IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ඔය කතා ඉතිහාසයේ හැමදාම කිව්වා

27_SLMA_P8_BACK 

 

 

ජනාධිපතිවරණයට සති එකහමාරක කාලයකි. කුමක් වෙයිද? 2009 දී ලබා දුන් ජනවරමට හා 2010 දී ලබාදුන් ජනවරමට සාධාරණය ඉටු කළ ජනතාව ඉල්ලන වෙනස ජනතාවට ලබා දුන් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය ඒකාන්ත බව පවසමින් ඉරිදා ලංකාදීපය සමඟ සංවාදයකට එක් වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතාගේ හඬ මෙසේ සටහන් කර තබමු.

 

 


ප‍්‍රශ්නය : ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන තුන් වැනි පාරටත් ජනාධිපතිවරයා ඉල්ලන්නේ කරන්න බැරි වුණ මොන වැඬේ කරන්නද?
පිළිතුර :
ජනාධිපතිතුමා 2005 දී ඉල්ලද්දි ජනතාවට අවශ්‍ය දේ එතුමා මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළා. බෙදිලා තිබුණ රට එකතු කරලා නොබෙදුණු රටකුත් ගෞරවණීය සාමයක් කියන එක තමයි එතුමාගේ මූලික පරමාර්ථය වුණේ. ඒක තමයි ජනතාව අපේක්‍ෂා කළේ.

 


ප‍්‍රශ්නය : 2005x2010 අතර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව විවේචනයක් නැහැ?
පිළිතුර :
පොඞ්ඩක් ඉන්න. මේ රට අවුරුදු තිහක් තිස්සේ යුද්ද තිබිච්ච රටක්. සාමය හා නිදහස මේ රටේ ජනතාවට අහිමිවෙලා තිබුණේ. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප‍්‍රශ්න ගණනාවකුත් තිබුණා. විශේෂයෙන්ම අපේ අසල්වැසි රටවන ඉන්දියාව සමඟ පැහැදිලි අවබෝධයක් ඇතිකරගත යුතුව තිබුණා. අපේ රටේ ඉන්න දෙමළ ජනතාවට වඩා වැඩි දෙමළ ජනතාවක් තමිල්නාඩුවේ ඉන්නවා. ඉන්දියාව යුද්ධයට ඈත කාලයේ ඉඳලම මැදිහත් වුණා. මතකනේ වඩමාරච්චි මෙහෙයුමේදී පරිප්පු දාලා මැදිහත් වුණානේ. ඒකත් එක්ක තමයි 13 වැනි සංශෝධනය ආවෙත්. ඒ නිසා ඉන්දියාව නිවැරදිලෙස කළමනාකරණය කරගත යුතුව තිබුණා.

 


ප‍්‍රශ්නය : නමුත් ආණ්ඩුව එතැනදි අසමත්?
පිළිතුර :
එහෙම කියන්න බෑ. මම ඒක පස්සේ විස්තර කරන්නම්. මම මේ කියන්නේ 2005 දී තිබුණු අභියෝග. ඒ වෙනකොට රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා තිබුණේ. විදේශ සංචාරකයෝ එන්නේ නැහැ. විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. විදේශ විනිමය තැන්පත් හිඳිලා. රටට අවශ්‍ය ආහාර ටික, ඉන්ධන ටික ගේන්නවත් සල්ලි නැතිව හිටියේ. ඒ ඔක්කොටමත් වැඩිය අපේ මානසිකත්වය වැටිලා තිබුණේ. පරාජිත මනසක් තමයි අපේ ජනතාවට තිබුණේ. අඩුම තරමින් සීරුවෙන් හිටගෙන ජාතික ගීය ගායනා කරන්න අපේ ශිෂ්‍ය පරම්පරාවට ධෛය වී තිබුණේ නැහැ. ඒවගේම  ඕනෑම දෙයකට නෑ බෑ කියන මතයේ තමයි හිටියේ. මෙන්න මෙහෙම තිබුණු දේශයක් ජනාධිපතිතුමා අවදි කළා. ජාතිකානුරාගයෙන් ඔද වැටිලා ජාතික ගීය ගායනා කරන්න ධෛර්ය දුන්නා. ජාතික ධජයට පණ දුන්නා. රණවිරුවන් තුළ චිත්ත ධෛර්යත් විශ්වාසයත් ඇති කළා. කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න කටයුතු කළා.

