මගේ සවන් යුග යොමු වුණේ එපිටින් ඇසුණු දුම්රිය නළා හඬටයි. වේගයෙන් පැමිණි දුම්රියේ වේගය අඩුවනු පෙනේ ‘හතරවැනි වේදිකාවට පැමිණි දුම්රිය කොටුවට පමණයි’ මරදාන දුම්රිය පළේ ‘ස්පීකර්’ හඬ අවදි විය. පෙට්ටි වැළක් එල්ලාගෙන මිනිසුන් දහස් ගාණක් පුරවාගෙන අනුරාධපුරයේ සිට පැමිණි රජරට රැජින දුම්රියේ දාහය අපටද දැනේ. දුම්රියෙන් බැස ගත් අය ඇවිස්සුණු කඩිගුලක් මෙන් පිටවීමේ දොරටුව බලා ඇදෙති. මේ සියල්ලටම වඩා මගේ ඇස නැවතුනේ මේ මහා යකඩ කඳ පාලනය කරන දුම්රිය එන්ජිමේ සිටි රියදුරු මහත්වරු දෙසටය. ‘මොනතරම් අත්දැකීම් ඇද්ද’ මටම සිතිණි. රූපවාහිනියේ සහ පුවත්පත්වල දුම්රිය අනතුරු දකින අපි ඒ අත්දැකීම් ජීවමානව දුටු රියදුරු මහතුන් හමුවීමට මරදානේ දුම්රිය ධාවනාගාරයට ගියෙමු.


 ධාවනාගාරයෙහි දුම්රිය හතරක් නවත්වා තිබේ. ඊට නොදුරු ගොඩනැගිල්ලේ දැනට රියදුරු කාර්ය භාර නිලධාරි (ඞීසල් විදුලි ධාවනාගාරය) ටී.ජී. විජයරත්න මහතාගේ කාර්යාලයයි. ඔහු 1985 දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණු පැරණි රියදුරෙකි. විජයරත්න මහතා සඳහන් කරන පරිදි දැනට නිල නොවන මට්ටමින් එම තනතුර දැරුවත් තවමත් රියදුරෙකි.


විජයරත්න මහතාගේ ගම පොළොන්නරුවයි. 1985 පුහුණුවෙන දුම්රිය රියදුරෙක් ලෙස බැඳුණු ඔහු අවුරුදු පහක් එම පුහුණුව ලබා ඇත. පසුව බලවේග ධාවනාගාරයට යොමුවී කෙටි දුර ධාවන රියදුරෙක් ලෙස කටයුතු කර ඇත. පසුව ලංකාව පුරා දුම්රිය මාර්ග ආවරණය කරමින් දුම්රිය ධාවනය කර තිබේ.


දුම්රිය රියදුරෙක් හැටියට 28 වසරක් පුරා ලැබූ අත්දැකීම් මොනවාදැයි කෙළින්ම අපි මාතෘකාවට ප‍්‍රවිෂ්ට වීමු. විජයරත්න මහතා තමන් ලැබූ අත්දැකීම් අප සමඟ බෙදා ගන්නට උත්සාහ කරමින් හඬ අවදිකළේය.


ඒ 1990x95 අතරෙ දවසක්. මම දුම්රිය පදවාගෙන කොළඹට එනවා. ඔරුගොඩවත්ත දිහාට දුම්රිය එද්දී ගැහැණු ළමයෙක් දුම්රිය මාර්ගයේ ඉස්සරහට එනවා. මැරෙන්න යන කෙනෙක් එක්කො දුම්රියට පනිනවා. නැත්නම් රෙල් පාරේ නිදාගෙන ඉන්නවා. මම ‘හෝන්’ කළා ඒත් අයින් වෙන පාටක් තිබුණේ නෑ. කෝච්චිය පැයට සැතපුම් 40ක විතර වේගයෙන් ආවෙ. මම තිරිංග තද කළා. මැරෙන්න එන කෙනෙක් අපට බේරගන්නවත් අවස්ථාවක් දෙන්නෙ නෑ. අවුරුදු 25 ක විතර ගැහණු ළමයෙක්. අත් බෑගයක් එල්ලගෙන හිටියා. දුම්රිය ආපු වේගෙට මේ ළමයගෙ ඇෙඟ් වැදිල ටික දුරක් ගියාට පස්සෙයි, නතර වුණේ
දුම්රියෙන් බැහැල මමත් ගිහින් බැලූවා. එතකොටත් එයා නැතිවෙලා. ගොඩක් බරපතල තුවාල. හෑන්ඞ් බෑග් එකේ තිබුණෙ පඩි වාර්තාවක් විතරයි. ගාමන්ට් එකක වැඩ කරන ළමයෙක්. මේ සිදුවීම පත්තරෙත් ගියා. සතියකින් විතර ආරංචි වුණා මේ ළමයගෙ මළ සිරුර මාපියන් බාර ගත්තා කියලා. මාතර පැත්තෙ ළමයෙක්.


