ළඟ එන මැතිවරණ, ජාත්‍යන්තර අභියෝග හා තේ-රබර් ආර්ථිකය ගැන වැවිලි හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා  දැක්වූ මතවාදයි මේ.   ප‍්‍රශ්නය:- ජනතාව අධික ජීවන බරෙන් විරැකියාවෙන් පෙළෙද්දී රටේ ස්වාධීන නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළලී ඇති බවටත් හොරකම්, ඝාතන, ස්ත‍්‍රී දුෂණ,  ළමා අපචාර ඉහළ ගොස් ආර්ථික ණය බර මානව හිමිකම් ප‍්‍රමුඛව ජාත්‍යන්තරය තුළ විශාල ගැටලූ තිබියදී ඒවා විසඳනවා වෙනුවට ආණ්ඩුව අකලට පළාත් සභා ඡුන්ද වලට ගියේ ඇයි? පිළිතුර:- ප‍්‍රශ්න නැති රටක් නැහැ. ජීවන බර, විරැකියාව, උද්ධමනය, සංවර්ධනය ආදී ප‍්‍රශ්න තමයි ලෝකය පුරා තියෙන්නේ. අද ලෝක ආර්ථිකයේ බිඳවැටීමක් තිබෙනවා. යුරෝපයේ ශක්තිමත් රටවල් කීයක් අද දෙදරලාද බලන්න. අයර්ලන්තය, අයිස්ලන්තය, ග‍්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ බලවත් රටවල් මෙන්ම ඇමෙරිකාවෙ තියෙන ප‍්‍රශ්න බලන්න. බුෂ්  යුගයේදී ඒ රටේ ඇතිවූ ආර්ථික ප‍්‍රශ්න නිසයි කළු ජාතික ඔබාමා බලයට ආවෙත්. අප‍්‍රිකාව, ආසියාව, දකුණු අමෙරිකානු කලාප ගත්තත් අද ආර්ථික අතින් ලොකු ප‍්‍රශ්න තියෙනවා. ඉන්දියාවෙ කොච්චර ආර්ථික ප‍්‍රශ්න තියෙනවද? මාස 06 කට කලින් ඩොලරයට සාපේක්ෂව 42ට තිබුණු ඉන්දියානු රුපියල් අද 56 දක්වා බාල්දු වෙලා. එහෙම ලෝක තත්ත්වයක් තියෙද්දී ලංකාවේ රුපියල් 130 ඉක්මවා ගියා. ජීවන වියදම වැඩිවුණා. විරැකියාව වැඩි වුණා. ණය බර ඉහළ ගියා ආදී චෝදනා වලට මම පිළිතුරු දෙන්න සූදානම්. ලෝක ආර්ථික බිඳවැටීමත් එක්ක ලංකාවටත් ඒකෙ බලපෑම් ඇවිත් තියෙනවා. ඒත් ඒ රටවල් එක්ක සංසන්දනය කළාම ලංකාව ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ ආර්ථික වර්ධනය 7.5% යි. අපේ කලාපයේ හැම රටක්ම අනාථයි. මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය වැටිලා. ආර්ථික ප‍්‍රශ්න නිසා සංචාරකයො පිටරට යාම අඩුකරලා තියෙද්දී ලංකාවට විශාල සංචාරක පිරිසක් එනවා. ඒත් ලංකාවට ආර්ථික හා වෙනත් ප‍්‍රශ්න නැහැ කියල මම කියන්නෙ නෑ. ඒවාට ප‍්‍රශ්න ලෙස නොව අභියෝග ලෙස මුහුණ දීලා ජය ගැනීමේ ශක්තිය, හැකියාව හා දැක්ම අපට තියෙනවා. ආණ්ඩුව යන ගමන නිවැරදියි. ජනතාව ඒක දන්නවා. ඡුන්ද වලට යන්නේ ඒකයි. පරදින්න ඡුන්ද වලට යන්නෙ මොන ආණ්ඩුවද?   