බොහෝ දේවල් එකවර කිරීමට සිදුවුණ පරිසරයක් සහිත රටක් තමයි එතුමා බාර ගත්තේ. මේවා සියල්ලම එකම දැති රෝදයක් වෙලා තිබුණේ. 2005 දී තිබුණ අභියෝගය එතුමා ජයගත්ත බව විවාදයකින් තොරව පිළිගන්නවා. නමුත් අද විපක්‍ෂය කතා කරන්නේ මේ යථාර්ථය ඉවත් කරලයි. ඒක කනගාටුවට කාරණයක්.

 


ප‍්‍රශ්නය : 2010 න් පස්සේ යුගය ගැනත් ඔබට ඔය විදියටම සුබවාදීව කතා කරන්න පුළුවන්ද?
පිළිතුර :
මතක තියාගන්න. ජනාධිපතිතුමා 2010 දී ඉදිරිපත් වුණේ 2005 දී තිබූ ඒ සියලූ අභියෝග ජයගත්ත සාර්ථකම නායකයා විදියටයි. 2010 දී එතුමා කිව්වේ ”දැන් රට හදමු’’ කියලයි. ඒ මතය ඉදිරිපත් කරලා එතුමා ජන වරම ඉල්ලූවේ සාමකාමී රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලයි. ඒ ජන වරම ලැබුණා. සමහර ඒවා උතුරෙන් හා නැගෙනහිරෙන් පටන් ගත්තා. කොච්චර ලොකු සංවර්ධනයක් ඒ පළාත් දෙක තුළ කළාද?

 


ප‍්‍රශ්නය : ඒත් ඡුන්ද නැහැ?
පිළිතුර :
ඒක මේ පාර වෙනස් වෙනවා. මතක තියාගන්න ජනාධිපතිතුමාගේ දැක්ම තමයි ”රට හදා ජන මනස දිනා ගැනීම’’ කියන එක. ඒ වෙලාවේ අපට අවශ්‍යවෙලා තිබුණේ ඒ ජනතාවගේ ඡුන්ද නොවෙයි. ඒ ජනතාවට අලූත් ජීවිතයක් වගේම අලූත් බලාපොරොත්තුවක් දිය යුතුව තිබුණා. ඒ ජනතාව හිටියේ අනාථ කඳවුරුවල. බොන්න වතුර නැහැ. ගොවිතැන් කරන්න වතුර නැහැ. නිවාස නැහැ. අපට අවශ්‍ය කළේ මූලිකවම ජනතාවට ඒ දේවල් සැපයීමයි.

 


ප‍්‍රශ්නය : ඒ ජනතාව දේශපාලන විසඳුමකුත් ඉල්ලා හිටියා?
පිළිතුර :
අනාථ කඳවුරුවල ඉන්න මිනිසුන්ට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ අලූත් ජීවිතයක්ද? එහෙම නැත්නම් දේශපාලන විසඳුමක්ද? අපට පියවරෙන් පියවර යන්න ගමනක් තිබුණේ. දැන් නැගෙනහිරට වගේම උතුරටත් පළාත් සභාවක් තියෙනවා. ඒ සියල්ල කරන්න කලින් ඒ ජනතාවට අලූත් ජීවිතයක් නිර්මාණය කරලා දෙන්න කාර්ය සාධක බළකායක් හැදුවා. මම මේ කිව්වේ උතුර උදාහරණයක් හැටියට අරගෙනයි. අපට තිබුණේ ඒ විදියට දැඩි තීන්දු ගත යුතුව තිබූ පරිසරයක්.

 


