ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරමින් සිටී. ආරම්භයේ දී, වෙළෙඳ ශේෂය මත පදනම් තීරුබදු පැනවීම් කරනු ලැබුවත් වර්තමානය වනවිට වෙනත් භූ දේශපාලනික කරුණු මත පදනම්ව තීරුබදු පැනවීම් සිදු වෙමින් පවති. ඊට කදිම උදාහරණය නම් බ්‍රසීලයට සහ ඉන්දියාවට අදාළව පනවා ඇති සියයට 50ක පමණ වූ තීරු බදු අනුපාත වේ.
පසුගිය මස අවසානයේ දී එළි දක්වන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ World Economic Outlook වාර්තාවට අනුව 2025-2026 යන වසරවල දී ලෝක ආර්ථිකයේ වර්ධනය සියයට 3 ක් පමණ වෙතැයි පුරෝකථනය කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය සියයට 4 ක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කරනු ලබන අතර සංවර්ධිත රටවලට අදාළව එම අගය සියයට 1.5 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.
ලෝක ආර්ථිකයේ කර්ය සාධනය පහත වැටීමට මූලික හේතුව වන්නේ ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලෝක ආර්ථිකය තුළ කර ඇති අවිනිශ්චිතතාවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ගෝලීය අවනිශ්චිතතා දර්ශකයේ (world uncertainty index) අගය 2025 වසරේ ජනවාර් මාසයේ දී 40 ක් වූ අතර ජුලි මස අවසානය වනවිට 85ක් වශයෙන් සටහන්ව ඇත.
මෙහිදි අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ නම් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට අදාළව යම් ලිහිල්වීමක් (පසුගිය අප්‍රේල් මස සමග සැසිදීමේදී) සිදුව පැවැතියත් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව අඛණ්ඩව ඉහළ යමින් පැවැතීමයි. මෙම අවිනිශ්චිතතාව මගින් ගම්‍ය වන්නේ ගෝලීය වෙළෙඳාම සහ අයෝජනය ප්‍රතිපත්ති කුමන දිශාවකට තල්ලුවේ ද යන්න පිළිබදව පවතින සැක සංකාවයි. දැනටමත් සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිභෝගිකයන් ඇමරිකානු භාණ්ඩ සහ සේවා වෙනුවට තම රටවල නිෂ්පාදන මිලට ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් පවතින අතර ඊට අදාළ පෙළැඔවීම් සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් සිදුවෙමින් පවතී. අසල්වැසි ඉන්දීය නිදහස් සටන පණ පෙවූ Swadeshi movement (එනම් දේශීය භාණ්ඩවලට මුල්තැන) යළි පණ ගන්වමින් සිටී. මෙම ප්‍රවණතාවලින් පෙනී යන්නේ ක්‍රමයෙන් ගෝලීයව ආරක්ෂණවාදය හිස ඔසවන බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මස නව තීරුබදු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිංගප්පූරු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්ති වෙනසත් සමග එතෙක් පුරා දශක හතරකට වඩා වැඩි කාලයක් පැවැති නිදහස්, සාධාරණ සහ නීති පද්ධතියක් මත පදනම් වූ ගෝලීය වෙළෙඳ සහ ආයෝජන පරිසරය වෙනස්ම වූ රටාවකට සකස් වෙමින් පවතින බවයි. පැවැති බහු පාර්ශවීය වෙළෙඳ සහ ආයෝජන යාන්ත්‍රණය තුළ විශේෂයෙන්ම කුඩා සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් වාසි සහගත වූයේ කේවල් කිරීමේ බලයකින් තොරව නිදහස් වෙළෙඳාමට ඉඩකඩ පැවතීම විය.
එහෙත් සිංගප්පූරු අගමැතිවරයාට අනුව, ඇතිවෙමින් පවත්නා නව වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති පරිසරය තුළ කුඩා සංවර්ධනය වෙමින් පවතින රටවලට අභියෝග ගණනාවක මුහුණ පෑමට සිදු වනු ඇත. විශේෂයෙන්ම, කේවල් කිරීමේ බලය නොමැති වීම මත නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ලබා ගැනීම දුෂ්කර වනු ඇත. එසේ වුවත් වෙනස් වෙමින් පවත්නා ගෝලීය වෙළෙඳ සහ ආයෝජන පරිසරය තුළ සාර්ථකව දෙපයින් නැගී සිටීම සඳහා අවශ්‍ය වන්නා වූ වෙනස්කම් දේශීය ආර්ථික තුළ ඇති කරන බව සිංගප්පූරු අගමැතිවරයා අප්‍රේල් 8 වැනිදා, එනම් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රකාශයෙන් සතියක් ගත වීමට ප්‍රථම, ප්‍රකාශයට පත් කළේය. ඊළගට විමසා බැලීමට අදහස් කරන්නේ සිංගප්පූරුව එසේ ඇති කළ වෙනස්කම් මොනවාද යන්නයි.
