IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය

රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ඔහුගේ ප්‍රධාන සහායකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් කොල්ලුපිටිය සුපිරි රථ ගාලකදී අත්අඩංගුවට ගනු ලැබූ පුවත අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම රහසිගතව සූක්ෂම හා සංවිධානාත්මකව සිදු කරන්නකි. එබඳු ජාවාරමක් කර මුලින්ම අල්ලා ගැනීම යනු කිසි ලෙසකින් හෝ පහසු කටයුත්තක් නොවේ. එක් අතකින් මෙබඳු මෙහෙයුම්වල නිරත නිලධාරීන්ට ජීවිත අවදානමක් ද පවතී. එම අනතුර නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ට ද වේ. ඒ අනතුර සම්බන්ධයෙන් කල්පනා කරන්නේ නම් මෙබඳු මෙහෙයුම්වලට සම්බන්ධ විය නොහැකිය. ඒ බියගුලු නිවට මාවත පිටුදැක රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් උපනූපන් පරම්පරා වෙනුවෙන් සිය වගකීම එයට හිමි අරුතෙන්ම ඉටු කරන මෙබඳු මෙහෙයුම්වලට අනලස්ව මැදිහත්වන සෑම තරාතිරකම නිලධාරීන්ට මුළුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය. ඒ ජාතික යුතුකම ලංකාදීපය පළමුව ඉටු කරමු.

මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලය හා ගණිකා ව්‍යාපාරය සාර්ථකව කළ හැකිවන්නේ එයට දේශපාලන රැකවරණයත්, ආශිර්වාදයත් හිමිවන්නේ නම් පමණි යන්න ඉතිහාසය විසින් සනාථ කරනු ලැබූ සත්‍යයකි. ඒ රැකවරණයත්, ආශිර්වාදයත් ඉවත් වන්නේ නම් නිලධාරීන්ට තම වගකීම අකුරටම ඉටු කිරීමට හැකියාව ලැබේ. මෙතෙක් සොයා ගත් ලොකුම කුඩු තොගය කොටු කරගැනීමේ සාර්ථක මෙහෙයුමෙන් ද ඒ බව ඔප්පු වෙයි.

2018 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 732 කි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 40,998 කි. මේ වසරේ ජනවාරියේ සිට පෙබරවාරි 25 වැනිදා වනවිට අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ගණන 814 කි. ඒ ගණනට කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 294 ද අයත්ය. එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ ජනවාරියේ සිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 6,653 කි. ඒ අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ මෙහෙයුම් ද වේගවත් වී ඇති බවය. කොකේන් ගහන මැති ඇමැතිවරුන් ද සිටින බව රාජ්‍ය ඇමැතිවරයකුම ප්‍රකාශ කර තිබෙන පසුබිමක මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම් වේගවත් වීම හරහා පැහැදිලි වන්නේ එම මෙහෙයුම්වලට දේශපාලන අතපෙවීම් දුරස් වී ඇති බවය. ඒ වෙනුවෙන් එම දේශපාලන අධිකාරියට ද ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.

කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද්දක් බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව මෙරටට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය එන ප්‍රධාන මාර්ගයක් අනාවරණය වී තිබේ. තෙල් බාලා නමැති පාතාලයා එකල ඉන්දියාවේ සිට මෙරට කුඩු ව්‍යාපාරය මෙහෙයවූ පරිදි මාකඳුරේ මධුෂ්ලා​ හා මොරිස්ලා ඩුබායි හි සිට හෙරොයින් ජාවාරම මෙ‌‌හෙයවති එහෙත් ඒ සූක්ෂම හා සංවිධානාත්මක මෙහෙයුම් කොටු කර ගැනීමට අපේ පොලිස් විශේෂ කාර්ය බළකායටත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකියාව ලැබී තිබේ. මෙම මෙහෙයුම වඩ වඩාත් දැඩිව පවත්වාගෙන යා යුතුය.
කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් කුඩු තොගය කුඩා පාර්සල් වශයෙන් සකසා තිබී ඇත. එමඟින් රටේ ප්‍රචලිත එක් මිථ්‍යාවක් බිඳ වැටේ. එම මිථ්‍යාව නම් මෙරටදී හසුවන හෙරොයින් තොග මෙරට බෙදාහැරීමට නොව නැවතත් විදේශවලට යැවීමට ඇති ඒවා බවයි. එබඳු ව්‍යාපාරයක් ද තිබිය හැකිය. එහෙත් කොල්ලුපිටියෙන් අල්ලාගත් කුඩු තොගය කුඩා පාර්සල් වශයෙන් අසුරා තිබීමෙන් පැහැදිලි වන්නේ ඒවා මෙරට තුළ බෙදාහැරීමට සූදානමින් තිබූ බවයි. සැබැවින්ම මෙම කුඩු තොගය රට තුළ විසිරී ගියේ නම් රටේ හෙට දවස කෙසේ වනු ඇද්ද යන්න වටහා ගැනීම අසීරු නැත.

මුළුමහත් ජාතියම පරාජයේ විනාශයේ හා මරණයේ මුවවිටට තල්ලු කරන මෙම කුඩු ජාවාරම මුළුමනින්ම විනාශ කර දැමිය යුතුය. ඒ වෙනුවෙන් ගත යුතු ඕනෑම පියවරකට අවශ්‍ය ශක්තිය බලධාරීන්ට හිමි වේවා යන්න ලංකාදීපයේ ප්‍රාර්ථනය වේ.



අදහස් (5)

කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය

saman Tuesday, 26 February 2019 01:02 PM

මේ තරම් තොගයක් කුඩු කොහෙන්ද?

:       0       20

Rehan Wednesday, 27 February 2019 03:39 AM

මෙහි සදහන් පරිදි, 2018 සහ 2019 වර්ෂ තුලදී වැටලු මුළු හෙරෝයින් ප්‍රමාණය 1546 kg . මෙහි වැඩි අවදානය යොමුවිය යුත්තේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර ඇති වන හිගය තුළින් ඇතිවන අසහනය නිසා ඔවුන් වැරදි කිරීමට පෙළඹවීම වලක්වීමයි, ඔවුන් හදුනාගෙන පුනරුත්තාපනය කිරීමයි. මත්ද්‍රව්‍ය වැටලීමේ නියම ප්‍රතිඵල අපට ලබාගත හැකිවනුයේ එවිටයි.

:       0       24

saman Wednesday, 27 February 2019 08:44 AM

මත් උවදුරවත් මේ ආණ්ඩුව ඉවර කරොත් යුද්දෙ දිනාලා දුන්නාවගේ තමා...........

:       0       3

ලාල් Wednesday, 27 February 2019 05:08 PM

ප්‍රශංසාව තොරතුරු සපයන්නා/ ඔත්තුකරු බොහෝ විට නිර්නාමික වෙතද යා යුතුය. ඒක තමයි යථාර්ථය.

:       0       37

sathyayaa Thursday, 28 February 2019 02:57 AM

මහමොල කරුවන් අල්ලන තුරු හා කුඩු ආනයනයෙන් දේශපාලන බල අධිකාරීන් ඉවත් කරන තුරු මේ කපේ ඕක නවත්වනවා බොරු. පසුගිය පාලන සමයේදී රටේ ප්‍රධානම කුඩු ගෙන්වන ප්‍රබලයින් දෙදෙනා පිටුපස "මහෝදර" සහ "චුලෝදර" අයිය මලෝ හිටිය නිසා කුඩු කතාව ඇදී ආ දුර දැන් පේනවනේ. එක දේසපාලුවෙක් එල්ලා මැරුවේනම් කුඩු ගලා ඒම 75% කින් පමණ අඩුවෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site