ප‍්‍රශ්නය : ඔබ සංවර්ධනයක් ගැන කතා කරනවා. නමුත් එමගින් ජනතාවගේ මූලික හා ප‍්‍රමුඛ අවශ්‍යතා ඉටු නොවුණ බවට චෝදනාවක් බරපතළ විදියට තියෙනවා?
පිළිතුර :
මම ඔබට උදාහරණයක් කියන්නම්. කටුනායක අධිවේගී මාර්ගය ගන්න. කුලසිංහ මහත්තයාගේ කාලේ මේක පටන් ගත්තේ. ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ 65-70 ආණ්ඩු කාලෙදි පටන් ගත්තේ. නමුත් කෙරුණේ නැහැනේ. හැම රාජ්‍ය නායකයෙක්ම මේක කරන්න හැදුවනේ. කොන්ත‍්‍රාත් අත්සන් කළානේ. සල්ලි ගෙව්වනේ. නමුත් මහ පොළොවේ මේ අධිවේගී මාර්ගය හැදුණේ නැහැනේ. ජනාධිපතිතුමාට ගන්න තිබුණේ මේක හදනවද නැද්ද කියන තීන්දුවයි. අනික් රාජ්‍ය නායකයන් හැම කෙනෙක්ම මේක හදන්න සැලසුම් කළේ මේක අවශ්‍ය නිසානේ. ඒ නායකයෝ ඒ තීන්දුව ගත්ත හැම අවස්ථාවකදීම වියදම් ගියා. ඩඞ්ලි සේනානායක මහත්තයාගේ කාලෙ පෑලියගොඩ පාලමක් හැදුවනේ. ඒකටත් මහජනතාවගේ සල්ලි ගියා. ඒත් හැබැයි ප‍්‍රයෝජනයක් වුණේ නැහැ. ඒක කඩලා දාන්න වුණා. ඒ කාලේ වැලි පිරෙව්වා. එහෙම වියදම් ගියාට හැදුණේ නැහැ. චන්ද්‍රිකා රජය මේක කොරියන් සමාගමකට දුන්නා. ගෙවීම් කළා. ගිවිසුම් අවලංගු කරන්න නැවත මුදල් ගෙවන්න වුණා. ඒ කාලේ. නමුත් මහ පොළොවේ මේ අධිවේගී මාර්ගය හැදුණේ නැහැනේ. ඒ අධිවේගී මාර්ගය හදලා අවසන් කිරීමේ තීන්දුව ජනාධිපතිතුමා ගත්තා.

 


ප‍්‍රශ්නය : විදුලි මාෆියාවක් තෙල් මාෆියාවක් ගැන චෝදනා එල්ල වෙනවා. කොමිස් ගහන්න පුළුවන් ව්‍යාපෘති විතරයි ඔබේ ආණ්ඩුවෙන් කළේ?
පිළිතුර :
අපි විදුලිය ගැන කතා කරමු. සැමට සැමවිට විදුලිය කියන සංකල්පය තිබුණා. නමුත් ජල විදුලි බලාගාරවලින් විදුලිය දෙන්න පුළුවන් සීමිත පිරිසකට හා සීමිත කාලයකට පමණයි. නාගරිකව ඉන්න පිරිසකට විදුලිය දෙනවා. ඔක්කොටම දෙන්න ගියාම විදුලිය කපන්න වෙනවා. කර්මාන්ත ශාලාවලට පැය අට විදුලිය දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සැමට සැමවිට විදුලිය දෙන්න නම් අනිවාර්යයෙන්ම වෙනත් බල ශක්තියකට යන්න  ඕනෑ.


    ඒක මේ රජය දැක්කා. ඒ වෙනුවෙන් අඩුම වියදමකින් හා අඩුම පරිසර හානියකින් කරන්න පුළුවන්. දීර්ඝ කාලයක් අමුද්‍රව්‍ය ලැබෙන ඒ වෙනකොටත් සමීක්‍ෂණ, පරීක්‍ෂණ, වාර්තා ඔක්කොම හදලා තිබුණ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය තෝරා ගත්තා. ඒක හැදුවා. ඒ අතර ගැප් එකක් තිබුණා. ඒ වෙනුවෙන් කෙරවළපිටිය හැදුවා. ඒක තාප විදුලිය. ඒක හැදුවේ නැත්නම් මහා විදුලි හිඟයක් ඇතිවෙනවා. එහෙම තමයි රටේ තිබුණ අභියෝගවලට අපිට තීන්දු තීරණ ගන්න වුණේ. ඉස්සර බලන්න! ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කෙනෙකුට ගමේ පාරකට බොරලූ ටිකක් දාගන්න බෑ. නමුත් අද කාපට් සංස්කෘතියක් ඇතිවෙලා තියෙනවා. මොන තරම් වෙනසක්ද? අවුරුදු 60ක් තිස්සේ මේ රටේ ජනතාවට අහිමිවෙලා තිබුණ සංවර්ධනය හා ආර්ථික ශක්තිය දෙවැනි ධුර කාලයේදී ජනතාවට ලබා දෙන්න ජනාධිපතිතුමා සමත් වුණා.

