නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, විචාරකයකු, පරිවර්තකයකු මෙන්ම ළමා කෘති රචකයකු ලෙසද සාහිත්‍ය නිර්මාණ බොහොමයක් මෙරටට දායාද කොට ඇති ගුණසේන විතාන මහතා මෙරට සාහිත්‍යය මෙන්ම සමාජය ද නවමගකට ගෙන ඒමට බොහෝ වෙහෙස ගත් ලේඛකයෙකි. ඔහු ලියූ ‘යාපනයට පාලමක්’, ‘අයියා වගේ කෙනෙක්’ වැනි කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානවලින්ද පිදුම් ලැබීය.
‘පමා නොවී වැහැපන් වැහි වලාවේ, දෙවොලක වෙනස, සරදියෙල්, විප්ලවයේ කැරලිකාරයෝ, කඩු තුඩු සහ කඩුපුල්’ වැනි නවකතාද ‘සිංහල පියෙකුට දාව දෙමළ මවකගේ කුස උපන් පුතෙකුගේ කතා වස්තුව, බෝම්බයක රිද්මය, රාසම්මා, පොළොවේ ගීතය, ගරු මාංචු’ වැනි කෙටිකතා සංග්‍රහද ‘පණ ඇති තොප්පිය, මාෂා සහ වලසා’ වැනි පරිවර්තනද ඔහුගේ කෘතිවලින් කීපයක් පමණි. විතානයන් රචනා කළ සාහිත්‍ය විචාර කෘති මෙන්ම ළමා කෘතිද වඩාත් ආදර්ශ සම්පන්නය.
සෝවියට් සාහිත්‍යය මෙරට ජනප්‍රිය කරවීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ගුණසේන විතාන මහතා ජනතා ලේඛක පෙරමුණ වැනි සංවිධාන හරහා ශ්‍රී ලාංකික සාහිත්‍යයක් බිහි කිරීමට උත්සාහ ගත්තේය. ලේඛක දිවිය, සමාජ ජීවිතය හා බැඳුණු අත්දැකීම් පදනම් කොටගෙන ඔහු රචනා කළ ‘දසක අටක මතක’ කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. මේ සංවාදය ඒ නිමිත්තෙනි.
• ඔබේ ලේඛන දිවිය දශක හයක් පමණ ඈතට දිව යනවා. දේශපාලන සමාජ සංස්කෘතික අරගල මැද ඔබ සමාජය සාහිත්‍යය වෙනුවෙන් බොහෝ දේ කළා. ලේඛක දිවියේදී ඔබ කළ කැපකිරීම් වර්තමාන සමාජය තුළ ස්ථාපිතව ඒවා ප්‍රතිඵලදායක වී ඇතැයි සතුටු වෙන්න පුළුවන්ද?
ඇත්තටම ආපහු හැරිල බැලුවාම විවිධ ජයග්‍රහණ වගේම පරාජයන් හමුවෙලා තියෙනවා. ඒත් අපි මේ දෙකටම මුහුණ දීලා තියෙනවා. ඔරොත්තු දීලා තියෙනවා. ඒ ගැන සතුටුවෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම සුබවාදීව ධනාත්මකව හිතන්න උත්සාහ ගැනීම තමයි හොඳ. ලේඛකයකු හැටියට අපට කරන්න පුළුවන් යුතුකම් වගකීම් හැකි පමණ ඉටු කළා කියලා සතුටුවෙන්න පුළුවන්.
අපේ රටේ ප්‍රධාන ජාතීන් තුනක් ජීවත් වෙනවා. සාහිත්‍යකරුවන් හැටියට අපි ප්‍රධාන වශයෙන්ම කැප වෙන්න ඕනෑ ඔවුන් අතර සමගිය අවබෝධය දැනුම වර්ධනය වන විදියට වැඩ කරන්න. මම හිතන්නේ සියලු සාමාන්‍ය ජනතාව තුළ ජාති භේද ඉක්මවා ගිය සංස්කෘතික එකමුතුවක් තිබෙනවා. ඒත් ප්‍රශ්න ඇති කරන්නෙ සමහර දේශපාලන මතවාද. තිස් අවුරුදු යුද්ධයක් ගැන අපි එදා දිගින් දිගටම කතා කළා. ජනතාවගේ මනස තුළ ඒ පීඩනය තිබුණා. ඒත් දැන් අපි කරන්න ඕනෙ යුද්ධයෙන් නිදහස් වුණු රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් පෙනී සිටීමයි. ලේඛකයාගේ අපේක්ෂාව විය යුත්තේ අන්න ඒ අර්ථවත් සමාජීය දැක්මයි. දේශපාලනය ඒ තැනට යොමු කිරීමයි.