ප‍්‍රශ්නය:- මම අහපු ප‍්‍රශ්නයට උත්තර දෙන්න. රටට ජනතාවට විශාල ප‍්‍රශ්න තිබියදී ඒවා විසඳනවා වෙනුවට ආණ්ඩුව ඡුන්දවලට ගියේ ඇයි? රටේ හා ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න මුදල් නැති බව කියන ආණ්ඩුව දේශපාලන සංදර්ශනවලට කෙතරම් මුදලක් යට කරනවාද? එදා ගම් උදාවට බැනපු ශ්‍රීලනිපය අද රු. දශලක්ෂ 23,000ක් යට කරලා දැයට කිරුළ තිබ්බා. අද එතන හිස් මහ පොළොව විතරයි. ආණ්ඩුව ජනතාවගේ රු. ලක්ෂ 34,000ක විශාල මුදලක් බංකොළොත් ග‍්‍රීසියේ ආයෝජනය කරලා අත පිසදාගෙන විකාර පිළිතුරු දෙනවා නේද? පිළිතුර:- ආණ්ඩුවක් ක‍්‍රියත්මක වෙන කොට ප‍්‍රශ්න, අතපසුවීම්, අඩුපාඩු වෙනවා. මම එකක් කියන්නම් ආණ්ඩුවට වාසි දායක නැත්නම් අපි කලින් ඡුන්ද වලට යනවද? මේ රටේ ජනතාව ඇස් ඇරල බැලූවාම යුද්ධයෙන් පසු අපි ඇති කරපු දේශපාලන-ආර්ථික-සමාජ ස්ථාවර බවත් එක්ක රට දියුණුවන එක අමතක කරන්න ජනතාවට බැරි වෙනවා. රටේ හා ජනතාවට ප‍්‍රශ්න නැහැ, සියල්ල සම්පූර්ණයි, කියල මම කියන්නෙ නෑ. ජනතාව දන්නවා ආණ්ඩුව යන ගමන නිවැරදි හා අවසානයේ රටට ලැබෙන දියුණුව තුළින් දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙනවා කියලා. අනික අද විපක්ෂයක් තියෙනවද? ඔවුන් එකිනෙකා ප‍්‍රහාර එල්ල කරගන්නවා විතරයි. ඔවුන් ගැන ජනතාවට විශ්වාසය තියන්න පුළුවන්ද? මේ පළාත් සභා තුනේ ප‍්‍රතිපල දැනටත් පැහැදිලියි. ගිය සතියේ මම රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගියා. ආණ්ඩුව ඉහළින් දිනන්නේ. විපක්ෂය කියන ඔය චෝදනා ඇත්ත නම් ජනතාව ඒවා පිළිගන්නවා නම් එවැනි ජයග‍්‍රහණ ආණ්ඩුවට ලැබේවිද? අද තේ හා රබර්වලට පුදුමාකාර ඉහළ මිලක් ලැබීම තුළ රත්නපුර, කෑගල්ල දිස්ත‍්‍රික් 02 අයත් සබරගමුවේ ජය පැහැදිලියි. උතුරු මැද ජනතාව නොමග යවන්න බෑ. නියඟය ආවේ ආණ්ඩුවේ වරදින් නොවන බව ජනතාව දන්නවා. ඒ ගොවීන්ට වන්දි ලැබේවි. නැගෙනහිර දේශපාලනය ටිකක් සංකීර්ණයි. ඒත් ආණ්ඩුව ජය ගනීවි. මන්ද ශීඝ‍්‍ර සංවර්ධනයට තිත තබන්න ඒ ජනතාව සූදානම් නෑ. මේ මැතිවරණ වලින් පැහැදිලි ජයක් ලබල ජිනීවාවලදී ඇමෙරිකාව ගෙනා යෝජනාවට පක්ෂ රටවල් ඇතුළු ලෝකයට පණිවිඩයක්දීම අවශ්‍යයි. මේ රටේ ජනතාව ජනාධිපතිතුමා හා මේ ආණ්ඩුව ගැන දැඩි