IMG-LOGO

උසස් පෙළ සිසුන් තැළෙන ක්‍රියාමාර්ග එපා

ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව ඊට පසුදා වාර්තා වූයේය. නව බදු සංශෝධනයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  විරෝධය පාන නිසා මෙම පමාව සිදුවන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුහු පසුගිය වසර කිහිපය තුළ දුෂ්කරතා රාශියකට මුහුණ  දුන්නෝය. ඔවුන් උසස් පෙළ පංතිවල ඉගෙනුම ලැබූ 2020/21 වසරවල වැඩි කාලයක් කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පාසල් වසා දමා තිබිණි. එම තත්ත්වය නිසා ඔවුන්ට වැඩිපුර විෂය හදාරන්නට සිදුවූයේ මාර්ගගතවය.

මෙම ඉගැන්වීම් ක්‍රමය මෙරට ක්‍රියාවට නගන්නට  සිදුවූයේ පළමුවරට නිසා  ඒ තුළ අඩු ලු‍හුඬුකම් රාශියක් පැවතිණි. ජය ගත නොහැකි වූ  තාක්ෂණික අඩුපාඩු ද එම ඉගැන්වීම්වලට බලපෑවේය. එම නිසා ඔවුන්ට වැඩිපුරම ස්වයං අධ්‍යයනයේ නිරත වන්නට සිදුවිය.

ඉන්පසුව 2022 මුල් කාලයේ මෙරට පැවැති ඉන්ධන හිඟය  ආකාර කිහිපයකින්ම මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි  සිසුන්ට අහිතකර ලෙස බලපෑවේය. ඉන්ධන  හිඟය හා සමාන්තරව ඇති වූ විදුලි කප්පාදුව නිසා රාත්‍රී කාලයේ ඔවුන්ට පාඩම් කටයුතු නිසි පරිදි කරගන්නට නොහැකි  වූයේය.

මාර්ගගත අධ්‍යාපනයට ද විදුලි කප්පාදුව බලපෑවේය. එම දිනවල පැවති ඉන්ධන හිඟය නිසා  ඔවුහු ප්‍රවාහන දුෂ්කරතාවන්ටද මුහුණ පෑවෝය. ආර්ථික අර්බුදය හමුවේ රටේ පැවති භාණ්ඩ හිඟය හා ආහාර හිඟයද එම උසස් පෙළ සිසු දරුවන්ගේ පාඩම් කටයුතුවලට අහිතකර ලෙස බලපෑ බවට සැක නැත. අවසානයේදී එම සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටි දිනවල පවා විදුලිය කප්පාදුව නැවතුණේ නැත.

මේ සියලු‍ බාධක නිසා එකී සිසු දරුවන්ගේ අධ්‍යාපනයට නොමඳ අවහිරතා ඇති විය. විභාගය පැවැත්වූයේ ද කල් දැමූ දිනයකය.
දැන්  අවසානයේ ඔවුන්ගේ  උත්තර පත්‍ර පරික්ෂා  කිරීමේ කර්තව්‍යයට ද  බාධා පැමිණ තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය වෘත්තීය ප්‍රශ්න විසඳාගත යුතු බව අපි පිළිගන්නෙමු.

2020 එවකට පැවති රජය ව්‍යාපාරිකයන් නොඉල්ලූ බදු සහන පිරිනැමීම නිසා රජයේ බදු ආදායම  රුපියල් බිලියන ගණනකින් පහත වැටිණි. ඒ හේතුවෙන්  දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්නට රජයටත් ජනතාවටත් සිදුවිය. රජයේ ආදායම පහත වැටීම නිසා විදේශ ණය  නොගෙවා පැහැරහරින තත්ත්වයටම  වැටෙන්නට මුල් වූයේ  බදු  කපා හැරීමයි. ඉන් අනතුරුව අලු‍ත් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට මෙම රජයට සිදුවිය. ඒ අනුව සමස්ත බදු ආදායම තුළ ලබන, ආදායම් බදු  ප්‍රතිශතය වැඩි කර ගන්නට තීරණය විය. ආදායම් බදු උදෙසා අදාළ දත්ත පදනම යාවත්කාලීන කර ගැනීමක්ද මෙරට සිදු නොවීය.

මේ හේතුවෙන් මෙරට බදු  දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් බොහෝ සිටින බව නිතර වාර්තා වූයේ ය. මෙම තත්ත්වය ඔස්සේ පහසුවෙන් දත්ත  පදනමට එක් කරගත හැකි වූ වෘත්තිකයන්ට නව බදු සීමාවන්ට අනුව උපයන විට ගෙවන බදු  නව ක්‍රමය යටතේ ගෙවන්නට සිදු විය.

මේ නිසා මෙරට  අලු‍තෙන් ක්‍රියාත්මක වන බදු ක්‍රමය අතිශය සාධාරණ වූත් වඩා ඵලදායි වූත් බදු ක්‍රමයක් යයි අයෙකුට කිව නොහැකිය. එම නිසා විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ගේ උපයන විට ගෙවන නවබදු ක්‍රමයට  එරෙහි සටන සම්පූර්ණයෙන් අසාධාරණ සටනකැයි එකහෙළා කිව නොහැකිය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එම ප්‍රශ්නය රටේ බදු ආදායමටත්,  ආචාර්යවරුන්ටත් අසාධාරණයක් නොවන අයුරින් තුලිතව විසඳිය යුත්තකි.

එහෙත් ඔවුන්ගේ වෘත්තීය සටන උදෙසා මෙවර ප්‍රාණ ඇපකරුවන් ගේ තත්ත්වයට පත්ව ඇත්තේ පසුගිය වසර කිහිපයේ කොරෝනා උවදුරිනුත්,  ඉන්ධන අර්බුදය හමුවේත්, විදුලිය කප්පාදුව නිසාත්, ආර්ථික අර්බුදය හමුවේත්, බැට කෑ අසරණ උසස් පෙළ සිසුවා ය. එම සිසුවා ගේ පැත්තෙන් බැලූ විට රටේ අර්බුදය නිසා තවදුරටත් ඔවුන් ප්‍රහාරයට ලක් විය යුතු නැත.  

 ඒ අයගෙන් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙනුයේ  සුළුතර සිසු සංඛ්‍යාවක් බව සැබැවි.  ඔවුන් ලබන ප්‍රතිඵල හමුවේ ඔවුන් සිය දෙමාපියන් සමග එක්ව තම අනාගතය පිළිබඳ තීරණ නොපමාව ගත යුතුව ඇත. ඔවුන්ගේ ප්‍රතිඵල පමාවීමෙන් සිදු වනුයේ වැඩ කළ හැකි වයසේ පසුවන, තරුණයන්ගේ කායික හා මානසික ශ්‍රමය තවදුරටත් රටේ යහපත උදෙසා උකහා ගැනීම පමාවීමයි.

එම නිසා උසස් පෙළ සිසුනට අසාධාරණයක් නොවන අයුරින්  තම වෘත්තීය සටන ගෙනයන ලෙස අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

(***)



අදහස් (1)

උසස් පෙළ සිසුන් තැළෙන ක්‍රියාමාර්ග එපා

wedage Wednesday, 15 March 2023 03:52 PM

විදුලිය කැපීම හරිද? විභාගය තියන දවස්වල...?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12606 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 318 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 217 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site