එය කළ යුත්තේ බුද්ධිමත්ව සමාජාවබෝධයෙන් යුතුවයි. බොහෝ දෙනෙක් කරන්නෙ බඩ පුරවා ගැනීම පමණයි.
• ඔබ එහෙම කිව්වත් පවත්නා සමාජ දේශපාලනය වඩා නිවැරදි කිරීම සඳහා අපේ රටේ ලේඛකයන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?
හොඳින් විමසලා බැලුවොත් නම් ප්‍රමාණවත් මදි. මම නිතරම සිතන්නේ නිවැරදි සමාජ දේශපාලන දැක්මක් නැති ලේඛකයා අන්ධයකු බවයි. පොදු සමාජය ගත්තොත් ඉන් බහුතරය විවිධ දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. ඒ සමාජ - ආර්ථික ප්‍රශ්නවල ස්වභාවය තේරුම් ගත්තෙ නැති ලේඛකයකුගෙන් වැඩක් වෙන්නෙ නෑ.
අනෙක් පැත්තෙන් තියන අර්බුදය තමයි අපේ ලේඛකයන් මොනතරම් කාරණා කාරණා ගැන ලිව්වත් ඒ ලියන දේවල් කියවන ප්‍රමාණාත්මක පාඨක පිරිසක් නොමැතිවීම. ඇත්තටම අපි කළ යුත්තේ පුස්තකාලවල පොත් ගොඩගැසීම නොවෙයි. සල්ලි දීල පොතක් ගන්න තැනට පාඨකයා හදන එකයි. පාඨක සමාජය දියුණු කිරීම තමයි අවශ්‍ය දැන්.
• මේ සඳහා රජය ඇතුළු බලධාරීන්ට ඔබ යෝජනා කරන්නේ මොනවාද?
මම හිතන්නෙ ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම් තේරුම් අරගෙන නිසි වැඩපිළිවෙළකට යන්න නම් මුලින්ම කෙරෙන්න ඕන සංස්කෘතික අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකම අමාත්‍යංශයක් යටතට ගැනීමයි. එය එකම ලේකම්වරයකු යටතේ තිබිය යුතුයි.
දේශපාලකයන්ටත් තියෙන්න ඕනෑ මේ ගැන බුද්ධිමත් දැක්මක්. හොඳ පොත් පත් ගැන අවබෝධයක්. හොඳ පොතපත නොකියවන පාඨකයො වගේම දේශපාලකයොත් ඉන්න සමාජය අන්ධයි. අපේ රටේ ලේඛන කලාවේ දියුණුවක් දකින්නට තිබුණත් පාඨක සමාජය දියුණු නැහැ. පාඨකයා දිනාගැනීමේ වැඩපිළිවෙළක් ඇත්තෙත් නෑ. පාසල් වයසෙ ඉඳල දරුවන්ට කියැවීමට කැමැත්ත ඇති කරන්න වටිනාකමක් ඇති පාඩම් පෙළ පොතට ඇතුළත් වෙන්න ඕනෑ. ඔහේ අහුලගෙන ඇවිත් අමු අමුවෙ පෙළ පොතට පාඩම් දාලා දරුවන්ගෙ මනස විකෘති වුණාම කියැවීම එපා වෙනවා.
පාඨක සමාජය දියුණු කිරීමේ තවත් හොඳ වැඩපිළිවෙළක් තමයි ගෘහ පුස්තකාල ඇති කිරීම. ඒ සඳහා ජනතාව පොළඹවන්න ඕනෑ. ‘පොතක් නැති නිවසක් නිවසක් නොවේය’ යන හැඟීම ඇති කරවන්න ඕනෑ.