විශ්වාසයකින් ඉන්නේ කියලා. යුද්ධයෙන් පසුව ඇතිවූ ආර්ථික වර්ධනය හා සංවර්ධනය සමහරුන්ට උහුලන්න බෑ. දිනාගත් සාමය හා ස්ථාවර බව බිඳ දමන්නයි, යළිත් රට අවුලට තල්ලූ කරන්නයි මෙයාලට  ඕනෑ. ඒ රටවලට අවශ්‍ය ආණ්ඩු ඇති වුණාම රිමෝට් එකෙන් ලංකාව පාලනය කරන්නයි මේ අය බලන්නේ. මේ විදේශ රටවල් වසර 500ක් අපේ රට සූරාකෑවා. භේද කළා. අපට නැගිටින්න දුන්නෙ නෑ. අපි ඔළුව උස්සන්න හදන කොට, සාර්ථක ඉදිරි ගමනක් යනකොට, යළිත් අපට ගහන්න හදන කොට මේ රටේ ජනතාව ඊට ඉඩක් දේවි කියල මම හිතන්නෙ නෑ.   ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ හා රටේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාව ජාත්‍යන්තරයට උගස් කරලා දේශපේ‍්‍රමයෙන් යළිත් අන්දලා ආණ්ඩුවේ දේශපාලන ජාම බේරාගන්න නේද? මේ රටේ ජනතාව හා ලෝකයට දැනෙන්නට යමක් කරන්න ආණ්ඩුව ක‍්‍රියා නොකරන්නේ ඇයි? ජිනීවා වලදී ඇමෙරිකාව ලංකාවට එරෙහිව කළ දෙයක් නෑ. ලංකා ආණ්ඩුවේ උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න. ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ස්වාධීන බව ඇති කරල හොරකමට, මැරකමට, ළමා අපචාරවලට තිත තබා, ජනතාවට සහන දෙන්න කියල නේද ඔවුන් ඉල්ලන්නේ? පිළිතුර:- අපට උපදෙස් දෙන්න එන ඔය රටවල්වල ප‍්‍රශ්න මුලින් විසඳා ගන්නෙ නැත්තෙ ඇයි කියලා අපට අහන්න වෙන්නේ. සමහර රටවල් තම බලය හා දේශපාලන බලය පාවිච්චි කරලා එයාලටයි අපි වගේ සංවර්ධනය වෙමින් ඇති රටවලටයි තවත් ප‍්‍රමිතියකිනුයි කටයුතු කරන්නේ. වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මම ජිනීවා වලදී කිව්වෙත් ඒකයි. අනික අපේ රටේ ජනතාව  උගස් කරලා, ආණ්ඩුව දේශපාලන වාසිගන්න මේ ඡන්ද තියන්නෙ නෑ. මේ ආණ්ඩුව වැඩ කරලා තියෙනවද නැද්ද කියල ජනතාවට තීන්දු කරන්න අවස්ථාව දෙන්නයි ඡන්ද තියෙන්නේ. මානව හිමිකම්, උතුරු නැගෙනහිර හා රටේ සංවර්ධනය ආදී හැම පැතිවලින්ම අප කළ සේවය මෙහිදී ජනතාව තක්සේරු කරාවි. ඊට වඩා සහනයක් තවත් නෑ.   ප‍්‍රශ්නය:- 2008 දී ජිනිවා වලදී ජයගත් ශ්‍රී ලංකාව 2012 දී පරාජය වීමට හේතු අප විසින්ම අවංකව සමාලෝචනය කළ යුතු බව ඔබ ආණ්ඩුවට කළ යෝජනාව ඉතා වැදගත්. එහි ප‍්‍රගතියක් තිබෙන බව නම් පේන්න නෑ. පිළිතුර:- මගේ ඒ අදහස ගැන ආණ්ඩුව තුළ විශාල අදහස් හුවමාරුවක් සිදුවෙනවා. 