තාර්කික සිංගප්පූරු ප්‍රවේශය
ඇමරිකානු තීරුබදු සහ ඒ හේතුවෙන් ලෝක ආර්ථික තුළ ඇතිවන අවිනිශ්චිතතාව නිසා ව්‍යාපාර සහ ශ්‍රමිකයන්ට ඇතිවන බලපෑම කෙටිකාලීනව, මධ්‍යකාලීනව සහ දිගුකාලීනව අවම කිරීමට සහ සිංගප්පූරු ආර්ථිකය තුළ තරගකාරීත්වය සහ නවෝත්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කරමින් Singapore Economic Resilience Taskforce (SERT) පිහිටුවනු ලැබිණ. විශේෂයෙන්ම, දිගුකාලීන ආර්ථික මූලෝපය තුළ ඇති කළ යුතු වන්නා වූ වෙනස්කම් මොනවාද යන්න සොයා බැලීම ද මෙහි අවධානය යොමු කරන ලද අංශයකි. SERT පිහිටවනු ලැබූ අතර එම Taskforce යටතේ කමිටු පහක් ඇති කළ අතර ඉන් පළමු වැනි කමිටුව සිංගප්පූරුවේ ගෝලීය තරගකාරීත්වය පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම ඉලක්ක කරමින් ප්‍රතිපත්ති යෝජනා කිරීමට වගකීම පැවරිණි. දෙවැනි කමිටුව අවධානය යොමු කරන ලද්දේ තාක්ෂණය සහ නවෝත්පාදනය, කෘත්‍රිම බුද්ධිය ද ඇතුළුව, ආර්ථික වර්ධනයට සහ තරගකාරීත්ව වැඩි දියුණු කිරීම සඳහා යොදා ගැනීම පිළිබදව වේ. තුන්වැනි කමිටුව මගින් ව්‍යවසායකත්වය සහා ව්‍යවසායකත්ව පරිසරය (Singapore’s start-up ecosystem) පිළිබදව අවධානය යොමු කෙරිණි. සිව්වැනි කමිටුව මගින් කුසලතා සංවර්ධනය සහ වෘත්තීය සංචලනය (career mobility) සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමුඛ කරගත් මානව ප්‍රාග්ධන සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත. පස් වැනි කමිටුව අවධානය යොමු කරනු ලැබුවේ ආර්ථිකයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසා ව්‍යාපාර සහ ශ්‍රමිකයන්ට ඇතිවන බලපෑම කළමනාකරණය කරන්නේ කෙසේදැයි සොයා බැලීමටය. සිංගප්පූරුව මෙන්ම ලෝකයේ බොහොමයක් රටවල් ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තියත් සමග තම රටවල් වෙනස්වන ලෝක ආර්ථික රටාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න සොයා බලමින් ඊට ආදළ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත වෙමින් සිටී. මෙහිදී විශේෂ වශයෙන් සදහන් කළ යුතු දෙයක් නම් ඇමරිකාව විසින් සිංගප්පූරුවට පනවනු ලැබුවේ සියයට 10ක තරම් වූ පහළ තීරුබදු ප්‍රතිශතයක් බවයි. එසේ පහළ අගයක් ගත්ත ද ඇති වෙමින් පවත්නා වෙනස වඩාත් විශාල වූ එකක් ය යන්න සිංගප්පූරු නායකයන් නිවරැදිව තේරුම් ගෙන ඇති බව ඔවුන් ඊට අදාළව ගෙන ඇති පියවර මගින් මනාව පැහැදිලි වේ.
තාවකාලික පැලැස්තර
ඉහතින් පැහැදිලි කළ ආකාරයෙන් ලෝකයේ රටවල් වෙනස් වන ගෝලීය ආර්ථික රටාවට මුහුණ දීම සඳහා සූදානම් වන පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සුදානම කෙසේද යන්න විමසා බැලීම වැදගත් වේ. තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ලෝකයේ බොහෝ රටවල් මෙන් ලංකාව ද ඇමරිකාව සමග තීරුබදු පහත හෙළා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුල් අවස්ථාවේ දී සියයට 30 දක්වාත් ඉන්පසුව සියයට 20 දක්වාත් මුල් අවස්ථාවේ දී සියයට 44ක්ව පැවැති තීරුබදු ප්‍රතිශතය පහත හෙළුවේය. ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවවලට අදාළව තීරු බදු ප්‍රතිශත පහත හෙළනු ලැබීය. ඉන්දියාව සම්බන්ධයෙන් ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය රුසියා-යූක්රේන යුද්ධයට සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඇමරිකාව විසින් ඉන්දියාවට අදාළව සියයට 50ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලැබීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ඇමරිකාව ඉල්ලා සිටින වෙළෙඳපොළ අවස්ථා ඉන්දියාව විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මෙම තත්වයට වඩාත් දැඩිව බලපා ඇති බවක් පෙනෙන්නට ඇත. තීරුබදු අඩුකර ගැනීමෙන් ඔබ්බට ගොස් වෙනස්වන ගෝලීය වෙළෙඳ සහ ආයෝජන පරිසරයට සාර්ථකව සහ ශක්තිමත්ව මුහුණ දීමටට හැකි ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කර ගනු ලැබීමට පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත.