 


ප‍්‍රශ්නය : නමුත් ඔය කියන ආර්ථික සංවර්ධනය ජනතාවට දැනිලා තියෙනවද? ඔවුන්නම් කියන්නේ ජීවත් වෙන්න බෑ කියලයි!
පිළිතුර :
අපි මෙහෙම හිතමු. හැම කෙනෙකුටම රජයේ රැකියා නෑ. ඒ සඳහා අධ්‍යාපනය නැහැ. නමුත් එහෙමයි කියලා මේ රටේ කිසිම මිනිසෙකු හාමත් වෙන්නෙත් නැහැ. ඔහුට ගොවිතැනක් කරන්න පුළුවන්. තේ අක්කර බාගයක් කිරි හරක් හදන්න එහෙම පුළුවන්. මල් වගා කරන්න, සුරතල් මසුන් ඇති කරන්න, ඒ වගේම විවිධ ආර්ථික උපාය මාර්ගයකට යන්න පුළුවන්. අපි අන්න ඒ අය වෙනුවෙන් විවිධ විශේෂ සහන සලසලා දීලා තියෙනවා.

 


ප‍්‍රශ්නය : නමුත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ රජය යටතේ යන එන මං නැතිවෙලා තියෙනවා?
පිළිතුර :
නැහැ. එහෙම දෙයක් නැහැ. ගම්පහ දිස්ති‍්‍රක්කය බැලූවොත් අර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වෙලා ඉන්නවා හැට හත්දාහක් විතර. නමුත් මෙහෙම එකක් වෙලා තියෙනවා. ලොකු සුපර් මාර්කට් එකක් ආවොත් අර පුංචි කඩයක් කරගෙන යන කෙනාට ප‍්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම උදාහරණ  ඕනෑ තරම් දෙන්න පුළුවන්. මේ නිසා තමයි අයවැය දෙකකින්ම මෙවැනි මහා පරිමාණ සමාගම් නිසා කුඩා පරිමාණ වෙළඳුන්ට සිදුවන අභියෝගයෙන් ඔවුන් ආරක්‍ෂා කරගෙන කි‍්‍රයා කළේ. මහා පරිමාණ සමාගම් ආවම අපේ දේශීය ව්‍යාපාරවලට පාරක් වදිනවා නම් ඒක වළක්වන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසයි අපි සමහර ආයෝජනවලට ඉඩ දීලා නැත්තේ. ඒකත් ඔය සමහරු වැරදි විදියට අර්ථකථනය කරනවා. ඒක තමයි මේ රටේ විපක්‍ෂයේ දේශපාලනය බවට පත්වෙලා තියෙන්නේ.

 


ප‍්‍රශ්නය : මම මතු කරන්නේ විපක්‍ෂය කියන දේ නොවෙයි. ජනතාවගේ පැත්තෙන් මේ හඬ අවංකවම නැගෙනවා!
පිළිතුර :
මේ මම කියන ආර්ථික ප‍්‍රතිලාභ ජනතාව අතරට පැහැදිලිවම ගිහින් තියෙනව. ඒක තමයි අපේ රජයේ ශක්තිය. දිවි නැගුම හරහා දෙන සහන බලන්න. අද ගම්බද අවුරුදු 10කට ඉස්සෙල්ලා ගමක උළු වහලවල් තියෙන ගෙවල් ප‍්‍රතිශතයක් හැටියට ගත්තොත් සියයට 10 ට 15ට අඩුයි. තාවකාලික වහලවල් තිබුණෙ. අද බලන්න. එවැනි ගෙවල් කීයද තියෙන්නේ. සීයට තුනක්වත් නෑ. අද පැහැදිලිවම හැම නිවෙසකටම ස්ථිර වහලක්. සවි ශක්තිමත් බිත්ති. පොළවට සිමෙන්ති හා වැසිකිළියක් තියෙනවා. ලෝකයේ කිසිම රටක නැති ප‍්‍රතිශතයකින් ඒ පහසුකම් සියල්ලම සම්පූර්ණ වෙලා තියෙනවා. ඉන්දියාව ගත්තොත් ජනගහනයෙන් සියයට 52කට වැසිකිළි නැහැ. මෝදිගේ පළමු ජාතික ඇමතීමේදී කිව්වේ වැසිකිළි හදනවා කියලයි. ජනාධිපතිතුමා දැන් ඒක කරලා අවුරුදු ගානක් වෙනවා. සෑම පාසලකම වැසිකිළි කැසිකිළි තියෙනවා. අද නිවාස ගැන බලන්න. නිවාසයක් කියන්නේ පොඩි දෙයක් නොවෙයි. නිවසක් ලැබීමෙන් මුළු පවුලම ගොඩ නැගෙනවා. ලොකු ආත්ම ශක්තියක් ඇතිවෙනවා. ඒ මානසිකත්වය අද අපි ඇති කරලා තියෙනවා. නාගරික නිවාස හැදුණා. රජයේ සේවකයන්ට, හමුදාවට, වතුකරයට විශේෂ නිවාස වැඩසටහන් කි‍්‍රයාත්මක කළා. ජන සෙවණ නිවාස වැඩසටහන හඳුන්වා දීම තුළින් ඒ අමාත්‍යාංශයන් හැමෝම තුළ නිවාසයක්  ඕනෑ කියන හැඟීම ඇතිකරලා ඒක කි‍්‍රයාත්මක කරලා තියෙනවා.