2012 ජිනීවා වලදී විනාඩි 10 බැගින් දෙවරක් විතරයි ලංකාවට කතා කරන්න ලැබුණේ. අපි කරපු වැඩ ඒ සුළු වෙලාවෙන් කියන්න අමාරුයි. අනික ලංකාවේ ප‍්‍රගතිය ගැන නෙවෙයි එදා 2008 යුරෝපය මුල් වෙලා ලංකාව ජිනීවාහිදී පරාජය කරන්න බැරිවූ එක, ඇමෙරිකාව මුල්වෙලා පරාජය කිරීමයි ඔවුන්ගේ අරමුණ වුණේ. උගත් පාඩම් එක ක‍්‍රියාත්මක කරන්න කියන බෝලය දාලා ඒකයි කළේ. මම ජිනීවා වලින් ඇවිත් අපේ විශ්වකාලීන සමාලෝචන වාර්තාව හදන්න අත ගැහුවා. මොකද මේ නොවැම්බර්වල අපට ලොකු වැඩක් තියෙනවා. වසර 05 කට වරක් හැම රටක්ම මානව හිමිකම් වලට අදාළ විශ්වකාලීන සමාලෝචනයට මුහුණ දෙන්න  ඕනෑ. 2008 දි අපි මේකට මුහුණ දීලා ඉදිරියට ආවෙත් මගේ ප‍්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක්. යුද්ධය යන කාලෙයි අපි එදා සුබවාදීව ඉදිරියට ආවේ. වචන 10,700ක වාර්තාවක් අපි ඉදිරිපත් කළ යුතුයි. ජුලි 23 වන විට එය මානව හිමිකම් මහ කොමසාරිස් අතට පත්කළ යුතු වෙනවා. එතුමිය ඊට පසුව එය එජා සංවිධානය පාවිච්චි කරන වෙනත් භාෂා 06 කට පරිවර්තනය කරනවා. ඒ වාර්තාව ගැන ප‍්‍රශ්න වෙනත් රටවල් අහනවා. රාජ්‍ය නොවන සංවිධාන වලටත් එහිදී අවස්ථාව තියෙනවා. ලංකාවට විනාඩි 70ක් තියෙනවා. අපි උපක‍්‍රමශීලිව ඒ කාලය පාවිච්චි කළ යුතු වෙනවා. එදාට හවස 02 ඉඳල 06 දක්වා ලංකාව ගැන විතරයි කතා කරන්නේ. මුළු ලෝකයක් එක්ක, බුද්ධිය උපක‍්‍රමශීලිත්වය හරහා විශාල යුද්ධයක් අපට කරන්න තියෙන්නේ. මේ වගේ යුද්ධ කරලා මට හොඳට පළපුරුදුයි. මෙහේ ඉඳන් කෑ ගහනවා වගේ මේ වැඩ ලේසි නෑ. මානව හිමිකම්වලට අදාළ නායකත්වයත් දීලා තියෙනවා. මෙවර ලංකාවට අදාළව අතරමැදි ක‍්‍රියා සඳහා බෙනි රාජ්‍යය, ඉන්දියාව, ස්පාඤ්ඤය තමයි තේරිලා ඉන්නේ.  ඒ රටවල් තුනම ගිය පාර අපට ඡන්දය දුන්නෙ නෑ. ඒ නිසා ලොකු අභියෝගයක් ජයගන්නයි තියෙන්නේ. සමහර වෙලාවට තනි වචනයක් වෙනුවෙන් පවා අරගල කරන්න වෙනවා. මගේ රටට, මේ ආණ්ඩුවට, ජනාධිපතිතුමාට 100% ක් පක්ෂපාතීව ඉටුකළ හැකි උපරිමය මම කරනවා.  යුද්ධය ඉවර කරලා වසර 03 ක් තුළ අපි හුඟක් දුර ඇවිත් නිසා ඉතිරි වගකීමත් ඉටු කරන්න ජනාධිපතිතුමා හා අණ්ඩුව බැඳී ඉන්නවා. ඒ සඳහා කැපවෙනවා. ඒ නිසා මේ ඡන්ද දිනවල ඊට ශක්තිය ලබා දීම කාගේත් වගකීමයි. ජයග‍්‍රහණය ගැන ආණ්ඩුවට සැකයක් නෑ.   