IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා

අමාත්‍යවරයකුට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා සකස් කරවා ගැනීමට ගතවන කාලය කොපමණදැයි නිශ්චිත නැත. එහෙත් එම කාලය මාස ගණනාවක් නම් විය නොහැක. කැබිනට් පත්‍රිකාවක් සැකසීමට මාස ගණනාවක් ගතවන්නේ නම් එය අමාත්‍යාංශයේ කාර්යක්ෂම බව පිළිබඳ ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න මතුවූ විට එයින් බැටකන්නේ අමාත්‍යවරයා නොව මහජනතාවයි.

අප මෙසේ පවසන්නේ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට ගිය කල සම්බන්ධයෙනි. මේ පත්‍රිකාව සකස් කර දින 14ක් ඇතුළත බාරදෙන ලෙසට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට ඉකුත් නොවැම්බර් මස 14 සහ දෙසැම්බර් මස 24 දිනවල ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන් වුවද ඊට තවමත් අමාත්‍යවරයාට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ බව සඳහන් කරන අපගේ ‘ලංකාදීප’ ප්‍රවෘත්තිය, නීති රීති සකස් කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන මෙන් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයි ද කියයි.

සියලු‍ම උපාධිධාරී, ඩිප්ලෝමාධාරී සහ අභ්‍යාසලාභී නිලධාරිනියන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිතව ප්‍රසූත නිවාඩු ලබාදීම රජයේ තීන්දුවකි. එසේ නොවන්නේ නම් අමාත්‍යවරයා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරන මෙන් ලේකම්වරයාට දැනුම් දෙන්නේ නැත. රජයේ තීන්දුවක් පිළිබඳ පත්‍රිකාවක් පිළියෙළ කරගැනීමට අමාත්‍යවරයාට මේ තරම් කාලයක් ගතවීත් එය ඉටු කිරීමට නොහැකි වී නම් එතැන බරපතළ ප්‍රමාද දෝෂයක් තිබිය යුතුය. මේ ප්‍රමාද දෝෂයට වගකිවයුත්තේ කවුදැයි අපි නොදනිමු. එහෙත් රජයේ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අදාළ පත්‍රිකාව හරස්වීම නම් කිසිසේත් පිළිගත නොහැකි කනගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

සෑම අමාත්‍යාංශයකම ඉහළ නිලධාරීන්ට වැඩ රාජකාරි බහුල බව අපි දනිමු. එහෙත් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ විශාල සංඛ්‍යාවකට විෂයයන් බෙදී ගොස් තිබීම හේතුවෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරගැනීමට හෝ නොහැකි තරමට ලේකම්වරයකු කාර්යබහුල වන්නේදැයි යන්න ප්‍රශ්නයකි. අමාත්‍යවරයා විසින් සිදු කර ඇති ලිඛිත ඉල්ලීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමට ලේකම්වරයකුට හැකියාව තිබේද යන්නත් ගැටලු‍වකි. ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරයා සහ ලේකම්වරයා අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ වැඩි ඈතක සිටින්නෝ නොවෙති. මේ නිසා කැබිනට් පත්‍රිකාවක් සකස් කරගැනීම කල්ගත වන, භාරදූර කාර්යයක් විය නොහැකි බව අපගේ වැටහීමය.

ඒ කෙසේ වුවද අදාළ නීති රීති ඇතුළත් කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා ලිඛිතව දන්වා තිබියදීත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම අහම්බෙන් සිදුවූවක් විය නොහැක. අභ්‍යාසලාභීන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇත්තේ ඍජු තීරණයක් නම් ඒ අනුව නොපමාව කටයුතු කිරීම අමාත්‍යවරයාගේ ද වගකීමකි. එහෙත් අභ්‍යාසලාභී නිලධාරිනියන් සැනසීමට ඔවුන්ට පොරොන්දුව ලබා දුන්නත් එය ඉටුකිරීම සැබෑ වුවමනාව නොවේ නම් මෙවැනි ‘වංගු’ ඇතිවීම වැළැක්විය නොහැකිය.