 

SLD_20141228_A008

 

 


ප‍්‍රශ්නය : ඔබ මේ රටේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා. මෙගාඞීල් ආර්ථිකයක් පිළිබඳ ප‍්‍රහාරය එල්ල වෙන්නේ ඔබටයි. මොකද්ද මේ ඔබේ මෙගාඞීල් ආර්ථිකය
පිළිතුර :
මේක මෙහෙමයි. මෙගාඞීල් එකක් කරන්න වෙන්නේ භාණ්ඩයක් විකිණීම හා ගැනීම තුළයි. එතකොට ජනාධිපතිතුමාගේ කාලයේ කිසිම රාජ්‍ය ආයතනයක් වික්කේ නැහැ. ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විකණීමට වඩා මෙගාඞීල් එකක් තියෙනවද? ලංකා ඛණිජ තෙල් ඉන්දියාවේ අයි. ඕ.සී. සමාගමට තුනෙන් එකක් විකිණීම තරම් මෙගා ඞීල් එකක් තියෙනවද? ති‍්‍රකුණාමලය තෙල් ටැංකි විතරක් නොවෙයි ගම්වල තිබුණ පැට්‍රෝල් ෂෙඞ්වලින් තුනෙන් එකක් ලබා දුන්නා.  ශ‍්‍රී ලංකා ගුවන් සේවය විකිණීම තරම් මෙගා ඞීල් එකක් කොහේවත් නැහැ. ටෙලිකොම් එක වික්කා. වරායේ බාගයක් වික්කා. ඒක උසාවියෙන් තහනම් කළා. මේවට වඩා මෙගා ඞීල් තියෙනවද? අපි අල්පෙනෙත්තක්වත් විකුණලා තියෙනවද? වහපුවා අපි ගත්තා. අපි කළේ ඒකයි. රක්‍ෂණ සංස්ථාව ගත්තා. ගෑස් කොම්පැනිය ගත්තා. ගුවන් සේවය ගත්තා. එහෙම ගන්නකොට කවුරුවත් ඞීල් දාන්නේ නැහැනේ.

 


ප‍්‍රශ්නය : කොමිස් ගහනවයි කියන එක? මේවා කියන්නේ ආණ්ඩුවෙන් ගිය ඇමැතිවරුන්මයි?
පිළිතුර :
ඔය කතා ඉතිහාසයේ හැමදාම කිව්වා. ඉස්සර කාගෙ හරි නමක් එක්ක තමයි ඔය කතා කිව්වේ. එන්.එම්. පෙරේරට ගිිරිදර මෝල කියලා කිව්වා. චන්ද්‍රිකාට තවක්කාල් කියලා කිව්වා. සිරිමාවෝ මැතිනියට බිංදු කතාවක් කියලා අපහාස කළා. ගාමිණී දිසානායකට එහෙම කිව්වා. මේ ආණ්ඩුවට විරුද්ධවත් ඔය කතාව කියනවා. හැබැයි නමක් ගමක් නැහැ. එක සිද්ධියක් කියන්නේ නැහැ. ගමේ කුට්ටිගල් අතුරන්න ඇස්තමේන්තු හදන්නේ එහි කාර්මික නිලධාරීන්. ඒක අනුමත කරන්නේ ප‍්‍රාදේශීය ලේකම්තුමා. ඒකට මුදල් ගෙවීම සහතික කරන්නේ එහෙ ඉන්න ගිණුම් අංශයේ අය. ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයා අධීක්‍ෂණය කරනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ. දිස්ති‍්‍රක්කයෙ වැඩ කරන්න ගියාමත් එහෙමයි.