එයා දුම්රියට පනින්න හේතුව ආරංචි වුණෙ නැද්ද අපි විමසීමු.
නෑ.....මම ඒ ගැන හෙව්වෙ නෑ
තවත් දවසක් ගෑණු ළමයෙක් රේල් පාර මැද්දෙ නිදාගෙන ඒ කොන්ක‍්‍රීට් කොට දාපු අලූත. කොන්කී‍්‍රට් කොට අතරට ගල් දාලත් නැති නිසා මේ ළමයා නිදාගෙන හිටියෙ රේල් පාර කොන්ක‍්‍රීට් කොට මැද. ඔළුව හෝ ශරීරයේ කොහෙවත් රේල් පාරේ ගෑවිලාවත් නෑ මම පදවාගෙන ආවෙ කොටුවෙන් නුවර බලා උදේ 10.30ට යන දුම්රිය. මේ කාන්තාව නිදාගෙන හිටියෙ කැලණියත් වනවාසලත් අතර තැනක. මම දුරදිම දැන ගත්තා මෙයා මැරෙන්නයි මේ ඉන්නෙ කියලා. ඒත් මේ ඉන්න විදිහට එයාට හානියක් නොවන බවත් මම දැනගෙන හිටියා. කෝච්චිය වේගයෙන් ආවත් නළාව ගහල තිරිංග තද කළා. ඒත් කෝච්චිය නැවතුනේ අර ළමයව පහු කරගෙනත් ගියාට පස්සෙ.


ඇවිත් බලද්දි අවුරුදු 18 ක විතර ගෑනු ළමයෙක්. හැබැයි ”මජං” ටිකක් වත් ගෑවිලා නෑ. ඒත් බයේ වෙව්ලනවා. එයාව රාගම දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට අප කටයුතු කළා.


මෙවැනි සිදුවීමක් වෙන විට හිතේ තිගැස්සීමක් ඇති වෙන්නෙ නැද්ද? අපි යළිත් විමසීමු.


මෙහෙමයි, ඒ වෙලාවෙ රියදුරා ඉන්න මානසිකත්වය මතයි එය තීරණය වෙන්නෙ. ඒ ඇරුණාම විශේෂ බයක් නෑ. විජයරත්න මහතා පවසයි. එසේ කියමින් තවත් සිදුවීමක් මතක් වී ඔහු දීර්ඝ සිනහවක් නගයි. එය ඔහුගේ ජීවිතයේ අමතකම නොවන දෙයක් යැයි දෙවරක් නොසිතා අපටද සිතේ.


දුර ඉඳල එන කෝච්චියක්. රාගම දුම්රිය ස්ථානයට කිට්ටු වෙද්දි නවත්තන්න වේගය අඩු කළා. ස්ටේෂම ළඟම කවුදෝ රේල් පාරෙ නිදි. හිමින් ආපු නිසා තිරිංග තද කළා. දුම්රිය නතර වුණා. හැබැයි අර මනුස්සයා එංජිම යට. මිනිස්සු වට වෙලා ඔහුව එළියට ඇද්දා. වෙලාවට මැරෙන්න තරම් හානියක් නෑ. හැබැයි පාදයේ විලූඹ කැපිලා. අවුරුදු 65 ක විතර වයසක කෙනෙක්. ටිකක් බීලා. මිනිස්සුත් වට වුණා. මාත් ළඟට ගියා යනකොට මේ මනුස්සයා කියනවා ”ෂෑ... ෂෑ... වැඩක් නෑ.... වැඩක් නෑ” කියලා. බැලින්නම් මිනිහා එහෙම කියන්නෙ මැරුණෙ නැති එකටයි. මැරෙන්න ඉඳල නොමැරී බේරුණු එකටයි.