ප‍්‍රශ්නය:- රටේ ආර්ථිකය හා ජනතාවගේ අතමිට සරු කරන්නට, විදේශ විනිමය උපයන්නට, රැකියා සුලභ කරන්නට ඔබ යටතේ ඇති වැවිලි ක්‍ෂේත‍්‍රයට විශාල වගකීමක් තිබෙනවා. ඔබ යටතේ ඊට අදාළව ලැබූ ප‍්‍රගතිය කුමක්ද? පිළිතුර:- ලෝකය හා රට තුළ කොච්චර ප‍්‍රශ්න තිබුණත් තේ හා රබර් නිෂ්පාදකයන්ට ඉහළ මිලක් ලබාදෙන්න පසුබිමක් ඇති කරන්න අපි සමත් වුණා. ඉහළම ප‍්‍රමිතියකින් යුතු පහත රට තේ කිලෝවකට රු. 65කට වඩා ලැබෙනවා. මැදරට හා උඩරට තේ මිලත් සාපේක්ෂව ඉහළ ගිහින්. මේ රටේ විශාල වතු සමාගම් හදන්නේ තේ වලින් 25% යි. ඉතිරි 75%ම නිපදවන්නේ කුඩා තේ වතු හිමියෝයි. ඔවුන්ගේ ආදායම ඉහළ ගිහින් තියෙන්නේ. අනික රබර්. මේ රට තුළ රබර් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ පනස් දාහක් නිපදවනවා.  ඒත් ටොන් ලක්ෂ 02ක් වසරකට අවශ්‍යයි. මදි ටික රටින් ගේන්න වෙනවා. මොකද රබර් වලින් භාණ්ඩ නිපදවලා අපනයනය කළාම රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. රැකියාවල් ලැබෙනවා. ලංකාවේ රබර් නිෂ්පාදනයට කිලෝවකට රු. 385 සිට 440 දක්වා ඉහළම මිලක් ලැබෙනවා. රබර් කිලෝවක් නිපදවන්න වැය වෙන්නේ රු. 120යි. අද තේ හා රබර් ආදායම් ඉහළ යාම සබරගමු පළාත් සභාවේ සන්ධාන ජයග‍්‍රහණයටත් විශාල සාධකයක් වේවි. රටපුරා අයටත් මේ හරහා විශාල ආදායම් ලැබෙනවා. අනික අලූතින් හඳුනා ගත් ප‍්‍රදේශ වලත් රබර් වවන්න මම අඩිතාලම දැම්මා. මොනරාගල, අම්පාර, වව්නියා, මුලතිව් වගේ ප‍්‍රදේශ වල උෂ්ණ හා සීතල අතර මැද දේශ ගුණ සහිතයි. මම රබර් පර්යේෂණායතනයට උපදෙස් දුන්නා පර්යේෂණ කරලා වසරකින් වාර්තාවක් දෙන්න කියලා. ඒක ඉතා සාර්ථකයි. දැන් මොනරාගල 10,000ක් දෙනා රබර් වවන්න ක‍්‍රියාකරනවා. අම්පාරේ මහඔය හෙක්ටයාර් 10,000ක වවන්න සූදානම්.  උතුරේ යුද්ධය නිම වුණාම යළි පදිංචිය ඇරඹුණා. ඒක තිරසාර කරන්න නම් ඒ අයට ආදායමක් අවශ්‍යයි. ඔවුන්ට අක්කර 2-3 දීලා රබර් වැවීම සාර්ථකව කරගෙන යනවා. ඒ තුළ ඉක්මනින් ලංකාව රබර්වලින් ස්වයංපෝෂිතව ඉතිරි ඒවා රට යවන්නත් ලැබේවි. මොකද ස්වභාවික රබර් වලට ලොව විශාල ඉල්ලූමක් තියෙනවා.   