 


ප‍්‍රශ්නය : ඇස්තමේන්තු කළාට වැඬේ ඉවර වෙන්නේ ඊට වඩා තුන් හතර ගුණයකින් බවත් කියනවා?
පිළිතුර :
එහෙම වුණානම් ඒ ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු අංශය කාර්මික අංශය ඒකට අදාළ සියලූම අංශ නැවත එකතු විය යුතුයි. ඇත්තටම මුල් කොන්ත‍්‍රාත්තුව මුදල් පාස් කරගන්නවාට වඩා අර විදියට අතිරේක මුදලක් ගන්න නීති වැඩියි. මිලියන දහයක ඇස්තමේන්තුව අනුමත කරගන්නට වැඩිය අතිරේකව රුපියල් ලක්‍ෂයක් ගන්නවානම් ඒක අනුමත කර ගන්න හරිම අමාරුයි. අභ්‍යන්තර විගණන තියෙනවා. රාජ්‍ය ගිණුම් කාරක සභා තියෙනවා. පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභා තියෙනවා. විගණකාධිපතිතුමා ඉන්නවා. මේ වියදම් වෙන්නේ අන්න ඒ වගේ මහා රාජ්‍ය යාන්ත‍්‍රණයක් හරහා.

 


ප‍්‍රශ්නය : නමුත් ආණ්ඩුව දූෂිතයි කියන එක විපක්‍ෂයේ හැම කෙනෙක්ම කියනවා?
පිළිතුර :
ඉරාකය ගන්න. ඉරාකයට තෙල් තියෙනවා. ඒ සම්පත යොදාගෙන රටේ පාරවල් හැදුවා. කාර්මික අධ්‍යාපනය දියුණු කළා. කාර්මික විප්ලවයක් ඇති කරලා නව නිෂ්පාදන ඇතිවෙලා දියුණු වුණා. මෙන්න ආවා අරාබි වසන්තය. ඔය අද විපක්‍ෂය කියන වචනම තමයි එදා අරාබි වසන්තයේදී අරාබි භාෂාවෙන් කිව්වේ. යහපාලනය, තොරතුරු දැනගැනීමේ අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පවුල් වාදය, දූෂණය මේ වචන සෙට් එකම ඔය කතාවම දැන් සපත්තුව ගැන, අශ්වයෙක් ගැන, මාලිගාව ගැන ඔය ටිකම අරාබි භාෂාවෙන් කිව්වා. වසන්තයක් උදා වුණාද? අද කී දෙනෙක් මැරුවද? ඒ රටේ ජනගහණයෙන් තුන්දෙනෙක් හිටියානම් අද ඉන්නේ දෙන්නයි. පල්ලියකට යන්න බයයි. බෝම්බ පිපිරෙයි කියලා. බස් එකකට කෝච්චියකට නගින්න බයයි බෝම්බ පිපිරෙයි කියලා. අද ඉරාකයේ මහ පාරක යන්න බයයි. හය මාසෙන් හය මාසෙට අලූත් කණ්ඩායම් දානවා. ආයුධ දෙනවා. පුහුණුව දෙනවා. එහෙම දීලා කියනවා ”ගහපන් අරූට’’ ”මරපන් අරූව’’ කියලා. දැන් කා එක්ක කවුරු මරා ගන්නවද කියලා ඒ රටේ මිනිස්සු දන්නෙත් නැහැ. ඊට පස්සේ ගියා ලිබියාවට.

ඔය විදියටම ඒ රටත් සංවර්ධනය වෙලා තිබුණේ. ඒ රටේ ශිෂ්‍යයෙක් පිටරට විශ්වවිද්‍යාලයකට තේරුණොත් රජය ඒ වියදම දැරුවා. හැම වැසියෙකුටම නිවෙසක් හදලා දුන්නා. වාහනයක් නොමිලේ දුන්නා. මාසයකට තෙල් ලීටර් ප‍්‍රමාණයක් නොමිලේ දුන්නා. ඒ වගේ තිබුණ රටට ගියා වසන්තය උදා කරන්න කියලා. ගඩාපිව මහ පාරේ බෝක්කුවක් යට මරලා දැම්මා. ලේ බිඳුවක් පෙන්නුවේ නැති නයින් එලවන්, නාලිකාව අර මරණ හැටි ලෝකෙටම පෙන්නුවා. එහෙම පෙන්නුවේ අනික් රටවල් බය කරන්න. දැන් ලිබියාවට වසන්තය උදාවෙලාද? හය මාසයක් ගියේ නෑ. ඔය වසන්තය පිටිපස්සේ හිටපු රටේ තානාපතිතුමිය මහ පාරට ඇදලා දාලා අර ඉරණමට පත් කළා. ජනගහනයෙන් තුනෙන් දෙකකට වඩා වැඩියෙන් ඉන්නේ අනාථ කඳවුරුවල. දවසකට මැරෙන්නේ දාහ දෙදාහ. මේ විදියටම දැන් සිරියාවේ කරගෙන යනවා. ඇප්ගනිස්ථානයේ කළා. දැන් එනවා පකිස්තානයට. එකම දේ තියෙන්නේ.