දිගුකාලීන විසඳුම
දැනට ගෝලීයව සිදු වෙමින් පවත්නා වෙළෙඳ ආරක්ෂණවාදය තුළ ලංකාව වැනි කුඩා රටවලට කේවල් කිරීමේ ශක්තියක් නොමැත. එබැවින් කළ යුත්තේ දේශීයව තරගකාරීත්වය ප්‍රවර්ධන කරන අතරතුර වඩාත් පිළිගත හැකි වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් සඳහා යොමුවීමයි.
වඩාත්ම වැදගත් වන ඊළඟ පියවර වන්නේ දේශීය ආර්ථිකයේ ඵලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම වේ. ඒ සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළයුතුය. පවත්නා දත්ත අනුව පෙනී යන කරුණක් වන්නේ පසුගිය දශක දෙකක කාලය තුළ ලංකේය ආර්ථිකය තුළ මුළු ඵලදායීතාව (Total Factor Productivity) සහ ශ්‍රම ඵලදායීතාවේ පැහැදිලි ඉහළ යාමක් සිදුව නොමැති බවයි. ඊට බලපෑ හේතු අතර ආර්ථිකය තුළ පවත්නා ව්‍යුහාත්මක ගැටලු පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම, ශ්‍රම වෙළෙපොළට අදාළව ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින්ම සිදුවිය යුතු අතර එ්ත් එක්කම පොදු ප්‍රවාහනය, රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව වැඩි කිරිම සඳහා අවශ්‍යවන රැඩිකල් පියවර ගත යුතුය.
එසේම නිෂ්පාදන සාධක වෙළෙදපොළ ලිහිල්කරණය මෙන්ම අධ්‍යපනය සහ සෞඛ්‍ය වැනි අංශවල ද ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කඩිනමින් පියවර ගත යුතුව ඇත. දැනට ක්‍රියාත්මකව පවත්නා බදු ප්‍රතිපත්තිය බදු ආදායමට බලපෑමක් නොවන අයුරින් සංශෝධනය කළ යුතුය. එහිදී අපනයන අංශයට අදාළව ඇති බදුබර පහත හෙළීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇත. ආර්ථිකයේ ශ්‍රම සාභාගීත්වය පහළ වැටෙමින් පවතින අතර ඊට හේතු ගණනාවක් පවතී. ඒ අතරින් දැනට ක්‍රියාත්මක සුබසාධන ප්‍රතිපත්ති ද බලපා ඇති බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබදව ද නැවත සිතා බැලීම ඉතා අත්‍යවශ්‍ය වන්නකි.
ඉහත යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් දැනට පහළ ඵලදායීතාව යටතේ සිරවී ඇති නිෂ්පාදන සාධක ඉන් මුදාගෙන ඉහළ ඵලදායීතාවකින් යුතු අංශවලට විතැන් කිරීම දිරිගැන්විය යුතු අතර එවැන්නකින් තොරව ආර්ථිකයේ ඵලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ දැමිම කළ නොහැකි බව අවධාරණය කළ යුතුව ඇත. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ පිළිබදව වර්තමානය වනවිට කතා බහක් සිදු වුව ද ජාතික සංවර්ධන සැලස්මකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ කෙසේද යන්න වටහා ගැනීම අපහසු වේ. පළමුව ජාතික සංවර්ධන සැලස්මක් පැවැතිය යුතු අතර ඊට අනුරූපී වන අයුරින් අධ්‍යාපන සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ කළ යුතුව ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ අනෙකුත් රටවලට ශ්‍රමිකයන් සපයන කර්මාන්තාශාලවක් වනු ඇත.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ඇති අත්‍යවශ්‍ය බව කාලයක් තිස්සේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ දේශපාලන නායකත්වයට පෙන්වා දුන්න ද ඒ පිළිබදව නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් වර්තමාන ගෝලීය අර්බුදය තුළ වඩාත් අවාසි සහගත තත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. විශේෂයෙන්ම ආර්ථික ස්ථායීකරණයෙන් පසුව තිරසාරව ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සදහා සහ ආර්ථිකයේ කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් තුළ ආර්ථිකයේ තරගකාරීත්වය සහ ව්‍යාපාරික පරිසරය යහපත් කිරීමට පියවර ගත යුතු බව බොහෝ පාර්ශව අවධාරණය කරති. අවාසනාවකට කරුණ නම් තවමත් ඒ පිළිබදව නිසි අවධානයක් යොමු නොකිරීමය. උදාහරණයක් ලෙස අයෝජන, ශ්‍රම සහභාගීත්වය, තරගකාරීත්වය, සහ ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කර ඉදිරිපත්ව ඇති ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව තුළ සම්මතව ඇතත් එහි යෝජනා කිසිත් මෙතෙක් ක්‍රියාත්මක තත්වයේ නොමැත. අප තවදුරටත් කල්මැරිය යුතු නොවේ. අවම වශයෙන් දැන්වත් ක්‍රියාත්මක විය යුතුව ඇත.
(***)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආර්ථික වෙනසට සූදානම්ද?