය නිරීක්ෂණය කිරීමේදී විශාල වශයෙන් ඝන අප ද්‍රව්‍ය, ශාඛවල කොටස් හා රොන් මඩ එකතු වී ඇති බව පෙනී යන බවත් මේවා සියල්ලටම බලපා ඇත්තේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා බවත්ය. ඊට අමතරව මිනිසුන් විසින් ජල පෝෂක ප‍්‍රදේශයේ කරනු ලබන අවිධිමත් කෘෂි කාර්මික ක‍්‍රියාකාරකම් නිසා ජලාශය තුළ ඇල් ගී හා ජලජ පැලෑටි ව්‍යාප්තවීමක් දක්නට ඇති බවත් මළ අපද්‍රව්‍ය හා අප ජලය ජලාශයට එකතු වෙන බවත් වසන්ත අබේසිංහ මහතා කියයි. ඉහළ කොත්මලා ඔය ව්‍යාපෘතිය මගින් ගණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තලවකැලේ ලිඳුල නගර සභාව සමග එක්ව විශේෂ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට සැලැසුම් කොට තිබේ. ඒ අනුව නගර සභාවට ට‍්‍රැක්ටර් රථයක්, ගලි බවුසර් රථයක්, කැටපිලර් යන්ත‍්‍රයක් හා ඉඩම් අක්කර හතරක භූමි ප‍්‍රදේශයක් කසළ බැහැර කිරීම සඳහා ලබාදීමට එම ව්‍යාපෘතිය දැනට සැලසුම් කොට තිබේ. කවුරු කෙසේ කුමන සැලසුම් කළත් ඉහළ කොත්මලා ඔය ජලාශය ගණ අප ද්‍රව්‍ය වලින් හා රොන් මඩින් පිරී යෑම වැළැක්වීමට මධ්‍යම රජයද සම්බන්ධව ජාතික වැඩපිළිවෙලක් සැකැසිය යුතුව තිබේ. එය මග හැර සිටීමෙන් සිදුවනුයේ විශාල මුදලක් යට කොට තැනූ ඉහළ කොත්මලා ඔය ජලාශයෙන් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමය. එසේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවත් අපත්, අපගේ දරුවනුත්, එම දරුවන්ගේ දරුවනුත් මෙම ජලාශය ඉදිකිරීමට ලබාගත් ණය මුදල් හා ඊට අදාළ පොලිය ජපන් රජයට ගෙවිය යුතුය.
සටහන හා ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
කොත්මලා ඔය ඩයගම ප‍්‍රදේශයෙන් ආරම්භ වන අන්දම
ඉහළ කොත්මලා ඔය ජලාශයයේ වේල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශය මනරාසි නගරය අසල කුණු ගොඩගසා ඇති අයුරු ආගරපතන නගරය අසල කොත්මලා ඔය සමීපයේ කුණු ගොඩගසා ඇති අයුරු තේ ගස් ගලවා එළවළු වගා කිරීම සඳහා උස් කඳු බෑවුම් සකස් කර ඇති අයුරු කොත්මලා ඔය සමීපයේ ඉදිකර ඇති අවිධිමත් කුඩා ජල විදුලිබලාගාරය