ලිබියාවෙදි ලිබියන් භාෂාවෙන්. අරහේ අරාබි භාෂාවෙන්. මෙහෙ සිංහල භාෂාවෙන්. එච්චරයි වෙනස. මේ තත්ත්වය තමයි අද දේශපාලන සංවාදවලට ගන්න  ඕනෑ.

 


ප‍්‍රශ්නය : ඇයි ඔය ඔබ කියන කාරනෙ ඔබේ පක්‍ෂයේ මහලේකම්වරයාට නොතේරුණේ?
පිළිතුර
: හිටපු මහ ලේකම්තුමාගේ අපේක්‍ෂාවන් ඉටු නොවුණ නිසා එතුමාට මේවා නොතේරෙන්න ඇති. නමුත් එතුමාට ඒවා තේරුණ බව කරන කියන වචනවලින් පේනවා. අර පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡුාවෙදි කිව්වේ ”සොඳුරු ආඥාදායකයෙක් කියලනේ. මැතිවරණ තියනවා. රට සංවර්ධනය කරනවා. සුබ සාධනය, සිනාවීම, ජනතාවට කිට්ුටුවීම. ජනතාව සමඟ දිගටම සම්බන්ධය පවත්වාගෙන යාම. ඔන්න ඔය කාරණා නිසා එතුමා කියනවා ජනාධිපතිතුමා ”සොඳුරු ආඥාදායකයෙක් කියලා. ඒ කියන්නේ එතුමා පිළිගන්නවා මේවා කෙරෙනවා කියලා.

 


ප‍්‍රශ්නය : නමුත් රට තුළ වෙනසක් ගැන ලොකු කතාවක් තියෙනවා?
පිළිතුර :
මම අහන්නේ ඒ වෙනස වෙලා නැද්ද? දරුවා පාසලට යවලා අම්මලා තාත්තලා පාසලේ ගේට්ටුව ළඟ මුර කරපු යුගය වෙනස් වෙලා නැද්ද? බස් එකට, කෝච්චියට මර බියේ නැගපු එක වෙනස් වෙලා නැද්ද? බටලන්ද වගේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තිබුණ වධකාගාරය වගේ වධකාගාර අද තියෙනවද? අද ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස් වෙලා නැද්ද? ජනාධිපතිතුමා එනකොට අවුරුදු 12ක් එක දිගට හදිසි නීතිය තිබුණා. සාමාන්‍ය නීතිය යටතේ ඉපදුනේ නැතිව ඡුන්ද බලය හිමි පුරවැසියන් මේ රටේ හිටියා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා නැද්ද? පත්තර කොච්චර තියෙනවද? ටීවී, රේඩියෝ චැනල් කොච්චර තියෙනවද? කොච්චර මාධ්‍ය නිදහසක් තියෙනවද? ඒක නොවෙයිද වෙනස කියන්නේ. පාසලට උළු කැටයක් ගන්න සල්ලි නැහැ කියපු රටේ සියලූ පහසුකම් තියෙන තාක්‍ෂණ විෂය දහරාව හඳුන්වා දීලා විද්‍යාගාර භාෂාගාර, ගණිතාගාර, පරිගණකාගාර සහිත මහින්දෝදය පාසල හැදිලා නැද්ද හැම තැනම. ළමා හා මාතෘ සායනවලට ගියාම බබාගේ බර කිරන්න තරාදියක් නැහැ. අම්මලාට ඉඳ ගන්න පුටුවක් නැහැ. මුත‍්‍රා සාම්පලයක් ගන්න වැසිකිළියක් නැහැ. තිබුණත් දොර නැහැ. එහෙම තිබිච්ච රටක අද ඉලෙක්ට්‍රොනික් තරාදි, එයාර්පෝට්වල තියන පුටු, අංගසම්පූර්ණ සනීපාරක්‍ෂක වැසිකිළි මේ සියල්ලම ගමේ ළමා හා මාතෘ සායනවලට ලැබිලා තියෙනවා. අපි ඉස්සර පොළේ ගියා අද කොහොමද මේ පොළවල් දෙල්කඳපොළ, මිනුවන්ගොඩ පොළ, නයිවල පොළ, මොන තරම් වෙනසක්ද? වෙනස කියන්නේ මේකට නොවෙයිද?