රජයේ තීන්දු තීරණවලට අදාළ කැබිනට් පත්‍රිකා ඉක්මනින් සකස්කොට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒවා සම්මත කරගෙන කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් සෑම අමාත්‍යවරයකුටම ඇත. ඇතැම් විට මේ නිලධාරීන් අමාත්‍යවරයාගේම තෝරාගැනීම් වෙයි. මේ නිසා නිශ්චිත කාලරාමුවක් තුළදී රජයේ යෝජනා සම්මත කරගෙන ඉදිරි වැඩ කටයුතු කිරීමට කිසිදු අමාත්‍යවරයකුට බාධාවක් තිබිය නොහැක. වැදගත් කැබිනට් පත්‍රිකා ප්‍රමාද වීමටද හේතුවක් නැත.

කුමන රජයක් යටතේ වුවද රජයේ කාර්යක්ෂමභාවය ප්‍රශ්න කෙරෙන අවස්ථා උද්ගත වෙයි. එය බොහෝ විට සිදුවන්නේ සැබෑ ලෙසම ඉටුකිරීමට අපහසු හෝ ඉටුකිරීමට උවමනාවක් නැති යෝජනා සම්බන්ධයෙනි. මෙවැනි යෝජනා මහජනතාව පිනවීම පිණිස යොදාගන්නා සංදර්ශන බවට පත්වෙද්දී එහි බලපෑම්වලට යටත් වන පිරිස අපහසුවට පත්වෙති. ඔවුන්ට ඉතිරි වන්නේ කවදා හෝ තමන්ගේ වුවමනාව ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුව පමණි. ප්‍රසූත නිවාඩු කැබිනට් පත්‍රිකාවද එවැනි මාධ්‍ය සංදර්ශනයක වූ ජවනිකාවක් බවට පත් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

අප එසේ පවසන්නේ මැති ඇමැතිවරුන්ට අදාළ ඔවුන්ගේ වාසියට කෙරෙන යෝජනා ප්‍රමාද වෙනු අප අසා නැති බැවිනි. ඩියුටි ෆ්‍රී කාර් පර්මිට්, වැටුප් සහ දීමනා වැඩිකර ගැනීම්, එතෙර සවාරි සඳහා වන යෝජනා වැනි කැබිනට් පත්‍රිකා කවදාවත් ප්‍රමාද වන්නේ නැත. ඒවා සකස් කිරීමට දින 14ක් තබා පැය 24ක්වත් ගතවන්නේ නැත. කැබිනට් පත්‍රිකාව සකස් කළාදැයි විමසමින් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත දැනුම් දීමක් සිදුවන්නේද නැත. එසේ තිබියදී මහජනතාවට බලපාන ඇතැම් සංවේදී කාරණා සම්බන්ධ කැබිනට් පත්‍රිකාවලට මෙවැනි ඉරණමක් අත්වීම නම් අවාසනාවක් බව කිව යුතුය.

(***)



අදහස් (3)

එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා

fairoos Tuesday, 16 March 2021 07:20 AM

මේකත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි.

:       1       2

Sonali Tuesday, 16 March 2021 09:29 AM

අපෝ මේ අමාත්‍යාංශය හරිම අකාර්යක්ෂමයි. රජයේ නිලධාරීන්ගේ වැඩත් ගොඩක් පරක්කුයි.

:       1       2

පී එස්.පී.ප්‍රනාන්දු Thursday, 18 March 2021 06:26 AM

පුද්ගලික සේවකයන් අවු60 දක්වා සේවය කිරීම පිළිබඳ නීතිය තාම ගැසට් කරලා නෑ නේද? ඇයි ඒක ප්‍රමාද වෙන්නේ, නොසැලකිලිමත් කමද? වෙන හේතුවක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site