ප‍්‍රශ්නය:- අපේ තේ ලොව ඉහළම තේ ලෙස තිබුණත් දැන් එය ගිලිහී යමින් තිබීම නවතා ගැනීම ඔබේ වගකීමක් නේද? පිටරටින් තේ ගෙනැත් අපේ තේ හා කලවම් කිරීම ගැටලූවක් නෙවෙයිද? පිළිතුර:- ඇමැති ලෙස මම කිසිදා කියලා නෑ පිටරට තේ ගේනවා කියලා. ඒත් සමහරු මේ ගැන කියනවා. ඇමැති ලෙස මගේ ස්ථාවරයයි නිල වශයෙන් කියැවෙන්නේ.  ඕන කෙනෙක් කෑ ගහන්න කියලා අපි වැඩ ටික කරගෙන යනවා. මම තීන්දුවක් ගත්තාම රටේ නායකතුමා ජනාධිපතිතුමාට ඒකෙ හොඳ හා රටට ජනතාවට ඇති වාසි පෙන්නනවා. මේ රටේ කුඩා තේ වතු හිමියො ලක්ෂ 04 ක් ඉන්නවා. තව ලක්ෂ 1 1/2ක් ලොකු තේ වතුවල වැඩ කරනවා. ආණ්ඩුවක් ලෙස අපි තීන්දු ගන්නේ මේ කාටත් හොඳක් වෙන තීන්දුයි. ලෝකය තුළ තරගකාරීව අපි ඉදිරියට යන්න නම් තේ නිෂ්පාදන වියදම අවම කරගන්න  ඕනෑ. ඵලදායිතාව වැඩි විය යුතුමයි. අපේ තේ වල ගුණාත්මක බවත් ඉහළ යා යායුතුමයි. අනික අපේ තේ ප‍්‍රචාරයත් සම්පූර්ණයෙන්ම අත ඇරල තිබුණේ. මේ සියල්ල නිවැරදි කරමිනුයි අපි ඉන්නේ. තේ ප‍්‍රචාරයට අපි භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූවත් එවැනි දේට මුදල් දෙන මට්ටමක් තිබුණෙ නෑ. මම තේ අපනයනකරුවන්ට කිව්වේ අපේ තේ වෙළෙඳ පොළ රැකගන්න තේ ප‍්‍රචාරය සඳහා ඔබ රට යවන හැම තේ කිලෝවකින්ම රු. 3.50 ක් දෙන්න කියලයි. ඒ අනුව වසරකට ලංකාව රට යවන තේ කිලෝ දශලක්ෂ 330න් ඩොලර් දශ ලක්ෂ 15ක් එකතු වෙනවා. මේ වෙනකොට ඩොලර් දශ ලක්ෂ 25ක්  එකතු වූ නිසා සැප්තැම්බර්වල තේ ප‍්‍රචාරය පටන්ගන්නවා. ”සිලෝන් ටී ලොව හොඳම තේ බවත් ලෝකය ඒවා පානය කළ යුත්තේ ඇයි” කියන එකත් අපි ලොවට කියනවා. ළඟදී බි‍්‍රතාන්‍ය රැජිණගේ 60 වැනි පදවි ප‍්‍රාප්තියට ලෝක නායකයෝ ආවා. ඒ සාදයේ තිබෙන ආහාර පාන සඳහන් ‘මෙනු කාඞ්’ එකේ ”සිලෝන් ටී” කියලයි තිබුණේ. අපේ ප‍්‍රචාරයේදී අපි ඒකත් පාවිච්චි කරනවා. ”රැජිණ බොන්නෙත් අපේ තේ” කියල අපි කියනවා.  තේ කියන්නේ සිලෝන් ටී කියලත් අපට දැන් කියන්න පුළුවනි. මේ හරහා අපේ තේ ඉල්ලූම ඉහළටම ගේනවා. අපේ තේ හොඳම දේ කියල නිකම්ම හිටියොත් අපේ තේ වෙළෙඳ පොළ ඉවර වේවි. තේ වලින් දැනට අපි වසරකට රු. කෝටි 18,000ක් හා රබර් වලින් කෝටි 13,000ක් වැනි අති විශාල මුදලක් රටට ලැබෙනවා. මේවා තවත් වැඩි කරන්නයි අපි හදන්නේ.

වැවිලි හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ

සංවාද මෙහෙවර අශෝක ජයතුංග