තවත් දවසක් මම ගල්ඔය ඉඳල මහවට බඩු පටවාගත් දුම්රිය එළවාගෙන එනවා. ත‍්‍රිකුණාමලේටයි, මඩකළපුවටයි යන පාරවල් වෙන් වෙන්නෙ ගල්ඔය හන්දියේදි. කෝ්ච්චිය පලූගස්වැව දුම්රිය ස්ථානයට ළංවෙන කොට (සැතපුම් 126 1/2 දී) ගොම්මන් වෙලාව. දුම්රියේ ප‍්‍රධාන විදුලි පහන් පත්තුකර තිබුණත් ලයිට් එළිය වදින නොවදින වේලාව. යාන්තම් අඩ අඳුර තිබුණෙ. තද කැලේ ගමට අලි ඇවිත් මිනිස්සු වෙඩි ගහල අලියව පන්නලා. අලියා වේගයෙන් දුවගෙන ආවේ රේල් පාරට. ”හෝන්” එක කීප විටක්ම ගැහුවා. ඒ පැත්තෙ යන දුම්රියෙ නළාවත් හරි සද්දයි. අපිත් හොඳටම බය වුණා. කෝච්චියෙ නළා සද්දෙට අලියත් බයවෙලා. ඌ දුම්රිය මාර්ගයෙන් පිට පැන්නෙ නෑ. වැඞී ගෙන එන අලියෙක්. ඌ දුම්රිය යන පැත්තටම පාර දිගේ ඉස්සරහට දුවනවා. අපට නවත්වා ගන්න බැරි වුණා. කොච්චියෙ පටවල තිබුණේ ප‍්‍රීමා පිටි. ඊටත් වඩා බෑවුම් සහිත පාර. බරත් වැඩි නිසා ”බ්‍රේක්” ඇහුවෙ නෑ. අලියව වැදුණා. ඒ වැදුණු පාරට කෝච්චියෙ උඩින් පැන්නා වගේ දැනුණා. මම හිතුවෙ කෝච්චිය පීලි පැන්නා කියලා. කෝච්චිය නතර වුණෙත් පෙට්ටි දෙකක් පහු වුණාට පස්සෙ.

 


කරන්න දෙයක් නෑ. එන්ජිමෙන් බැහැල ගිහින් බැලූවා. බලද්දි රේල් පාරෙ එකම මස් ගොඩක්. ඒ වෙලාවෙ මගෙ පෞද්ගලික දුරකථනයෙන් ඉක්මනට දුම්රිය පාලක මැදිරියට දැනුම් දුන්නා. මේ අලියගෙ මස් සේරම මාර්ග අංශ සේවකයො ඇවිත් ඉවත් කළාට පස්සෙයි අපි පිටත් වුණේ. මේ සිදුවීම නම් ටික දවසක් යනකම් තැති ගැන්මක් දැනුණු සිදුවීමක් වුණා. ඒ වගේම අලියගෙ මස් වලින් හමපු අමුතු දුඟද නිසා මම දවස් දෙකක් කෑවෙත් නෑ. ඒ ගඳ නහයෙ රැුඳිල තියෙනවා වගේ දැනුණායි විජයරත්න මහතා කියා සිටියි.
ඔහු සතු තවත් අත්දැකීම් බොහෝය. මෙවැනි අත්දැකීම් සහිත දුම්රිය රියදුරන්ද බොහෝය.

 

සටහන / ඡායාරූප - අසංක ආටිගල 

 

ටී.ජී. විජයරත්න