• තරුණයන්ට හමුදා පුහුණුව ලබා දිය යුතු බවට යෝජනාවක් මේ මෑත කාලයේ කරළියට පැමිණියා. එහි අරමුණ විනය ගරුක සමාජයක් බිහි කර ගැනීම බවත් කියැවුණා. ඒත් භාෂා සාහිත්‍ය කලා විෂයයන් අමතක කර විනය ගරුක බුද්ධිමත් සමාජයක් ගැන සිතිය හැකිද?
තරුණයන්ට දෙන්න ඕනෙ අවිය පෑන සහ පැන්සල මිසක් යුද පුහුණුව නොවෙයි. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ මිනිසුන්ට යුද්දෙ එපා වුණා. කියවන අයත් ලියන අයත් පසු කාලෙදි ඒ ගැන කතා කරන්න කැමැති වුණේ නෑ.
දැන් අපට තියෙන්නෙ වෙන යුද්ධයක්. ඒක තමයි හොඳ සමාජයක් ගොඩනැගීමේ යුද්ධය. මේකට තුවක්කු නෙවෙයි ඕනෙ පෑන්, පැන්සල්, පොත්. අපි ශරීරය නිරෝගී කරගන්නව වගේම මනස නිවැරදිව නිරෝගී කරගැනීම ගැනත් හිතන්න ඕනෑ. ඒක සාහිත්‍යයෙන් කරන්න පුළුවන්.
• ඔබ පළපුරුදු ලේඛකයෙක්. සිංහල නවකතාව ගැන මේ කාලයේ අලුත් කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මීට දශක හතර පහකට පෙර නවකතාව සහ මේ යුගයේ නවකතාව ඔබ ගළපාගන්නේ කොහොමද?
මට හිතෙන්නෙ දැන් නවකතාව ගරාවැටිලා. මුල් කාලයේ ලේඛකයන් අවුරුදු ගණනක් අත්දැකීම් ලබල ඒ ගැන පර්යේෂණ කරලා කාලයක් අරගෙන තමයි නවකතාවක් ලියන්නෙ. ඒත් අද එහෙම නෙවෙයි. ඉතාම කෙටිකාලයකින් කලබලෙන් ලියනවා. මෙයින් සිද්ධවෙන්නෙ පාඨකයා මුළාවෙන එක.
ලෝකයේ බිහිවූ හොඳ නිර්මාණ අරගෙන බැලුවොත් ඒ බොහෝ ඒවා සඳහා අවුරුදු විසිපහක් තිහක් ගතකරලා තියෙනවා. ඒ අතින් බැලුවම අපේ රටේ සමහර ලේඛකයන් ගැන කනගාටුයි. සමහරවිට අවුරුදු පතා නවකතා ලියන්න දඟලන්නෙ සම්මාන බලාගෙන වෙන්න ඇති. නමක් දිනාගත් ලේඛකයන් පවා දැන් මේ පඹගාලෙ පැටලිලා. ලේඛකයාට තිබිය යුතුයි ස්වාධීනත්වයක්. ලේඛිකාවක් මෑතකදී වෙනත් කෘතියක කරුණු එහෙමම උපුටලා තමන්ගෙ පොතට අරගෙන තිබුණා. ඇයි එහෙම වෙන්නෙ? සම්මාන පොරය නිසා සාහිත්‍යය නියඟයකට අහුවෙලා. මේ නියඟය නිසාම හොඳ පොත් බිහිවීමේ අඩුවක් පෙනෙනවා. මම නම් හිතන්නේ ගම්පෙරළියෙන් පසු බිහිවුණ හොඳම නවකතාව චරිත තුනක් කියලයි. අපේ සාහිත්‍යයේ හරිහමන් නවකතා හැටියට ගන්න පුළුවන් ඔය පොත් දෙක විතරයි.
(***)
(සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උසස් පොත පත නොකියවන සමාජය අන්ධයි
Raveendra Tuesday, 26 January 2021 12:20 PM
ඉතාමත්ම වටිනා සාකච්ඡාවක්....