 


ප‍්‍රශ්නය : පළමු ප‍්‍රශ්නයම නැවත ඔබට ඉදිරිපත් කරන්නම්. තුන්වැනි පාර ඉල්ලන්නේ නොකළ මොන දේ කරන්නද?
පිළිතුර :
2005 දී ජනවරම ලැබුණේ දැන් ඉන්න පරම්පරාවට. වසර 30ක් අහිමිවෙලා තිබුණ නිදහස හා සාමය දිනාගන්න. 2010 දී ජනවරම ලබාගත්තේ අවුරුදු 60 ක් අහිමිවෙලා තිබුණ සංවර්ධනය හා ආර්ථික සමෘද්ධිය ලබා ගන්න. හැබැයි ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ දැන් ජීවත්වන ජනතාවට වඩා මතු අනාගතයේ මේ රටේ ඉපදෙන දරුවන් වෙනුවෙන් ඒ තීරණය ගත යුතුයි. මේ නිදහස් නිවහල් ස්වෛරී රට... ඒකීය රට දරුවන්ට දෙනවාද නැද්ද කියන තීන්දුවයි ගන්න තියෙන්නේ. ඔබට ඒ රට දැන් ලැබිලා තියෙන්නේ. හැබැයි... ඔබේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ඒ රට උරුම වෙයිද කියලා සහතිකයක් නෑ. ඒ තරමේ කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ සිදුවෙමින් තියෙනවා. මේ රට දැන් අස්වද්දලා තියෙන්නේ. ජනතාවට අස්වැන්න නෙළා ගැනීමට අවස්ථාව දිය යුතුයි. ඒ තීන්දුව ලබන 8 වැනිදාට මේ රටේ ජනතාව නිවැරදිව ගන්න බවට කිසිම සැකයක් නැහැ.


m



අදහස් (0)

ඔය කතා ඉතිහාසයේ හැමදාම කිව්වා

එච් . රන්මුතු Tuesday, 30 December 2014 05:31 PM

අවුරුදු දෙකකට කලින් ඉල්ලන්නේ මොකද කියල කියන්න පුලුවන්ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

හිටිගමන් මතක් වූ දහතුන
2024 ජුනි මස 15 220 1

උතුරේ ඇතැම් දේශපාලනඥයන් ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන්නේද නැත්නම් වෙනම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේදැයි විවාද කරමින් සිටින අතර තුර දකුණේ ප


ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?
2024 ජුනි මස 15 127 0

මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති ද


ලංකාවේ උසස් ප්‍රේක්ෂකයන් සිටීම අසිරිමත්
2024 ජුනි මස 14 348 0

‘‘සහන්‍යා පදනම ශ්‍රී ලංකා’’ හා ‘‘සිද්ධිවිනායක් සිනෙ ආර්ට්ස්’’ වෙනුවෙන් කෞශල්‍යා වික්‍රමසිංහ සංවිධාන කරන ‘‘සුබ්‍රමනියා ග්ලෝබල් ෆියුෂන්’’ ප්‍රසංගය


රටට ඔබින ආර්ථික දැක්මක්
2024 ජුනි මස 14 144 0

ජනාධිපතිවරණය කැඳවීම සඳහා ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන බලයට අනුව ලබන මාසයේ (ජූලි) 17 වැනිදායින් පසුව රටේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා ගොන


අයවැයෙන් වූ දේ දැනගැනීම ජනතාවගේ අයිතියක්
2024 ජුනි මස 14 69 0

අපේ රටේ ආර්ථිකයේ හැසිරීම් රටාව තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසුය. ආර්ථිකය බරපතළ ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බවත් ඒ ඇතැම් අසීරුතා මගහරවා ගැනීමට


වාහන කෑලි ගෙනත් කෝටි දසදහසක බදු පොලු
2024 ජුනි මස 13 388 0

මෙරටට වාහන ගෙන්වීම තහනම් කළ කාලයේ වාහන 44,430ක් වෙළෙද පොළට පැමිණි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ දේශිය වශයෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3022 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site